ගල් අඟුරු බලාගාර බිය පහ කරමින් විදුලි ජනනයට ජාතික ප්‍රතිපත්තියක් එයි! | සිළුමිණ

ගල් අඟුරු බලාගාර බිය පහ කරමින් විදුලි ජනනයට ජාතික ප්‍රතිපත්තියක් එයි!

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ දිගුකාලීන විදුලි ජනන සැලැස්ම වෙනුවට සංශෝධිත සැලැස්මක් අනුමත කිරීම තමන් නොපිළිගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වෘත්තීය සමිතිය කියා සිටී. ඒ නිසා ඔවුන් දැන් සති දෙකකට ආසන්න කාලයක් විටින් විට රට පුරා විදුලිය බිඳ වට්ටමින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන ඇත. ඔවුන්ගේ ඉල්ලීම වනුයේ 2017 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ දිගුකාලීන ජනන සැලැස්මම (2018-2037) අනුමත කළ යුතු බවයි. මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර තිබු සැලැස්ම අඩුම වියදම් සහිත සැලැස්මක් නොවන බවයි. ඒ හේතුවෙන් ඊට අවශ්‍ය සංශෝධන සිදු කර දිගුකාලින ජනන සැලැස්ම අනුමත කළ යුතු බව ඔවුහු කියති. 2017 ජුලී මස 19 වැනි දින ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙම සංශෝධිත සැලැස්ම අනුමත කර ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලිඛිතව දන්වා යවා තිබේ. එහෙත් පසුව ලිපියක් මගින් ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දන්වා සිටියේ කොමිෂන් සභාවට තමන් ඉදිරිපත් කළ සැලැස්ම සංශෝධන කිරීමට බලයක් නැති බවයි. ඊට පෙරළා පිළිතුරු දුන් කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා යැවුවේ ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 (8) වගන්තිය යටතේ ජනන සැලැස්ම සංශෝධනය කොට අනුමත කිරීමේ බලය තමන් සතු බවයි.

අවම පිරිවැය මූලධර්මය

ජනන සැලැස්ම අනුමත කිරීමේදී පදනම් කරගත යුතු මුලධර්මය අවම පිරිවැය බවශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දී තිබේ. එය ශ්‍රී ලංකා විදුලිබල පනතේ දක්වා ඇති නෛතික අවශ්‍යතාවයකි. ලංකා විදුලිබල මණ්ඩලය 2017 දී අනුමැතිය සඳහා ඉදිරිපත් කළ සැලසුම අවම පිරිවැය සහිත සැලස්ම නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය සමාලෝචනයෙන් පසුව පෙන්වා දුනි. ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර තිබු දත්ත පිළිබඳ මහජන උපදේශන දෙකක් පවත්වන ලදී. විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මෙහි වැඩිවශයෙන් අඩංගු වූයේ ගල් අගුරු බලාගාර ය. එය ප්‍රමාණයෙන් මෙගා වොට් 2700ක් පමණ නව ගල් අගුරු බලාගාර ධාරිතාවයකි. එනම් නොරොච්චෝලේ බලාගාරය මෙන් තවත් තුන් ගුණයකින් ගල් අගුරු බලාගාර වැඩිකිරීමේ යෝජනාවකි. ලංකා විදුලි බල මණ්ඩලය ගල් අගුරු බලාගාර ලාභදායි බව පෙන්වීම සඳහා ඔවුන්ගේ ගණනය කිරීම සඳහා ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 69ක් ලෙස භාවිත කර තිබිණි. එහෙත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දුන්නේ 2016 සාමාන්‍ය ලෝක වෙළෙඳපොල මිල ගණන් අනුව ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 81ක් බවයි. මේ වන විට ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 120ක් පමණ වේ. මේ සාධක මත පදනම් ව සිය ගණනය කිරීම කළ ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගල් අගුරු බලාගාරවලින් විදුලිය ජනනය ස්වාභාවික වායු බලාගරවලට වඩා මිල අධික බව පෙන්වා දුන්නේ ය. ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කෙළ් ගල් අඟුරුවලින් තොර ස්වාභාවික වායු බලාගාර හා පුනර්ජනනීය විදුලි බලාගාර වැඩි වශයෙන් ඇති බලාගාර සැළැස්මකි. පැහැදිලි වෙනස වනුයේ කොමිෂන් සභාව අනුමත කළ බලාගාර සැලැස්මේ ස්වාභාවික වායු බලාගාර ධාරිතාවය මෙගා වොට් 4800ක් වීමත් ගල් අඟුරු බලාගාර නොමැති වීමත් හා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කළ සැලැස්ම මෙගා වොට් 1500ක ස්වාභාවික වායු බලාගාර හා මෙගා වොට් 2700ක ගල් අගුරු බලාගාරවලින් සමන්විත වීමයි. සැළසුම් දෙකේම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ දායකත්වය සමාන ධාරිතාවයකින් තිබිණ.

