පොල් ගැහීම හා එලොව පොල් පෙන්නීම | සිළුමිණ

පොල් ගැහීම හා එලොව පොල් පෙන්නීම

ලාංකික ජන දිවියට දැඩි ව බද්ධ වු පොල් ගස “කප්රුක” ලෙසින් පසිඳුය. පොල් ගසේ සියලු කොටස් ද, එහි හට ගන්නා සියලු මල් පලද එකක් ‍නොහැරම මනුෂ්‍යයාගේ ප්‍ර‍යෝජනයට ගත හැකි වීම ඊට හේතුවයි. එහෙත් මෑත කාල‍යේදී “පොල් ගෙඩිය” හැමෝගෙම කතාබහට යොමු වුයේ මේ කරුණින් නොවේ. හිඟ වීම, මිල අධික වීම, ශාප කර ගැහීම, නිසා ම කාගෙත් අවධානය ඊට ලැබුණි. තවමත් ඒ අවධානය නොවෙනස්වම පවතී.

අපේ ගම්වල ගෙවත්තේ පවුලටම කෑමට බීමට අවශ්‍ය ප්‍රමාණයට ගෙඩි කඩාගත හැකිසේ පොල් ගස් හත අටක් වවා තිබිණි. රට පුරා ඇති හැම ගමකම මේ පොදු ලක්ෂණය පුරාණේ පැවතිණි. වයස අවුරුදු හත අට පිරෙන පොඩි එවුන්ගේ කන් දෙපසට දෙ අත්ල තබා උස්සා “එලොව පොල්” පෙන්නු හැටි අදත් අපේ මතකයේ ඇත. පොල් ඇතුළු පාරිභෝගික භාණ්ඩ ඉහළ යන විට වයස් භේදයක් නැතිව කාටත් “එලොව පොල්” පෙනේ යයි බහුජන කතාවක් පවතී.

පොල් ගස කොටස් කර “කැපුම් සිරස පාද” යාතු කර්මයේදී මෙසේ බලය පිහිටුවා දක්වයි.

“පො‍ළවේ මිහිකත ගසමුල වෙසෙතී

මා කෙළ නා රජු කඳ මැද වෙසෙතී

නාපති, සුරපති කරබඩ වෙසෙතී

විෂ්ණු සුරාපති ගෙඩියේ වෙසෙතී”

පොල් ගහ ප්‍රධාන කොටස් පහකට බෙදා ඒ ඒ කොටස්වල ඇති දේද, ප්‍රයෝජනද කියා ඇත. මවු මුල, අතුල් මුල් කෙඳිමුල්, පළමු “මුල්” කොටසයි. දෙවැන්න “කඳ”යි ඊට පොත්ත, එලය, කොවුල, ඉරිබඩය අයත්ය, “කරඬුව” තුන් වැන්නයි. අතු, කරබඩය, මල්, ගොක් අතු ඊට අයත්ය. සිව්වැන්න “අත්තේ” කොටස්ය. එහි, කොළ, ඉරටු, නාරටි, ඉති, බිඩංග, මටුලු, සුඹුල් කෙඳි, මටලු කෙඳි කොටස් තිබේ. පස්වැන්න “මල” යි. බු කොලපුව, හනස්ස, බුවල්ල, මල් කිනිති, පොල් නැටි, පොල් තැරි, ලෙල්ල, ‍ෙපාල් මුඩ්ඩ, කොහු, කොහු බත්, පොල් ඇස්ස, පොල් කටුව, පොල් වතුර, මද, පැළ පී, පැළ පී - ලොඳ යන සියලුම කොටස් “මලට” අන්තර්ගතව දක්වා තිබේ. අප රට තුළ පොල් පර්යේෂණාගාරය මඟින් නවමු පොල් වර්ග නිපදවා හඳුන්වා දෙනු ලැබේ.

පුරාණයේ සිට පැවත එන පොල් වර්ග කවියට ගොනු වී ඇත්තේ මේ අයුරිනි.

පළමුව රන් තැඹිලිය නම් පොල් වෙති

දෙවනුව ගොන් තැඹිලිය නම් පොල් වෙති

තුන් වෙනි නවසිද , බෝදිරි, පොල් වෙති

සමසක් ගිය තැන ‍පොල් ගෙඩි මෝර ති.

