මාතර - හම්බන්තොට අධිවේගයේ ලබන වසරේ යන්න පුළුවන් | සිළුමිණ

මාතර - හම්බන්තොට අධිවේගයේ ලබන වසරේ යන්න පුළුවන්

 ලෝකයේ රටක දියුණුව මනින ප්‍රධාන ඒකකයක් වන්නේ ඒ රටේ මහා මාර්ග පද්ධතිය හා විදුලි සන්නිවේදනයේ ඇති දියුණුව හා කාර්යක්ෂමතාවයි.

අපේ රටේ අධික වාහන තදබදයට පිළියමක් ලෙසින් අධිවේගී මාර්ග තැනිය යුතු බවට අදහසක් ඉදිරිපත් වූයේ අදින් අඩ සියවසකට පමණ පෙරදීය. එහෙත් ඒ සිහිනය සැබෑ වන්නට බොහෝ කාලයක් ගත විය. කොළඹ සිට කටුනායකට අධිවේගී මඟක් තනන්නට කාලාන්තරයක් තිස්සේ සිටම කතාබහට ලක් වී එය ඉපිලෙමින් වරෙක යට යටමින් කතා බස්වලට පමණක් සීමා විය. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය තැනීම ආරම්භ වුවත් පසුව එහි ඉදි කිරීම් සම්බන්ධ ගැටලු රාශියක් මතු වීම නිසා ඉඳි කිරීම් අතර මඟ ඇණ හිටියේය.

කොළඹ සිට මාතර දක්වා වන දක්ෂිණ අධිවේගය ඉඳි කිරීම මේ සමඟම ආරම්භ වූ අතර කොට්ටාව සිට ගාල්ල දක්වා වන එම මාර්ගයේ 1 අදියර මෙරට පළමු අධිවේගී මාර්ගය ලෙසින් ජනතාවට පැවරුණි. පසුව මාතර දක්වාද මාර්ගය දීර්ඝ වුණු අතර එතැන් සිට හම්බන්තොට දක්වා වන මාර්ගය තැනීම එයින් පසුව ආරම්භ කරන ලදී. එහෙත් මෙහි ගැටලුව වූයේ කොට්ටාව - ගාල්ල, මාර්ගයත් ගාල්ල - මාතර මාර්ගයත් තනන අවස්ථාවේදී සිදුවුණු ප්‍රචාරක කටයුතු මාතර - හම්බන්තොට මාර්ගය ඉඳිකිරීමේදී සිදු නොවීමයි.

මීට වසර එකහමාරකට පමණ පෙර අප වාර්තා කළාට වඩා මේ මාර්ගයේ ප්‍රගතිය බෙහෙවින් ඉහළ ගොස් ඇත. අප එදා කීවාක් මෙන් මේ මාර්ගය නිහඬවම ඉදි කෙරෙමින් පවතී.

සංවර්ධන ව්‍යාපෘති සියල්ලම වාගේ අත්හිටුවා ඇතැයි බොහෝ දෙනා විශේෂයෙන් දේශපාලනඥයන් විසින් චෝදනා නැඟුවද මේ සංවර්ධන කටයුතු සිදුවන්නේ ක්‍රමවත් ආකාරයෙන් බව පෙනී ගියේය.

මහවැලි ව්‍යාපාරය වසර 30ක කාලයක් තුළ තනා නිම කරන්නට සැලසුම් කර තිබුණද අවසානයේ මහවැලි ව්‍යාපාරයට අයත් ‍ජලාශ කඩිනමින් එකවර තනා නිම කරන්නට එදා රජය සැලසුම් කරන ලදි. එම නිසා රටේ විශාල ආර්ථික හානියක් වළක්වා ගැනීමට හැකියාව ලැබුණාක් මෙන්ම මහවැලි ව්‍යාපාරයද කඩිනමින් නිමා කර ගැනීමට හැකි විය. මහවැලි ව්‍යාපාරය 'කඩිනම් මහවැලි ව්‍යාපාරය' යනුවෙන් හැදින්වූයේ ඒ අනුවය. අපේ රටට අලුත්ම මාර්ග සංකල්පයක් වූ මේ අධිවේගී මාර්ග ද ඒ අනුවම සැලසුම් කළ ආකාරයට නොගොස් කඩිනමින් නිමා කිරීමේ ප්‍රතිපත්තියක් ගෙන ඇති බව දක්ෂිණ අධිවේගය දෙස බැලූ විට පැහැදිලිව පෙනී ගියේය.

