සිංගප්පූරු වෙ‍ෙළඳ ගිවිසුම රටේ ආර්ථිකයට වාසියක් | සිළුමිණ

සිංගප්පූරු වෙ‍ෙළඳ ගිවිසුම රටේ ආර්ථිකයට වාසියක්

කිසිදු සිංගප්පූරු පුරවැසියෙකුට හෝ ස්ථිර පදිංචිකරුවෙකුට නිදහස් වෘත්තීය සේවා සැපයීම සඳහා මෙරටට පැමිණීමට අවස්ථාව හිමිනොවන අතර ඉංජිනේරු හා ගෘහ නිර්මාණ සේවා නිදහස් කර ඇති බවට වන ප්‍රකාශ නිවැරදි නොවේ. කිසිදු පුද්ගලයකුගේ පැමිණීමකින් තොරව අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූලික සැලසුම් අනුශාසකත්ව හා උපදේශන සේවා පමණක් මේ ඔස්සේ නිදහස් කොට ඇති අතර ඊට ගෘහ නිර්මාණ හෝ ඉංජිනේරු වෘත්තීන්ගේ නියැලීම ඇතුලත් නොවේ

විදේශීය වෘත්තිකයන්ට හා සේවකයන්ට විශාල වශයෙන් අප රට තුළට පැමිණීමට මඟ පෑදෙන අයුරින් ශ්‍රී ලංකා රජය මෑතකදී සිංගප්පූරුව සමඟ නිදහස් වෙ‍ෙළඳ ගිවිසුමකට එළඹ නැතැයි සංවර්ධන උපායමාර්ගික සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමති මලික් සමරවික්‍රම මහතා අවධාරණය කරයි.

මේ පිළිබඳව ඇතැම් වෘත්තීය සමිති රජයට චෝදනා නඟන්නේ හරිහැටි කරුණු නොදැන සහ අනිසි බියක් ඇතිකරගෙන යැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

කිසිදු සිංගප්පූරු පුරවැසියෙකුට හෝ සථීර පදිංචිකරුවෙකුට හෝ නිදහස් වෘත්තීය සේවා සැපැයීමට නව ගිවිසුමෙන් අවස්ථාව ලබා දී නොමැති බවද අමැතිවරයා පවසයි.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව සමඟ බැඳුණු සමාගම්වල කටයුතුවලට පවා කළමනාකරුවන්, විධායකයන් සහ විශේෂඥයන්ට පමණක් වසර දෙකක් හෝ කොන්ත්‍රාත් කාලය යන දෙකෙන් හෝ අවම කාලය අනුව මෙරටට පැමිණිය හැකි අතර සේවා දිගු කිරීම් සමඟ මුළු කාලය වසර පහක් ඉක්මවා යා නොහැකි බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ වසරේ ජනවාරි මාසයේදී අස්සන් තබනු ලැබූ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙ‍ෙළඳ ගිවිසුම පිළිබඳව පසුගිය සතිවල පැතිරගිය අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මලික් සමරවික්‍රම මහතා මෙසේද කියා සිටියි.

මෑතක දී සිංගප්පූරුව සමග අස්සන් තබන ලද නිදහස් වෙළෙඳ ගිවිසුම නිසි දැනුවත් කිරීමේ ක්‍රියාවලියකින් තොරව රාජ්‍ය ආදායමට බලපෑම් ඇතිවන ආකාරයෙන් සහ විදේශ වෘත්තිකයන් හා සේවකයන් විශාල වශයෙන් රට තුළට පැමිණෙන ලෙස සකස් කරන ලද්දක් යැයි මත ප්‍රචාරය වෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීම කළ යුතුය. මේ ලිපිය ඒ අරමුණින් ලියවෙන්නකි.

ශ්‍රී ලංකා රජය එහි නව වෙළෙඳ ප්‍රතිපත්තියේ අංගයක් ලෙස තෝරාගත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා එළඹීමට සාකච්ඡාවන්හි නිරතවන බව පළමුවෙන්ම සඳහන් කළ යුතුය. අපනයන හා අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය, ගෝලීය නිෂ්පාදන හා අගය දාමයන් සමග දේශීය නිෂ්පාදනකරුවන් සම්බන්ධ කිරීම, ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකය හා ඒකාබද්ධ කිරීම මෙම ප්‍රතිපත්තියේ ඉලක්කය වන අතර ඒ ඔස්සේ වෙළෙදාම හා ආයෝජන අතර බැදියාවක් ඇති කිරීම තුලින් රට තුළට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය වීම සිදු වනු ඇත.

