කැඩුම්-බිඳුම් ගැනබොහෝ දෙනාගේ ආකල්පය වැරැදියි | සිළුමිණ

කැඩුම්-බිඳුම් ගැනබොහෝ දෙනාගේ ආකල්පය වැරැදියි

පාරම්පරික වෛද්‍ය උපාලි පතිරගේ

රජකම් කළත් කළකම් පල දෙන්න ගත වන්නේ මොහොතයි. ඒ නිසා අප සියලු දෙනා අපේ ඉරියවුවලදී බොහොම පරිස්සම් විය යුතුයි. කොතරම් පරිස්සම් වුණත් ලොකු-පොඩි භේදයකින් තොරව අප සැම දෙනාටම නොහිතන මොහොතක අතුරු-අන්තරා සිදු වන්න පුළුවන්. එහිදී අපේ අත-පය, ඉල ඇට මෙන්ම හිස වුණත් බිඳී යන්න පුළුවන්. මෙවැනි අනතුරක් සිදු වූ සැණින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ගත හොත් ඒවා යථා තත්ත්වයට පත් කළ හැකිවා සේම වැරැදි ප්‍රථමාධාර හා වැරැදි පියවර නිසා සදහටම තමන්ගේ අතක්-පයක් බිඳී යන්න, එක්කෝ අංගවිකල හො නැත්තටම නැති වී යන්නත් ඉඩ තිබෙනවා. කැඩුම්-බිඳුම් සඳහා විශේෂ ‘රණාලේ වෙද මහත්මයා’ හෙවත් පාරම්පරික වෛද්‍ය උපාලි පතිරගේ වෙද මහතා මේ පිළිබඳ ‘සිළුමිණ’ පාඨකයන් වෙනුවෙන් දැනමුතුකම් කීපයක් ඉදිරිපත් කළා.

රණාල සියඹලා ගහ හන්දිය ආසන්න කන්දහේන වත්තේ පන්සල් වත්ත පිටුපසට වන්නට වත්මන් රණාලේ වෙදමැඳුර පිහිටියත්, වෙදමහතාගේ සීයා සහ පියා රටම හඳුනාගත්තේ ‘සියඹලා ගස් හන්දියේ කැඩුම් බිඳුම් වෙද මහත්වරුන්’ හැටියටයි. පරම්පරා තුනක් තිස්සේ පැවතෙන විශේෂ වට්ටෝරු ක්‍රමවල බලයෙන් උපාලි පතිරගේ වෙද මහතා තමා වෙත එන රෝගීන් සුවපත් කිරීමට කටයුතු කරන්නේ බොහොම කැප වීමෙන්.

“අපේ බොහෝ දෙනා අතර කැඩුම්-බිඳුම් ගැන තිබෙන ආකල්පය වැරැදියි...” පතිරගේ වෙද මහත්මයා කතාව ආරම්භ කළේ එසේ කියමින්.

“ආයුර්වේදයේ අස්ථි කැඩෙන ක්‍රම එහෙමත් නැත් නම් භග්න වර්ග 12ක් උගන්වනවා. ඉන් මූලික වර්ග දෙකයි. එකක් විවෘත, අනෙක සංවෘත. සංවෘත බිඳීමකදී ඇටය කැඩුණාට එය පිටතට එන්නේ නෑ. එහි වාසියකුත් තිබෙනවා. මොකද: අද කාලේ බැක්ටීරියා වර්ග ආදිය ඉතා වැඩි පරිසරයක් ඇති නිසා බාහිර තුවාලයක් නොවීමෙන් රෝගියාගේ ජීවිතය ආරක්ෂා වීමට එය හේතුවක්. විවෘත බිඳීමකදී අස්ථිය එළියට ඒමෙන් බාහිර තුවාල ඇති වනවා. එහි කුණු-රොඩු කැබලි හා බැක්ටීරියා වර්ග රැඳීම නිසා ආසාදනය වනවා. එය ඉහත ක්‍රමයත් සමඟ සැසඳුවාම අවාසිය වැඩියි.

