සත්ත්වයන්ගේ සියලු ප්‍රතිපත්ති දක්නා ඥානය | සිළුමිණ

සත්ත්වයන්ගේ සියලු ප්‍රතිපත්ති දක්නා ඥානය

 සත්ත්ව ස්වභාවය දැන ගැනීම අතිශය දුෂ්කරය. අප ඉදිරියේ යම් පුද්ගලයකු යම් ස්වභාවයකින් සිටින්නේ නම් එම පුද්ගලයාගේ සත්‍යය වු පැවැත්ම කවරේද යන්න නිශ්චිතව කිව හැකි නොවේ. යම් ක්‍රියාවක් සිදු කිරීමේ දී එම ක්‍රියාව හා සම්බන්ධයෙන් පුද්ගල සන්තානයේ ක්‍රියාකාරීත්වය සහ එහි ඵලය කවරේද යන්න තත්ත්වාකාරයෙන් දැනීමට තථාගතයන් වහන්සේ සමත් වේ. උන්වහන්සේ තුළ විද්‍යමාන දසබල ඥාන අතර තුන්වන ඥානය වශයෙන් දක්වා ඇත්තේ සත්ත්වයින්ගේ ඒ ඒ ප්‍රතිපත්තීන්ගේ ස්වභාවය දක්නා ඥානය යි. එම ඥානය මහා සීහනාද සූත්‍රයේ විග්‍රහ කොට තිබෙන්නේ පහත අයුරින් වේ.

සුගති - දුගති

‘‘පුන ච පරං සාරිපුත්ත තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති...’’ සත්ත්වයින් සුගති හා දුර්ගති ලෝකවල උපදින ආකාරය බුදුරදුන් මැනවින් දන්නා සේක. එසේ ම අර්හත්වයට පැමිණෙන ආකාරය ද ඒ ඒ මාර්ගඵලයන් උපදවන ආකාරය ද ධ්‍යාන උපදවන ආකාරය ද යන සියල්ල යථාස්වරූපයෙන් ම දන්නා සේක. එම අවබෝධය තථාගතයන් වහන්සේ තුළ ඥානයක් වශයෙන් විද්‍යමාන වේ.

ලෝකයේ අවබෝධ කිරීමට දුෂ්කර ම කාර්යයක් වනුයේ සත්ත්වයින්ගේ භව පැවැත්ම පිළිබඳව යි. ඒ ඒ සත්ත්වයින් විසින් සිදු කරනු ලබන කර්මයන්ට අනුසාරයෙන් විවිධ භවයන්හි ප්‍රතිසන්ධිය ලබති. එවැනි ප්‍රතිසන්ධි ලැබීම සඳහා කවර වූ කර්මයන් හේතු වන්නේ ද යන්න තථාගතයන් වහන්සේ වෙන් වෙන් වශයෙන් අවබෝධ කරති. එයින් ගම්‍ය වන කරුණ නම් සත්ත්වයින් ඒ ඒ භවයන් කරා ගමන් කිරීම සඳහා කවර වූ මාර්ගයක් උපකාරී වී ද යන්න පිළිබඳ පවත්නා අවබෝධය යි. එම කරුණ විවිධ නිදර්ශන ආශ්‍රයෙන් පෙන්වා දිය හැක. අකුසල ධර්මයන්ගේ ඵලය නම් අනිෂ්ට විපාක ඉපදවීම යි. යම් කර්මයක් සිදු කිරීමේ දී ඒ සඳහා විවිධ හේතු බලපවත්වනු ලැබේ. එක හා සමාන වූ අකුසල කර්මයක් විවිධ වූ සත්ත්වයින් විසින් සිදු කිරීමේ දී එහි විපාකය සමානව සියලු දෙනාට නොලැබේ. එහි හේතු ප්‍රත්‍ය කවරේද යන්න බුදුරදුන් මෙම ඥානය තුළින් මැනවින් අවබෝධ කරයි.

කුසල - අකුසල

කුසල කර්මය සේ ම අකුසල කර්මය තුළ ද මෙම ස්වභාවය පවතී. කිසියම් පිරිසක් එකතු වී යම් ප්‍රාණඝාතයක් සිදු කිරීමේ දී එයින් සියලු දෙනාට ම ප්‍රාණඝාත අකුසලය සිදු වේ. එහෙත් එහි විපාකය සියලු දෙනාට සමානව නොලැබේ. කර්මය සිදු කරන මොහොතේ පවත්නා චිත්ත ස්වභාවය මේ සඳහා ප්‍රමුඛත්වයක් ගනී. සත්ත්ව ඝාතනය සිදු වනුයේ අකුසල චිත්තයකිනි. ඒ සඳහා හේතු වන්නේ ද්වේෂ මූලික සිතකි. අභිධර්ම න්‍යායට අනුව අකුසල සිත් දොළොසක් පවතී. එයින් ප්‍රාණඝාතය සිදු කරනුයේ ද්වේෂ මූල සිතකින් පමණි. ද්වේෂයකින් තොරව කිසිවකුටත් තවකෙකුගේ ප්‍රාණය නැසිය හැකි නොවේ.

