බුදු පුතේ... මට ‍මගෙ කෙල්ල මුණගස්සවන්න | සිළුමිණ

බුදු පුතේ... මට ‍මගෙ කෙල්ල මුණගස්සවන්න

ශ්‍රීමාල් ජයමාල් ද සමඟ සාලයට යන්නේ රොබෝවරුන් දෙදෙනෙකු වගේය. ඒ අප්පච්චි එක්ක ඇති අමනාපය හින්දාය. අප්පච්චිගේ ඊළඟ වාග් ප්‍රහාරය කාට කොහේට එල්ල වේදැයි නිච්චි නැත. අප්පච්චිගේ හැටි එහෙමය.

දුවගේ ප්‍රශ්නය නෑහුණාක් මෙන් සිත සමඟ දොඩමලු වෙයි.

පල් මෝඩ තකතීරු වලව් හැත්ත....! නෑ නෑ උන් මෝඩ වෙන්නේ මනමාලකම් ළඟදි විතරයි. අනිත් හැම වෙලාවල්වලදීම නාහෙට කෙළින් බලන පට්ටංදර අප්‍රමාණෙටය. උද්දච්ච සෝබන රාලලා ය. ජයතිස්සලා වගේ පිරිමි මේ ලෝකෙට හොඳ වැඩිය. ඒක උන්දැගේ බයාදු කමට වඩා මෝඩකමය. ඊටත් වඩා නෝංජල්කමය. බලමු... බලමු... මොකද වෙන්නේ කියලා. ඩග්ලස් හාමුත් ඕනෑවට වඩා ආවොත් උන්දෑ මෙල්ල කරන සාස්තරෙත්... ඒ මන්තරෙත් තමුන් ළඟ තියෙනවාය!

හාමු දෙමස්සිනාලා දෙන්නා ම දැපනෙ දාන මන්තරේ ඇත්තේ තමුන් ළඟය. ඒවා ඒ හාමු මහත්තැන්ලාගේ ළමාතැනීලා දන්නෙත් නැත. මේ මහ වලව්වල මුඳුන් වහලවල් දන්නෙත් නැත. කොටින් ම ඒ වලව්වල බල්ලො බළල්ලු දන්නෙත් නැත...! හහ් හා... චන්ද්‍රලතාට හයියෙන් හිනාවක් යද්දි එය මැඬපවත්වා ගනියි. ඒ දුව චන්ද්‍රානි එන සද්දෙ ඇහිලාය.

චන්ද්‍රානි දුවගේ වචන විස කැවූ හී වගේය. චන්ද්‍රලතා ඇස් ලොකු කරගෙන සිටියේ ඒ නිසාය.

“අනේ මන්දා බං... මොකින් මොකක් වේද කියලා...!”

“ඇයි අම්මා එහෙම කියන්නෙ...”

“අද උදේ... බං කෑරලෙකුත් අඬාගෙන ගියා අපේ ගෙයි වහලෙ උඩින්.. අනේ මන්දා...”

“ඉතිං අම්මෙ කෑරලා වහලවල්වලට උඩින් මිසක් පොළවෙ පස්කකා යන එකෙක්යැ... අම්මට ඉතිං හූනෙක් ඇඬුවත් එච්චරයි, පොල්කිච්චෙක් දැක්කත් එච්චරයි.. මොකක්ද අම්මේ.. ඔය බිත්තර කටුවලින් දැන් එළියට ඉපදෙන්න කාලෙ හරි...!”

“අනේ නිකං හිටහල්ල බං...”

එවිට ම දුරකථනය නාද වෙයි.

“ඔයබලපං... ඔයබලපං... ගිනිගෙඩියක්..! ඕක ගනිං...”

**********

“මං අයියට කියන්න හිටියෙ.. ඔයා දන්නවද දවසක් මම අර වෙලේ කඩේ ළඟදි ගමේ එකෙක් එක්ක ගහගන්න ගිය කතාව! මං හිතන්නෙ අම්මා තාම ඔයාට කිව්වෙ නැතිව ඇති. ඒත් අයියෙ මට හිතෙනව ඇත්තටම මෙයාලා මේ දාගෙන ඉන්න ‘හාමු පොරෝණ’ එක්ක මෙයාලා හුඟාක් අසාධාරණ දේවල් කරනවා කියලා.. ඒකනෙ සාමාන්‍ය මිනිස්සු මේ හාමු පෙලැන්තිය එක්ක ‘මලෙන්’ ඉන්නෙ..”

ජයමාල්ගෙ කතාවට ශ්‍රීමාල්ට හිනාත් යයි.

“මල්ලිගෙ භාෂා භාවිතය නම් අපූරුනෙ.. ‘මලෙන් ආ...?”