ඒ අනුව මාතර හම්බන්තොට අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩකටයුතු අප පෙර කියූ ලෙසින් බොහෝ දෙනා නොදන්නා නමුත් මේ වන විට ස්ථාන කිහිපයකින්ම ඉඳිකිරීම් ආරම්භ කර වැඩකටයුතු සිදු කෙරෙමින් පවතී. මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝමීටර් 96 කි. එම මාර්ගය කඩිනමින් ඉදි කිරීම උදෙසා අදියර 4ක් යටතේ එකවර වැඩ කටයුතු ආරම්භ කිරීමට මෙලෙස කටයුතු යොදන ලදී.

ඉන් පළමුවැන්න මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කිලෝමීටර් 30ක දුර ප්‍රදේශය සහිත කොටසයි. දෙවැන්න බෙලිඅත්තේ සිට වැටිය දක්වා වූ කිලෝමීටර් 26ක දුර කොටසයි. තෙවැන්න වැටියේ සිට අන්දරගස්වැව දක්වා කිලෝමීටර් 15ක කොටසයි. සිවුවැන්න ලෙස ඉදි වන්නේ මත්තල ගුවන් තොටුපලේ සිට අතුරු අධිවේගී මාර්ගයක් ලෙස පැමිණ අන්දරගස්වැවදී අධිවේගය හා සම්බන්ධ වී හම්බන්තොට දක්වා දිවෙන මාර්ගයයි. එහි මුළු දිග කිලෝමීටර් 25කි.

මාතර -හම්බන්තොට අධිවේගී මාර්ගයේ ආරම්භක සැලැස්මට වඩා මේ සැලැස්ම තරමක් වෙනස්ය. එසේ වෙනස් කර ඇත්තේ එයින් වඩාත් ඵල ප්‍රයෝජන ලැබෙන පරිදිය‍. එසේම එයින් බලාපොරොත්තු වූ නව ප්‍රතිඵල රාශියකි.

එයින් මුල්තැනක් ගන්නේ නිල්වලා නදියේ ජල ගැලීම් මඟින් පහත් බිම් ආරක්ෂා කර ගැනීමයි. එමෙන්ම මාතර ප්‍රදේශයේ කිරළ කැළේ වනෝද්‍යානයට හානි නොවන සේ මාර්ගය ඉදි කිරීමද තවත් අපේක්ෂාවක් විය. එමෙන්ම දන්දෙනිය වන රක්ෂිතයට සිදු වන හානියද අවම කර ඇත. අරන්යාය හා මදුනාගල උනුවතුර ළිං වලට මේ මාර්ගයේ නව සැලැස්මෙන් කිසිදු හානියක් නොවනු ඇත. රිදියගම වනාන්තරයටද හානි නොවන සේ මාර්ගය ඉදි කළ හැකිය.

කිලෝ මීටර් 30 ක් වූ 1 අදියරේ කිලෝ මීටර් 10 ක් පමණම නිල්වලා ගඟේ බලපෑම සලකා මාර්ගය පාලම් මතින් ඉහළින් ගමන් කරන්නට කටයුතු යොදා ඇත. ඉදිකිරීම් කරන විට පතුළේ ඇති දුර්වල කළු පස් ඉවත් කරන්නට සිදුවීමෙන් සිදුවිය හැකි පරිසර හානිය මෙන්ම, නිල්වලා ගඟ පිටාර ගලන අවස්ථාවකදී ඇති වන ගංවතුර තත්ත්වය දිගු කාලයක් නොපැවතී, ජලය බැස යාමට අවශ්‍ය පරිසරය සකස් කිරීමටත් මේ ආකාරයට මාර්ගය ඉහළින් ගමන් කිරීමට සලස්වා ඇත.

මාර්ගයේ ගුවන් පාලම් ඉදි කිරීම සඳහා පස් පිරවීම් කටයුතු මෙන්ම පොළව කැණීම් කටයුතු මේ වන විටත් නිම කෙරෙමින් පවතී. මේ ඉදි කිරීම් සම්බන්ධයෙන්ද චීන තාක්ෂණය භාවිත කෙරේ. එහිදී වගුරුබිම්වලදී වෘත්තාකාර සිලින්ඩර පොළව තුළට බස්සා ඒ සමගම ගල්කුඩු යොදා එම ගල්කුඩු මිශ්‍රණය භූගත වන විට එහි ඇති මඩ සහ ජලය එළියට ගැනීමට සලස්වයි. ඒ හරහා කොන්ක්‍රීට් මිශ්‍රණය භූගත කරනු ලැබේ. පිහිටි පොළව කොතැනද එය හමුවන තෙක් වෘත්තාකාර සිලින්ඩර එකට යා කර ගිලා බැස්සවීම මෙහි තාක්ෂණයයි. මාර්ගය හැකි උපරිම ලෙසින් පරිසර හානි අවම කරමින් මෙන්ම ජනතා ගැටලු අවම වන ලෙසින් ඉදි කිරිමට උත්සාහ ගෙන ඇත.

