ට්‍රම්ප්ගේ කොන්දේසි යුද්ධය... | සිළුමිණ

ට්‍රම්ප්ගේ කොන්දේසි යුද්ධය...

 ට්‍රම්ප් පාලනය වර්තමානයේ මූලික වශයෙන් අන්තර්ජාතික පෙරමුණු තුනක ගැටෙමින් සිටී. උතුරු කොරියාව හා එකඟ වූ ඓතිහාසික සාම සාකච්ඡාව නියමිත පරිදි ලබන මස 12 වැනිදා පැවැත්වීම සැක සහිත බව ජනාධිපති ට්‍රම්ප් තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ. මේ බව ධවල මන්දිරයේ පැවති උත්සවයකදීද ට්‍රම්ප් ජනාධිපතිවරයා තහවුරු කළේය. සාකච්ඡා ආරම්භ කිරීමට පෙර උතුරු කොරියාව ඊට අදාළ කොන්දේසි ඉටු කළ යුතු බව ජනාධිපති ට්‍රම්ප් පවසයි. උතුරු කොරියාවේ ස්ථාවරය නම් කිසිදු අතකින් ඒකපාර්ශ්විකව න්‍යෂ්ටික නිරායුදකරණයකට යොමු වීමට තම පාර්ශ්වය සූදානම් නොවන බවයි. මේ අනුව ලෝකය මහත් අපේක්ෂාවෙන් සිටි ප්‍රථම හා ඓතිහාසික අමෙරිකා උතුරු කොරියා රාජ්‍ය නායක හමුව පැවැත්වේද යන්න සැකසංකා පළ වී තිබේ.

ට්‍රම්ප් ගැටෙන දෙවැනි පෙරමුණ ඉරානයයි. මෙහිදී අමෙරිකාව අනුගමනය කරන්නේ වෘක න්‍යායයි. වෘකයකුට බැටළු පැටියකු ගිලදැමීමට වුවමනා වී ඊට හේතුවක් වශයෙන් තමා දිය පානය කරන දිය දහර මඩ කරන්නේයැයි බැටලුවාට චෝදනා කළේය. එහෙත් බැටළුවා පෙන්වා දුන්නේ තමා පහළින් දිය බොන නිසා එවැන්නක් සිදු නොවූ බවයි. වෘකයා එවිට “නුඹ නොවේ නම් නුඹේ පියා මගේ දිය පහර මඩ කරන්නට ඇතියි“ කියා බැටලු පැටවා ගිල දැම්මේලු. මෙහිදී ඉරානය බැටළු පැටියාට සම කළ නොහැකි වුවත් අමෙරිකාව මෙහිදී අනුගමනය කරන්නේ වෘකයාගේ ප්‍රතිපත්තියයි. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ‘තව ටිකක්‘ වුවමනායැයි කියන්නාක් මෙන් අමෙරිකාව ඉරානයට අලුත් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අමෙරිකාව සියලු අන්තර්ජාතික චර්යාධර්මවලට පයින් ගසමින් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුවයි. ඒ අනුව තවත් හාර මසකින් සම්බාධක නොපනවා සිටීමට අමෙරිකාව අලුත් කොන්දේසි මාලාවක් එළිදක්වා තිබේ. ඉරානය ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ ප්‍රති-කොන්දේසි මාලාවකිනි. තමන් කවුරු කියා සිතාගෙන හිතුමතේ වැඩ කරන්නේදැයි ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කුමේනි අමෙරිකාවෙන් ප්‍රශ්න කරයි.

අමෙරිකාව ඉරානයට පනවා ඇති අලුත් කොන්දේසි අතර: ඉරානය අනුගමනය කළ න්‍යෂ්ටික යුද වැඩපිළිවෙළ අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සියට හෙළි කර එවැනි ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් නවතා දැමීම, ප්ලූටෝනියම් බලගැන්වීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නවතා දැමීම, රටේ සියලු න්‍යෂ්ටික බලාගාර හා අනෙකුත් පහසුකම් ඕනෑම විටෙක අන්තර්ජාතික පරීක්ෂණ සඳහා විවෘත කිරීම, මිසයිල වැඩපිළිවෙළ අත්හැරීම හා සිරියාවේ යේමනයේ හා ඉරාකයේ “ත්‍රස්තවාදයට“ සහාය දැක්වීමෙන් වැළකී සිටීම විශේෂ වැදගත්කමක් උසුලයි. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ වන්නේ ඉරානය මේ කොන්දේසි අතුරින් න්‍යෂ්ටික ක්ෂේත්‍රයට අදාළ කරුණු බහුතරයක් ඉටු කර ඇති බවයි. ඉතිරි කොන්දේසි ඉරානය ආරක්ෂක වශයෙන් දුර්වල කිරීමට හා අන්තර්ජාතික සබඳතා බිදහෙළීම අරමුණු කරගෙන ඉදිරිපත් කර ඇති බව පැහැදිලිය. ඉරානයට දැනට කිසිදු න්‍යෂ්ටික අවියක් නැති බවත්, ඔවුන් සතුව මහාද්වීපික බැලස්ටික මිසයිල නැති බවත් තහවුරු වී තිබේ. මේ අතර මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉරානයේ දරුණුතම සතුරා වන ඊශ්‍රායලය තමා සතු න්‍යෂ්ටික මිසයිල 200ක් පමණ ඉරානය දෙසට ඉලක්ක කරගෙන සිටින බවයි. ඉරානයට එළව-එළවා බැට දීමට ජනාධිපති ට්‍රම්ප් ගෙන-යන ප්‍රයත්නයට පූර්ණ වශයෙන් සහාය දක්වන්නේ ඊශ්‍රායලය පමණි. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සහාය දැක්වූ යුරෝපා බලවත්තු මේ වන විට අමෙරිකානු ඒකපාක්ෂික වැඩපිළිවෙළට එරෙහිව ක්‍රියාත්මක වන ආකාරය සලකා බලමින් සිටිති. අමෙරිකාව ඉරානයට සම්බාධක පනවන්නේ නම් ඒ සම්බාධකවලට ගොදුරු නොවී ඉරානය සමඟ ගනුදෙනු කිරීමට යුරෝපා සමාගම්වලට ඉඩ සැලසෙන ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් යුරෝ පා සංගමය විසින් බලාත්මක කර තිබේ. ඒ 1990 දශකයේ කියුබාවට එරෙහි අමෙරිකානු සම්බාධක මඟහැරීමට හඳුන්වා දුන් ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය යථාවත් කර ඉරානය සම්බන්ධයෙන් අනුගමනය කිරීමෙනි. මේ අර්බුදයේදී බ්‍රිතාන්‍යය, ප්‍රංසය හා ජර්මනිය සිටින්නේ අමෙරිකාව සමඟ නොව ඉරානය සමගයි. මෙය මෑත ඉතිහාසයේ කිසියම් අර්බුදයකදී බටහිර බලවතුන් බෙදුණු එකම අවස්ථාවයි. ඉරානය ඉදිරිපත් කර ඇති ප්‍රති-කොන්දේසිවල අරමුණ වන්නේ තම ජීවනාලිය බඳු තෙල් වෙළෙඳාම ආරක්ෂා කරගැනීමයි.

