රෑ ගමනින් පසු කුමක් වීද? | Page 2 | සිළුමිණ

රෑ ගමනින් පසු කුමක් වීද?

රග්බි ක්‍රීඩාවේ තිඹිරිගෙය ලෙස සැලැකෙනුයේ එංගලන්තයයි. අපේ රට මේ වෙද්දී රගර් ක්‍රීඩාවේ දක්වන දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා නාමය ද රග්බි ක්‍රීඩාවේ යෙදෙන දැවැන්ත රාජ්‍යයන් අතර ප්‍රචලිත වෙමින් පවතී. මේ අතර පසුගිය 10වැනිදා බ්‍රිතාන්‍යයේ ඩර්හැම් ප්‍රාන්තයේ ‘ක්ලෙම්ස් පයිරේට්ස් රග්බි’ (Clems Pirates Rugby) කණ්ඩායම මෙරටට පැමිණියේ සුහද රග්බි තරග දෙකක් සඳහාය.

රටවල් අතර සංචාරය කරමින් සුහද රග්බි තරගවලට සහභාගි වන මේ රග්බි කණ්ඩායමට එංගලන්තයේ වෙසෙන උසස් රැකියාවල නියුතු බොහෝ දෙනෙක් ඇතුළත් වෙති.

කළමනාකරුවකු, වෛද්‍ය උපදේශකයකු ඇතුළුව 23 දෙනකුගෙන් යුත් පයිරෙට්ස් රගර් ක්‍රීඩකයෝ කොළඹ කොටුවේ කිංස්බරි හෝටලයේ නවාතැන් ගත්තේ නැවතත් 19 වැනිදා මෙරටින් නික්ම යෑමේ බලාපොරොත්තුවෙනි. ඒ අතරතුර කාලයේදී මෙරට ප්‍රබලම රගර් ක්‍රීඩා සමාජ දෙකක් වන සිලෝනිස් රග්බි ඇන්ඩ් පුට්බෝල් ක්ලබ් හෙවත් CR&FC සහ වැලිසරදී නාවික හමුදා කණ්ඩායම සමඟ තරග දෙකකට සහභාගි වීමටත් ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේදී රග්බි පුහුණු කඳවුරක් පවත්වා ගාල්ල සහ හික්කඩුව පෙදෙස්වල සංචාරය කිරීමටද නියමිතව සිටියේය.

එසේ වුවද ඔවුන්ගේ මේ සංචාරය ඛේදනීය සිදුවීමකින් අවසන් වේයැයි මේ ක්‍රීඩකයෝ නොසිතූහ. එම කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයන් දෙදෙනෙකු වූ 26 වියැති හොවාඩ් තෝමස් ඇන්ඩෲ සහ 27 හැවිරිදි බැටී තෝමස් රීඩ් යන දෙදෙනා පිළිවෙළින් 13 වැනිදා සහ 15 වැනිදා මියයෑම ඒ අවාසනාවන්ත සිදුවීමයි.

පුවත්පත මුද්‍රණයට යනතුරුත් මරණවලට නිශ්චිත හේතුවක් හඳුනා ගැනීමට නොහැකි වී තිබිණි. මරණ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රුහුල් හක් සහ අජිත් තෙන්නකෝන් මහත්වරුන් විසින් විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරුවල කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට තීන්දු කෙරිණි.

මියගිය බෙටි තෝමස්ගේ දෙමාපියන් ඇතුළු ඥාතීහූ පසුගිය 16 වැනිදා මෙරටට පැමිණියහ. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මෘත ශරීර ඥාතින්ට බාර දීමට කටයුතු කරන ලෙස නියෝග කළාය.

රග්බි ක්‍රීඩකයන් දෙදෙනාගේ මරණය ගැන ලොව පුරා පුවත් පත් වාර්තා කර තිබූ අතර මේ මරණ ගැන මෙතෙක් කිසිදු නිශ්චිත හේතුවක් හඳුනා ගැනීමට නොහැකිවීම ගැන කා අතරත් වූයේ කුකුසකි. සැබැවින්ම ක්‍රීඩකයන් දෙදෙනාට සිදු වූයේ කුමක්ද?