එසේම අවට ඇති කෙත්වතුවලින් ලබා ගත හැකි අස්වැන්නට හානියක් නොවීමට මෙන්ම මෙවැනි ඉදිකිරීමකදී අඩු වියදම ක්‍රම ගැනද සැලකිල්ලට ගෙන ඇත.

රක්ෂිත වනයක් මැදින් ඉඳි වන අධිවේගී මාර්ගය නිසා එම වනයේ ශාක 1400 ක් පමණ කපා ඉවත් කර ඇති අතර ඒ වෙනුවට එක ගසකට ගස් සියය බැඟින් සිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

චීන නිලධාරීන්ගේ සහායෙන් මේ කටයුතු අමාත්‍යාංශයේත් මාර්ග සංවර්ධන අධිකාරියේත් අධීක්ෂණයෙන් සිදු කෙරේ. අමාත්‍යාංශ ලේකම් ඩී. සී. දිසානායක මහතාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතාත් මේ සම්බන්ධව විශේෂයෙන් අවධානය යොමු කරමින් අදියර 4 හිම ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ පළමු අදියර වන කිලෝමීටර් 30 ක දුර ප්‍රමාණය සමස්ත දුර වන කිලෝ මීටර් 96 හා ගත් විට ඉදිකිරීමේ විශාලතම දීර්ඝතම කොටසක් සහිත අදියර වන්නේය. එම ඉඳි කිරීම් සඳහා ලබා දී ඇති කාලයටත් වඩා වේගයකින් ඉඳි කිරීම් සිදු වන බව පැහැදිලිවම දක්නට ලැබේ. මේ අදියරේද චීන ජාතිකයන් සැලකිය යුතු පිරිසක් සේවයේ යෙදී සිටී.

එසේම බෙලිඅත්ත සිට වැටිය දක්වා දිවෙන දෙවන අදියර ද කෘෂිකාර්මික සමාජයට හිතකර ලෙස ඉදි කිරීමට මුල් තැන දුන් එකකි. එහි ගොවිතැනට අවශ්‍ය පරිදි ජල සම්පාදනයට මෙන්ම ගංවතුර තත්ත්වයකදී ද, වැසි වතුර පිරීමේදී ද එම ජලය බැස යාමට අවශ්‍ය වේලි ඇතුළු සැකසුම් සකස් කර ඇත. විශේෂයෙන් ජනතාවගේ පැවති සබඳතා බිද වැටීම වැළක්වීම පිණිස අධිවේගී මාර්ගය අවටින් ගම් බිම් යා කරන මාර්ග නිර්මාණය වී ඇත. ඒ හරහා අස්වනු රැගෙන ඒමටත් සිය නිෂ්පාදන පරිදි වෙළද පොළට ගෙන ඒමටත් ජනතාවට පහසුව සැලසී ඇත.

තුන්වන අදියර ලෙස ඉදි වන්නේ වැටිය සිට අන්දරවැව දක්වාය. පෞද්ගලික ඉඩම් මතින් ගමන් කරන මේ අදියරේ ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රමාදයන් හැරෙන්නට විශාල පරිසර ගැටලු ආදිය මතුව නැත.

සිව්වන අදියර ලෙස මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට දක්වා විහිදෙන මාර්ග පද්ධතිය හැදින්විය හැකිය.

එහි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වන්නේ ඒ.පී.කේ.අබේධීර මහතායි. ඔහු පවසන්නේ අධිවේගයේ සිවුවැනි ‍අදියර යටතේ ඇති මාර්ගය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුවිශේෂි වටිනාකමක් ඇති එකක් බවයි. හම්බන්තොට නගරයට ප්‍රවේශ වන්නට මෙන්ම මත්තල ගුවන් තොටුපළට සහ හම්බන්තොට වරායට ද කඩිනමින් ළඟා වීමට හැකි පරිදි මෙම මාර්ගය ඉදිකෙරේ.

එසේම තවත් සුවිශේෂී කරුණක් වන්නේ සූරියවැව ආසන්නයෙන් මහා මාර්ගයට යටින් අධිවේගය ගමන් කිරීමයි. එහි භූමි තත්ත්වය මෙන්ම මාර්ගයේ අවසානය ද සැලකිල්ලට ගෙන අධිවේගී මාර්ගය තැනෙන්නේ ප්‍රධාන මාර්ගය යටිනි.

එමෙන්ම ප්‍රදේශයේ පවතින වන අලි ගැටලුව පිළිබඳවද මෙම ඉදිකිරීමේදී විශේෂ අවධානයක් යොමු කර ඇති අතර අලින්ට මෙන්ම අධිවේගී මාර්ගයේ ගමන් කරන පිරිසටද බාධාවක් නොවන පරිදි අලින්ගේ ගමනාගමනය වෙනුවෙන් විශේෂ මාර්ග වේදයක් ස්ථාපිත කිරීමද මෙම ඉඳි කිරීමට ඇතුළත් ව ඇත.