“ඒ වගේ අස්ථි භග්න ක්‍රම සිදු වන දොළොස් ආකාරය සුව වන්න ගත වන කාලයත් එකිනෙකට වෙනස්. කොහොම වුණත් මෙවැනි ඇට කැඩීම් ප්‍රධාන හේතු තුනක් නිසා ඇති වන්න පුළුවන්. පළමු වැන්න: ඍජු පීඩනයක් ඇතිවීම. නිදසුනක් ලෙස: පොලු පහරක්, රිය අනතුරක්, වෙඩි පහරක් වැදීම නිසා ඒ පීඩනය ඇති වන ස්ථානයේ අස්ථිය කැඩී යෑම. දෙවනුව: අනියම් පීඩනයක්, විශේෂයෙන්ම වැටීමක් නිසා පීඩනය ලැබෙන ස්ථානයට ඈතින් පිහිටා ඇති ස්ථානයක අස්ථි භග්නය සිදු වන්න පුළුවන්. වැටෙන විට අත බිම තැබීමෙන් උරහිස් සන්ධියේ හෝ වැලමිට සන්ධියේ ඇටයක් බිඳීම සුලබ නිදසුනක්. ඊළඟට: පේශී දැඩි ලෙස සංකෝචනය වීම සිදු වන්නේ විශාල බරක් එසවීමේදී හො වැටීමක් වැළැක්වීමට උත්සාහ කිරීමේදීයි. ඒ සඳහා අප යොදන දැඩි පීඩනය නිසා අදාළ පේශි තදින් සංකෝචනය වී ඊට ඇතුළෙන් ඇති අස්ථිය බිඳි යන්න පුළුවන්. නිදසුනක් ලෙස: තරමක් ස්ථුල ශරීරයක් ඇති කෙනකු බිම වැටුණු පෑනක් ගන්න පැත්තට නැවීමේදී ඇති වන පීඩනය නිසා ඉල ඇට බිඳී යා හැකියි. මේ නිසා අපේ ඉරියවු පිළිබඳ වගේම ඇට බිඳීම් පිළිබඳ ඉතා කල්පනාකාරීව සිටීම බොහොම වැදගත්.”

වෙද මහතා මෙසේ විස්තර පවසද්දී අප අතර නිතර අසන්නට ලැබෙන උළුක්කුව, කෙටීම හා පැනීම වැනි දේ පිළිබඳ මුලින් අසා දැනගැනීමට මට සිත් වුණා. අස්ථි බිඳීමක් වැනි දරුණු තත්ත්වයකට වඩා සරලව ගත්තද අපේ නොදැනුම්වත්කම් නිසා උළුක්කු ආදිය වරද්දාගන්නා බවයි ඔහු පෙන්වා දුන්නේ.

• උළුක්කුව

“උළුක්කුවක් කියන්නේ සැම විටම වළලුකර, ඇඟිලිවල සන්ධියට පිටින් ඇති සන්ධි ප්‍රාවරණය නැත් නම් මාංසපේශි, ඛණ්ඩරා ඉරී යෑමයි. මේ වගේ වෙලාවට බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ නිවුන්නුන්ට කියලා උළුක්කුව අද්දාගැනීමටයි. ඒත් ඒ තරම් වැරැදි ප්‍රතිකාරයක් තවත් නෑ. මොකද: උළුක්කුවක් වී ඉරී ගිය පේශිවලට තවත් තෙරපීමක් හෝ ඇදීමක් නොකළ යුතුයි. හොඳම දේ ප්‍රථමාධාරයක් හැටියට වැඩිය තද නොවන ලෙස වෙළුම් පටියකින් එතීමයි. ඇත්තෙන්ම නිවුන්නු ලවා උළුක්කු ඇදීම අයත් වන්නේ සමාජ ප්‍රතිකාර ගණයට. එය ආයුර්වේද ක්‍රමවලට අයත් වන්නේ නෑ. ඒවායේ ඇති දේවල් වෛද්‍ය විද්‍යාත්මක මූලධර්මවලින් තේරුම් කරන්න බෑ. බටහිර ක්‍රමයට කිසිම බේතක් නොයොදාම වෙළුම් යොදා විවේකීව පසුවන්න උපදෙස් ලැබෙනවා. ඒත් අපේ ක්‍රමයට තෙල් වර්ගයක් වැනි බේතක් යොදලා ශරීර අභ්‍යන්තර ක්‍රියාවලිය පහසු සහ ඉක්මන් කරවනවා. එයයි වෛද්‍ය ක්‍රම දෙකේ වෙනස. ගම්බදව තවත් බහුල දෙයක් තමයි කෙක්ක කකුලේ ඇනීම. මොකද: කඩාගන්න ගෙඩිය ගැන මිසක් පහළට අදිද්දී කෙක්කේ අග කකුලට එනවා කියලා මතක් වෙන්නේ නෑ. එයටත් තෙල් ගා සියුම්ව අත ගා වැදුණු තැන නොසෙල්වෙන පරිදි බැඳ තැබීම අත්‍යවශ්‍යයි.