ද්වේෂ මූල සිත් දෙකක් වේ. දොමනස්ස සහගත පටිඝසම්පයුත්ත අසංඛාරික සිත සහ දොමනස්ස සහගත පටිඝසම්පයුත්ත සසංකාරික සිත වශයෙනි. මෙහි දොමනස්ස සහගත යනු ද්වේෂය සමඟ යෙදුණු යන්නයි. පටිඝ යනු ගැටීමයි. පටිහඤ්ඤතීති පටිඝො යනුවෙන් එය දක්වා ඇත. එනම් හාත්පසින් ම ගැටෙන හිංසා කරන ස්වභාවය යි. ද්වේෂ මූල සිතේ ස්වභාවය නම් එම සිත පහළ වන සෑම මොහොතක ම ද්වේෂය හා සම්බන්ධ වී ඉපදීම යි. ලෝභ මූල සිත් පහළ වීමේ දී ඇතැම් අවස්ථාවල දිට්ඨිසම්පයුත්ත විප්පයුත්ත ආදී වශයෙන් දෘෂ්ටි හා යෙදීම් වශයෙන් හා නොයෙදීම් වශයෙන් පහළ වේ. එහෙත් ද්වේෂ මුල සිත්වල විප්පයුත්ත වශයෙන් සිත් කොටසක් නොමැත. පටිඝ සම්පයුත්ත වශයෙන් සෑම විටම පටිඝය සමඟ ම උපදී. පටිඝ විප්පයුත්ත වශයෙන් ද්වේෂ මූල සිත් කොටසක් නොමැති වන්නේ පටිඝය නොමැතිව ද්වේෂ මුල සිත් පහළ නොවන හෙයිනි.

සසංකාරික සිත

ද්වේෂ මූල සිතින් යුක්තව බොහෝ පිරිසක් එකතු වී යම් ප්‍රාණඝාත අකුසලයක් සිදු කිරීමේ දී සියලු දෙනාට ම එක හා සමාන වූ විපාකයන් නොලැබෙන්නේ කවර කරුණක් නිසාද යන්න විමසිය යුතු ය. සියලු දෙනා ප්‍රාණඝාතයට එකතු වුව ද ඔවුන්ගේ අරමුණු ඒකාකාර නොවේ. එහි දී ඇතමෙක් තමාගේ වුවමනාවෙන් ම එම අකුසලය සිදු කරනු ලබයි. එහි දී ඔහුට පහළ වනුයේ දොමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාරික සිතකි. තවකෙක් අනුන් කියනු නිසා අන්‍යයන්ගේ පෙලඹවීමෙන් මේ අකුසලය සඳහා දායක වේ. එහි දී එම තැනැත්තාට පහළ වන්නේ දොමනස්ස සහගත පටිඝසම්පයුත්ත සසංඛාරික සිතකි. සසංකාරික සිතට වඩා අසංඛාරික සිත බලවත් ය. එසේ හෙයින් විපාක දීමේ දී මේ දෙදෙනාට එහි විපාකය වෙනස් අයුරින් විපාකත්වයට පැමිණේ. එසේ ම තව පුද්ගලයෙක් විනෝදය පිණිස මේ සඳහා දායක වේ. තවත් පුද්ගලයෙක් කිසිදු වුවමනාවකින් තොරව මේ සඳහා සම්බන්ධ වේ. මෙසේ ප්‍රාණඝාතය සිදු කිරීමේ දී ඔවුන්ගේ සිත ක්‍රියාත්මක වූ ආකාරය අනුව එහි විපාකය වෙනස් වේ. එම නිසා එම ප්‍රාණඝාතයට සම්බන්ධ වූ පිරිස් අතුරින් එක් අයෙක් මහ නරකයක උපදී. තවත් අයෙක් කුඩා නරකයක උපදී. තවත් අයෙක් තිරිසන් ලෝකයේ උපදී.

