නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

නිමැවුමක අසිරිය

නගරය පසු කරමින් රියක යමින් සිටි මොහොතක පාර අයිනේ තැනක වූ අමුතු යමක් හදිසියේ මා නෙත ගැටී නොපෙනී ගියේ ය. ළා නිල් පැහැ ගන්වා තිබූ එය දිස් වූයේ අමුතු තාලේ මේස විදුලි පංකාවක් ලෙසිනි. එය තිබුණේ මෝටර් සයිකල් අලුත්වැඩියා කෙරෙන තැනක ය.

එය කුමක්දැයි දැන ගැනීමේ කුහුල වැඩි වෙත් ම ඊළඟ සතියේ උදෑසනක මම එහි ගියෙමි.

ඒ වන විට අදාළ ස්ථානයේ දොර පළු ඇරෙමින් තිබිණි. එහෙත් අර භාණ්ඩය නොවිණි.

මම දෙගිඩියාවෙන් එහි ගොඩවීමි.

දොර පළු විවර කරමින් සිටි හිමිකරු මදෙස බැලුවේ ය.

‘ඊයෙ පෙරේද මෙතන අමුතු භාණ්ඩයක් තිබුණ නේද? කෝ ඒක?’ මම ඇසීමි. ඔහු ගේ මුහුණට හිනාවක් ආවේ ය.

‘ඉන්ඩකො මහත්තයො පෙන්නන්ඩ!’ කී ඔහු ඇතුළට ගොස් එය දෑතින් ම ඔසවා ගෙනැවිත් මා ඉදිරියේ තැබුවේ ය. එය යකඩෙන් නිමවා වර්ණ ගන්වා තිබිණ. එක වරම මා නෙතු ඇදී ගියේ එහි රෝදය වෙත ය. එය වාහනයක සුක්කානමට සමාන ය.

‘ඇත්තට ම මොකක්ද මේක?’

‘මේක මහත්තයො නවීන ඉඳි ආප්ප මැෂිමක්’

‘කවුද හැදුවෙ’

‘මම’ ඔහු ගේ දෙතොල පුළුල් විය.

‘‍කොහොමද මේක වැඩ කරන්නෙ?’

‘ඉන්ඩකො මං පෙන්නනකං’

යළි ඇතුළට ගිය ඔහු ලෝහ බම්බුවක් වැනි යමක් ගෙනැවිත් මැෂිමට සවි කළේ ය.

‘මේක තමයි පිටි මිශ්‍රණය දාන එක’

ඉන් පසු මට මැෂිම ක්‍රියාත්මක කරන හැටි කියා දුන්නේ ය.

‘දැන් බලන්ඩ මහත්තයො අපේ ගෙවල්වල තාමත් පරණ විදියට‍නෙ ඉඳිආප්ප තම්බන්නෙ. ගෘහිණියො දාඩිය දාගෙන වංගෙඩිය මිරිකනව. මේකක් ගෙදරක තියනව නං වැඩේ ලේසියි. පිටි මිශ්‍රණය මේ බටේ ඇතුළට දාල බටේ මේ විදියට හයි කරගෙන මේ රෝදෙ යන්තම් කරකවන කොට මෙතන තියන එක කට්ටයක් පනිනව. එක කට්ටයක් කියන්නෙ එක ඉඳි ආප්පයක්. ගෘහිණියට කරන්ඩ තියෙන්නෙ එක අතකින් මේ රෝද යාන්තම් කරකවන ගමන් අනිත් අතින් මේ රැල් වැක්කෙරෙන තැනට ඉඳි ආප්ප තට්ටුව අල්ලල හැඩේ ගන්න එකයි. ඊට පස්සෙ ඒ තට්ටුව පැත්තකික් තියල ඊළඟ තට්ටුව අරගෙන රැල් වැටෙන කොට ආයෙත් අල්ලල මේ රවුමෙ තව කට්ටයක් පන්නනව. හරි පහසුයි. කට්ට විස්සක් පන්නපු හම ඉඳි ආප්ප විස්සක්. විස්සෙ ඒව දෙකක් ගෙදරකට හොඳට ම ඇතිනේ මහත්තයො.’

මගේ හිත පහන් විය. මම තෘප්තියෙන් ඔහු දෙස බලා සිටියෙමි.

‘මේක මං සාමාන්‍ය ගෙදරකට හදපු මැෂිමක්. පොඩි ව්‍යාපාරිකයටත් මං මැෂිමක් හැදුව. ඉන්‍ඩකො පෙන්නන්ඩ.’ කී ඔහු යළි ඇතුළට ගොස් අරිට වඩා උස තවත් මැෂිමක් ඔසවා ගෙනැවිත් මට පෙන්නුවේ ය.

‍’දෙකේ වෙනස මොකක් ද?’

‘අරකෙ කට්ට 20 යි කියන්කො තියෙන්නෙ. මේකෙ කට්ට 100 ක් තියනව. ඒ කියන්නෙ ඉඳි ආප්ප සීයක්. පොඩි ව්‍යාපාරිකයෙකුට මේක පහසුයි. හැබැයි ඉතින් හදිසි අවස්ථාවලදි ගෙදරකටත් වැඩි නෑ, අපි හිතමු හදිසියෙ අපේ ගෙදරට නෑයො කට්ටියක් එනව කියල. හදිස්සියෙ එච්චර කට්ටියකට උයන්ඩ මොන මහන්සියක් ගන්ඩ ඕනැද? කඩෙන් ගන්ඩ ගියොත් තුන්දාස් පන්සීයක්, හාරදාහක් විතර යනවනෙ. නමුත් මේ මැෂිමක් ගෙදර තියනව නං ටග් බග් ගාල ඉඳි ආප්ප ටික හැදුව, මාළු එකක් නැත්තං මස් එකක් හදල පරිප්පු ටිකක් හදා ගත්ත, රුපියල් එක්දාස් පන්සීයකින් විතර ෂේප් වෙන්ඩ පුළුවන්.’ යනුවෙන් ඔහු කියා දැම්මේ ජයග්‍රාහී විලාසයෙනි. ‍‍