• තැල්ම

“සාමාන්‍ය තැල්මකදී එතැන ඒ කියන්නේ පටකවල සාමාන්‍යයෙන් පවතින රුධිර ප්‍රමාණයට වඩා වැඩි රුධිරයක් එකතු වෙනවා. බටහිර ක්‍රමයට තැල්ම කිසිවක් නොකර තිබෙන්න ඇරියත්, දේශීය ක්‍රමයට පත්තුවක් බැඳීමෙන් දින තුනක් පමණ ඇතුළත සුව කරගන්න පුළුවන්. වෛද්‍ය ක්‍රම දෙකේදීම තැල්මකදී ප්‍රථමාධාරයක් ලෙස විනාඩි 45ක් පැයක් වගේ ඇතුළත පමණක් අයිස් තියන්න කියන්නේ රුධිර වාහිනී සංකෝචනය වෙලා ඉසිරීම අඩු වන නිසයි. ඒත් තැල්මෙන් බොහෝ වේලාවකට පසු අයිස් තැබීමෙන් සිදු වන්නේ ඉදිමුම බැසීමට කල් ගත වීමයි. ඒ කොහොම වුණත් දින 14ක් තුළ නම් ඉදිමුමක් බැස යා යුතුයි.

• කෙටීම

“කෙටීමකදීත් උළුක්කුවකදී මෙන්ම සන්ධි බන්ධන ඉරී යනවා. අස්ථි අතර ඇති කාටිලේජය තුවාල වෙනවා. මෙයටත් කළ යුත්තේ විවේක ගැනීමයි. මොකද: අස්ථි අතර ඝර්ෂණය වළක්වන කාටිලේජය යථා තත්ත්වයට පත් වන තුරු එය පෑරීම නුසුදුසුයි. විවේකය ගත යුත්තේ බන්ධන සහිත ප්‍රතිකාර (ඒ කියන්නේ: බැන්ඩේජයක් හෝ අපේ ක්‍රමයට වෙළුම් පටි) යෙදූ පසුවයි.

