ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලොකුම අඩුව පුහුණු ශ්‍රම හිඟය | සිළුමිණ

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලොකුම අඩුව පුහුණු ශ්‍රම හිඟය

නිවාස හා ඉදිකිරීම් පිළිබඳ අන්තර් ජාතික ප්‍රදර්ශනය මෙම 18, 19 සහ 20 යන තෙදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. මේ පැවැත්වෙන්නේ 14 වන ප්‍රදර්ශනයයි.

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මේ ප්‍රදර්ශනයට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කුටි 300 ක් ඇතුළත් වේ. එසේම නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවීන නිෂ්පාදන හා තාක්ෂණික මෙවලම් ද දැක ගැනීමට එහිදී ඉඩකඩ ලැබේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රය ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සීඝ්‍රයෙන් දියුණුවන අංශයකි. නිවාස, මහල් නිවාස සහ විවිධ සංවර්ධන ව්‍යාපෘති නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය දිනෙන් දින පුළුල් වන අතර බැංකු සහ සෙසු මුල්‍ය සේවාවන් මඟින් විවිධ ණය ක්‍රම හඳුන්වා දෙමින් නිවාස ඉදිකිරීම් සඳහා මහජනතාවට සේවාවන් සපයයි. එසේම රාජ්‍ය අංශයද පෞද්ගලික අංශය ද නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා දායකත්වය සපයයි.

මෙවැනි ප්‍රදර්ශන මඟින් නිවාස සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ශිල්පීය ක්‍රම, නවතම පහසුකම්, විකල්ප බලශක්ති භාවිතාව, පානීය ජල ප්‍රශ්නය, හිරු එළිය හා වාතාශ්‍රය උකහා ගැනීම මෙන් ම පරිසර හිතවාදි නිවාස වැනි නවතම ඉදිකිරීම් සංකල්ප ගැන අවබෝධය ලබා ගැනීමට ද ඉඩ කඩ ලැබේ.

සමාජ සමීක්ෂණයට සම්බන්ධ 1953 දී කරන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව 1953 වනවට රටේ තිබූ නිවාස අතුරින් සියයට 59.5ක්ම වරිච්ච් සහ මැටි බිත්ති සහිත නිවාස වේ. ගඩොළින් නිමාවූ බිත්ති සහිත නිවාස තිබුණේ සියයට 28.9 කි. සියයට 50.7ක මැටි ගැ ගෙබිමක් තිබුණු අතර සිමෙන්ති සහිත ගෙබිමක් තිබුණේ නිවාස වලින් සියයට 24 කට ය.

සියලු ම නිවාස අතරින් සියයට 56.7ක් වූ නිවාස සංඛ්‍යාවක වහලට අතු සෙවිලි කර තිබුණි. උළු වහලවල් තිබුණේ නිවාස අතරින් සියයට 27කටයි. නිවාස අතරින් සියයට 18.5කට වැසිකිළි තිබුණේ නැත. විදුලි බලය සහිත නිවාස තිබුණේ සියයට 11කි.

නිවාස සංඛ්‍යාව

වසර 50ක් ගතවූ විට මේ තත්ත්වය වෙනස්ව තිබුණි. 2003/04 වනවිට වරිච්චි සහ මැටි බිත්ති නිවාස සංඛ්‍යාව සියයට 12.5 දක්වා අඩු විය. ඒ වෙනුවට ගඩොල් බිත්ති සහිත නිවාස සංඛ්‍යාව සියයට 55.4 දක්වා වැඩිව තිබුණි. මැටි ගෑ ගෙබිම සහිත නිවාස සංඛ්‍යාව සියයට 14.5 දක්වා අඩුවූ අතර සිමෙන්ති සහිත ගෙබිමකින් යුතු නිවාස සංඛ්‍යාව සියයට 78 දක්වා ඉහළ ගියේය. එසේම අතු සෙවිලි කළ මහල සහිත නිවාස සංඛ්‍යාව සියයට 5.6 දක්වා අඩු විය. සියයට 58.5ක් තරම් ඉහළ ප්‍රතිශතයකට උළු ගෙවල් සංඛ්‍යාව ඉහළ ගියේය. මේ හැර රටේ නිවාස අතරින් සියයට 38 කට විදුලි බලය හිමි විය. 1953 - 2004 කාලය තුළ රටේ නිවාස ඉදිකිරීමේදී සිදුවූ පරිවර්තනය එබඳුය. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය - 2016 ට අනුව රටේ සියලු වර්ගවල නිවාසවලින් සියයට 0.8ක් මුඩුක්කු සහ පැල්පත් නිවාස ලෙස වර්ගීකරණය විය. නිවාසවලින් සියයට 10.3 ක් වර්ග අඩි 250ට අඩු නිවාස වූ අතර අර්ධ ස්ථාවර සහිත බිත්තිවලින් යුතු නිවාස සංඛ්‍යාව සියයට 4.5 කි. නිවාසවලින් සියයට 8.3කට තමන්ගේ ම වැසිකිළියක් තිබුණේ නැත. නිවාස වලින් සියයට 7.8කට නි‍වසේ සිට මීටර් 100 ඇතුළත පානීය ජල පහසුකම් සහිත ප්‍රවේශයක් තිබුණේ නැත. එසේම පළාත් පාලන ආයතන මඟින් කැලිකසළ එකතු කරගෙන යෑමේ පහසුව සැලසුණේ සියයට 21.4 කටය.