ගල් අඟුරු බලාගාර නිසා සිදුවන අමතර වියදම්

ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ සැළැස්මේ මෙගා වොට් 600ක ධාරිතාවක් සහිත ජලය පොම්ප කර ගබඩා කරන ජල විදුලි බලාගාරයක් සෑදීමේ අවශ්‍යතාවයද පෙන්වා තිබිණි. ඒ ගල් අඟුරු බලාගාර ජනනය වන විදුලියෙන් රාත්‍රී කාලයේදී ජලය පොම්ප කිරීමට හැකිවන පරිදිය. මෙය අමතර වියදමක් දැරිය යුතු නමුත් ගල් අඟුරු බලාගාරවල වැඩි ධාරිතාවය ප්‍රයෝජනයට ගැනීම සඳහා අත්‍යවශ්‍ය වු බලාගාර ක්‍රමයකි. දැනටමත් මෙගා වොට් 900ක ගල් අඟුරු බලාගාරයක් මෙරට ක්‍රියාත්මක වේ. ගල් අඟුරු බලාගාරවල විශේෂත්වය වනුයේ ඒවා ඉදිකළ පසු අඛණ්ඩව ජනනය සඳහා යොදා ගත යුතු වීමයි. විදුලි බල මණ්ඩලයේ යෝජිත මෙගා වොට් 2700ක් ගල් අඟුරු බලාගාර ඉදිකළ පසු මෙරට සතු සමස්ත ගල් අඟුරු බලාගාර ධාරිතාවය මෙගා වොට් 3600 දක්වා ඉහල යනු ඇත. 2025 දී පවා මෙරට බේස් ලෝඩ් හෙවත් කාර්ය බහුල නොවන වේලාවේ විදුලි ඉල්ලුම මෙගා වොට් 1750 කට සීමා වී පවතී. ඒ අනුව මෙගා වොට් 1850ක ගල් අඟුරු බලාගාර ධාරිතාවක් අතිරික්තයක් ලෙස පවතිනු ඇත. ගල් අඟුරු බලාගාර නිතර නිතර ක්‍රියාත්මක කිරීම හා අකීය කිරීම කළ නොහැකි හෙයින් මේ අතිරික්ත ධාරිතාවය ප්රියෝජනයට ගැනීමට හැකිවන ආකාරයෙන් ඉහල ජලාශයකට ජලය පොම්ප කර විදුලිය ජනනය කරන ජල විදුලි බලාගාරයක් ඉදිකළ යුතු බව විදුලිබල විද්වතුන් කියති. අතිරික්ත ගල් අඟුරු බලාගාර ඇති විට දැරිමට සිදුවන අමතර පිරිවැයෙහි එක් සාධකයක් ලෙස මෙම අමතර ජල විදුලි බලාගාරවල අවශ්‍යතාවය දැක්විය හැකි

අනෙක් අමතර වියදම නම් පරිසර හානි වැළැක්වීම සඳහා වැය කළ යුතු වියදම් වේ. දැනටමත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවත් කරන අළු පරිසරයට මුදා හැරීමෙන් ගැටළු මතු වී තිබේ. ගල් අඟුරු දුවිල්ල හා අළු වලින් පරිසරයට ඇතිවන බලපෑම වැළැක්වීම සඳහා අනපේක්ෂිත ආයෝජන කිරීමට සිදුව ඇත. මේ තත්වය තුළ ගල් අඟුරු බලාගාර නිසා සිදුවන අහිතකර පරිසර බලපෑම අවම කිරීමට වැයවන පිරිවැය ද එක් කළ විට ගල් අඟුරු බලාගාර සහිත සැළැස්මක් ආර්ථිකමය වශයෙන් රටට හිතකර නොවන බව පරිසරවේදීන්ද පෙන්වා දී තිබේ.