• විස්ථාපනය‍

“මෙය ඉහත සියල්ලට වඩා කල්පනාකාරීව හැසිරවිය යුතු තත්ත්වයක්. උරහිස, වැලමිට, දණහිස හා හක්ක වැනි තැන් මේ තත්ත්වයට ගොදුරු වුව හොත් ක්‍රමානුකූලව සකස් කළ යුතුමයි. දණිස් පොල්කට්ට කියා අප හඳුන්වන කටාහකය කකුල දිගහැර අතගා සකස් කළ යුතුයි. හක්ක පැනීමකදී සමහරු හොඳ පාරක් හක්කට ගහලා සකස් කරන්න උත්සාහ කරනවා. එය අතිශය භයානක වැඩක්. මොකද: එයින් හකු ඇටය කැඩුණොත් මහා ව්‍යසනයක් සිදු වන නිසා. හොඳම දේ: දැනුමැති වෛද්‍යවරයකු වෙත වහා රැගෙන යෑමයි. උරහිස් සන්ධිය පැනීමකදීත් සකස් කරන ක්‍රම හතරක් තිබෙනවා. එතැන ඇත්තේ ග්ලෙනාඩ් කුහරය නමින් හඳුන්වනු ලබන ගෝල කුහර සන්ධියක්. එය සමහරුන්ගේ උපතින්ම ඈත් වී තිබෙනවා. එසේ වූවොත් පුරුද්දක් ලෙස උරහිස පනින්නත් පුළුවන්. යමකුගේ උරහිසක් පැන ඇති අවස්ථාවක එය නොදැන සැකසීමට වඩා කළ යුත්තේ නොසොල්වා වෛද්‍යවරයකු වෙත රැගෙන යෑමයි. මොකද: යම් විදිහකින් සනීප කළ නොහැකි ලෙස කැඩී ඉවත් වුව හොත් හෝ රුධිර සැපයුමෙන් වෙන් වුව හොත් හෝ තත්ත්වය බරපතළ වනවා. උකුල පැනීමත් ඒ වගේ. සමහර විට ඒ සමඟම උකුල් ශීර්ෂ භග්නය සිදු වන්නත් පුළුවන්. ඒ කියන්නේ උකුල් ඇටය තැන් තුනකින් කැඩෙන්න පුළුවන්. බෝලය වැනි ස්ථානයේ කර මුලින්ම කැඩී, රුධිර සැපයුම නැති වුණොත් ප්ලාස්ටික් සැත්කම් වැනි බටහිර ක්‍රමයකට පවා යොමු වන්න සිදු වනවා.”

එසේ කියූ පතිරගේ වෙද මහතා ආයුර්වේදයේ මේ සඳහා අස්ථි බුරුල් වීමටත්, සවි වීමටත් ගුණයන් දෙකක පැළෑටි සංයෝජනය කරන ආකාරය ගැනද විග්‍රහ කළේය.

“අස්ථි පිළිබඳ ප්‍රශ්නවලදී අපට වරෙක අස්ථිය බුරුල් කරගැනීමටත් තවත් වරෙක ඇට පෑස්සීමටත් අවශ්‍ය වන අවස්ථා තිබෙනවා. චන්ද්‍ර ගණයේ ඖෂධ අප යොදාගන්නේ අස්ථි බුරුල් කිරීමට. ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ ඔසුපැළවල ගුණය වෙනස් නිසා සංයෝජනයත් වෙනස් විය හැකියි. කොහොම වුණත් චන්ද්‍ර ගණයට අයත් ගොඩපර, දියලබු මද, හාතාවාරිය අල, නෑඹිරිත්ත, පෙනෙල, ඉඳි බොඩ, වැටකේ බොඩ වගේ දේවල් ඒ ඒ ප්‍රදේශය අනුව එකම ගුණය ලබාගැනීම සඳහා භාවිත කරන්න පුළුවන්. අස්ති පාස්සන ගුණය අන්තර්ගත සූර්ය ගණයේ ඖෂධවලට අයත් වන්නේ පළු පොතු, කැටකෑල, අංකෙන්ද, හික්, අට්ටික්කා, දිවිකදුරු, වේ පොතු, නුග පොතු වැනි දේවල්.”

අත්බේතක් ලෙස ඕනෑම අස්ථි ගැටලුවකට යොදාගත හැකි තෙල් වර්ගයක් ඇත්දැයි අපි වෙද මහත්මයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ වියළි ද්‍රව්‍ය 12ක් සහ අමු ද්‍රව්‍ය 12ක් යොදා හින්දනු ලබන ‘මහා හන්දි තෛලය’ උළුක්කු, කැක්කුම් වේදනා සියල්ලට පොදුවේ භාවිත කළ හැකි බවයි.

ඒ මූලික දැනුමත් සමඟ අස්ථි භග්න වර්ග 12, නැත් නම් ඇට බිඳීම් ස්වභාව හා හැඩ අනුව බෙදා වෙන් කරන ආකාරය පිළිබඳ විග්‍රහයට අප යොමු වුණා...