මහල් නිවාස

ශීඝ්‍ර නාගරිකරණයත් සමඟ මහල් නිවාස සඳහා වූ ඉල්ලුම සහ සැපයුම වැඩිවෙමින් තිබේ. ඉදිකිරීම් කර්මාන්ත වාණිජ ඉදිකිරීම් මණ්ඩලය පවසන අන්දමට නිවාස සහ මහල් නිවාස ඉදිකිරීමේ දැවැන්ත යෝජනා ක්‍රම 11 ක් ක්‍රියාව නැංවේ. එසේම ගමනාගමනය, බලශක්ති, ජල සම්පාදනය, කැලි කසළ බැහැර කිරීම්, වෙරළ සංරක්ෂණය, වරාය සංවර්ධනය, කර්මාන්තපුර සහ මහා මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති රාශියක් රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

ඉදිකිරීමේ ක්ෂේත්‍රයට අදාළ සමාගම් 2500 ක් ක්‍රියාත්මක වන අතර රාජ්‍ය අංශයේ ආයතන රාශියක් ද ඒ සඳහා ඉදිරිපත්වේ. රටේ පැවැති සිවිල් යුද්ධය සමඟ බිඳ වැටී තිබුණු ඉදිකිරීම් අංශය 2009 දී යුද්ධය නිමාවීම සමඟ නැවත පුනරුත්ථාපනය වෙමින්, ර‍ෙට් සංවර්ධනයට දායක වෙයි. ඇතැම් ඉදිකිරීමේ සමාගම් බුරුමය, මාලදිවයින සහ අප්‍රිකානු රටවල ඉදිකිරීම්වල නිරතය. පදිංචි වාසස්ථාන වාණිජ ගොඩනැඟිලි, සංචාරක හෝටල් ආදිය සීඝ්‍රයෙන් ඉදිවන අතර සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය අනාගත අවශ්‍යතා පිරිමැසීම සඳහා හෝටල් කාමර 7261ක් දැන් ඉදිවෙමින් තිබේ. 2014 මුළු දිවයිනේ ම සංචාරකයන් සඳහා තිබුණේ කාමර 18500කි. අද වනවිට කාමර සංඛ්‍යාව 23477 දක්වා වැඩිව තිබේ.

2017 වසරේදී අනුමත වූ හෝටල් ව්‍යාපෘති 45 ක් සඳහා අවසන් අනුමතිය ලබා දී ඇත. සංචාරක අංශයේ මෙවැනි ඉදිකිරීම් දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය පිළිබිඹු කරයි.

ඉදිකිරීම් කර්මාන්තයේ විවිධ බාධක ද දක්නට ලැබේ. එයින් ප්‍රධාන ස්ථානයක් ගන්නේ පුහුණු ශ්‍රමික හිඟයකි. විශාල ඉදිකිරීම් සමාගම් ශ්‍රමිකයන් පුහුණු කර ඔවුනට රැකියා අවස්ථා ලබාදීමේ නිරත වේ. රාජ්‍ය අංශය ද ශ්‍රමිකයන් පුහුණු කිරීමේ නිරත වේ. විදේශීය රටවලින් ශ්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීමේ යෝජනාවන් ද වරින්වර ඉදිරිපත් විය. ඉදිකිරීම් කර්මාන්ත වාණිජ මණ්ඩලය ද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු පිළිබඳව රජයේ වගකිව යුතු අංශවලට කරුණු ඉදිරිපත් කර ඇත. අඩුම වශයෙන් ලක්ෂ 5 ක පමණ රැකියා අවස්ථා ඇත. මෙයින් බොහොමයක් ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථාය. පුහුණු ශ්‍රමිකයන් විදේශීය රැකියා සඳහා සංක්‍රමණයවීම ද පුහුණු ශ්‍රම ගලනයට හේතුවන අතර ඉදිකිරීම් අංශය තුළ 2014 දී ඍජු රැකියා 188.877ක් නිර්මාණයව තිබුණි.

