ජාතික ආර්ථික වැඩසටහන | සිළුමිණ

ජාතික ආර්ථික වැඩසටහන

 ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය ප්‍රගතිය සඳහා ක්‍රමවත් සැලැස්මක් තිබීම ඉතා අවශ්‍ය වේ. එවැනි සැලැස්මක් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් සකස්විය යුතුය. එසේම, රට හා පොදු මහජනතාව මුහුණ දෙන ආර්ථික හා සමාජීය ගැටලු මෙන්ම අනාගතයේදී ශ්‍රී ලංකාව රටක් වශයෙන් කවර ආර්ථික ඉලක්ක දක්වා ගමන් කළ යුතුද යන්න එවැනි සැලසුමක් සම්පාදනය කිරීමේදී සලකා බැලිය යුතුය. විශේෂයෙන්ම රටේ ආර්ථික වර්ධනය තිරසාර වශයෙන් ඉහළ නැංවීම එවැනි ආර්ථික සැලැස්මක ප්‍රධානම අරමුණක් විය යුතුය. එයට හේතුව ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ප්‍රධාන ආර්ථික ගැටලු සාර්ථකව විසඳා ගැනීම සඳහාත්, ජනතාවගේ ආර්ථික දියුණුව ළඟාකර ගැනීම සඳහාත් 8%-10%ක පරාසයක ආර්ථික වර්ධන වේගයක් වර්ෂ 10ක පමණ කාලයක් හෝ පවත්වා ගැනීම වේ.

ජාතික ආර්ථික සැලසුම් සම්බන්ධ අනෙකුත් වැදගත් කරුණ වන්නේ, අප රටට සියලු පාර්ශ්ව විසින් පිළිගන්නාවූ එක් ආර්ථික සැලැස්මක් පැවතීමය. එවැනි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රියාවට නැංවීමට අවශ්‍ය මඟ පෙන්වීමට මෙරට ඉහළම ආර්ථික ප්‍රතිපත්ති හා කළමනාකරණ ආයතනය වන ජාතික ආර්ථික සභාව මගින් මනාව සිදුකළ හැකිය.

2018 මැයි මස 15 වන දින රැස්වූ ජාතික ආර්ථික සභාව විසින් ජාතික ආර්ථික වැඩසටහන (National Economic Programme) අනුමත කරන ලදි. මෙරට ආර්ථික සංවර්ධනය ඇති කිරීමත්, පොදු ජනතාවගේ ආර්ථික සහ සමාජයීය තත්ත්වය ඉහළ නැංවීමත් උදෙසා සමස්ථ රාජ්‍ය තන්ත්‍රය තුළින් ඒකාබද්ධ ආර්ථික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද මේ දක්වා සකස් වී ඇති සියලුම ආර්ථික සැලසුම් මෙම ජාතික ආර්ථික වැඩසටහන යටතට ගෙන ඒකාබද්ධ ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද වටහාගෙන ඇත. ඒ අනුව, තෙවැදෑරුම් උපායමාර්ග (Three-Pronged Strategy) සහිත නව ජාතික ආර්ථික වැඩසටහන ජාතික ආර්ථික සභාවේ මෙහෙයවීම මගින් ක්‍රිකයාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් කරමින් පවතියි.

නව ජාතික ආර්ථික වැඩසට‍හනට අයත් ප්‍රධාන උපායමාර්ග තුන නම්, සාර්ව වර්ධන උපායමාර්ග (Macro Growth Strategy), ක්ෂුද්‍ර වර්ධන උපායමාර්ග (Micro Growth Strategy) හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ උපායමාර්ග (Structural Reforms Strategy) වේ.