මෙම ඉලක්කය හඹා යෑමේදී, රජය විසින් සියලු පාර්ශ්වකරුවන් සමඟ සංවාදයේ යෙදීමේ හා දැනුවත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටියි. මාගේ අමාත්‍යංශය විසින් වාණිජ්‍ය මණ්ඩල, වෙළෙඳ සමාගම් හා වෘත්තිකයන්ගේ සංවිධාන දැනුවත් කිරීමේ සාකච්ඡා නිරන්තරයෙන් පවත්වන ලදී. එසේම, වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවන්හි ප්‍රගතිය හා ඇති කර ගැනීමේ සම්භාවිතාවක් තිබිය හැකි බැදීම් පිළීබඳව ද පාර්ශ්වකරුවන් දැනුවත් කරන ලදී. ඉදිකිරීම් ආශ්‍රිත සේවාවන්, පරිගණක ආශිත සේවාවන්, සංචාරක අංශය, නාවික අංශය හා තවත් අංශවලට අදාළ පාර්ශ්වකරුවන් සමඟ විශේෂිත දැනුවත් කිරීම් මෙම අමාත්‍යංශය මගින් පවත්වන ලද අතර එම දැනුවත් කිරීම් ඉදිරියට ද සිදුවනු ඇත.

වෘත්තිකයන් හා සේවකයන් විශාල වශයෙන් මෙරටට පැමිණීමට හැකි බවට සමහර වෘත්තීය සංගම් විසින් අනිසි බියක් ඇති කරගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කොට ඇත. සමාගම් අතර මාරුවන ඉහළ කළමනාකාරීත්වයට හා ආයෝජන සමග බැඳුණු සංචාරක අමුත්තන්ට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට මේ ඔස්සේ මෙරටට පැමිණීමට හැකියාවක් නොමැත. එසේම (ආයෝජන හා නොබැඳුණු) නිදහස් පුද්ගල සංචරණය සම්බන්ධයෙන් කිසිඳු බැඳීමක් මේ ඔස්සේ ඇතිකර ගෙන නොමැති අතර වෙළෙඳපළ නිර්ණය, ව්‍යාපාරික ගිවිසුම් වැනි අරමුණු සඳහා පැමිණෙන ව්‍යාපාරික අමුත්තන් (business visitors) සඳහා දින 30කට නොවැඩි කාලයක් සඳහා අවස්ථාව හිමිව ඇත.

ආගමන විගමන පනතේ ප්‍රතිපාදන දැඩි කිරීමට අදාල නව රෙගුලාසි සැකසීම අවසන් කොට ඇති අතර එයනුදුරේදීම අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ඇත. මෙම රෙගුලාසි බලාත්මක වීමෙන් පසුව, ඒවා මඟින්, වෘත්තීය සංගම් හා අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් ඉස්මතුකල කරුණු ආවරණය කරනු ඇත.

සමාගම අතර හුවමාරුවීම් (මෙරට ආයෝජනය සිදුකරන සිංගප්පුරු සමාගමක ශාඛා අතර හුවමාරුවීම්) පිළිබඳව උපලේඛනයෙහි පැහැදිලිව දක්වා ඇති අතර එම හුවමාරු කළමනාකරුවන්, විධායකයන් හා විශේෂඥයින්ට පමණක් සීමා වනු ඇත. ඔවුන්ගේ ඇතුල්වීම ද ආරම්භයේ දී වසර 02ක් හෝ කොන්ත්‍රාත් කාලය යන දෙකෙන් අවම කාලය අනුව සිදුවනු ඇති අතර සේවා දිගුකිරීම් සමඟ මුළු කාලය වසර 05 ක් ඉක්මවා යා නොහැකි වනු ඇත.