2015 දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඍජු රැකියාවන්හි නිරතව සිටි සංඛ්‍යාව 6,80,000 කි. ශ්‍රමිකයන් ලක්ෂ 3 ක පමණ හිඟයක් ඉදිකිරීම් අංශයේ දක්නට ලැබේ. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිතව ශ්‍රමිකයන් 11,000 ක් 2017 වසර තුළ දී පුහුණු කළ බව එම අධිකාරිය කියයි.

සේවකයන් 3237 ක් සේවය කරන ඇක්සස් ඉංජිනේරු සමාගමය පවසන්නේ සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් ලබා ගැනීම සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීමට තම සමාගමය පියවර ගත් බවයි.

එසේම විදේශයන්ගෙන් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම තවත් විකල්පය කැයි එම සමාගමය කියයි. තවත් ඉදිකිරීම් සමාගමක් වූ මාගා සමාගම ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව ශ්‍රමිකයන් පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් 2017 නොවැම්බරයේ ආරම්භ කෙළේය. ඒ සඳහා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ද සහාය ලැබුණි.

ඉදිකිරීම් ව්‍යාපාති සඳහා වන ටෙන්ඩර් පිරිනැමීමේ දී දේශීය සමාගම් සඳහා ප්‍රමුඛත්වය දීම සිදුවිය යුතු යැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් ආයතන රජයෙන් ඉල්ලා සිටී. එසේම විදේශීය සමාගම් විසින් ඉදිරිපත් කරන ටෙන්ඩර් සමඟ තමනට තරග කිරීමට අමාරුවන අවස්ථා තිබෙන බවද ඔවුහු කියයි. සිමෙන්ති මිල ගණන් ගැන කතා කරන විට ලංකාවේ සිමෙන්ති මිල පාලනයට ලක්කර තිබීම ගැන ඇතැම් ඉදිකිරීම් සමාගම් සිය අසතුට පළ කරති.

ඔවුනගේ චෝදනාව ලෝක වෙළෙඳපොළේ මිල ගණන් සමඟ සසඳන විට දේශීය වෙළෙඳ පොළේ සිමෙන්ති මිල අධික බවයි. එසේම බාල සිමෙන්ති රට තුළට ගලා ඒම ඉදිකිරීම්වල තත්ත්වය බාල කිරීමට ‍හේතු වන බවද ඔවුහු කියති.

රැකියා අවස්ථා

ශ්‍රී ලංකාවේ පාසල් හැරයන්නන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා ඉදිරිපත්වීමට මැලිකමක් දක්වන බවට තර්ක කරන ඉදිකිරීම් අංශයේ සමාගම් පවසන්නේ නේපාලය සහ බංග්ලාදේශය යන රටවලින් ශ්‍රමිකයන් ගෙන්වීම මේ ප්‍රශ්නයට එක් විකල්ප විසඳුමක් බවයි. ගඩොළු, වැලි, කළුගල් යන අමුද්‍රව්‍ය ගැන ද ඉදිකිරීම් ආයතන තුළ අසතුටක් පවතී. මහඔය ආශ්‍රිතව ගඩොළු කර්මාන්තයට ආශ්‍රිත පස් ලබා ගැනීමේදී පවතින අවහරතා නිසා ගඩොල් කර්මාන්තය දුර්වලව ඇතැයි වැලි සඳහා පනවා ඇති නීති රීති නිසා වැලි මිල ඉහළ යන බවට ද ඔවුහු තර්ක කරති.

