අලුත් ඉන්ධන මිල සූත්‍රය හා ගම් පෙරළිය | සිළුමිණ

අලුත් ඉන්ධන මිල සූත්‍රය හා ගම් පෙරළිය

 වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රිය­ැදුරන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් නැඟූ වෘත්තිය ක්‍රියාමාර්ග තර්ජන ගර්ජන හා ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය යෝජිත 2018-2037 විදුලි ජනන සැලැස්ම එලෙසින්ම ක්‍රියාවට නංවන්න යැයි ඉල්ලා ගෙන යන අකුරට වැඩ කිරිමේ ක්‍රියා මාර්ග ගෙව් ගිය සතියේ රට උණුසුම් කරන ලද ප්‍රධානතම මාතෘකාව විය. ඒ අතරේ රටේ එදිනෙදා සමාජ ආර්ථීක ක්‍රියාකාරිත්වයට සෘජුවම සම්බන්ධ ප්‍රධානතම කාරණාව වුයේ ලෝක වෙ‍ෙළඳපළේ ඉන්ධන මිල වැඩිවන හා අඩුවන අන්දම විමර්ශනය කර මාස 02කට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළව සැකසු ඉන්ධන මිල සුත්‍රය සදහා රජය කැබිනට් අනුමැතිය ලබා ගැනිමයි.

ඒ අනුව මෙම මිල සුත්‍රය ක්‍රියාත්මක කිරිම සතියකින් පමණ ප්‍රමාද කිරිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පාලනාධිකාරිය කළ ඉල්ලිම නොසලකා වහාම ක්‍රියාත්මක වන පරිදි මැයි 11 දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් අදාළ මිල සුත්‍රයේ විධානයන් පරිදි ඉහළ දැමිමට රජය පියවර ගත්තේය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටර එකක් රුපියල් 162ක් වූ අතර වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ එය රුපියල් 117 දක්වා අඩු කළේ ය. එසේම ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරය රුපියල් 158 සිට 128 දක්වා ද, ඩීසල් ලීටරයක් රුපියල් 111 සිට 95 දක්වා ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 133 සිට 110 දක්වා ද වත්මන් රජය විසින් අඩු කරන ලදී. රුපියල් 106 භූමිතෙල් ලීටරයක් වත්මන් ආණ්ඩුව විසින් රුපියල් 44 දක්වා අඩු කර තිබුණි.

එහෙත් අද (10 දා ) ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77 දක්වා ඉහළ ගොස් ඇති බව මෙම නව මිල සුත්‍රය හඳුන්වා දිම වෙනුවෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා කියා සිටියේය. මේ නිසා වර්තමාන මිල ගණන්වලට ඉන්ධන අලෙවිකිරීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මේ වසරේ මුල් මාස 03 තුළ රුපියල් බිලියන 11.3 ක පාඩුවක් සිදු වී අති බව අමාත්‍ය මංගල සමරවීර මහතා කිය.

මේ අනුව 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නව ඉන්ධන මිල සුත්‍රය අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් රුපියල් 137.00ක් දක්වාද . ඔක්ටේන් 95 පෙට්ට්‍රල් රුපියල් 148ක් දක්වාද . ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 109ක් දක්වාද . සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 119ක් දක්වාද . භූමි තෙල් ලීටරය රුපියල්ල් 101 ක් දක්වාද වැඩි කිරිමට රජය පියවර ගත්තේය.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 155 මට්ටමේ පැවතිම, සිංගප්පුරු බොරතෙල් වෙළෙඳ පොළේ බ්රෙන්ට් තෙල් බැරලයක මිල ඩොලර් 75 ක අගයක පැවතිම යන මුලික කාරණා පදනම්ව හා අනිකුත් ආනයනික ඉන්ධනවලට බලපාන රේගු බදු හා අනිකුත් බදු අනුපාතවල යම් යම් සංශෝධනයන්ට ලක් ව අදාළ පිරිවැය පිළිබිඹු කරන විචල්‍ය මිල සුත්‍රය හඳුන්වා දිම මැයි 05 දා සිට බලපැවෙත්වෙන පරිදි ගණනය කරන ලද ඉන්ධන මිල ප්‍රතිපත්තියක පිහිටා සැම මාස 02 කට වරක් විමර්ශනය කරමින් මින් ඉදිරියට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රකාශ කළේය.

