මැලේසියාවේ මූසිල මොහොත | සිළුමිණ

මැලේසියාවේ මූසිල මොහොත

 ශ්‍රී ලංකාවේ කලාපීය මිත්‍ර රාජ්‍යයක් වන මැලේසියාවේ සිදු වූ ආණ්ඩු පෙරළිය ලොව පුරා දූෂණ විරෝධී ව්‍යාපාරයන්ට විශාල ජවයක් ලබා දී තිබේ. මැලේසියාව නිදහස ලබූ දා පටන් එරට පාලනය කළ එක්සත් මැලේ ජාතික සංවිධානය නම් මහා පක්ෂය මහ මැතිවරණයක් පරාජය වූ පළමු අවස්ථාව මෙයයි. වර්ෂ 2009 සිට 2018 දක්වා දශකයක කාලයක් අගමැතිව සිටි රසාක් නජීබ් මැලේසියාවේ දෙවැනි අගමැතිවරයා ලෙස තේරී පත් වූ අබ්දූර් රසාක් හුසේන්ගේ දෙටු පුත්‍රයාය. එබැවින්ම, ඔහු එම පක්ෂය පිය උරුමයෙන් ලද්දෙකි. ඔහු පරාජයට පත් වූයේ මැලේසියාවේ සංවර්ධන සිහිනය සැබෑවක් කරමින් වර්ෂ 1981 සිට 2003 දක්වා අගමැතිව සිටි, අද අනූ දෙවන වියෙහි පසුවන, මහතීර් මොහොමඩ් හමූවේය.

සැබවින්ම, කලක් තිස්සේ නජීබ් හට දේශපාලන ගුරු හරුකම් දෙමින් පෝෂණය කළ නායකයා වූයේ ද මහතීර්ය. මෙය නම්, අද යුගයේ ගුත්තිල - මූසිල කතාවකි. මැලේසියාවේ සිදු වූ මෙම ගුරු - ගෝල ගැටුම අපට වැදගත් වන්නේ, ශ්‍රී ලංකාව ද දූෂණයට එරෙහි සටන් පාඨයක් පෙරදැරිව මැතිවරණයක් ජයග්‍රහණය කරනු දුටු රටක් බැවින්, එහි ඇති දේශපාලන වැදගත්කම නිසා ම පමණක් නොවේ; ශ්‍රී ලංකාවට ලැබී ඇති සියලු ඍජු විදේශ ආයෝජනයන්ගෙන් හයෙන් එකක් පැමිණ තිබෙන්නේ මැලේසියාවෙනි. එමෙන්ම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැලේසියාවේ නිල සංචාරයක නිරත වූ 2016 දෙසැම්බරයේ දී, එවකට විපක්ෂයේ සිටි මහතීර් මොහොමඩ් මහතා රහසිගත හමුවක් පැවැත්වුණු බවද දැන් අපි දනිමු. මේ සියලු සිදුවීම් පසුබිමෙහි ඇති යථාර්ථය හඳුනා ගැනීම වටී.

දූෂණයක තරම

මැලේසියාවේ නිදහසින් පසු එක දිගට ආණ්ඩු කළ පක්ෂයට එරෙහි ජන මතයක් තිබුණ ද එය සංවිධානය වී ආණ්ඩු බලයක් බවට හැරවීමට තරම් අවකාශයක් මෙතෙක් නොතිබිණි. සැබවින්ම, නජීබ් විසින් ම සංවර්ධන කටයුතු සඳහා යැයි කියමින් ආරම්භ කළ 1MDB නම් රාජ්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලයන හතරක් (රුපියල් කෝටි 60,000) අවභාවිතා කිරීමේ සිද්ධිය 2016 දී නිරාවරණය වීමත් සමග ජනතාව සිය අගමැතිවරයා සමබන්ධයෙන් තිබූ පැහැදීම පිරිහීම ආරම්භ විය. ජනතා සැකය තහවුරු කරමින්, නජීබ් මහතාගේ පෞද්ගලික බැංකු ගිණුමේ ඩොලර් මිලියන 681ක මුදලක් (රු. කෝටි 9000ක් පමණ) තිබී හමු විය. ඒ මුදල තමාට ලැබුණු ආකාරය විස්තර කර ගත නොහැකි වූ තැන, එතුමා ප්‍රකාශ කළේ, සිය දේශපාලන එදිරිවාදීන් තමාගේ ප්‍රතිරූපයට හානි කිරීමට සිදු කරන ප්‍රචාරයන් බවයි. කෙසේ වෙතත්, මැලේසියානු අගමැති සහ ඔහුගේ සහචරයින්ගේ නමින් ඇමරිකාවේ මන්දිර මිල දී ගෙන තිබිණි. අගමැතිගේ පුත්‍රයකු හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයකු වී තිබිණි. අගමැති බිරිඳ සතු රන් රිදී මුතු මැණික් ආභරණ කිසිවෙකුත් සිහිනෙන් වත් නොපතන තරම් විටිනා ඒවා විය.