2017 දී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් පත්කරන ලද කොමිටියක් ගංගා වැලි වෙනුවට භාවිතා කළ හැකි විකල්ප සෙවීම සඳහා අධ්‍යයනයක් සිදුකර ඇත. ගංගා වැලි ගොඩදැමීම ගැන 2015 දී පැනවූ නව සීමාවන් හඳුන්වා දෙන ලදී. ඒ සමඟම වැලි හිඟයක් ඇතිවිය. වැලි හිඟය නවත්වාලීම සඳහා ක්‍රියා මාර්ග ද නිශ්චය කරන ලදැයි රාජ්‍ය අංශය කියයි. මේ අතර මුහුදු වැලි පාවිච්චි කිරීම සහ ගල් කුට්ටි කුඩු කර වැලි ලෙස භාවිතා කිරීම ආදිය දෙසට දැන් නව නැඹුරුවක් පවතී.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ටෝකියෝ සිමෙන්ති සමාගමය දොම්පේ පිහිටුවන ලද නව කර්මාන්ත ශලාවක් මඟින් වැලි නිෂ්පාදනය කිරීමේ කටයුතු 2016 දී අරඹන ලදී. ඔවුනගේ පෙර සවි කොන්ක්‍රිට් නිෂ්පාදනය සඳහා මේ වැලි භාවිතා කරයි. වැලි සපයා ගැනීමේ සහ ප්‍රවාහනය කිරීමේ නීතිරීති නිසා බස්නාහිර පළාතේ ඉදිකිරීම්වලට බාධා ඇතත්, සිය නිෂ්පාදන නිසා එම බාධා මැඬ ගැනීමට හැකිව ඇතැයි ටෝකියෝ සිමෙන්ති සමාගමය පවසයි.

බාල යකඩ සහ ඇලුමිනියම් මෙන්ම සෙසු අමුද්‍රව්‍ය ද භාවිතා කිරීම නිසා මෙරට ඇතැම් ගොඩනැගිලි අනතුරට ලක්වන බව පසුගිය මැයි මාසයේ වැල්ලවත්තේ මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටීමේ සිද්ධිය පිළිබඳව පාටලී චම්පික රණවක ඇමැතිවරයා සඳහනක් කෙළේය.

එසේම ඔහු සඳහන් කළේ දෙවන පංතියට අයත් ඇතුරුම්ගල්, සෙරමික් නිෂ්පාදන රට තුළට ගලා එන බවයි. එසේම දෙහිවල - ගල්කිස්ස සහ කොළොන්නාවේ පමණක් අනවසර ඉදිකිරීම් 10,000ක් පමණ ඇතැයි ඇමැතිවරයා සඳහන් කෙළේය.

බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර මෙවැනි ගොඩනැඟිලි 1800 ක් පමණ හඳුනාගෙන ඇතැයි කී ඇමැතිවරයා විවිධ ‍හොර පාරවල් ඔස්සේ ගොස් මේ ගොඩනැඟිලි අනුමත කර ගත් අවස්ථා ද ඇතැයි ඔහු පවසා තිබේ. මෙවැනි ගොඩනැඟිලි නිසා මහල් නිවාස ව්‍යාපෘතිවලට විවිධ බාධා එල්ල වන බවද කියයි.

මෙරට ඉදිකිරීම් කටයුතු සඳහා පෞද්ගලික අංශය වඩාත් ක්‍රියාශීලී වූයේ 2012 පෞද්ගලික අංශය වඩාත් ක්‍රියාශීලී වූයේ 2012 පමණ සිටය. යටිතල පහසුකම් ඉදිකිරීම් 94% ක්ම රාජ්‍ය ආයතන සතුව තිබුණි.

කොළඹ ප්‍රදර්ශනය පවත්වන ඉදිකිරීම් වාණිජ මණ්ඩලය 2001 දී පිහිටුවන ලද්දේ ය. එහි ආරම්භක ආයතන 7 කි. එහෙත් දැන් එය ආයතන 11 දක්වා පුළුල්ව තිබේ. පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කළ ද කිසිදු ලාභාංශ ගෙවීමක් හෝ ලාභ බෙදා ගැනීමකින් තොරව වෘත්තියමය දියුණුව සඳහා එම ආයතනය ක්‍රියාත්මක වේ.

ඉදිරි වසර 15 - 20 කාලය තුළ මෙරට ඉදිකිරීම් අංශය නොකඩවා වර්ධනය වන බවට වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා විශ්වාසය පළ කර තිබේ. කොළඹ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව අනාවැකි පළ කළ ෆස්ට් කැපිටල් වාර්තාවක් ප්‍රකාශ කෙළේ කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත ඉදිකිරීම් සහ ගොඩනැඟිලි අංශය සාර්ථකව ඉදිරියට ගමන් කරන බවයි.

අදහස්