‘මේව ලේසියෙන් කැඩෙන්නෙත් නෑ. ලේසියෙන් ගෙවෙන්නෙත් නෑ. පරම්පරාවකට එකයි. මේ පොඩි මැෂිම ගෑනු ළමේක් දීග දෙනකොට දෑවැද්දට දෙන්ඩ අපූරුයි. ඒක ඒ දරුවටත් ආඩම්බරයක්’

ඔහුගේ කරුණු පෙළ ගැසීමේ සූරකමට මට හිනා ගියේ ය.

ඔහු ගේ නිෂ්පාදනය ලියාපදිංචි කොට පුළුල් කිරීමට හිතුවේ නැද්දැයි මම ඇසීමි.

‘ඒ වැඩේ කරන්ඩ යන‍කොට අපෙන් ඉල්ලනව භාණ්ඩය නිෂ්පාදනය කළ ආකාරය විස්තර කරන වාර්තාවක්. ඒක ලියන්ඩ ඕනෑ ඉංග්‍රීසියෙන්. ඒක දුන්නට පස්සෙ වෙන්නෙ මොකද? අපි මෙහෙ බලං ඉන්නව. අන්න අහරෙ චීනෙන් මේ වගේ ම බඩුවක් මීට වඩා අඩු මුදලකට ඔන්න අපේ වෙළෙඳපොළට එනව! අපි මොකටද අපේ ශිල්පය පිටට දෙන්නෙ?’

‘එතකොට මෙහෙ කෙනෙක් මේක කොපි කෙරුවොත්’

‘කොපි ‍කරපුවාවෙ. ඌ අපේ රටේ එකෙක්නෙ’

මට කතා නැති විය.

ඒ වන විටත් ඔහු ගේ සේවාව ලබා ගැනීමට පැමිණ සිටි යතුරුපැදි ධාවකයන් මදෙස බලා සිටියේ නොරුස්නා හැඟුමෙනි. එහෙයින් මම මේ දේශීය නිෂ්පාදකයාගෙන් සමු ගතිමි.

එසේ සමුගන්නා මොහොතේ මා සිතා සිටියේ ඔහු ගැන නෙළුම්විලට ලිවීමට ය. එහෙත් මසක් පමණ ඉක්ම ගියත් එය මගෙන් අතපසු විය. ඒ අතර යළිත් දවසක නගරයේ අදාළ ඉසව්වට ගිය අවස්ථාවක මම ඔහු සොයා ගියෙමි.

ඝන යකඩ ලෑල්ලක් කපමින් සිටි ඔහු මා සතුටින් පිළිගත්තේ ‘අලුත් වැඩකට අත ගැසුවා’ කියමිනි.

“මම ඖෂධීය හඳුන්කූරක් නිෂ්පාදනය කළා. තියන වැඩ අස්සෙ දැනට හදා ගන්න පුළුවන් ටිකයි. ඒක වැඩි කරන්න කියලයි මේ අලුත් අච්චුව හදන්නෙ’

ඔහු ගේ මේ නිෂ්පාදනය පැරණි වට්ටෝරුවකට අනුව කෙරෙන්නකි. එය ඔහු ගේ සීයා කෙනකුගෙන් ලැබුණකි.

‘මේකට දේශීය ඖෂධ 18 ක් අන්තර්ගතයි. හැන්දෑවෙ හයට විතර ගෙයි දොර ජනෙල් වහල මේක පත්තු කරන්න පුරුදු වුණොත් මාසයක් විතර යනකොට ඔයාට දැනෙයි මුළු ගේ ම අමුතු සුවඳකින් පිරිල තියනව. ඒ සුවඳ මනුස්සයට හිතකර වුණාට මදුරුවට සර්පයට විසයි. ඔයත් ටෙස්ට් කරල බලන්ඩකො’ යි කී ඔහු මට ඉන් කිහිපයක් තිළිණ කළේ ය.

සමුගන්නට පෙර ඔහු අවධාරණය කළ වචන ටික මගේ මතකයේ නොමැකී තිබේ.

“අපේ ගෙවල් පැත්තෙ ඩෙංගු වැඩි වෙවී තිබුණ. ඊයෙ අර ගෙදර නං අද මේ ගෙදර. හෙට අනික් ගෙදර. හැබැයි අපේ ගෙදරට ඩෙංගු මදුරුව ආවෙත් නෑ. අපේ ගෙයින් එහාට ඩෙංගු හැදුණෙත් නෑ. මොකද මං කාලයක් තිස්සෙ මේ හඳුන්කූර පත්තු කරනවනෙ. මදුරුවට ඒක විසයි.” ඔහු කීවේ ය.

ගාමිණි රාජපක්ෂ නැමැති මේ අපූරු නිෂ්පාදකයා ගේ වැඩපොළ ඇත්තේ වේයන්ගොඩ, මීගමු පාරේ අංක 121 දරන ස්ථානයේ ය. ඔහුගේ නිවෙස ඇත්තේ පස්යාලේ මීරිගම පාරේ ය. කැමැති කෙනකුට පහත අංකවලින් ඔහු ඇමතිය හැකි ය. 077 9660549 - 033 2285703

නයිවල, සංජය සේනාධීර මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්