කුච්වාඩා ගමේ ඉපදෙයි | සිළුමිණ

කුච්වාඩා ගමේ ඉපදෙයි

මාසෙකට පස්සෙ මහ ගංවතුරක් ආව. වැහි කාලෙට අපේ අම්මලෑ ගේ ඉස්සරහ හරිය පෙනුණෙ ගංගාවක් වගේ. එහෙ මහ විලක් තිබුණ. ගේයි, විලයි අතරින් වැටිච්ච පුංචි පාරකුත් තිබුණ. වැහි කාලෙට පිරෙන වතුරට පාර පෙනුණෙත් ගඟ වගේ. විලයි පාරයි එකක් වාගෙයි පෙනුණෙ. මූද වගේ පේන තෙක්මානෙ පෙනුණෙ වතුරමයි.

ඒ තමයි ඉන්දියාවට මහ ගංවතුර ආපු අවුරුද්ද. සාමාන්‍යයෙන් අවුරුදු පතාම ඉන්දියාවට ගංවතුර එනව. නමුත් ඒ අවුරුද්දෙ අමුතු දෙයක් සිද්ධ වෙන බවයි පෙනුණෙ. ගංවතුර ඇති වුණේ ගංගා දිගේ ඉස්සරහට ගලන්ඩ ඕනෑ වතුර පස්සට ගලපු හින්දයි. වැස්ස කොච්චර බරපතළ වුණා ද කිව්වොත් ගංගාවල් දිගේ ගලාගෙන ගිය වතුරට මූදට යා ගන්ඩත් බැරුව ගියා‍. මෝය ක‍ටවල් හිරවෙලා වතුර ආපහු ගලන්ඩ තියා ගත්ත. කුඩා ගංගා දිගේ ගලාගෙන ආපු වතුර මහා ගඟ බාර ගත්තෙ නෑ. ඒ වෙනකොට ඒවට ‍තමන්ගෙ වතුරවත් දරා ගන්ඩ බැරුවයි තිබුණා. ඒ හින්ද කුඩා ගංගාවලුත් ආපහු ගලන්ඩ තියා ගත්ත.

මං ඒක දැකල නෑ. ඒකත් මට මගෑරුණා. ගං වතුර ආපස්සට ගලන එක අමුතු දෙයක්, අමුතු ධර්මතාවක් කියලයි අම්ම කිව්වෙ. ගංවතුර ගෙවල්වලටත් එන්ඩ තියා ගත්ත. අපේ අම්මලෑ ගෙදරටත් ආව. ඒක තට්ටු දෙකට හදපු ගෙයක්. යට තට්ටුව සම්පූර්ණයෙන් ම ගංවතුරින් පිරුණ. ඊළඟට ගංවතුර උඩටත් එන්ඩ පටන් ගත්ත. දැන් ගෙදර ඇත්තන්ට යන්ඩ දිහෑවක් ඇත්තෙ නෑ‍. හැමෝම ඇඳන් උඩටයි, නැඟගන්ඩ පුළුවන් උසම තැන්වලටයි නැග ගත්ත. “සායිබාබ කීවෙ ඇත්ත නං මොකක් හරි ‍අමුතු දෙයක් වෙන්ඩ ඕනෑ” කියල අම්ම කිව්ව. ගංවතුර අපේ අම්මගෙ කුස දක්වා උඩට ගලල ඉන් පස්සෙ බැහැල ගියා. ඒකත් අහම්බයක්.

මං ඉපදෙන්ඩ කලින් ඔන්න ඔය ආශ්චර්යයන් දෙක සිද්ධ වෙලා තියනව. ඒකට මං මොනව කරන්ඩද? ඒ වුණාට මේ සිද්ධීන් දෙක හින්ද ඉපදෙන්ඩත් කලින් ඉඳලම මං සාධුවරයෙක් වෙලා තිබු‍ණ‍. හැමෝම මට ගරු කළා. මිනිස්සු, වයසක උදවිය පවා මගෙ පා ස්පර්ශ කළා. ‘මුළු ගමම ඔබ සාධුවරයෙක් හැටියට පිළිගත්ත” පස්සෙ කාලෙ අම්ම මට එහෙම කිව්ව.

පෙරදිග රටවල මිනිස්සු උපන් දිනය එච්චර තකන්නෙ නෑ. ඒක විකාරයක් විදියට සලකල හිනාවට ලක් කරන්නෙ ඒකයි. කාලාන්තරයකට‍ පෙර උපන්න ක්‍රිෂ්ණගෙ උපන්දිනය ගැන මොකද කියන්නෙ? අපිට ඒ ගැන කිසි ම වාර්තාවක් නෑ. ඒ වගේ ම අපිට එකිනෙකට වෙනස් හුඟක් වාර්තා තියනව කියන්නත් පුළුවන්.

