බුද්ධානුස්සතිය | සිළුමිණ

බුද්ධානුස්සතිය

 බුදුරජාණන් වහන්සේ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී දසබලධාරී යන නාමය උන්වහන්සේ වෙනුවෙන් නිරතුරුව භාවිත වේ. උන්වහන්සේ ශ්‍රාවකයින් අභිමුව සිංහනාද කරනුයේ දසබලයකට පැමිණ බව මහා සිහනාද සූත්‍රයේ දී සාරිපුත්ත හිමියන් හට දේශනා කරන ලදි.

‘‘දස ඛො පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ‍්‍රහ්මචක්කං පවත්තෙති.’’

(ශාරිපුත්‍රය, යම්බඳු බලයන්ගෙන් යුත් තථාගත තෙමේ ශ්‍රේෂ්ඨ ස්ථානය (තමන් වහන්සේ කෙරෙහි ඇතැයි) ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වා ද, මේ එබඳු තථාගත බල දසයෙක් වෙයි.)

බුදු ගුණ

බුදුරජාණන් වහන්සේගේ සැබෑ ස්වභාවය අවබෝධ කිරීමට උන්වහන්සේ තුළ විද්‍යමාන ඥානයන් පිළිබඳ දැනගත යුතු ය. එම ගුණයන් තේරුම් ගැනීමෙන් බුදුරජාණන් වහන්සේ සතු අවබෝධය සහ උන්වහන්සේ ලෝකය හමුවේ ප්‍රකට කළ සත්‍යය කවරේ ද යන්න යම් ප්‍රමාණයකින් හෝ අවබෝධ කිරීමට හැකියාවක් ලැබේ. ශ්‍රද්ධාව ක්‍රමයෙන් දියුණු කිරීම සඳහා බුදුගුණයන් නිරතුරුව මනසිකාර කළ යුතු ය. එය කරුණු දැන සිදුවන දියුණුවක් හෙයින් ගැඹුරු අවබෝධ ඥානයක් කරා චිත්තය දියුණු කිරීමට ද ඉවහල් වේ.

බුදුගුණයන් නිරතුරුව සිහිපත් කිරීම සෑම මොහොතකම සිත සන්සුන් ස්වරූපයකින් තබා ගැනීමට උපකාරී වේ. එයින් සිදුවන කුසලය ද අප්‍රමාණය. දසබල ස්වරූපයෙන් මෙහි දක්වන ඥානයන් පිළිබඳ නිරතුරුව සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාව සඳහා ද මහත් පිටිවහලක් සපයයි.

පළමු ඥානය කවරේ ද යන්න මෙසේ දක්වා ඇත.

‘‘ඉධ සාරිපුත්ත, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති..’’

පළමු ඥානය

යම් දෙයක් සිදු වීම සඳහා ඒ දෙය ඇති වීමේ හේතුව සහ හේතු නොවන්නේ යම් කරුණක් ද

යන්න පිළිබඳ තථාගතයන් වහන්සේ තුළ පවත්නා අවබෝධය මේ ඥානයෙන් විද්‍යමාන වේ. ලෝකය තුළ සිදු වන සියලු දෙයට ම යම් හේතුවක් ඇත. එසේ ම යමක් සිදු නොවන්නේ නම් එයට ද හේතුවක් ඇත. එසේ සිදු වන නොවන හේතු සහ අහේතු යන සියල්ල පිළිබඳ ඇති අවබෝධය මෙයින් ප්‍රකට වේ. ඒ සඳහා නිදසුන් බොහෝ සෙයින් සැපයිය හැක. තථාගතයන් වහන්සේ මේ ඥානයෙන් අවබෝධ කරනුයේ කවර කරුණු ද යන්න තේරුම් ගැනීම වැදගත් ය. සෝවාන් පුද්ගලයාගේ සැබෑ ලක්‍ෂණ සහ එවන් පුද්ගලයකු විසින් කිරීමට සමත් දේ සහ නොසමත් දේ පිළිබඳ ආදී සියල්ල දැනීම ද මේ ඥානය යටතේ විද්‍යමාන ය. කිනම් අවස්ථාවක හෝ සෝවාන් පුද්ගලයකු විසින් මව මැරීම, පියා මැරීම ආදී ආනන්තරීය කර්මයන් සිදු කිරීමට කිිසිදු හේතුවක් නොවන බව ප්‍රකට ය. ඒ සඳහා හේතුද ඇත. එහෙත් සෝවාන් නොවන පෘතග්ජන පුද්ගලයකු විසින් එවැනි කර්මයන් සිදු කිරීමට හේතු ඇත. සෝවාන් පුද්ගලයකු විසින් කිසිදු අවස්ථාවක සංස්කාරයන් නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් ගැනීමට හේතුවක් නොමැත. එහෙත් සෝවාන් නොවන පුද්ගලයින් විසින් සංස්කාරයන් නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් ගැනීමට හේතු ඇත. කෙතරම් ශ්‍රද්ධාවෙන් සිටිය ද සෝවාන් නොවුණු පුද්ගලයකු විසින් ඕනෑම මොහොතක බුදුරජාණන් වහන්සේ අතහැර වෙනත් ශාස්තෲවරයකු පිළිගැනීමට හේතු ඇත. *සෝවාන්ඵලය