ඉතා දිගු කාලයක් පුරා විවිධ වාද විවාදවලට ලක් වෙමින් අවසානයේ ක්‍රියාත්මක බවට පත් වුණු මෙම ඉන්ධන මිල සුත්‍රය හඳුන්වා දිමට රජය මුලික වශයෙන් කරුණු කිහිපයක් සැලකිල්ලට ගත්තේය. ඉන් රටේ ආර්ථීක විශ්වසනියත්වයට බලපාන ප්‍රධාන කාරණාය වුයේ මෙම මිල සුත්‍රය සඳහා රජයේ අනුමැතිය ලබා ගැනිම ලබන මස අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා අනුමත තරන ලද තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමේ පස්වන ණය වාරිකය ලබා ගැනිමට අනිවාර්ය සාධකයක්ව පැවතිමයි. එසේම මුල්‍ය අරමුදලේ තවත් නිර්දේශයක් වුයේ රාජ්‍ය ආයතන වල පාඩු /පිරිවැය අවම කිරිමේ ක්‍රියා මාර්ග මගින් රාජ්‍ය මුල්‍ය මත වන පිඩනය අවම කර ගැනිමයි. මෙහිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශාල ප්‍රතිව්‍යුහකරණයකට ලක් විය යුතු බව කී අමාත්‍යවරයා නව මිල සුත්‍රය අනුව සංස්ථාවේ අලාභ යම් තාක් දුරකට අවම කර ගත හැකි බවද සඳහන් කළේය.

එසේම, මෙම ඉන්ධන මිල සුත්‍රය වහා හඳුන්වා දිමත් සමඟම රජයට වාර්ෂිකව ඉන්ධන සහනාධාර සඳහා වැයවන රුපියල් බිලියන 55ක පමණ මුදල ඉතුරු කිරිමට හැකිවනවාක් මෙන්ම මෙතෙක් සමාජයේ ඉහළම ධනවතුන් ද එකසේ භූක්ති විඳි ඉන්ධන සහනාධාර සමාජයේ අත්‍යවශ්‍ය පිරිස් මත පමණක් ඉලක්ක කර සමාජ සාධරණත්වය ඇති කිරිම සඳහා පියවර ගැනිමට ද හැකියාව ලැබේ. මේ අනුව කුප්පි ලාම්පු පාවිච්චි කරන දුගී දුප්පත් සමෘද්ධිලාභීන්ට සහ ධීවරයින්ට භූමිතෙල් ලීටරය රුපියල් 44 බගින් කූපන් ක්‍රමයට බෙදාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය. ධීවරයින්ට ලබාදෙන ඉන්ධන සහනාධාරය ජූනි 01 සිට ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරිමට නියමිතය. භූමිතෙල් අඩු මිලට ලබා දිම නිසා ඒවා පෙට්‍රල් සමග මිශ්‍ර කිරිමේ විශාල ජාවාරමක්ද ඇති බවද සඳහන් කළේය.

''ගම් පෙරළිය''

ඉන්ධන මිල වැඩිවිමත් සමඟ එල්ල විය හැකි උද්ධමන තත්ත්වය ගැන කරුණු දැක් වු ඇමතිවරයා සඳහන් කළේ මේ වන විට උද්ධමනය පාලනය කළ මට්ටමකට අඩු ව ඇති බවත් ඒ අනුව මේ මිල සුත්‍රය හරහා එල්ල විය හැකි උද්ධමන බලපැම අවම තත්ත්වයක පවතින බවයි. මගී ප්‍රවාහන ගාස්තු කිරණය විමේදි ඉන්ධන මිලේ බලපැම සියයට 30 ක් බව මෙහිදි කියා සිටි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ඉන්ධන යොදවා කරන විදුලි උත්පාදනය වෙනුවට විකල්ප පොසිල ඉන්ධන භාවිතයට රට හුරු විය යුතු බවද කියා සිටියේය.

දිවයිනේ නොදියුණු ගම් දියුණු කිරීම සඳහා ''ගම් පෙරළිය'' නමින් නව කඩිනම් ව්‍යාපෘතියක් අගෝස්තු මස සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවද මෙහිදි අමාත්‍යවරයා කීය.

මේ සඳහා මෙවර අයවැයෙන් වෙන්කොට ඇති රුපියල් බිලියන 30ක මුදලක් සහ ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් භාණ්ඩාගාරයට ඉතිරිවන බිලියන 55න් කොටසක් ද යෙදවීමට යන බව ද සඳහන් විය. මෙම ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ගම්වල ඇති කුඩා වැව් 2200ක් ප්‍රතිසංස්කරණය කෙරේ. එමෙන් ම සෑම ගමකම ''හරිත උද්‍යානය '' බැගින් පිහිටුවනු ඇත. එහි ජනතාවගේ ශරීර සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍යම ව්‍යායාම සහ ක්‍රීඩා පහසුකම් මෙන් ම පුස්තකාලයක්, භාවන යෝගී වැඩසටහන්, ධර්ම දේශනා පැවැත්වීම සඳහා ශාලාවක් ඉදිකෙරෙන අතර සන්නිවේදන කටයුතු සඳහා වයි ෆයි පහසුකම් ද සලසනු ලබේ. එසේම ගමේ තිබෙන නොදියුණු කුඩා පන්සල්, කුඩා පල්ලි, කුඩා කෝවිල් ,දේවස්ථාන දියුණු කිරීමට ද කටයුතු කරන බවත් මෙම''ගම්පෙරළිය'' කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරි මස 18 තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසී ය.

