ජීවිතයම සිනමාව වුණත් එය රැකියාවක් කරගත්තේ නෑ | සිළුමිණ

ජීවිතයම සිනමාව වුණත් එය රැකියාවක් කරගත්තේ නෑ

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ තිස්ස ලියනසූරිය මහතා සමඟ අතීත මතක සටහන් අවදි කරමින් සිදු කළ සංවාදයකි.

• ඔබේ ළමාවිය ගැන අපි මුලින් ම කතා කරමු?

මම ඉපදුණේ 1936 ජනවාරි 17 වැනිදා. උපන්ගම බොරැල්ල. මගේ පාසල් ගමන තරමක් ප්‍රමාද වුණා. පාසල් යාමට සිදුවුණේ 1941 දී වුණත් දෙවෙනි ‍ලෝක යුද්ධය නිසා කල් ගියා. මගේ පියා මාව 1945 දී මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයට ඇතුළත් කළා.

• පාසලේදී කලා කටයුුතුවලට තිබුණු උනන්දුව කොහොමද?

ඉගෙනීමේ වැඩවලට වඩා මට ආසාවක් තිබුණේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න. ඒකට හරියන උපාලි අත්තනායක, සිඩ්නි ආටිගල වගේ සමකාලීනයොත් හිටියා. පාසලේ සිංහල සඟරාව, “පිළිරැව්” කළේ මම.

අපේ සිංහල ගුරුතුමා වික්ටර් හපුආරච්චි. එතුමාගෙන් අපට විශාල සහයක් ලැබුණා. ඒ වකවානුවේ සිංහල වැඩවලට එතරම් උනන්දුවක් නො තිබුණු නිසා අපේ උත්සාහයෙන් ම ඒ වැඩ කරන්න සිදුවුණා.

• ගුවන්විදුලි ගමනේ ආරම්භය සිදුවුණේ?

1951 දී විතර මං ගුවන් විදුලිවැඩසටහන් මඟින් ඒ කාලයේ ප්‍රසිද්ධියට පත්ව සිටි කේ.ඒ.ඩබ්. පෙරේරා මහත්මයා හමුවුණා. මං එතුමාට කලාවට මගේ තිබුණු කැමැත්ත ගැන කියලා අවස්ථාවක් සලසා දිය හැකිද කියල විමසුවා. “මේ ළමයා තවම ඉස්කෝලෙ යනවනෙ. මෙහෙම කරමු. සින්දු කියන්න එහෙම පුළුවන්ද?” කියල මගෙන් ඇහුවා. මං පුළුවන් කිව්වා. එතකොට එතුමා කඩවත බියන්විල ඉංග්‍රීසි කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙසත් කටයුතු කරනවා. “අපේ පාසලේ උත්සවයක් තියෙනවා. ඒකෙ පිළිගැනීමේ ගීතය ගයන්න හිටපු ළමයා අසනීප වෙලා. මේ ළමයට ඒක කරන්න පුළුවන්ද”ඇහුවා. මං කැමැති වුණා. ඒ අවදියේ හරි ම ජනප්‍රිය “සුජාතා” චිත්‍රපටයෙ “මනරංජන දර්ශනීය ලංකා...” ගීතයේ තනුවට ලියපු “සැරදේ අප විදුහල් මෑණි...” ගීතය මං ගායනා කළා. වාදක මණ්ඩලයත්, කේ.ඒ.ඩබ්. පෙරේරා මහත්මයත් මට ප්‍රශංසා කළා හොඳට ගායනා කළා කියලා. එතැන තමයි ආරම්භය.

• ඉන්පසුව ඔබට දිගටම අවස්ථාව ලැබුණා ද?

කේ.ඒ.ඩබ්. පෙරේරා මහත්තයා එතුමා කළ ගුවන් විදුලි වැඩසටහන්වලට මාව දිගටම සම්බන්ධ කර ගත්තා. රේඩියෝ සඟරාව, ඉන්ස්පෙක්ටර් පෙරේරාගේ වික්‍රම, ගුවන්විදුලි රඟමඬල ආදී වැඩසටහන්වල මට දිගටම වගේ අවස්ථාව ලැබුණා. පාසල් ජීවිතය අවසන් වුණායින් පසුව දිගට ම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න මට කැමැත්තක් තිබුණා.