දැන් මේ ලිපිය ලියන මොහොත වන විට ද මැලේසියානු පොලිසිය නජීබ් මහතාගේ පෞද්ගලික නිවාස පරීක්ෂා කරමින් සිටී. මැතිවරණයෙන් තෙදිනකට පසුව, ඔහුගේ නිවසින් මිලියන ගණනින් මිටි බැඳ අට්ටි ගසා ඇති මුදල් නෝට්ටු සහ අති සුඛෝපභෝගී රන් ආභරණ අත් අඩංගුවට ගැණිනි. ඒවායේ වීඩියෝ දර්ශන අන්තර්ජාලය පුරා පැතිරිණි. නජීබ් මහතාට සහ ඔහුගේ පවුලේ අයට රටින් පිට වීම තහනම් කොට තිබේ.

දූෂණයෙන් මර්දනයට

ජනතා මුදල් හොරකම් කරන ඕනෑම ආණ්ඩුවක් විරුද්ධ මත මර්දනයට පෙලඹීම නිතැතින් සිදු වන බව යළිත් වරක් පැහැදිළි කරමින්, ඇති වූ විශාල ජනතා විරෝධය හමුවේ, නජීබ්ගේ මර්දනය ඉදිරියට ආවේය. තමාට ගිණුමට එක් රැයකින් වැටුණු මේ මහා මුදල් කන්දරාව කෙසේ ලැබුණේදැයි පැහැදිලි කළ යුතු බව ප්‍රකාශ කළ, ඔහුගේ උප අගමැති මුහිදීන් යසින් සහ නීතිපති නෙරපා දැමීමට කටයුතු කළ නජීබ්, තමා විසින්ම තෝරා ගත් නව නීතිපතිවරයා, එම ගනුදෙනුවේ කිසිදු දෝෂයක් නොමැති බවත් එම මුදල නජීබ්ගේ කල්ක්‍රියාව ගැන පැහැදුණු සවුදි කුමාරයකුගෙන් ලැබුණු තෑග්ගක් බවත් ප්‍රකාශ කළේය. තම ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලඥයින් ද, නිලධාරීන් ද, මර්දනයෙන් නොනැවතුණු නජීබ් ආණ්ඩුව, විපක්ෂය මර්දනය කරමින්, විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම් ආන්දෝලනාත්මක ළමා අපචාර සිද්ධියක් මත සිරගත කළේය.

නැගී එන ජනතා විරෝධය හමුවේ ප්‍රධාන ජනමාධ්‍ය පාලනය කිරීමට පෙලඹුණු ආණ්ඩුව, සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් තිබූ ආණ්ඩු විරෝධය පාලනය කිරීමට හැකි වනු පිණිස නව නීති ගෙන ආවේය. විශේෂයෙන්ම, අසත්‍ය ප්‍රචාර පැතිරීම පාලනය අරමුණු කරගත් නීති පැනවූ පළමු රට ලෙස මැලේසියාව සැලකිය හැකිය. නඩු අසා තීරණ ගන්නා බව කියමින්, ආණ්ඩුව මේ ක්‍රියාවලිය මගින් භාෂණයේ නිදහස සීමා නොවනා බව ප්‍රකාශ කළ ද, නීතියේ ස්වාධීනත්වය අස්ථාවර වූ මොහොතක මෙවන් නීති පාලකයින් විසින් අවභාවිත කිරීමේ හැකියාව පිළිබඳව බොහෝ මැසිවිලි නැගිණි. කෙසේ වෙතත්, නීතිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක වූ අතර, මේ වසරේ මුල් භාගය වන විට අත් අඩංගුවට ගැනීම් ආරම්භ කෙරිණි. මේ කිසිවක් ප්‍රමාණවත් නොවුණා සේය.