රන් තැඹිලි, ගොන් තැඹිලි, කුන්දිරා, නවසි, නැව් පොල්, තඹුනෙල්, බෝදිරි, කාපිරි, දිය පොල් ආදි පොල් වර්ග රැසක්ම පවතියි. පොල් ගෙඩියට අතීතයේ සිට අද දක්වාම විවිධ නම් පටබැඳී ඇත. නාලිකේල්, තනරුක්, මාරුක්, ජල පල, නෙරළු, තඹ පිල්, කසපුලුටු, කස පැන්, නැළි, ආදිය ඒ අතර වේ. අපේ ජනගත තේරවිලි, උපමා, උපදේශන සාහිත්‍යයේද “පොල්” බහුලව යෙදී ඇත. ඊට නිදසුන් තේරවිලි කවියක් මෙසේය.

“ගලක් පළා ගලක් දුටින්

එගල පළා රිදී දුටින්

රිදී ළිදේ වතුර දුටින්

කන්නට බැරි එහෙම පිටින්”

පොල් කිරි, පොල් තෙල්, පොල් හකුරු, වැලි හකුරු, රා, මීරා, විනාකිරි, අරක්කු, ලණු, කඹ, පොල්කටු අඟුරු, පොල් කටු තෙල්, පොල් මැලියම් ආදිය නිෂ්පාදන ලෙසින් දැක්විය හැකිය. අපටම ආවේණික වු‍ පොර පොල් ගැසීම, ක්‍රීඩාවක් සේම ශාන්ති කර්මයක් සේද, පැවත එයි.

“එරන් කැඹිලි පොල් අරගෙන සුරතට

වරන් ලැබුණි ගිනි පත්තිනි අපහට

සියලු රෝග දුරුවෙයි ගිනි හළඹට

බිදුණි, උඩු පි‍ලයේ පොල් හනිකට”

පොල් ලංකාවට පැමිණියේ දකුණු ආසියා රටවලින් යයි එක් මතයක් ඇත. ජාවා, සුමාත්‍රා, පොල්වල නිජබිම ලෙස පිරිසක් පවසති. සංස්කෘත සාහිත්‍යයේ ‍පොල් ගස දකුණු භාරතයට අයත් බව කියවේ. සිරිලක ඈත ඉතිහාසයේද මෑත යුගයේ ද පොල් ගැන සඳහන් එමට පවතී. අනුරාධපුර යුගයේ ලියවුණු “සිඛවළඳ විනිස” ග්‍රන්ථයේම හා ඵල වර්ග අතර “නෙරළු” පොල් ගැන ද සඳහනක් ඇත. මහාවංශයේ මිහිරි වතුර්ක්වද ථුපවංශයේ රන්මැලි මහ සෑය කරවු අයට “කසපැන් දුන් බවද” සිදත් සඟරාවේ “නැළි” ලෙසද පොල් ගැන තොරතුරු හමුවෙයි. පළමුවන පැරකුම්බා රජු පොල් උයනක් කළ බවද සඳහන්ව පවතී.

පොල් උපත ගැන ද ජන වහරේ කථා කීපයක්ම පවතියි. ඊශ්වර විසින් කපාහෙළු ගණදෙවි හිසෙන් පොලයේ උපත සිදු වී යයි එක මතයකි. මහා සම්මත රජුගේ බිසවට කළ යාගයට මුහුදු හතකින් එහා සිට පොල් ගෙඩිය ගෙන ආවේ බ්‍රහ්මලෝකයෙන් බව තව කථාවකි. ඊශ්වර පහර දීම නිසා ඊට ඇස් තුන ලැබුණ බවද කියවේ.