• ඔබ සිනමාවට යොමුවෙන්නෙ කොයි කාලෙද?

මේ වෙනකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් “රේඛාව” කරලා දෙවැනි චිත්‍රපටය “සංදේශය” කරමින් සිටි කාලය. හුඟාක් ම රූපගත කිරීම් කළේ බෙලිහුල්ඔය. මාස 8 - 9ක් විතරම ඒ වැඩ කෙරුණා. ඒක දැවැන්ත චිත්‍රපටයක්. වරකට නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් 150ක් විතර දර්ශන තලයෙ සිටියා. ‘සංදේශයේ’ සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට හොඳ තරුණයෙක් සොයා දෙන්න කියල ලෙස්ටර් කේ.ඒ.ඩබ්.ට කියල තිබුණා. මේ ගැන ඔහු මට කියලා මේකට කැමැති ද කියලා ඇහුවා. මං එකපයින් ම කැමැති වුණා. එතකොට ඔහු කිව්වා තමුසෙ කැමැති වුණාට මදි අම්මගෙන් අහන්න ඕන කියලා. අම්මා අවසර දුන්නා. එතකොට තාත්තා හිටියෙ නෑ.

සංදේශයේ සහාය අධ්‍යක්ෂවරු හැටියට තව දෙදෙනෙක් කටයුතු කළා. ඒ විජය අ‍බේධීර සහ සුමිත්‍රා ගුණවර්ධන(පීරිස්).

ඔය අතර ප්‍රශ්නයක් මතුවුණා. කේ.ඒ.ඩබ්. පෙරේරා මහත්තයා කිව්වා, මම කතාව ලියන්න සම්බන්ධ වුණා. දෙබස් රචනා කළා. ඒත් මෙපමණ කාලයක් මට දුරබැහැර ඉන්න බෑ, ගුවන්විදුලියෙ රැකියාව නිසා කියලා. එතකොට ලෙස්ටර් ඇහුවා, එහෙම කොහොමද, කවුද මේක කරන්නෙ කියලා. කේ.ඒ.ඩබ්. උත්තර දුන‍්නෙ ප්‍රශ්නයක් නෑ, ඔය පිටපත තිස්සට දෙන්න. එයා ඒක නොපිරිහෙළා කරයි කියලා. එතැන් සිට සහාය අධ්‍යක්ෂවරයාට අමතරව දෙබස් පුහුණු කිරීම සහ අමතර දෙබස් ලිවීමත් පැවැරුණා.

• පළමු චිත්‍රපටයෙදි ලබපු අත්දැකීම් මොන විදිහද?

සෑහෙන දුකකුත් වින්දා. මාස ගණනාවක් අපි නතර වෙලා හිටියෙ පිදුරු සෙවිලි කළ කුටිවල. කාර්මික ශිල්පීන් සහ අනෙක් නළු නිළියන් හැරුණම බෙලිහුල්ඔය රෙස්ට් හවුස් එකේ හිටියෙ ප්‍රධාන නිළිය කාන්ති ගුණසිංහ ඇයගෙ මාමා ලෙස රඟපෑ එඩී ජයමාන්න පමණයි. අධ්‍යක්ෂවරයා ඇතුළු අපි සැවොම අර කුටිවල සිටියා.

ඉන්පසු අපි කොළඹ ආවා. මං දිගට ම ‍මේ වැඩත් එක්ක ඉන්න හිතලා ලෙස්ටර් මහත්තයගෙන් ඇහුවා, “මං මේකෙ ඉතුරු වැඩවටලත් සම්බන්ධ වුණාට වරදක් නැද්ද සර්” කියලා. “හා හා කමක් නෑ... මං සිනමාස් සමාගමට කියලා ඔබට ඒ අවස්ථාව ලබා දෙන්නම් කිව්වා..” මට දිගට ම වැඩ කරන්න ලැබුණා. මසකට රුපියල් 125/= ක දීමනාවකුත් ලැබුණා. ටයිටස් තොටවත්තයන් තමයි සංස්කරණය කළේ. ඔහුට සහාය සංස්කරණයෙන් මං සහාය වුණා. ඔය අතර රසායනාගාර කටයුතු, ශබ්දාගාරයේ හඬ කැවීම් කටයුතු ආදියටත් සම්බන්ධ වුණා. ඔය විදිහට “සංදේශය” චිත්‍රපටයෙ අවසානය දක්වාම මං ඊට සම්බන්ධ වෙලා ඒ ඒ කාර්ය ගැන දැනුමක් ලැබුවා. මේ එක චිත්‍රපටයෙන් චිත්‍රපට 3 - 4 ක අත්දැකීම් ලබන්න හැකි වුණා.