ජනවරමේ අභියෝගය

මෙවර මැලේසියානු මැතිවරණය ඉතා සුවිශේෂී වේ. මැයි මාසයේ පැවති මැතිවරණය හමුවේ, විපක්ෂය අසංවිධානාත්මකව පැවතිණි. විචාරකයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනයා බහුතරයකගේ ද මතය වූයේ, ජනතා විරෝධය කොතරම් දළු ලා වැඩුණ ද, එය පළ දරන්නට තරම් අරටුවක් ශක්තියක් ඊට නොලැබෙනු ඇති බවයි. විපක්ෂයට නායකත්වය ලබා දෙන්නට මහතීර් මොහොමඩ් මහතා ඉදිරිපත් වූයේ මෙම පසුබිම තුළ දීය. එතෙක්, සංකේතීය නායකයකු සහ නජීබ් ආණ්ඩුවේ ප්‍රධාන විවේචයකුව සිටි මහතීර්ගේ ආගමනයත් සමග පෙර නොතිබූ ජවයක් මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු අතර ඉතා නව්‍ය සහ නිර්මාණශීලී මැතිවරණ ක්‍රම භාවිතයට ගැණිනි. ඡන්දය දීමට ගමට යාමට තරම් වත්කමක් නැති නාගරික සුළු සේවකයින්ට ඡන්දය දින ගමේ යාමට බස් සහ ගුවන් ටිකට්පත් පරිත්‍යාග කිරීමට යමක් කමක් ඇති ජනතාව පෙලඹුණහ. පසුගිය 09 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ඉතා තියුණු ජයක් අත් කර දෙමින්, ලොව වයෝවෘද්ධම අගමැතිවරයා ලෙස මහතීර් මොහොමඩ් මහතා පත් කෙරුණේ එවන් ජනතා පරිත්‍යාගයකිනි. ජනතා පරිත්‍යාගයෙන් පත්වන ආණ්ඩුවලට ඇති අභියෝග පිළිබඳ ව ශ්‍රී ලාංකික අපි හොඳින් දනිමු.

ඓතිහාසික හමුව

2016 දෙසැම්බර් මස 16 දින මැලේසියානු අගනුවර වන ක්වාලා ලාම්පුර් නුවර, ඉන්ටර්කොන්ටින්ටල් හෝටලයේ දී, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහතීර් මොහොමඩ් මහතා අතර සිදු වූ හමුවීම ඉතා වැදගත් වූවකි. සැබවින් ම, ඒ වන විට රාජ්‍ය සංචාරයක නියුතු රාජ්‍ය නායකයකු හමුවීමට, මහතීර් මොහොමඩ් මහතාට ඉඩක් නොතබන්නට එරට පාලනාධිකාරිය කටයුතු කරමින් සිටියදී, මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමන්ව හමුවූයේ, ශ්‍රී ලාංකික නිලධාරීන් බොහෝ දෙනෙකු ද නොදැන සිටියදීය. එම හමුවීම සඳහා, ජනාධිපතිතුමා නැවතී සිටි හෝටලයට මහතීර් මොහොමඩ් මහතා පැමිණියේ එම තරු පහේ හෝටලයේ ප්‍රධාන දොරටුව ද මඟහැර පැති දොරටුවකිනි.