මං උපන්නෙ දෙසැම්බර් එකොළොස් වැනිද. එදා මං උපන්නෙ නෑ කියල ඔප්පු කරන්න පුළුවන් නං මං ඉපදුණේ නෑ කියලත් ඒකෙන් ඔප්පු වෙනවද?

එදා මං මේ ශරීරයට මාංශගත වුණා. ඒක තමයි මං පළමු වතාවට ගහේ වැලේ කොළ පාටයි, ආකහේ නිල් පාටයි දැකපු දවස. ඒක තමයි මං පළමු වතාවට ඇස් අරල මං වටේ ඉන්න දෙවියන් දැකපු දවස. ඇත්ත ම කියනව නං ඒ ‍වෙලාවෙ දෙවියො කියල කෙනෙක් හිටියෙ නෑ. ඒ වෙලාවෙ මං දැක්කෙ මොනවද ඒ තමයි දෙවියො.

මං ඉපදිලා දවස් තුනක් යනකං කිසි ම කිරක් බිව්වෙ නෑ. ඒ ගැන හැමෝම ක‍රද‍ෙර්ට පත්වුණා. ඒ ගැන අවධානය යොමු කළා.” දරුව කිරී බීම ප්‍රතික්ෂේප කරනව නං කොහොමද දරුව ජීවත් කරවන්නෙ?” කියල හිතල දොස්තරවරු කිරි පොවන්නමයි හැදුවෙ. නමුත් ඒ අවස්ථාවෙ ඒ අයට මගෙ අපහසුතාව ගැන අවබෝධයක් තිබුණෙ නෑ. ඒ අපහසුතාව තමයි ඒ ගොල්ලො මට කිරි පොවන්න දරපු වෑය ම මං උහුලගෙන හිටපු එක. ඒක මට හිරිහැරයක් වුණා. ඒ අය පුළුවන් හැම විදියකින් ම මට කිරි පොවන්නමයි හැදුවෙ. මට ඒ හරිහැරය ගැන ඒ අයට පැහැදිලි කරල දෙන්ඩ විදියක් තිබුණෙ නෑ වගේ ම ඒක මට හිරිහැරයක්ය කියල හොයා ගන්ඩත් ඒ අයට විදියක් තිබ‍ුණෙ නෑ.

පෙර භවයෙදි, මං මිය යන්ඩ කලින් නිරත වෙලා හිටියෙ උපවාසයක. ඒක දින 21 ක් එක දිගට යෙදිය යුතුව තිබුණු උපවාසයක්. ඒ දින 21 සම්පූර්ණ වෙන්ඩ දින තුනක් ඉතිරිව තියෙද්දියි මාව ඝාතනය කෙරුණෙ. ඝාතනය වුණ අවස්ථාවෙ මං සවිඥානක වෙලා හිටියෙ තව දින තුනක් ඉදිරියට උපවාසය කළ යුතුයි කියලයි. මං මේ භවයෙ ඉපදෙන කොටත් ඒ දින තුන උපවාසය කළ යුතු ය කියන දේ උපවිඥාන‍ගතව තිබුණ. ඒ නිසා මේ භවයෙ උත්පත්තියෙදි ම මගේ උපවාසය ඉතිරිය සම්පූර්ණ කරන්න මට සිද්ධ වුණා. මම මුරණ්ඩු වෙලා කිරි නොබිව්වෙ ඒකයි. ඒකෙන් පෙනුණෙ පෙර භවයේ යමක් මේ භවයට ගෙන ආ බවයි. ඒ විදිහටයි ඒක අවසන් වුණේ.

දවස් තුනක් යන තුරුම ඒ අයට මගෙ කටේ මොකුත් ම තියන්ඩ බැරුව ගියා. තිබ්බ හැටියෙ මං ඒව ප්‍රතික්ෂේප කළා. ඒත් ඒ විදියට දවස් තුනක් ගත වුණාමත් මං යහතින් හිටිය. හැමෝ ම පුදුම වුණා.

“ඇයි මේ දරුව දවස් තුනක් කිරි බීම ප්‍රතික්ෂේප කෙරුවෙ? ඒත් දරුවට කිසි ම ලෙඩක් නෑනෙ. දුර්වල වෙලත් නෑ. කිරි ටිකක් තොල‍ නොගා දවස් තුනක් ඉඳලත් දරුව සම්පූර්ණ සුවෙන් ඉන්නව!’

ඒක ඒ අයට අබිරහසක් වුණා.

මේ දේවල් ගැන මං කතා කරන්න කැමැති නෑ. මොකද ඒව කල්පිතයි. මට ඒව විද්‍යාත්මකව ඔප්පු කරල පෙන්වන්න විදියක් නෑ. මං ඔබට කිසිවක් විශ්වාස කරන්ඩ කියල කියන්නෙ නෑ. ඒ අනුව මම ඔබේ හිතේ විශ්වාස කිරීමේ ක්‍රමයක් නිර්මාණය වීම නැති කර දමනවා.

අදහස්