එහෙත් සෝවාන් පුද්ගලයකු විසින් භවාන්තරයේ වුව ද කිසිදු අවස්ථාවක නැවත බුදුරදුන් අතහැර වෙනත් කිසිදු දෙවියකු, පුද්ගලයකු හෝ සරණ නොයයි. තම ශාස්තෲන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ අතහැර නොය යි. එසේම එක් සක්වලක එකවර බුදුවරු දෙනමක් පහළ වීමට හේතුවක් ද නොමැත. කිසිදුපඅවස්ථාවක ස්ත්‍රී භවයේ සිට බුද්ධත්ත්වය ලැබිය නොහැකි ය යන්න ද සඳහා ද හේතු ඇත.

මෙවැනි කරුණු සිදු වීමේ හේතු සහ අහේතු ආදි සියල්ල පිළිබඳ මේ ඥානයෙන් ප්‍රකට වේ. සාමාන්‍ය මිනිසුන්ට මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොවේ. නුතනයේ සමානාත්මතාවය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී පුරුෂයාට සේ ම ස්ත්‍රියට ද සම තැන් ලැබිය යුතුය යනුවෙන් බොහෝ දෙනා සාකච්ඡා කරන අයුරු දක්නට ලැබේ. එම කරුණ සාකච්ඡා ක යුත්තේ ඉතා පුළුල් පරාසයක් තුළ ය.

වෙනත් සාකච්ඡුා කළ යුතු බොහෝ කරුණු ප්‍රකටව තිබිය දී ඇතමුන් ස්ත්‍රියට බුදුවිය නොහැකිය යන කරුණ පාදක කොටගෙන බෞද්ධ දර්ශනයට පහර ගැසීමට උත්සහ දරන අයුරු ද පෙනේ.

ස්ත්‍රිය

එය ඔවුන්ගේ බුද්ධි හීන ස්වභාවය ප්‍රකට කරන්නකි. ස්ත්‍රියට බුදුවිය නොහැකිය යන කරුණ සම්මුති ලෝකය තුළ බුදුරදුන් ප්‍රකට කළ ද එය බුදුරදුන්ගේ නිර්මාණයක් හෝ මතයක් නොව ධර්ම ස්වභාවය යි. එසේ නොවීමට හේතු කවරේ ද යන්න පිළිබඳ කරුණු බුදුරදුන් විසින් තම ඥානයෙන් මැනවින් අවබෝධ කොට එම කරුණු ලෝකය හමුවේ ප්‍රකට කරන ලදි. එම කරුණ පමණක් නොව ස්ත්‍රීත්වයේ සිට චක්‍රවර්තී රජ වීමට ද, මාරත්වය කළ හැකි වීමට ද, බ‍්‍රහ්මත්වය කළ හැකි වීමට ද හේතුවක් නැති බව ප්‍රකට කරන ලදි. ඒ ඒ කර්මයන් සිදු කිරිමේ දී ද දුශ්චරිතයන් මගින් ඉෂ්ට විපාක ලැබිය නොහැකි බව ද, සුචරිත වූ කුශලයන් මගින් අනිෂ්ට විපාක ලැබිය නොහැකි බව ද ප්‍රකට කොට ඇත. ඒ සඳහා පවත්නා හේතු ඇත. මේ සියලු කරුණු පිළිබඳ පවත්නා යථා ස්වභාවයෙන් ම දත හැකි ආකාරයේ ඥානයක් තථාගතයන් වහන්සේ තුළ විද්‍යමාන ය. එය පළමු ඥානය යි.

දසබල ඥාන අතුරින් දෙවන ඥානය වශයෙන් දක්වා ඇත්තේ කර්ම විපාකයන්ගේ ස්වභාවය දක්නා ඥානය යි. එය පහත පරිදි විග්‍රහ කොට ඇත.

‘‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති.’’

දෙවන ඥානය

කර්මයන්ගේ අතීත, අනාගත, පච්චුප්පන්න වශයෙන් විපාක දීමේ ස්වභාවය දැක ගැනීම පහසු නොවේ. කර්ම විපාක ස්වභාවය අචින්තනීය වන අයුරු අංගුත්තර නිකායේ අචින්තෙය්‍ය සූත්‍රයෙහි දක්වා ඇත. ඒ ඒ කර්ම විපාක භවයෙහි විපාක දෙන ආකාරය ධර්මයෙහි විවිධ ස්ථානයන්හි විග්‍රහ කොට ඇත. යම් කර්මයක් කළ පසු එහි විපාකය විපාකත්වයට පැමිණෙන ආකාරය යථාස්වභාවයෙන් දැකීම ශ්‍රාවකයන්ට ද අවිෂය කරුණකි.