කුසල කර්මය

එහි දී තිරිසන් භවයේ ලබන ප්‍රතිසන්ධිය ද වෙනස් ස්වරූපයන් ගනී. එයින් ඇත­ැමෙක් බල්ලෙකු හෝ ගවයෙකු ආදී විවිධ ස්වභාවයෙන් ප්‍රතිසන්ධිය ලබ යි. මෙසේ ඒ ඒ කර්මයන් නිසා එම පුද්ගලයින් නියත වශයෙන් ම ප්‍රතිසන්ධිය ලබන්නේ කවර වූ භවයක ද යන්න තථාගතයන් වහන්සේ තත්ත්වාකාරයෙන් ම අවබෝධ කරති. කුසල කර්මය පිළිබඳව ද මේ ස්වරූපයෙන් ම දත යුතු ය. එය කුසල සිත් වශයෙන් ගෙන පැහැදිලි කිරීමේ දී ලිපිය දීර්ඝ වන හෙයින් සංක්‍ෂිප්ත වශයෙන් පමණක් දක්වනු ලැබේ. බොහෝ පිරිසක් එකතු වී යම් දානමය කුසලයක් සිදු කිරීමේ දී එයින් සැමට දානමය කුසල කර්මය සිදුවන නමුදු එයින් ලැබෙන විපාකය සම නොවේ. එම එක ම කුසලයෙන් ඇතමෙක් මනුෂ්‍ය ලෝකයේ ඉතා උසස් පවුලක ප්‍රතිසන්ධි ලබයි. ඇතමෙක් හීන වූ පවුලක ප්‍රතිසන්ධිය ලබයි. ඇතමෙක් වෘක්‍ෂ දෙවියෙක් බවට පත් වේ. තවත් කෙනෙක් චාතුම්මහාරාජිකයේ උපදී. තවකෙක් තාවතිංසයේ උපදී. තවකෙක් යාමයේ ද, ඇතමෙක් තුසිතයේ ද, ඇතැමෙක් නිර්මාණ රතියෙහි ද, ඇතැමෙක් පරනිම්මිත වසවර්තියෙහි ද උපදී. ඒ උපදින අවස්ථාවේ ද ඇතැමෙක් මහේශාක්‍ය දෙවියකු වශයෙන් ද තවකෙක් අල්පේශාක්‍ය දෙවියක් වශයෙන් ද උපදී. මේ සියලු ස්වභාවයන් පිළිබඳ ඥානය තථාගතයන් වහන්සේට පවතී. නිර්වාණාදි මාර්ග ඵල පිළිබඳව ද මේ ස්වරූපයෙන් ම අවබෝධය තථාගතයන් වහන්සේ තුළ පවතී.

විදර්ශනා වැඩීම

යම් පිරිසක් එක් වී විදර්ශනා වඩන කල්හි ඒ පිරිසෙහි ඒ ඒ පුද්ගලයාගේ දියුණුව කොතෙක් දක්වා පවතී ද යන්න තථාගතයන් වහන්සේ මනාකොට දක්නා සේක.

විදර්ශනා වඩන සියලු දෙනාට තම කාර්යය නියමිත පරිදි පූර්ණය කිරීමට නොලැබේ. එහෙත් යමෙක් විදර්ශනා වැඩීම සඳහා පැමිණෙන අවස්ථාවේ තමා කොතෙක් දියුණුවක් ලබන්නේ ද යන්න නොදනී. එහෙත් එම පුද්ගලයා විදර්ශනයට යොමුවන මොහොතේම ඔහුගේ දියුණුව කොතෙක් පවතී ද යන්න තථාගතයන් වහන්සේ දක්නා සේක. විදර්ශනා වැඩීමෙන් මෙම පුද්ගලයා අර්හත්වයට පැමිණෙන්නේ ය.

මොහු අනාගාමි ඵලයට පැමිණෙන්නේ ය, මොහු සකෘදාගාමි ඵලයට පමණක් පැමිණේ අන් කිසිදු ඵලයක් නූපදවයි. මොහුට පැමිණිය හැකි වන්නේ සෝවාන් ඵලයට පමණි. ඉන් ඉදිරියට මේ භවයේ කිසිදු ඵලයක් නොලබයි.

මොහු මාර්ගඵලයකට නොපැමිණේ. මොහු ප්‍රත්‍යය පරිග්‍රහණයෙන් නවතී. මොහු නාමරූප පරිච්ජේදයෙන් නවතී ආදී වශයෙන් ඒ ඒ පුද්ගලයින් පිළිබඳ සහ ඔවුන් ගමන් ගන්නා මාර්ග පිළිබඳ තථාගතයන් වහන්සේ මැනවින් දනිති.