සාර්ව ආර්ථික උපායමාර්ගවල අරමුණු වන්නේ, ඉහළ සහ තිරසාර ආර්ථික වර්ධනය, පහළ උද්ධමනය, ඉහළ සේවා නියුක්තිය සහ ප්‍රතිපත්තිවල සංගතභාවය හා ස්ථායීතාවය අත්කර ගැනීමයි. මේ සඳහා ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ග අතර විදේශ සෘජු ආයෝජන ඉහළ නැංවීම, දේශීය ආයෝජන ඉහළ නැංවීම, ප්‍රමුඛතාවය මත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ඉලක්කගත කර්මාන්ත කලාප ඇති කිරීම, විවිධාංගික අපනයන සංවර්ධනය, සංචාරක කර්මාන්තය සංවර්ධනය, තොරතුරු තාක්ෂණ සංවර්ධනය, සුළු පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය, මූල්‍ය සේවා සංවර්ධනය, වාණිජමය කෘෂිකාර්මික සංවර්ධනය හා විවිධාංගීකරණය, නව්‍යකරණය සහ නව තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම, සහ රාජ්‍ය කළමනාකරණය ඉතා වැදගත් උපායමාර්ග වේ.

ක්ෂුද්‍ර වර්ධන උපායමාර්ගවල ප්‍රධාන අරමුණු වන්නේ රැකියා උත්පාදනය, ආදායම් ඉහළ නැංවීම, දුප්පත්කම අවම කිරීම සහ දරාගත හැකි ජීවන වියදම් මට්ටමක් පවත්වා ගෙන යෑම වේ. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කර්මාන්ත, කෘෂිකර්මය හා යටිතල පහසුකම් ඉලක්කගතව සංවර්ධනය කිරීම, ග්‍රාමීය කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ පශු සම්පත් සංවර්ධනය, ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය, ව්‍යවසායකත්ව සංවර්ධනය, ග්‍රාමීය ආර්ථික යටිතල පහසුකම් (මහාමාර්ග, ප්‍රවාහනය, ජල හා වාරිමාර්ග සංවර්ධනය), ග්‍රාමීය සමාජ යටිතල පහසුකම් (සමාජ සුභසාධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස හා පරිසරය) සංවර්ධනය, මූල්‍ය සහ ණය පහසුකම් ව්‍යාප්ත කිරීම, ග්‍රාම ශක්ති වැඩසටහන වැනි උපායමාර්ග ප්‍රධාන වශයෙන් වැදගත් ෙව්.

ක්ෂුද්‍ර වර්ධන උපායමාර්ග ජනතා මූලික වන අතර, ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් මහජන අවශ්‍යතා හඳුනාගෙන ඒ ආශ්‍රයෙන් වේගවත් ග්‍රාමීය ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට ජාතික ආර්ථික සැලැස්ම තුළ ප්‍රමුඛතාවයක් ලැබේ.

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අරමුණු වන්නේ, ආර්ථික‍යේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට සහ මහජනතාවට අවශ්‍යම භාණ්ඩ හා සේවා ලබාදීම පිණිස රාජ්‍ය තන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීමට ඇති බාධක ඉවත් කිරීම, සඵලදායීත්වය හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම, තරගකාරීත්වය වේගවත් කිරීම, ආර්ථිකයේ වර්ධන හැකියාව ඉහළ නැංවීම සහ දූෂණය මුලිනුපුටා දැමීම වේ. ප්‍රධාන වශයෙන් අප රට සලකා බැලිය යුතු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ව‍න්නේ රාජය පරිපාලනය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය, රාජ්‍ය අංශයේ නාස්තිය පිටු දැකීම, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා රෙගුලාසි, වෙළඳපළ, බැංකුකරණය, රාජ්‍ය ට්‍යවසාය, උසස් අධ්‍යාපනය නියාමනය සහතික කිරීම, සෞඛ්‍ය සේවා, ඉඩම්, විශ්‍රාම ක්‍රම, ශ්‍රම සහ සමාජ සුභසාධන ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම වේ.

සාර්ව වර්ධන හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වර්ෂ 10ක සැලසුමක් මගින්ද, වේගවත් ග්‍රාමීය සංවර්ධනය වර්ෂ 03ක සැලසුමකින්ද ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

මෙම තෙවදෑරුම් උපායමාර්ග “එකම රටක් එකම සැලසුමක්” (One Country One Plan) වශයෙන් ඒ සඳහා අවශ්‍ය කාර්යසාධක බලකායක්ද ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යනු ලැබේ.

අදහස්