කිසිදු සිංගප්පූරු පුරවැසියෙකුට හෝ ස්ථිර පදිංචිකරුවෙකුට නිදහස් වෘත්තීය සේවා සැපයීම සඳහා මෙරටට පැමිණීමට අවස්ථාව හිමිනොවන අතර ඉංජිනේරු හා ගෘහ නිර්මාණ සේවා නිදහස් කර ඇතැයි බවට වන ප්‍රකාශ නිවැරදි නොවේ. කිසිදු පුද්ගලයකුගේ පැමිණීමකින් තොරව අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූලික සැලසුම් අනුශාසකත්ව හා උපදේශන සේවා පමණක් මේ ඔස්සේ නිදහස් කොට ඇති අතර ඊට ගෘහ නිර්මාණ හෝ ඉංජිනේරු වෘත්තීන්ගේ නියැළීම ඇතුළත් නොවන බවට අප ප්‍රකාශ කරනු කැමැත්තෙමු. මෙය අන්තර්ජාලය වැනි දුරස්ථ මාධ්‍ය හරහා පමණක්ම සිදුවන අතර ආයෝජන, මෙරට ශාඛා පිහිටුවීම හෝ වෘත්තිකයන්ගේ පැමිණීම හරහා සිදු නොවේ. මේ ආකාරයේ සේවා සැපයීම දැනට පවත්නා නීති හා රෙගුලාසි අනුව ද සිදුකළ හැකිය. තවද මෙම සේවා සැපයීමට, මෙරට සමාගමක් ඇති කිරීමට හෝ වෘත්තිකයන්ගේ පැමිණීමට මෙම ගිවිසුම හරහා අවස්ථාව හිමි නොවේ. එසේම දැනට පවත්නා ආයෝජන ක්‍රමවේදය ඉක්මවා ගිය නිදහස්කරණයක් මෙම ගිවිසුම ඔස්සේ සිදුකොට නොමැති බව අවධාරණය කළ යුතුය.

මෙම නව රෙගුලාසි මඟින්, විදේශීය පුරවැසියන් සේවයේ යෙදවීමේදී, සේවා කාණ්ඩ, සේවක හා සේව්‍ය වගකීම් හා සුදුසුකම් පිළිගැනීමේදී වෘත්තීය ආයතනවල භූමිකාව වැනි දෑ පිළිබඳව ක්‍රමවේද නියම කිරීම සිදුවනු ඇත. මෙම ගිවිසුම හරහා මිලියන ගණනක සිංගප්පූරු පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් හා ඉන්දියානු බංගලාදේශය හා වෙනත් රටවල පුරවැසියන්ට මෙරටට පැමිණීමේ හැකියාව ලැබෙන බවට විවිධ ප්‍රකාශ නිකුත්කොට ඇත. ප්‍රථමයෙන්ම, 2017 වර්ෂයේ දී සිංගප්පූරු ස්ථිර පදිංචිකරුවන්ගේ ප්‍රමාණය 527,000 බව දැක්විය යුතුය. දෙවනුව එවැනි ස්ථිර පදිංචිකරුවන්ට ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා මෙරට රැකියා කිරීමට අවස්ථාව හිමි නොවන බව පැවසිය යුතුය. මෙරටට පැමිණීමට සුදුසුකම් ලබන්නේ මෙරට ආයෝජනය කර ඇති සිංගප්පූරු සමාගමක ශාඛා අතර හුවමාරු වන්නන්ට පමණි. තුන්වෙනුව එම පුද්ගලයන් අදාළ සමාගම තුළ මාස 12ක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබිය යුතුය. තවද ඉහළ හැකියා සහිත ඉහළ මට්ටමේ පුද්ගලයින් පමණක් ඊට සුදුසුකම් ලබනු ඇත. මේ පිළිබඳව පැහැදිලිවම උපලේඛනයන් හි දක්වා ඇත. පස්වනුව, යම්කිසි පුද්ගලයෙකුට වෙනත් රටක “ප්‍රමුඛ හා වලංගු ජාතිකත්වයක්“ හිමි නම් එවැනි පුද්ගලයන් මේ සඳහා සුදුසුකම් නොලබන බව දැක්විය යුතුය. එම නිසා සිංගප්පූරු සමාගමකට වෙනත් රටක පුරවැසියන් සේවයට බඳවා ගෙන ශ්‍රී ලංකාවේ සේවය සඳහා අන්රටකින්යෙදිවිය නොහැක. ඒ අනුව මෙම ගිවිසුම හරහා විශාල වශයෙන් වෙනත් සිංගප්පුරු නොවන ජාතිකයන්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දී ඇතැයි පැවසීම වැරදි හා නොමඟ යවන සුලු ප්‍රකාශ වේ.