“බටහිර හෝ ආයුර්වේද හෝ වෙනත් කුමන වෛද්‍ය ක්‍රමයක හෝ වේවා මේ ක්‍රම පොදුයි. පළමු වැන්න (1) තීර්යක් භග්නය. මෙහිදී අස්ථිය හරහට වෙන් වී යන්නේ කොටස් දෙකකට වෙන් වන ලෙසයි. දෙවැන්න (2) අශ්වතර්ණ භග්නය. එහිදී අස්ථිය සම්පූර්ණයෙන් දෙකට කැඩී එහි එක් කොටසක කෙළවරක් ඉදිරියට නෙරා ඒමත් එයින් රුධිරය සපයන නාළවලට හානි සිදු වීමත් නිසා මෙය ගැනෙන්නේ ඉතා දරුණු අවස්ථාවක් හැටියටයි. (3) කර්කට භග්නයේදී අස්ථිය බිඳී යන්නේ ඇලයට. (4) විච්චූර්ණිත භග්නය නමින් හඳුන්වන්නේ අස්ථිය කුඩා කැබලිවලට කැඩෙනවාට අමතරව එයින් සමට, මසට සහ රුධිර නාළවලට පීඩාවක් ඇති වන ආකාරයට ඇට බිඳීමයි. ඇට පුපුරා අස්ථි කොටස් ඇට මිදුළු දක්වා ඇතුළු වීම හඳුන්වන්නේ අස්ථි (5) ජල්ලිකා භග්නය හැටියටයි. අමු කෝටුවක් කැඩෙන ආකාරයට අස්ථියේ එක් පැත්තක් පුපුරා අනෙක් පැත්තට නැවී යෑම (6) ආමදණ්ඩ භග්නය හැටියටයි හඳුන්වන්නේ. මෙය සිදු වන්නේ ළමයින්ට වීම විශේෂයි. අස්ථිය ඇඹරී සර්පිල හැඩයට කැඩී යෑම (7) සර්පිල භග්නය නමින් හඳුන්වනවා. (8) සංඝටික භග්නයේදී සිදු වන්නේ ඇස්ථිය කැඩී එහි කැබලි දෙක එකිනෙක තුළට කා වැදීමයි. මේ අවස්ථාවේදී ඇට කැබලි අතර සෙලවීමක් දැනෙන්නේ නැහැ. විශේෂයෙන් අත්-පා ආදියේ මෙන්ම ඉල ඇට වැනි දිගු අස්ථි ඇති ස්ථානවල සිදු වන මේ අස්ථි භග්න ක්‍රමවලට අමතරව වැඩිපුර හිස් කබලේ ඇති වන බිඳීම් කීපයක් තිබෙනවා. (9) සපරිකා භග්නය ඉන් එකක්. එය දක්නට ලැබෙන්නේ අස්ථියේ ඉරි තැලීමක් ආකාරයටයි. (10) අවපාත භග්නය ඇති වන්නේ හිස්කබලටමයි. එහිදී බිඳුණු අස්ථි කොටස පහළට පහත් වීමක් සිදු වනවා. තවත් ක්‍රමයක් තමයි (11) ව්‍යාධිවේදීය භග්නය. මෙවැන්නක් සිදු වන්නේ ඇට බිඳීමට පෙර ඇති වූ වෙනත් හේතුවකින් අස්ථිය දුර්වල වී තිබීම නිසයි. අවසාන වශයෙන් (12) සංකීර්ණ භග්නය කියා හඳුන්වන්නේ ඇට බිඳීමට ලක් වීමත් සමඟම අනෙක් උපද්‍රවයන්ටත් මුහුණ පෑමට සිදු වීමයි. සන්ධි, ධමනි, ස්නායු, ඛණ්ඩරා හෝ පිලාව වගේම අක්මාව, අන්ත්‍රය, මූත්‍රාශය, පෙණහැල්ල, මොළය වැනි අභ්‍යන්තර ඉන්ද්‍රියන්ටත් තුවාල - හානි සිදු වීම මෙහිදී විය හැකියි.”

අස්ථි බිඳීයෑම් සඳහා ප්‍රතිකාර කළ යුතු ආකාරය මෙන්ම නිවැරැදිව ප්‍රථමාධාර දීම පිළිබඳවද උපාලි පතිරගේ වෙද මහතා අපට දිගු විස්තරයක් කළා.

ඒ පිළිබඳ ලබන සතියේ දැනගනිමු...

සේයාරූ - සාලිය රූපසිංහ

Comments