එසේ පැමිණි මැලේසියානු නායකයා පිළිබඳව තමා තරුණ දේශපාලඥයකුව සිටියදී සිට තිබූ පැහැදීම සහ ගෞරවය සිහිපත් කළ ජනාධිපතිතුමා, මැලේසියාව සංවර්ධනය කරන ලද ආකාරය පිළිබඳව එතුමන්ගෙන් ලබා ගත හැකි ආදර්ශය ශ්‍රී ලංකාවට ඉතා අදාළ වන බව ප්‍රකාශ කළේය. මහතීර් මොහොමඩ් මහතා, රටක ණය කළමනාකරණය ඉතා වැදගත් බවත්, කවුරුන් කෙසේ ණය ලබා දුන්නද, ඒවා තමාගේ රටට නොගැළපේ නම්, ණය ප්‍රතික්ෂේප කළ යුතු බවත් ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම, මැලේසියානු ආර්ථික අර්බුදය හමුවේ, තමා ලෝක බැංකු ණය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ ආකාරය සිහිපත් කළ මැලේසියානු අගමැතිවරයා, අනූවැනි වියේදී වුව තමා ඉතා තීක්ෂණ සිහි නුවණින් පසු වන බව ප්‍රකට කරමින් ශ්‍රී ලංකාව තුළ පසුගිය රජය මගින් ආරම්භ කර තිබූ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති රටට බරක් වනු ඇති බව ඉඟි කළේය. ඔහුගේ වචනයෙන් ම කියන්නේ නම්, “ඔවුන් ණය ගෙනෙයි, සේවකයින් ගෙනෙයි, වැඩේ කරයි, ඒත් ආපහු යන එකක් නම් නෑ”.

මහතීර් මොහොමඩ් මහතා විසින් එරට සංවර්ධනය කරන ලද ආකාරය පිළිබඳව සමස්ත කැබිනට්ටුවම දැනුවත් කළ යුතු බව ඇඟවූ ජනාධිපතිතුමා, ඒ සඳහා ඉදිරියේදී මහතීර් මොහොමඩ් මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනයක් කිරීමට බලාපොරොත්තු වන බව එදා ප්‍රකාශ කළේය.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපතිතුමන්ට සුභ පැතූ මහතීර් මොහමඩ් මහතා, ඒ ජයග්‍රහණයේ විවිධ පැතිකඩ පිළිබඳවත්, දූෂණය මැඩලීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවත් විමසා සිටියේය. අප අද මැලේසියාවේ දකින්නේ, එදා දූෂණ විරෝධී සටනකින් ජය ලබා ශ්‍රී ලංකාව උගත් පාඩම්වලින් ද පෝෂිත වූ වැඩ පිළිවෙළකි. ලංකාවේ ද, මැතිවරණයට පසු දින රාත්‍රියේ හනිකට ඉවත් කරගෙන ගිය මහා වස්තු සම්භාරයන් ගැන කතා එමට ගුවනේ සැරිසරයි. එහෙත්, ඒ අවස්ථාවේදී කිසිවකුත් අත් අඩංගුවට නොගැනීමේ දෝෂය මැලේසියාව නිවැරදි කර තිබේ. දූෂිත පාලකයන්, බඩුත් සමග අහු වෙන්නේ එබැවිනි.

ලෝක දේශපාලන සිතියමේ වෙනසක්?

පසුගිය වර්ෂ කිහිපය පුරා, විශේෂයෙන්ම, ඇමරිකානු ජනාධිපතිවරණය සහ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග ලොව පුරා පැතිර ගිය ප්‍රවණතාවක් නම්, දූෂණ චෝදනා හමුවේ වුව, ජාතිකවාදී ශක්තිමත් දේශීය ආණ්ඩු අවශ්‍ය බවට මතයක් පැතිර යාමයි. ඒ අනුව, දූෂණය පැවතියත්, පොහොසතුන්ගේ පාලනයක් තිබුණත්, අපට අවශ්‍ය වන්නේ වේගවත් ජාතිකවාදී නායකයන්ය යන මතය වැඩි ජවයකින් යුතුව ප්‍රකාශ වෙමින් තිබිණි. මැලේසියානු ප්‍රතිචාරය මගින් අපට කියා දෙන්නේ, ජනතාව තවදුරටත්, දූෂණය, වංචාව සහ නාස්තියට එරෙහි වීමේ වැදගත්කම සමග එකඟ බවයි. ශ්‍රී ලංකාව තුළ මෙන්ම මැලේසියාවේ ද, තම දේශපාලන හතුරන් විනාශ කිරීම සහ අධිකරණයට අත පෙවීම ආදිය සිය ජයග්‍රහණ සේ සැලකූ යුගයක් නිමා වී තිබේ. එහෙත්, දෙරටේ අභියෝග ඉතා සමීප වේ.

හරින්ද්‍ර බී. දසනායක

Comments