“ඔය... ඉතිං... අයියා මේවා විහිළුවට ගන්නවා නේ ඒකනේ මට තියෙන ප්‍රශ්නෙ.. දැන් දැක්කද ටික වෙලාවකට කලින් අප්පච්චි අයියාට කරපු අපහාසෙ..? ආ.. තේරුණාද ඒක?”

“මොන අපහාසයක් ද මල්ලි..?”

“ඇයි අයියට දෙහි කපලා ඉවරවෙලා මිදුලට බැහැලා මිදුලෙ කකා හිටිය ‍පරෙයියන්ට දුන්නෙ ඇට්ටි හ‍ැලෙන්න.. කාපුවා වමාරන්න...!”

“හහ්හා හා මල්ලී... ඕවා ගණන් ගන්නෙ කවුද මල්ලී.. අප්පච්චි පරෙයියන්ට බැන්නාට උන්ට තේරුණාද නෑනේ.. නැත්නම් උන්ට හිතුණද ඒ ඇනුම්පද එල්ල කළේ උන්ට නෙමේ මටය කියලා. ඒත් නෑනේ.. ඉතිං මට මොකද..? මම නම් මල්ලි ඔය අදාළ නැති ඒවා ගණන් ගන්නෙ නෑ. බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ අනවශ්‍ය ඇනුම් බැණුම් මේ කනින් අහලා මේ කනින් පිට කරන්නය කියලා නේ...”

“ඇති.. ඇති.. ඔයාගෙ බණ අයියෙ.. මට නම් අප්පච්චිලගෙ මේ සනුහරේ වැඩ ඇති වෙලා තියෙන්නෙ... මට මගේ යාළුවෙකුත් මහා අමුතු කතා ටිකක් කිව්වා.. ෂික් ලජ්ජත් එක්ක.. මට නම්...”

“මල්ලි මෙහෙමයි.. වනචර මිනිස්සු වලව්වලත් ඉන්නවා පැල්පත්වලත් ඉන්නවා... සාමාන්‍ය ගෙවල්වලත් ඉන්නවා... ඒ වගේ ම හොඳ ගුණයහපත් මිනිස්සු වලව්වලත් ඉන්නවා. පැල්පත්වලත් ඉන්නවා. ඒ වගේ ම සාමාන්‍ය ගෙවල්වලත් ඉන්නවා. ඒක සාපේක්ෂයි...”

ඒ අතරේ දොරට ගහන සද්දෙට දෙදෙනා ම ගැස්සෙයි.

“පුංචි හාමුලා... ඇයි මේ කාමරේ දොර වහගෙන? අන්න අහරෙ ලොකු හාමු කතා කරනවා. රත්නපු‍රේ හාමුලා ඇවිල්ල කියලා දන්නෙ නැද්ද... ආ!”

ජන්තුගේ සද්දෙට දෙන්නාම බිරන්තට්ටු වෙලාය.

“කවුද.. අප්පච්චිද අපට එන්න කිව්වෙ..?”

ජයමාල් අසන්නේ සැරපරුෂ හඬින්ය.

“ඔව් මයෙ පුංචි හාමු.. ඔව්..!”

“මලින්ද අයියත් ඇවිල්ලද ජන්තු...?”

“ම්.. න්නෑ.. පුංචි ‍හාමු.. මහ ජෝඩුව ඉතරයි. සුදු මැණිකෙ හාමු පිස්සුවෙන් දොඩෝනවා.. හරි දුකයි බලන්නත්.. දෙයියනේ..”

ශ්‍රීමාල් ජයමාල් ද සමඟ සාලයට යන්නේ රොබෝවරුන් දෙදෙනෙකු වගේය. ඒ අප්පච්චි එක්ක ඇති අමනාපය හින්දාය. අප්පච්චිගේ ඊළඟ වාග් ප්‍රහාරය කාට කොහේට එල්ල වේදැයි නිච්චි නැත. අප්පච්චිගේ හැටි එහෙමය.

“පුතා කැම්පස් ඉඳන් ඊයෙ වෙන්නැති එන්න ඇත්තෙ...”

ඩග්ලස් ගොඩලියද්ද ඇසුවේ ශ්‍රීමාල්ගේ පිටට තට්ටු කරමින්.

“ඔව් මාමා.. මලින්ද අයියා කෝ...?”

“මලින්දට වැඩ පුතා.. අපි මේ ආවෙ දන්නවනේ සුදු නැන්දගෙ මේ අසනීපෙ.. එකම පිළියම එයාගෙ දෝණියන්දැව මුණගස්සන එකයි. ඒ හැර වෙන විකල්පයක් නෑනෙ ඉතිං...!”

ඒ එක්කම පුටුවක් මතට වී උඩ බලාගෙන සිටිය සුදු මැණිකෙ ශ්‍රීමාල් පුතා දැකලා ඇවිත් ඔහුව බදාගත්තේ නොසිතූ මොහොතකය.