රජයේ නව බලශක්ති ප්‍රතිපත්තියෙන් ගල් අඟුරු හැලෙයි?

මේ අතර කැබිනට් මණ්ඩලය විසින් ඉකුත් 09 දා නව බලශක්ති ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කෙළ් ය. එහි දී ප්‍රමුඛත්වය දී ඇත්තේ පහත සඳහන් මුලික ක්ෂේත්‍ර 4ක් පිළිබඳව බව රජය කියයි. ඒවා නම්,

1.විදුලිබල ක්ෂේත්‍රයේ කාබන් විමෝචනය අඩු කර පරිසර

සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දීම

2.විදුලි ජනන වියදම් හැකි තරම් අවම කිරීම

3.විදුලිබල සුරක්ෂිතතාවය සහතික කිරීම හා අනාගත විදුලිබල

ස්වයංපෝෂිතභාවය ළඟාකර ගැනීම

4.සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්

සංවර්ධනය හා උපරිම ඉන්ධන විවිධත්වය ප්‍රවර්ධනය

නව ප්‍රතිපත්තියට අනුව 2030 වන විට මෙරට විදුලි බලයෙන් සියයට 50ක් සැපයිය යුත්තේ පුනර්ජනනීය බලාගාර වලිනි. තවත් සියයට 10ක් පොසිල ඉන්ධන මත පදනම් වු බලගාර වලින් සැපයිය යුතු බව පැහැදිලිව දක්වා ඇත. ඉතිරි සියයට 40ක ප්‍රමාණය සියයට 20ක් ගල් අඟුරු බලාගාර වලින් ද ඉතිරි සියයට 20 එල් එන් ජී බලාගාරවලින් ද සපයා ගැනීමට අපේක්ෂිත ය. ඒ අනුව නව ගල් අඟුරු බලාගාර ඉදිකිරීම සඳහා නව ප්‍රතිපත්තියෙන් ඉඩක් නැත. මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ප්‍රතිපත්තියේ ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීමට යෝජනා වී තිබුණද අනුමත නව ප්‍රතිපත්තියෙහි එම ගල් අඟුරු බලාගාර පිළිබද සඳහන් නොවේ.

ඒ අනුව දැනට ඇති ගල් අඟුරු බලාගරයේ ධාරිතාව අනුව නව ගල් අඟුරු බලාගාර ඉදිකිරීම සඳහා නව ප්‍රතිපත්තියෙන් ඉඩක් නැති බව සඳහන්ය. මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ප්‍රතිපත්තියේ ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීමට යෝජනා වී තිබුණද අනුමත නව ප්‍රතිපත්තියෙහි එම ගල් අඟුරු බලාගාර පිළිබඳව කිසිවක් සඳහන් නොවන බවද රජයේ ප්‍රකාශකයෙක් කිවේය.

නව ප්‍රතිපත්තියට අනුව නව ජනන සැලැස්ම සකස් කිරීමේ වගකීම දැන් ලංකා විදුලි බල මණ්ඩලයට පැවරී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා ලංවිම බලධාරීන් සමග පසුගිය සතියේදි මේ පිළිබද සාකච්ඡා පවත්වා ඇත. 2013 වර්ෂයේ සිට එකම විදුලි බලාගාරයක් වත් ඉදිකිරීමට ලංවිම අසමත් වී ඇත. මේ අනුව පවතින තත්ත්වය අනුව අනුමත ජනන සැලැසුම් තිබුණද ක්‍රියාත්මක තලයේ විශාල ගැටළුවක් පවතී. ඒ නිසා බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදය පිළිබද සොය බලා එයට කඩිනම් විසඳුම් දිය යුතු ව ඇත. විදුලි බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයෙන් වැඩිවන ඉල්ලුමට පිරිමැසිම සඳහා අධික මිලට විදුලිය මිලදි ගැනිමට සිදු විම නිසා හා අනිකුත් අස්ථාවර විදුලි සැලසුම් පිළිබඳ විචිකිච්ඡා නිසා රටේ ආර්ථීක ක්‍රියාවලිය ඇණ හිට අවසානයේ සියල්ලට බැට කා යුත්තේ රජයත් ජනතාවත් යන දෙගොල්ලම ය.

මුදිත ගමගේ

අදහස්