ඉහත කරුණු සලකා බැලීමේ දී ස්ථිර පුරවැසියන්ගේ පැමිණීම ඉතා සීමා සහිත වන අතර එසේ පැමිණීම ශ්‍රී ලංකාවේ සිදුකරන ආයෝජන හා බැඳී පවතින බැවින් සමස්තයක් වශයෙන් රටට ප්‍රතිලාභ හිමිවනු ඇත. භාණ්ඩ වෙළෙඳාම මෙම ගිවිසුමේ තීරුබදු නිදහස්කරණ වැඩසටහන පිළිබඳව ද විවිධ ප්‍රකාශ සිදුකර ඇත. සිංගප්පූරුවේ දැනටමත් 99% තීරු බදු රේඛා නිදහස්කරණය කොට ඇති අවස්ථාවකදී ශ්‍රී ලංකාව 80% තීරු බදු රේඛා නිදහස් කිරීම සිදු කොට ඇති බව සත්‍ය නමුත් එය ඒක පාර්ශ්වික සහනයක් බව දැක්වීම නොමග යැවීමකි. වර්තමානයේ බොහෝ නිදහස් වෙළෙඳ ගිවිසුම් මෙන් ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට වෙළෙඳාම, සේවා, ආයෝජන, ආර්ථික සහයෝගිතා හා වෙනත් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පරිච්ඡේද අන්තර්ගත කොට ඇත. එම නිසා ප්‍රතිලාභ කොටස් වශයෙන් වෙනම ගෙන මැනීම සිදු කළ නොහැක. එක් පරිච්ඡේදයක් යටතේ සහන පිරිනැමීම් තවත් පරිච්ඡේදයක් හරහා සහන ලැබීමට හේතු වී ඇත.

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ මූලික අභිමාර්ථය සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවා අංශයන්ට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා ගෝලීය නිෂ්පාදන හා අගය දාමයන් සමඟ සම්බන්ධ වීම බව නැවත අවධාරණය කරනු කැමැත්තෙමි. එසේම සිංගප්පූරුව එහි අනෙකුත් පාර්ශ්ව රටවල් සමඟ අස්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව සලකා බැලීමේදී, ගිවිසුම් කිහිපයක් හැරෙන්නට අනෙකුත් සියලු ගිවිසුම් හි නිදහස්කරණ මට්ටම තීරු බදු රේඛා 90%ට ආසන්න හෝ ඊට වැඩි මට්ටමක පවති. ඒ හා සැසදීමේ දී ශ්‍රී ලංකාව නිදහස්කරණය 80% සීමා කර ඇති අතර 20% ක තීරු බදු රේඛා දේශීයව සංවේදී අංශ හා ආදායම් ආශ්‍රිත සංවේදීතා රැක කරමින් නිෂේධ ලැයිස්තුවට (තීරු බදු අඩු නොකරන) අන්තර්ගත කොට ඇත

තවද, තීරුබදු නිදහස්කරණ වැඩසටහන ඉතාමත් සුපරික්ෂාකාරීව දේශීය කර්මාන්ත හා ආදායම් එකතු කිරීමට අවම බලපෑමක් සිදුවන පරිදි සකස් කර ඇති බව පැවසීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ තීරු බදු නිදහස්කරණය වසර 12 සිට 15 දක්වා කාල සීමාවක් තුල සිදු වනු ඇත. තීරු බදු නිදහස්කරණ වැඩසටහනට අනුව ගිවිසුම බලාත්මක වූ වහාම 50% තීරු බදු නිදහස් වන නමුත් මේ වන විටත් එම 50% ක් වූ භාණ්ඩ තීරු බදු හා සෙස් බදු රහිත තීරු බදු රේඛා වේ. එම නිසා රාජ්‍ය ආදායම් හෝ දේශීය කර්මාන්ත සඳහා එමඟින් බලපෑමක් සිදු නොවනු ඇත.ඉන්පසුව 15% තීරු බදු රේඛාවන්හි බදු පළමු වසරේ සිට හයවන වසර දක්වා සමාන වාරිකවලින් ඉවත් වනු ඇත.14.3% තීරු බදු රේඛාවන්හි බදු හත්වන වසරේ සිට දොලොස්වන වසර දක්වා සමාන වාරික වලින් ඉවත් වනු ඇත.0.7% තීරු බදු රේඛාවන්හි බදු එකලොස් වන වසරේ සිට පහළොස් වසර දක්වා ඉවත් වනු ඇත.