දහවැනිදා මෙරටට පැමිණි රග්බි ක්‍රීඩකයෝ රග්බි ක්‍රීඩාවට අවැසි සියලු පෙර පුහුණුවීම්වලින් අනතුරුව මෙරට ප්‍රබලම රග්බි කණ්ඩායමක් වන CR&FC සමඟ පසුගිය සෙනසුරාදා (12) සවස දෙකට පමණ සුහද රග්බි තරගයකට සහභාගි වූහ. තියුණු තරගයකින් පසුව 30-29ක් ලෙස පයිරේට්ස් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය ලැබිණි.

එම තරග ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ක්‍රීඩකයන් සිය ජයග්‍රාහී සතුට සැමරුවේ ක්‍රීඩා සමාජයේම භෝජනාගාරයේදී සවස 6.30ට පමණ රාත්‍රී භෝජනයත් සමඟ මධුවිත සාදයකටද එක්වෙමිනි. ඊට අමතරව එහිදී සියලුම ක්‍රීඩකයන් පාහේ නටමින් ගයමින් මධුවිතෙන් සප්පායම් වීමෙන් පසුව නැවතත් රාත්‍රී 10.30 ට පමණ සිය නවාතැන් පොළ වූ කොළඹ කොටුවේ කිංස්බරි හෝටලයට පැමිණ ඇත.

තොරතුරු වාර්තා වන අන්දම හෝටලයට පැමිණියත් ක්‍රීඩකයන්ට නින්ද අමතක වී ගොස් තිබිණි. ඒ තරග ජයග්‍රහණයත් මධුවිතත් ඔවුන් කුල්මත් කර තිබූ නිසාය. ඊට පිළියමක් සෙවූ ක්‍රීඩක පිරිස කිංස්බරි හෝටලයේ ‘ස්කයි බාර්’ අවන්හලට රිංගා එහිදීද විනෝද වෙමින් මධුවිතෙන් සප්පායම් වී තිබේ. එයින්ද සෑහීමකට පත්නොවූ ක්‍රීඩකයෝ ඉන්පසු තමන් සතු ජංගම දුරකථනවලින් අන්තර්ජාලයට පිවිසුණහ. ඒ කොළඹ නගරයේ නොනිදන සමාජ ශාලා හෙවත් ‘නයිට් ක්ලබ්’ ගැන විපරම් කිරීමටය.

ඒ විපරම් කිරීමේ ඔවුන්ගේ නෙතට ලක් වූයේ කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසාහි තිබෙන මුදල්-හදල් යහමින් අතේ ගැවසෙන පුද්ගලයන් යනඑන රාත්‍රී සමාජ ශාලාවක් ගැන තොරතුරය. ඒ සුප්‍රසිද්ධ ‘ක්ලියෝපැට්රා’ කැසිනෝ රාත්‍රී සමාජ ශාලාව බව පැවසේ.

එතැන් පටන් සිදුව ඇති දේ පොලිසිය විස්තර කරන්නේ මෙසේය.

ක්‍රීඩකයන් කිංස්බරි හෝටලයෙන් එළියට බැස්සේ ක්ලියෝපැට්රා සමාජ ශාලාව සොයා යෑමටයි. නොනිදන කොළඹ නගරයේ ‘හයර්’ දුවන ත්‍රීරෝද රථවලින් ක්‍රීඩක පිරිස සමාජ ශාලාවට ගොස් ඇති පදම් විනෝද වී තිබේ. එහිදී ක්‍රීඩකයන් විදේශීය යුවතියන් සමඟ නටමින් ගයමින් මධුවිත පානය කරමින් සතුටු වී 13 වැනිදා පාන්දර 3.30 පමණ වන විට ක්‍රීඩකයන් එකා දෙන්නා බැගින් ත්‍රීරෝද රථවලින්ම කිංස්බරි හෝටලයට පැමිණ තිබේ. එලෙස එද්දී මියගිය තෝමස් හා බැටී පැමිණ ඇත්තේ එකම ත්‍රීෙරා්ද රථයකිනි.