එහෙත් කර්මයේ විපාකත්වය පිළිබඳ තම ඥානයට අනුරූපීව දැන සිටීම අතිශය වැදගත් ය. කර්මය විපාකත්වයට පැමිණිම විවිධ ස්වරූපයන්ගෙන් දැක්විය හැක. 01. ගරුක කර්ම, 02. ආසන්න කර්ම, 03. ආචිණ්න කර්ම, 04. කටත්තා කර්ම වශයෙන් විපාක දීමට ඉදිරිපත් වන ආකාරය අනුව සතරාකාර වේ. 01. දිට්ඨධම්මවේදනීය, 02. උපපජ්ජවේදනීය, 03. අපරාපරිය, 04. අහොසි වශයෙන් විපාක දෙන කාලය අනුව සතරාකාර වේ. එසේම කෘත්‍ය වශයෙන් කර්මය සතරාකාර වේ. 01. ජනක කර්ම, 02. උපත්ථම්භක කර්ම, 03. අපපීළක කර්ම, 04. උපඝාතක කර්ම වශයෙනි.

එසේම අභිධර්ම නය අනුව කර්මය විපාක දෙන ආකාරයන් 16 ක් දැක්විය හැක.

අකුසල පක්ෂය භජනය කරන ආකාරයන් අටක් දැක්විය හැක. 01. ගති සම්පත්ති බාධක, 02. උපධි සම්පත්ති බාධක, 03. කාල සම්පත්ති බාධක, 04. පයොග සම්පත්ති බාධක, 05. ගති විපත්ති සාධක, 06. උපධි විපත්ති සාධක, 07. කාල විපත්ති සාධක, 08. පයොග විපත්ති සාධක වශයෙනි. එසේම අකුසල පක්ෂයෙහි ආකාර අටක් ද දැක්විය හැක. 01. ගති විපත්ති බාධක, 02. උපධි විපත්ති බාධක, 03. කාල විපත්ති බාධක, 04. පයොග විපත්ති බාධක, 05. ගති සම්පත්ති සාධක, 06. උපධි සම්පත්ති සාධක, 07. කාල සම්පත්ති සාධක, 08. පයොග සම්පත්ති සාධක වශයෙනි.

විපාක

මෙම විග්‍රහයන්ට අමතරව පටිසම්භිදාප්‍රකරණයට අනුව අහොසිකම්ම අහොසිකම්ම විපාක,

අහොසිකම්ම නාහොසිකම්ම විපාක ආදී වශයෙන් කර්මය විපාක දෙන ආකාරයන් දොළොසක් (12) දක්වා විග්‍රහයට ලක්කළ හැකි ය.

දක්වන ලද මෙම කරුණුවලට අනුසාරයෙන් කර්ම විග්‍රහයේ පවත්නා සංකීර්ණ ස්වරූපය අවබෝධ කළ හැකි ය. මෙම එක් එක් කරුණක් දීර්ඝව විග්‍රහ කළ යුතු හෙයින් මෙහි දී නාමිකව පමණක් දක්වා ඇත. කර්මයේ ස්වරූපයන්ට අනුව තවත් විග්‍රහයන් ද දක්නට ලැබේ. කර්මය අල්ප සාවද්‍ය, මහාසාවද්‍ය යනුවෙන් කොටස් දෙකකට ද බෙදේ. මේ සියලූ විග්‍රහයන්ගෙන් තේරුම් ගත යුත්තේ කර්මය කෙතරම් ගැඹුරුද යන්න යි.

මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේට නිරවුල් අවබෝධයක් පවතී. කර්මය සිදු කරන මොහොතේ සිත තුළ විද්‍යමාන චිත්ත චෛතසික ස්වභාවය, එහි බාහිර පරිසරය, එයට ලක්වන සිදුවීම ආදිය අනුව එය විපාකත්වයට පැමිණෙන්නේ එක ම ආකාරයට නොවේ. කර්මය අතීත, අනාගත, වර්තමාන අයුරින් විපාක දෙන ආකාරය දැනගත හැකි වන්නේ බුදුරජාණන් වහන්සේට පමණි. කර්මයේ ස්වභාවය දැන සිටීම අතිශය වැදගත් වනුයේ සත්ත්වයාට සසර තුළ කර්මය තරම් බලපවත්වන වෙනත් කරුණක් නොමැති හෙයිනි.

බුදුරජාණන් වහන්සේ තුළ විද්‍යමාන වූ මෙම ඥානය පිළිබඳ කරුණු හැදැරීමෙන්, ඒ පිළිබඳ නැවත නැවත විමසීමෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව දියුණු වන අතර කර්මය පිළිබඳ තම ඥානය ද ක්‍රමයෙන් දියුණුවට පත් වේ.

එසේම බොහෝ කරුණු පිළිබඳ ප්‍රඥාව උපදවා ගැනිම සඳහා බුදුගුණ සිහිපත් කිරීම අතිශයින් ම උපකාරී වේ.

ජී.ජී.ජී. පුෂ්පකුමාර් 

අදහස්