දේශීය ශාන්ති කර්මවලදී මංගල වස්තුවක් ලෙස මුඩ්ඩ සහිත පොලය භාවිත කෙරේ. අෂ්ටමංගල වස්තුවක් ලෙස ද පොලය සැලකේ. උඩරට කොහොඹා කංකාරියේදී පොලය අතැතිව නටා පුජාවස්තුවක් ලෙස යහන් ගත කෙරේ. සම්ප්‍රදායේ ද පොල් පාලියක් ඇත. අපේ මංගල පෝරුවේ දී හතර කොන පොල් තබති. සහල් මඩයේද පොල් තබා මිහිකතට පා තබන විට දොස් පහ කිරීමට පොල් බිඳියි. අයහපතට පොල් ගසා බිදීම අපේ ස්වදේශික සම්ප්‍රදායේ නැත. අනුන් විනාශයට කරන මේ කිරියාව හින්දු සංස්කෘතියේත් “කාලි අම්මා” ඇදහිල්ල සමඟ පැමිණියෙකි. මහා බ්‍රහ්ම ඇතුළු දේව කරුණාව පතා හින්දු කෝවිල්වල කෙරෙන මහා යාග වලදී “පොල් බිඳ” ශූද්ධජලයෙන් දේවරූප නහවති. අපේ ඇත්තන් සෙත්, ශාන්ති හා අස්වනු වැඩි කර ගැනීම සඳහා සිදු කරන බාර හාර ඔප්පු දෙන්නේ ගරුසරුව පිරුවට ඇඳ, පොල් බිඳ, ගාගෙන, ඒ පොල් කිරි බවට පත්කර, කිරි ඉතිරවීමේ මංගල්ලය කොට කිරිබත් (මුරුතැන්) පිදීමෙන්ය. පුරාණේ සිට අද දක්වාම නුවර කලාවියේ අපේ සිරිත කෙත, වැව, ජලය, වනස්පතිය රැකගන්ට “මුත්තාපොලයට” යාතිකා කර ඉහළ තැබීමයි. කාරිය ඉටු වු පසු එම පොලයද යොදාගෙන භාර ඔප්පු දෙයි. එපමණක් නොව ලෙඩ දුක් අත්මිදීම, නඩු හබ කරදර නිවාරණයට, ජයග්‍රහණ ලැබීමට තමාගේ ප්‍රාණයට ප්‍රාණයක් කැපකිරීමට වන පොරොන්දු බාර පිරිමහන්නේ ද “‍පොල් පැළයක්” ප්‍රදානය කර පුජා පිදීමෙනි.

අපේ ගම්වල ස්වදේශික ශාන්ති කර්මවලදී කිසිදාක සත්ත්වප්‍රාණ කැපකිරීමත් නොකරති, දිවි හානි නොකරති. ඒ අපගේ බෞද්ධ උරුමයේ ප්‍රතිඵලයයි. ශුභ කටයුතුවලදී, කලඑළි මංගල්‍යවලදී, සියලු කාර්ය අවසානයේ ‍පොල් ගස බිඳ දමන්නේ සියලු දොස් පහකිරීමේ අරමුණෙන් මිස සතුරු විනාශය අපේක්ෂාවෙන් නොවේය. මෑත කාලයේ පොල්, පොල්තෙල්, අගුණ බවට වෛද්‍ය මත පළ වුවද අපේ මුතුන් මිත්තන්සේම අපද පොල් සම්බල්, කිරි, තෙල්, ආහාරයට ගත්තේ ඉතා පෝෂ්‍යදායි පිරිමැහෙන වටිනා අහරක් වශයෙනි. ඕනෑම ඇට අල වර්ග මෙන්ම වට්ටක්කා යනාදිය හා බත් වේල පොල් හෝ පොල් සම්බල් මිශ්‍රණයෙන් ඉතා රසට, ගුණට කෑවේය.

පොල් හිඟය, සොබාවික හේතු, කෘමි, සත්ත්ව හානි නිසාද උග්‍ර වූවා විය හැකිය. ආණ්ඩු කරන ඇත්තන්ගේ, පාලන විධියේ සොබාවන් නිසාම ඇතිවුණාද විය හැකිය. කෙසේ හෝ මේ නිසා පොදු රට වැසියාට මිල උහුලනු බැරිව දැන් “එලොව පොල්” පෙනෙන මානයේ සිටියි. මේ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන සැබෑ පිළියම් රට කරවන ඇත්තන් සොයා නොගතහොත් රටවැසියන් ඔවුන්ට ද “එ‍ලොව පොල් “ පෙන්වනු නියතය.

 

Comments