• “සංදේශයට” පසුව ඔබ සම්බන්ධ වුණේ?

“සීගිරි කාශ්‍යප”සහ “දස්කොන්” චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කළා.

මගේ විශාල භාග්‍යයකට වගේ 1961 විතර වෙද්දි සෙරන්ඩිබ් චිත්‍රපට සමාගම බිහිවුණා. ඔවුන් ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය “රන්මුතු දූව” කරන්න පටන් ගත්තා. ටයිටස් තොටවත්තයන්ගෙ මාර්ගයෙන් මට ඊට සම්බන්ධ වෙන්න හැකි වුණා. මේක අධ්‍යක්ෂණය කළේ මයික්. ඔහු ඉංග්‍රීසියෙන් ලියා තිබූ දෙබස් සිංහලට පරිවර්තනය කිරීමත් මට පැවරුණා. මේ චිත්‍රපටයෙ වැඩ කිරීමත් මට අමුතුම අත්දැකීමක් වුණා. මොකද ‘සෙරන්ඩිබ්’ සමාගම ‘රන්මුතුදූවට’ අවශ්‍ය බඩු බාහිරාදිය පිටරටින් ගෙන්නුවේ. කැමරා, විදුලි ආ‍ලෝකය, ශබ්ද පටිගත කරන යන්ත්‍ර ආදියට අමතරව මේ චිත්‍රපටයේ තිබුණු “දිය යට දර්ශන” ගන්න “අන්ඩර් වෝටර් කැමරාවකුත්” ගෙන්නුවා. විදේශීය චිත්‍රපටයක වැඩ කරනවා වගේ හැඟීමක් මට ඇතිවුණේ. ඊ‍ට පස්සෙ මට දිගට ම සෙරන්ඩිබ් සිනමා සමාගමේ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්න ලැබුණා.

‘සෙරන්ඩිබ්’ සමාගමේ දෙවන චිත්‍රපටය “ගැටවරයෝ”. ඒකෙත් මයික් විල්සන් මහත්මයාගෙ සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ මම. ඒක අමුතු ම මාදිලියෙ චිත්‍රපටයක්. මොකද ගැටවරයො පිරිසක් සම්බන්ධ කරගෙන කරපු ප්‍රථම චිත්‍රපටය මේ. “රන්මුතුදූව” වගේ ම ඉතාම සාර්ථක චිත්‍රපටයක් වුණා.

• ඔබේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ගැනත් කතා කරමු? "සාරවිට" තමයි මගේ මුල්ම අධ්‍යක්ෂණය. ඇත්තට ම ඒක කරන්න මගේ ලොකු ආසාවකුත් තිබුණා. මොකද කේ.ඒ.ඩබ්. පෙරේරා මහත්තයා සමඟ වාඩි‍වෙලා කතාව ලියල අවසන් වෙද්දි රූප රාමු මගේ මනසේ ඇඳිලයි තිබුණේ. මට ඕන කළේ කැමරාවක් විතරයි.

• එතැනින් එහාට ඔබ දිගට ම අධ්‍යක්ෂණයට යොමුවුණා ද?

ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස මම සුගතදාස මාරසිංහ මහත්මයගෙ ‘පුංචි බබා’ චිත්‍රපටය ඊළඟට කළා. මාරසිංහ මහත්තය එය මට බාර දෙනගමන් කිව්වා තිස්ස මම කලින් කළ චිත්‍රපටයෙන් පාඩු වින්දා. මේකෙනුත් පාඩු විඳින්න බෑ. කොහොම හරි මම ගොඩ එන්න ඕන කියලා. නිෂ්පාදන කටයුතු කළේ ජෝ. අපි දෙන්නා කතා වෙලා නිෂ්පාදකයාත් බේරා ගත යුතු නිසා චරිත කිහිපයක් වටා කතාව ගොඩනැඟීම, ප්‍රධාන නළු චරිතය ජෝ කිරීම, ප්‍රධාන නිළිය හැටියට හොඳ නවක නිළියක් සොයා ගැනීම කියන තීරණවලට ආවා.