“අනේ බුදු පුතේ මට මයෙ සමන්ති කෙල්ලව මුණ ගස්සලා දෙන්න.. වඳින්නම්.. කියනා තැනකට වඳින්නම්...!”

“ඉන්නකො නැන්දේ.. අපි හෙමිහිට අපේ මේ වැඩ ටික කරගනිමුකො.. හැබැයි කලබල නොවී.. තේරුණා නේද නැන්දේ....”

“හරි.. හරි... මයෙ කොල්ලට තේරුණා.. තේරුණා...”

සුදු මැණිකෙව ආයෙම පුටුවක වාඩි කරවන්නේ නිර්මලා මැණිකේය.

තේ පානය සිදුවූයේ එහාටත් මෙහාටත් ටෙලිපෝන් පණිවිඩ හුවමාරු ගණනාවක් ම සිදුවූයේ ඉතාම හදිසියෙනි.

“හරි.. අද රෑ ඔයාලා මෙහේ නවතිනවා.. හෙට උදේ.. හෙට උදේ.. අපි පිටත් වෙනවා.. සමන්ති දුවව බලන්න.. හරිනේ...!”

ඩග්ලස් හාමු තම බිරිඳ ළඟට ඇවිත් එසේ කියද්දි සුදු මැණිකේ වහා නැගිට හාමුට වැඳ වැටුණු හැටි දැකලා කාටත් දුක හිතුණි.

ඒ විදියට රාත්‍රි නවාතැන්ගැන්ම සඳහා මැද කාමරය පිළියෙල වුණේ ඩග්ලස් හාමු ජෝඩුවටය.

රාත්‍රියේ දී ශ්‍රීමාල්ට ඇමතුමක් ආවේ මිලින්දගෙනි.

“මල්ලි මාත් යනවා දැන් රෑම වැලිගම. එහේ අපේ අක්කලා ඉන්නා තැනට.. ඔයත් එහෙනම් අප්පච්චිලත් එක්ක ‍එහේට එන්නකො.. අප්පච්චිටත් කියන්න මම වැලිගම ගියා කියලා. හැබැයි හරිම පව්වැඩේ සමන්ති අක්කට වඩා ජයේන්ද්‍ර අයියා බයෙන් ඉන්නේ.. මොකද සමන්ති අක්කාට බබෙක් ලැබෙන්නත් ඉන්න නිසා හිත එහෙම එච්චර ගස්සන්න හොඳ නෑ කියලා..”

“එහෙමද... එහෙනම් මම ඒ බව අපේ අම්මාට දන්වලා තියන්නම් නේද? ඒක හොඳයි නේ...”

ශ්‍රීමාල් ඒ වගකීම බාරගත්තත් ක්‍රියාත්මක කිරීම ඒ තරම් ලේසි නැති බව තේරුණේ අම්මා සමඟ කතා කරන්න ගියාමය.

“අනේ මන්දා දැන් හෙට උදේ අප්පච්චියි මායි ඩග්ලස් මාමා සුදු නැන්දයි එක්ක පුතත් එනවා නේද?”

නිර්මලා මැණිකේ ඇසුවේ නිදාගන්න යෑමට පෙරදීය.

“හා අම්මෙ මාත් එන්නම් අම්මලා කියනවා නම්.. මලින්ද අයියාත් සමන්ති අක්කලාගෙ ගෙදර ගිහින් ඉන්නවා කිව්වා.. අම්මේ..”

“ඇත්තද.. හා.. ඒ බවක් අපි දන්නෙ නෑනේ..”

නිර්මලා මැණිකේ කෑ ගසන්නේ පුදුමයෙනි.

“අප්පච්චිට ඕක දැන්මම කියන්න ඕන නෑ අම්මේ. අනික තවත් එකක් දැන් සමන්ති අක්කා දරුවෙක් හම්බවෙන්න ඉන්න අවස්ථාවකලු ඉන්නේ.. ඒ නිසා වැඩිය කලබල නොකළොත් හොඳයි නේද?”

“හපොයි දෙයියනේ..!”

නිර්මලා මැණිකේ ඉහේ අත් තබාගනිද්දි එතැනට යමක් විමසාගෙන ආවේ සිරියාය. සිරියාගේ කනට කර නිර්මලා මැණිකේ පණිවිඩය කියද්දී සිරියාගේ අතකුත් ඉහේ ගැසෙන හැටි ශ්‍රීමාල් බලාගෙනය.

“හැබැයි මේ පණිවිඩේ අපි රත්නපුර හාමුලාට නොකියා ඉඳිමු..”

ඒ නිර්මලා මැණිකෙගෙ තීරණයකි.

ලබන සතියට

අදහස්