කිංස්බරි හෝටලයේ පස්වැනි මහලේ පිහිටි 506 කාමරයට පැමිණි තෝමස් නින්දට වැටෙද්දී 326 කාමරයේ නවාතැන් ගත් බැටී නැවතත් ඉහළ මහලේ පිහිටි ‘ස්කයි බාර්’ අවන්හලට ගොස් මධුවිතෙන් සප්පායම් වී ‘වීඩියෝ ගේම්’ සෙල්ලම් කොට පහළ මහලට පැමිණ සහෝදර ක්‍රීඩකයන් සමඟ නැවතත් ‘කාඩ්’ ක්‍රීඩාවට එක්ව ඇත්තේය.

ඒ අතරේ බැටීගේ දෑස් බලා සිටියදී රත් පැහැ ගන්වන අයුරු දුටු මිතුරන්, “මොකද බැටී... ප්‍රශ්නයක්ද.?” යනුවෙන් විමසා ඇත.

බැටීට ඒ වනවිටත් කතා කිරීමට තරම් හැකියාවක් තිබී නොමැත. අවසන් වරට ඔහු මුමුනා ඇත්තේ, “බ්‍රවුන් සුගර්” යන වදන පමණක් බවද සැලවේ.

ඔහුගේ අසාධ්‍ය තත්ත්වය දුටු කණ්ඩායමේ වෛද්‍යවරයා හෝටල් කාර්ය මණ්ඩලය හා හෝටලයේ වෛද්‍යවරයාද එක්ව ඔහු ඉක්මනින්ම කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත්තේය.

ඒ වන විටත් නින්දට ගිය තෝමස් හොවාඩ් ගේ කිසිදු හා-හූවක් නොවිණි. කණ්ඩායමේ සගයන් ඔහු ගැන සොයා බලද්දී නින්දේ පසුවූ හොවාඩ්ගේ මුවෙන් සෙම වැගිරෙමින් තිබෙනු දැක ඇත. සැවොම වහා ක්‍රියාත්මකවී හෝටල් කාර්ය මණ්ඩලය දැනුම්වත් කර ඔහුද රෝහල්ගත කළත් ඒ වෙද්දීත් තෝමස් මෙලොව හැර ගොස් ඇතැයි දැන ගැනීමට ඇත. ඒ 13 වැනිදාට පෙරවරුවේය. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බැටීද පසුගිය 15 වැනිදා දහවල් වන විට මිය ගියේ, මරණයට කිසිදු හේතුවක් මේ වන විටත් නිශ්චය කරගැනීමට නොහැකි ලෙසිනි.

මීට පෙරදීද 1997 වර්ෂයේදී හැව්ලොක් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ විදෙස් ක්‍රීඩකයකු වූ පැපුවා නිව්ගිනියා ජාතික ජෝ පෙරෙයිරාද මැදියම් රැයේදී මියගියේ කොල්ලුපිටියේ කැසිනෝ ශාලාවක් අසලදී ඉතාම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙමිනි.

කෙසේ හෝ රගර් තරගාවලියකට සහභාගි වීමට එංගලන්තයේ සිට මෙරටට පැමිණි මේ ක්‍රීඩකයන් දෙදෙනාට සිදුවූ අවාසනාවන්ත ඉරණම ගැන පරීක්ෂණ මෙහෙයවන කොටුව පොලීසියේ උකුස ඇස පැති කිහිපයක් දෙසට යොමු වී තිබේ. පොලිසිය මේ ක්‍රීඩකයන් ගමන් කළ ත්‍රීරෝද රථ සහ ආ-ගිය රාත්‍රී සමාජ ශාලාව ගැනත් විමර්ශනය කරයි. එසේම ඔවුන් පානය කළ මත්පැන් වගේම මියගිය බැටී පැවැසූ ‘බ්‍රවුන් සුගර්’ ගැනත් පරීක්ෂණ පවත්වයි.

පොලිස් පරීක්ෂණ කඩිනම් කරමින් තෝමස් සහ බැටීගේ මරණවලට හේතුව ලෝකයට හෙළි කිරීම මෙරට පොලීසිය ඉදිරියේ ඇති විශාල වගකීමකි. මේ වෙද්දී එංගලන්ත පුවත්පත් සිද්ධිය ගැන පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබේ.

කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ ගෆාර් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂාන් සූරියකුමාර, පොලිස් පරීක්ෂක වීරසූරිය, පො.සැ. ලෙස්ලි (28746) සහ පො.කො. සුජීව (58257) යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අමිල මලවිසූරිය

Comments