සමථ කර්මස්ථානයන් දියුණු කිරීමේ දී ද මේ අයුරින් ම එහි දියුණු වන ස්වභාවයන් අවබෝධ කරයි. සමථ කර්මස්ථානයන් අතුරින් කසිණ කර්මස්ථානයන් ගෙන ධ්‍යාන වැඩීමේ දී ඒ ඒ පුද්ගලයින් කවර වූ ස්වභාවයන් කරා පැමිණෙන්නේ ද යන්න අවබෝධය පවතී.

කසිණ වැඩීමේ දී එහි විවිධ ස්ථර ක්‍රමයෙන් පසුකළ යුතු ය. උග්ගහ නිමිත්ත, පටිභාග නිමිත්ත ඉපදවීම, පරිකර්ම, උපචාර, අර්පණා අදි ස්ථානයන් මෙසේ දැක්විය හැක. යමෙක් කසිණ වැඩීමේ දී මොහු පරිකර්ම භාවනා මාත්‍රයෙන් නවතී.

කසිණ වැඩීම

ඉන් ඉදිරියට නොයයි. මොහු නිමිත්ත ලබ යි. මොහු නිමිත්ත නොලබයි. අර්පණාවට පැමිණෙයි එහෙත් ධ්‍යාන නූපදවයි. මොහු ප්‍රථම ධ්‍යානයෙන් නවතී ඉදිරියට නොයයි. මොහු රූපාවචර ධ්‍යාන සියල්ල උපදවයි. ආදී වශයෙන් ඒ ඒ සත්ත්වයින් විසින් ගමන් කරන සියලු ප්‍රතිපදාවන් පිළිබඳ ඥානය තථාගතයන් වහන්සේට පවතී. මෙසේ සියලු සත්ත්වයින් විසින් විවිධ කර්ම සිදු කොට ඒ ඒ භවයන් කරා පැමිණීම, ධ්‍යාන වැඩීම, අර්හත්වයට පැමිණීම ආදි සියලූ ප්‍රතිපත්ති පිළිබඳ තථාගතයන් වහන්සේ මැනවින් දකිති. එය තථාගතයන් වහන්සේ තුළ පවත්නා බලයකි.

සාමාන්‍ය ඥානයකින් මෙසේ සත්ත්වයින් විසින් ගමන් ගන්නා මාර්ග පිළිබඳ අවබෝධ කළ නොහැකි ය. ලෝකයේ අප්‍රමාණ වූ සත්ත්වයෝ වාසය කරති. ඔවුහු විවිධ වූ මාර්ගයන්, ප්‍රතිපත්තීන් අනුගමනය කරති.

ඇතම්හු නිවැරදි මාවත යැයි සිතා වැරදි මාවත් අනුගමනය කරති. ඇතැම් විට සුගති මාර්ගය යැයි සිතා දුගතියට යන මාවත් අනුගමනය කර යි. යම් පුද්ගලයකු අනුගමනය කරන මාර්ගයට අනුව ඔහුගේ අවසානය සිදු වන්නේ කෙසේ ද යන්න ඇතැම් විට එම පුද්ගලයාද නොදනී. ලෝකයේ ඇතැම්හු නිරයෙහි ඉපදීමට සමත් මාවත් අනුගමනය කරයි. ඇතැම්හු තිරිසන් ලෝකයෙහි ඉපදීමට සිදුවන ප්‍රතිපත්ති අනුගමන කරති. ඇතම්හු ෙප්‍ර්ත ලෝකයේ ඉපදීමට සිදුවන ප්‍රතිපත්ති තුළ පිහිටා කටයුතු කරති. තවත් පිරිසක් මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක ආදියෙහි ඉපදීමට සමත් ප්‍රතිපත්ති අනුගමනය කරති. තවත් පිරිසක් රූපාවචර, අරූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි ඉපදීමට හැකිවන ප්‍රතිපත්ති අනුගමනය කරති.

මෙසේ ලෝකයා විසින් අනුගමනය කරන විවිධ ප්‍රතිපත්ති සහ එයින් ලැබෙන ඵලයන් පිළිබඳ තථාගතයන් වහන්සේ මැනවින් දන්නා සේක. එසේ හෙයින් තමා විසින් අනුගමනය කරන, පුරුදු කරන ප්‍රතිපත්ති කවර වූ ස්වභාවයක ඵලයක් ලබා දෙන්නේ ද යන අවබෝධයෙන් කටයුතු කිරීම අතිශය වැදගත් ය. පුද්ගලයින් තමා ගමන් කරන මාර්ගය නොදැන සිටිය ද ඒ සියලු මාර්ගයන් තථාගතයන් වහන්සේට ඉතා ප්‍රත්‍යක්‍ෂව වැටහෙන බව දත යුතු ය.

ජී.ජී.ජී. පුෂ්පකුමාර් 

අදහස්