ද්‍රවීකෘත ස්වාභාවික වායු විදුලි බලාගාර 3

රජයකින් රජයට ලබා දීමේ පදනම මත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර 03ක් මෙරට ස්ථාපනය කිරීමට අනුග්‍රහය දැක්වීමට චීනය, ජපානය හා ඉන්දියාව කැමැත්ත පළ කරනු ලැබ තිබේ. 2021 වර්ෂයෙන් පසු මෙරට බලශක්ති ඉල්ලුමෙහි ඇති වන ඉහළ යාම සැලකිල්ලට ගෙන, ජාතික ආර්ථික සභාවේ නිර්දේශය පරිදි, චීන රජය හා ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ මෙගාවොට් 400ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ජපාන රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ඉන්දියානු රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද ඉදි කිරීම සඳහා අවශ්‍යන ඉදිරි පියවර ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තනි කවුළු ආයෝජන පහසු

ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන ආයෝජකයින්ට රජයේ විවිධ ආයතන මඟින් ලබා දෙනු ලබන අනුමැතීන්/ බලපත්‍ර 14ක් පමණ වර්තමානයේ ලබාගැනීමට සිදු වේ. ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වීම ආයෝජකයින් අධෛර්යවත් කිරීමට හේතු වේ. මෙහිදී සම්බන්ධීකරණ ආයතනය වශයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රියාත්මක වුවද, අනෙකුත් අදාළ රජයේ ආයතනවල පවතින විවිධ ගැටලු හේතුවෙන් එම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේදී බාධා එල්ල වී තිබේ. මෙයට පිළියමක් වශයෙන් නිසි සම්බන්ධීකරණයක් සහ පසු විපරම් කිරීමේ හා නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සහිතව ආයෝජකයින් වෙත පහසුකම් සැලසීමේ තනි කවුළු කාර්යසාධක බළකායක් (Single Window Investment Facilitation Taskforce) පිහිටුවීම පිණිස සංවර්ධන උපායමාර්ග හා අන්තර්ජාතික වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම මඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් මහජනතාවට සැපයීමේදී මෙරට දුම්රිය සේවාව සංවර්ධනය කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකු‍ව වෙතින් ලබා ගනු ලබන ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන 'කොළඹ තදාසන්න දුම්රිය ව්යාංපෘතිය (CSRP)' යටතේ කොළඹ නගරය අනෙක් ප්‍රදේශ හා සම්බන්ධ කෙරෙන තදාසන්න දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත 'කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP)' මඟින් දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය පහත සඳහන් කුඩා පරිමාණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

•දැනට පවතින දුම්රිය ප්‍රවේශපත්‍රය සහ ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කිරීමේ නවීන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.

•දුම්රිය මගීන් සඳහා ගුවන් විදුලි සංදේශ සේවා සැපයීම සඳහා නව පද්ධතියක් සකස් කිරීම.

•කොළඹ, මාළිගාවත්ත පාසල් පටුමඟ දුම්රිය මාර්ග පාලම පුළුල් කර නැවත ඉදි කිරීම.

•කොළඹ දුම්රිය පාලන මධ්‍යස්ථානය හා දුම්රිය මාර්ග මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදි කිරීම.

•නව තාක්ෂණය පද්ධති සහ ක්‍රමවේද ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය මාර්ග තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු සංවර්ධනය කිරීම.

•රත්මලානේ දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා යන්ත්‍ර හා මැදිරි අලුත්වැඩියා කිරීමේ වැඩහලක් ලබා දීම.

•දුම්රිය මාර්ග රක්ෂිතයන් තුළ ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස යෝජනා ක්‍රම 02ක් ඉදි කිරීම.

ඒ අනුව, ඉහත උප ව්‍යාපෘති ඇතුළත් කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්ලයිෆොසේට් තහනම

වල්නාශකයක් වශයෙන් ග්ලයිෆොසේට් භාවිත කිරීම ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට රජය විසින් ගන්නා ලද තීරණය හේතුවෙන් මෙරට වැවිලි ක්ෂේත්‍රය‍ට එල්ල වී ඇති අයහපත් බලපෑම සැලකිල්ලට ගෙන, සීමිත තත්ත්වයන් යටතේ වැවිලි ක්ෂේත්‍රය සඳහා පමණක් ග්ලයිෆොසේට් භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී. එම කමිටුවේ නිර්දේශය පරිදි, ග්ලයිෆොසේට් අධිභාවිතය, අවභාවිතය සහ ජල මූලාශ්‍ර වෙත කාන්දුවීම වැළැක්වීම සඳහා නිසි අධීක්ෂණ යන්ත්‍රණයක් පිහිටුවීමට යටත්ව, දැඩි පාලනයක් යටතේ, තේ සහ රබර් වගාවන් සඳහා පමණක් මාස 36ක කාල පරිච්ඡේදයක් සඳහා ග්ලයිෆොසේට් භාවිත කිරීමට අවසර දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මුදිත ගමගේ

අදහස්