මාතර -හම්බන්තොට අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අපරැක්ක, බෙලි අත්ත, කසාගල, අගුණකොලපැලැස්ස, වැටිය. සූරියවැව, අන්දරවැව, මත්තල, හා හම්බන්තොට ස්ථානවල පමණක් ඉදිවනු ඇත.

මේ මාර්ගය සඳහා වැය වන මුළු මුදල රුපියල් බිලියන 241.9කි. එයින් 1 අදියර සඳහා රුපියල් බිලයන 103.3ක්ද 2 අදියර සඳහා රුපියල් බිලියන 55.2ක්ද 3 අදියර සඳහා රුපියල් බිලයන 31.5ක්ද 4 අදියර සඳහා රුපියල් බිලියන 52.2ක්ද ලබා දී ඇත. ඒ සඳහා ණය ආධාර සපයනු ලබන්නේ චීන එක්සීම් බැංකුවයි. ඒ සියයට 2ක් වූ පොලියකටයි.

මේ වන විට අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ඉදි කිරීම් 60%ක් නිම කර ඇත.

හම්බන්තොට දක්වා මාර්ගය ඉඳි කිරීමෙන් පසුව කතරගම වන්දනාවේ යන වන්දනාකරුවන්ට දිනකදි කතරගම වන්දනා මාන කරගෙන පහසුවෙන් පැමිණීමට හැකි වනු ඇත. කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට පැය 2 1/2ක පමණ කාලයක් ප්‍රමාණවත් වනු ඇත. ඒ අනුව කතරගම දක්වා යාමට උපරිම ව‍ශයෙන් පැය 3 1/2ක් ගත වනු ඇත. උදෑසන කොළඹින් පිටත්ව පෙරවරු 10.30 කතරගම පූජාවට සහභාගි වී අවශ්‍ය නම් සෙල්ල කතරගම ආදී ස්ථානවලට ගොස් එදින පස්වරුවේ යළි කොළඹට පැමිණිය හැකිය.

ලබන වසරේදී මාතර කොළඹට ආසන්න වුවාක් මෙන් කතරගමද කොළඹට ආසන්න වනු ඇත. දකුණු පළාතේ භාණ්ඩ කඩිනමින් කොළඹට ගෙන ඒමට වෙළෙඳුන්ට හැකියාව ලැබෙනු ඇත. සංවර්ධනයේ කඩිනම් භාවය වන්නේද එයයි.

මේ වන විට ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳ හදාරන්නෙකුට ඉතා වැදගත් අධ්‍යාපනයක් ලබා ගත හැකි බැවින් එවැනි අවශ්‍යතා ඇති අයට අවස්ථාව ලබා දෙන ලෙසද මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා විසින් දැනුම් දී ඇත. ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයා තමන්ට උපදෙස් ලබා දුන් බව අමාත්‍යාංශ ලේකම් ඩී.සී.දිසානායක මහතා පවසයි. අධිවේගී මාර්ග සම්බන්ධ තොරතුරු ලබා ගැන්මට අවශ්‍ය අයට ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා විස්තර මෙන්ම එහි අනෙකුත් ක්ෂේත්‍ර පිවිසුම් අවස්ථාවන් පවා ලබා ගත හැකි වනු ඇත.

ඉඳි කිරීමේ සංවර්ධන කටයුතු සියල්ල නිහඬවම සිදු කෙරෙමින් පවතී. ඉදිරියේදී හම්බන්තොට සිට කොළඹට මෙන්ම ගුවන් තොටුපළ මහනුවර මෙන්ම උතුරු පළාතටද ගමන් කළ හැකි වනු ඇත. මේ මාර්ග සංවර්ධන කටයුතු දෙස බැලීමේදී පෙනෙන ප්‍රධාන කරුණු දෙකක් ඇත. ඉන් පළමු වැන්න සංවර්ධන වැඩ කටයුතු නවත්වා නොමැති බවයි. අනෙක් කරුණ උතුරු අධිවේගී මාර්ගයේ වැඩ කටයුතුත් මේ වන විට කඩිනමින් සිදු කෙරෙන හෙයින් ඉතා ඉක්මනින් හම්බන්තොට සිට උතුරු පළාතටද ගමන් කිරීමට හැකිවන බවයි. එය උතුරු දකුණු සංහිදියාවේ තවත් පියවරක් වනු ඇත. ඒ මාර්ගයේද ළඟදීම අපි නිරීක්ෂණ චාරිතාවක නිරත වන්නෙමු.

තාරක වික්‍රමසේකර
සේයාරූ - රංජිත් අසංක සහ මහා මාර්ග අමාත්‍යාංශය 

අදහස්