අලුත් නිළියක් අවශ්‍යයි කියල ප්‍රසිද්ධ කළා. ඒත් සුදුසු තැනැත්තියක් හමුවුණේ නෑ. දවසක් ජෝම ඇවිත් කිව්වා ලුම්බිණි රඟ‍හලේ ‘අකල්වැස්ස’ කියල නාට්‍යයක් පෙන්වනවා. ඒකෙ ප්‍රධාන නිළිය ඉතා දක්ෂයි කියල මට දැනගන්න ලැබුණා කියලා. දවසක් අපි, මාරසිංහ මහත්මයා, ජෝ, මම, සිසිර සේනාරත්න, ඇන්ටන් අල්විස් වගේ කිහිප දෙනෙක් මේ නාට්‍යය බලන්න ගියා. ප්‍රධාන නිළිය ඉතාම දක්ෂ බව අපට පෙනුණා. නාට්‍ය අවසානයේ පණිවිඩයක් යවල අපි ඇයව හමුවුණා. ඇය තමයි මාලිනී ෆොන්සේකා. අපි ඇහුවා චිත්‍රපටයක රඟපාන්න කැමැතිද කියලා. ඇය ඉතා කැමැති වුණා. පසුව ඇයගේ දෙමවුපියන්ගෙත් අවසරය ඇතිව අපි ඇය “පුංචි බබා” ප්‍රධාන නිළි චරිතයට ස්ක්‍රීන් ටෙස්ට් එකක් කඳාන විජය ස්ටුඩියෝ එකේ කළා. විවිධ කැමරා කෝණවලින් ඇයගේ රඟපෑම් රූගත කළා. ඇය ඉතා දක්ෂ ලෙස එය සිදු කළ නිසා ප්‍රධාන චරිතයට ‍තෝරා ගත්තා. නිළියගෙ පෙනුම ගැන ප්‍රේක්ෂකයා ඒ කාලෙ හුඟාක් අවධානය යොමු කරනවා. මේ සෑම අතකින් ම ඇය කිසි අඩුවක් නැතිව ගැළපුණා. මේ චිත්‍රපටය විශාල ආදායමක් ඉපැයුවා. එය නිෂ්පාදකවරයා බලාපොරොත්තු වුණාටත් වඩා සාර්ථක වුණා.

• පසුව ඔබ රජයේ චිත්‍රපට අංශයට එක්වෙනවා?

ඔව්. 1968 දී මට අවස්ථාවක් ලැබුණා, රජයේ චිත්‍රපට අංශයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කරන්න. වාර්තා / කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. 1992 දී විශ්‍රාම ගන්නා තෙක් මා එහි කටයුතු කළා. විශේෂයෙන් මම කැමැති වුණේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ වාර්තා හා කෙටි චිත්‍රපට කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒවා 30 - 40 ක් පමණ කළා. මා කළ “කිරි” චිත්‍රපටයට 1978 දී බර්ලින් ජාත්‍යන්තර කෘෂි චිත්‍රපට උලෙළේදී “රන්කරල සම්මානය” ලැබුණා. ඒක කිරි ගොවින් සම්බන්ධ චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයට ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මඟින් ඔසයිරිස් සම්මානයත් පිරිනැමුණා.

මම රජයේ චිත්‍රපට අංශයෙන් විශ්‍රාම ලැබුවේ ප්‍රධාන නිෂ්පාදකවරයා හැටියට වසර 2ක් කටයුතු කරලා.

• ඔබ රූපවාහිනී මාධ්‍යටත් යොමු වුණා..?