ට්‍රම්ප්ගේ තුන්වැනි යුද පෙරමුණ චීනයයි. චීනයෙන් අමෙරිකාවට ආනයනය කෙරෙන වානේ හා ඇලුමිනියම් නිෂ්පාදන සඳහා ඩොලර් බිලියන 150කට අධික බදු පනවා ට්‍රම්ප් වෙළෙඳ යුද්ධයකට චීනයට අතවැනුවේ වෙළෙඳ යුද්ධ ජයග්‍රහණය කිරීම තමාට සරල කාරණයක් බව කියමිනි. ඒ හා සමගාමීව චීනයද අමෙරිකානු නිෂ්පාදන ආනයනය සඳහා අධික බදු පනවා ඇත්තේ එකටෙක කිරීමක් ලෙසිනි. වොෂිංටනයේදී මේ සතියේ මැදභාගයේදී රැස් වූ චීන හා අමෙරිකානු වෙළෙඳ නියෝජිතයෝ මේ අහිතකර වාණිජ ගැටුම අවසන් කරගැනීමට මාර්ග සෙවීමේ නිරත වූහ. එහිදී ඇතිකරගත් සාධනීය එකඟතා නිසා වෙළෙඳ යුද්ධයක් වළක්වාගැනීමේ ලකුණු පහළ වුවද ට්‍රම්ප් ජනාධිපතිවරයා තවමත් එම එකඟතා කෙරෙහි ප්‍රසාදයක් දක්වන බවක් නොපෙනේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ අත්තනෝමතික අන්තර්ජාතික හැසීරීම් රටාව සම්බන්ධයෙන් පැහැදිලි හේතු කිහිපයක් විවරණාත්මකව පෙන්වා දිය හැකිය. ප්‍රධාන වශයෙන්: ට්‍රම්ප්ගේ අන්තර්ජාතික ප්‍රතිපත්තිය සැකසී ඇත්තේ අමෙරිකාවේ අභ්‍යන්තරය ඉලක්ක කරගනිමින් මිස, අන්තර්ජාතික ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරමින් නොවේ. අන්තර්ජාතික සම්මුති හා නීති-රීති කිසිදු සැලකිල්ලකට නොගැනීමට ට්‍රම්ප් උත්සුක වී ඇත්තේ අන්ත දක්ෂිණාංශික හා දැඩිමතධාරිත්වය හේතුවෙනි. දෙවැන්න: ට්‍රම්ප් වට කර සිටින්නේද එවැනිම අන්තවාදි නිලධාරි හා උපදේශක මඬුල්ලක් වීමයි. මයික් පොම්පෙයෝ, ජෝන් බෝල්ටන්, රූඩි ගිව්ලියානි ආදීහු ඒ අතරින් මුල් තැනක් ගනිති. මධ්‍යස්ථ මතධාරීන් සියල්ල තම අභ්‍යන්තර කාර්යමණ්ඩලයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් පියවර ගෙන තිබේ. තුන්වනුව: ට්‍රම්ප් අමෙරිකාවේ බලවත් යුදෙව් දේශපාලනික කඳවුර හා තදින් බැඳී සිටින අතරම එහි අවශතා ඉටු කිරීමටත් නිරන්තරයෙන් ඊශ්‍රායලය සතුටු කිරීමටත් උත්සුක වෙයි. මේ අනුව බලන කල ට්‍රම්ප් පාලනය අමෙරිකාව ඉතා බරපතළ අන්දමින් අන්ත දක්ෂිණාංශික භූමිකාවක් කරා ඇදගෙන යමින් සිටින බව ඉතා පැහැදිලි කරුණකි.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

Comments