ඒ අනුව (අ) තීරු බදු අඩු කිරීම හා ඉවත් කිරීම ක්‍රම ක්‍රමයෙන් සිදුවන්නක් අතර (ආ) බොහෝ අර්ධ සංවේදී තීරු බදු රේඛා අදාළ කරගන්නේ හත්වන වසරේ සිට දොළොස්වන වසර දක්වා වූ කාල පරිච්ඡේදය තුළදී හෝ එකොළොස්වන වසරේ සිට පහළොස්වන වසර දක්වා වූ කාල පරිච්ඡේදය තුළදීය.

තීරු බදු නිදහස්කරණයේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම් ගිලිහී යෑමේ අවදානම පිළිබඳව ද ඉස්මතු කොට ඇත. පැහැදිලිවම මෙය ශ්‍රීලංකාවේ ස්ථාවරයට අදාලව වෙළෙඳ සාකච්ඡා පදනම් කර ගන්නා ලද කරුණකි. ගිවිසුම බලාත්මක වූ වහාම නිදහස් වන තීරු බදු රේඛාවන් මේ වන විටත් සියලු රටවල් සදහා (MFN) තීරු බදු හා සෙස් බදුවලින් නිදහස් කර ඇති ඒවා බැවින්, ඒ ඔස්සේ සිදුවන බලපෑමක් නැති තරම්ය. තවද, 2017 වර්ෂයේදී සිංගප්පූරුවෙන් ආනයනය කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1,293 වටිනා භාණ්ඩ දෙස බැලූ කල ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 750ක්ම (සිංගප්පූරුවෙන් සිදුකළ මුඵ ආනයනවලින් 60%ක්ම) පෙට්ට්‍රෝලියම් හා ඒ ආශ්‍රිත භාණ්ඩ වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 228 ක් රත්‍රං ආනයන වේ. පෙට්‍රෝලියම් භාණ්ඩ, දුම්කොළ, ස්ප්‍රීතු හා මධ්‍යසාර වැනි භාණ්ඩ මත පනවා ඇති බදු රජයේ වැදගත් ආදායම් මූලාශ්‍රයක් බැවින් එම භාණ්ඩ නිෂේධ ලැයිස්තුවේ රඳවා ගනිමින් ආදායම් සුරක්ෂිත කොට ගෙන ඇත. තීරු බදු නිදහස් කරන වැඩසටහනේ ඇති ඉතිරි ආනයනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ අතරමැදි භාණ්ඩ වන අතර නිදහස්කරණය මඟින් දේශීය කර්මාන්තයන්හි තරගකාරීත්වය ඉහළ නැංවීම මෙන්ම අනෙක් අතින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ හිමිවීමට ද හේතුවක් වනු ඇත. තීරු බදු නිදහස්කරණ වැඩසටහන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා පවත්වා එහි අනුදැනුම හා අනුමැතිය ඇතිව සකස් කිරීම සිදු කරන ලදී.

එසේම භාණ්ඩ ප්‍රභවය පිළිබඳ රීති සම්බන්ධයෙන් මතුව පවතින කරුණූ නිවැරදි නොවේ. ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමට අනුව සිංගප්පූරුවේ සැලකිය යුතු අගය එකතු කිරීමක් හෝ සැකසීමක් සිදු වන බව සහතික කිරීම සඳහා අවම වශයෙන් 35% අගය එකතු කිරීමේ සීමාවක් හෝ තීරු බදු ශීර්ෂ සංඛ්‍යාංක 4 මට්ටමේ වෙනස් වීමක් සිදුවිය යුතු බවට නියම කොට ඇත. එම නිසා සිංගප්පූරුවේදී අනිවාර්යෙන්ම සිදුකළ යුතු අගය එකතු කිරීමේ හා සැකසීම් මට්ටම් පනවා ඇති බැවින්, මෙම ගිවිසුමේ භාණ්ඩ ප්‍රභවය පිළිබඳ රීති හරහා වෙනත් රටක නිෂ්පාදිත භාණ්ඩ මෙරටට පැමිණීමට අවස්ථාව හිමි නොවේ.

වාණිජ මණ්ඩල, වෙළෙඳ සංගම් හා වෘත්තීය සංගම් සමග අප අමාත්‍යාංශයේ පවත්වාගෙන යන සංවාදය අනෙකුත් යෝජිත ගිවිසුම්වලට අදාළව ද නොකඩවා ඉදිරියට පවත්වාගෙන යෑමට අපි බලාපොරොත්තු වෙමු.

 

Comments