මේ කාලය වෙනකොට රූපවාහිනී මාධ්‍ය ගැන වැඩි උනන්දුවක් තිබුණු නිසා මම, ඩබ්.ඒ. සිල්වා ශූරීන්ගේ “සිරියලතා” නවකතාව ඇසුරෙන් ටෙලිනාට්‍යයකුත් කළා. ඊළඟට මා ලද ලොකු භාග්‍යයක් තමයි ජර්මන් චිත්‍රපට සමාගමත් සමඟ සම්බන්ධව ටෙලි චිත්‍රපට කිහිපයක් කිරීමට ලැබීම. 1992 - 2002 කාලයේ මම ඔවුන් සමඟ වැඩ කළා. 2002 න් පසු මගේ නිර්මාණ කටයුතු අවසන් වුණා.

• ආ ගමන දෙස හැරී බලද්දී ඔබ තෘප්තිමත් වනවාද?

සිනමා ජීවිතය ගැන මම ඉතාමත් සතුටුයි. මගේ පළමු අධ්‍යක්ෂණය “සාරවිට” චිත්‍රපටයට සරසවි සම්මාන උලෙළේදී සම්මාන 10 ක් ම ලැබුණා. මා කළ සිනමා කෘති ගැන ආපසු හැරී බලනවිට මට සතුටු වීමට පුළුවන්, හොඳ දෙයක් කළා කියලා. ආත්මාර්ථකාමීත්වයෙන් තොරව මං නිර්මාණ කළේ. මැදුම් පිළිවෙතේ සිටියා. ඒ කියන්නේ හොඳ නිර්මාණයක් කරන අතර නිෂ්පාදකයා බේරා ගත යුතු බවත් මං දැඩිව කල්පනා කළා. අපි කුඩා රටක්. ප්‍රේක්ෂක පිරිස සීමිතයි. ඒ නිසා මේ හැම පැත්තක් ගැනම අපි සිතිය යුතුයි.

සුළු වශයෙන් වුණත් තරුණ පරම්පරාවට මගේ දැනුම ලබා දෙන්නත් මට හැකි වුණා. ඒ ගැනත් සතුටුයි. ඒ අත දීම අප වැනි අයගෙන් විය යුතුයි.

මම සිනමාකරුවෙක් ලෙස ආ ගමනේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස්ට සදා ණය ගැති බවත් කිව යුතුයි.

අපේ කාලයේ අපි චිත්‍රපටවලට සම්බන්ධ වෙලා දැනුම ලැබුවා ඉගෙන ගත්තා. අද එවැනි තත්ත්වයක් නෑ. සිනමාව හදාරන අයට සිනමා පාසලක අවශ්‍යතාව කාලයක පටන් ආචාර්ය ලෙස්ටර් අවධාරණය කළා. මමත් එය පිළිගන්නවා. ඒත් අදටත් අපට එවැන්නක් නෑ. ඒ අවශ්‍යතාව සම්පූර්ණ වනවා නම් ඉතා අගය කරනවා. හදපු චිත්‍රපට ආරක්ෂා කරගන්න සංරක්ෂණාගාරයකුත් අපට නෑ. ඒ ගැනත් ආචාර්ය ලෙස්ටර් හුඟාක් වෙහෙස වුණා. අපි සිනමාව රැකියාවක් ලෙස සිතුවේ නෑ. අපට ලැබෙන මුදල ගැන සිතුවේ ම නෑ. අදට වඩා උසස් තැනකට සිනමාව ගැනීම ගැන එදා අපි සිතුවා.

• ඔබේ පවුලේ තොරතුරු කොහොම ද?

මම විවාහ වුණේ 1968 දී. ඒ; භූලෝහා චිත්‍රපට සමාගමේ, නාරිලතා චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ද වූ දාවිත්සිඤ්ඤෝ මුදලාලි මහත්මයාගේ හතරවැනි දියණියත් සමඟ. අපට දියණියක් සහ පුතෙක් සිටිනවා. පුතා නැවක කපිතාන් වරයෙක්. දියණිය ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. අපි ඉතාම සතුටින් පවුල් ජීවිතය ගත කරනවා. තරමක විවේක සුවයෙන් සිටියත් අවස්ථාව ලද සැමවිට සිංහල සිනමාව වෙනුවෙන් කළ හැකි යම් හෝ මෙහෙවරක් කරන්න සූදානම්.

සේයාරූ - තුෂාර ප්‍රනාන්දු

අදහස්