නව ලිබ­ර­ල්වා­ද­යට එරෙ­හිව “සභ්‍යත්ව රාජ්‍යය” | සිළුමිණ

නව ලිබ­ර­ල්වා­ද­යට එරෙ­හිව “සභ්‍යත්ව රාජ්‍යය”

වත්මනෙහිද, ශ්‍රී ලාංකේය දේශපාලනයෙහි ජනවාර්ගික ප්‍රශ්නය යළිත් වරක් “අධිනිශ්චය” වීමේ නැඹුරුවක් පවතියි. ඒ ව්‍යවස්ථා සම්පාදනය මුල් කොට ගෙන ය. වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ වාම ලිබරල් දේශපාලන ව්‍යාපාරය සහ සිවිල් සමාජය ඉහත සඳහන් වමේ ආස්ථානයකට එළැඹ සිටිති. ඔවුහු, සාමය හා සංහිඳියාව සහ ජනවාර්ගික ගැටලුව විසඳීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි පමණක් හෝ ‍මුලිකව අවධානය යොමු කිරීමෙන්, පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝගවලට මෙන්ම නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙතටත් ප්‍රතිරෝධය දැක්වීම ඒ වෙනුවෙන් කැප කර සිටිති.

(ආචාර්ය නිව්ටන් ගුණසිංහ 30 වැනි ගුණානුස්මරණ දේශනය පවත්වමින් ආචාර්ය කුමුදු කුසුම් කුමාර විසින් පවත්වන ලද දේශනය ඇසුරෙණි.)

 

1983 ජුලි දෙමළ විරෝධී ‍කෝලාහලය සමඟින් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සම්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාව බරපතළ ලෙස මතු වීය. එහිදී ආචාර්ය නිව්ටන් ගුණසිංහ කළ න්‍යායික මැදිහත් වීම අදත් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතීයි. එය නම් අල්තූසර්ගේ න්‍යායගැන්වීමක් අනුව යමින් ‘ජනවාර්ගික ගැටලුව අධිනිශ්චයවීම’යන මැයෙන් ඔහු ඉදිරිපත් කළ විග්‍රහයයි “May Day After July Holocaust” යන මැයෙන් 1984 මැයි මස Lanka Guardian සඟරාවට ලිපියක් ලියමින් ඔහු තර්ක කළේ 1983 ජුලි කෝලාහලයට පසු ශ්‍රී ලංකාවේ පන්ති ප්‍රතිවිරෝධයන් මත ජනවාර්ගික ගැටලුව මතවාදී වශයෙන් අධිනිශ්චය වී ඇති හෙයින්, එකල පැරණි වමේ පක්ෂ කරමින් සිටියාක් මෙන් “ආරක්ෂිත” පන්ති සහ ආර්ථික සටන් පාඨ ඔසොවා තබමින් ජනවාර්ගික ගැටලුව “කළාලය යටට අතුගා දැමීමට” ගන්නා උත්සාහය සාර්ථක නොවනු ඇතැයි යනුවෙනි. මෙම අධිනිශ්චය වීමේ බලපෑම අවම කළ හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස බලය බෙදීමට යොමුවීමෙන් පමණක් බව ඔහු කියා සිටියේය. උත්සන්න වු ජනවාර්ගික ආතතිය විසින්, වමට බහුජනයා පංති සහ ආර්ථික ප්‍රශ්න මතුකිරීමට සහෝපකාරී වටපිටාවක් ගොඩනඟා ගත හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම වෙනුවෙන් ජනයා දිනාගැනීමෙනි. උතුරු සහ නැගෙනහිර ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දී, පන්ති අරගලය ගෙනයා හැකි දේශපාලන පරිසරයක් දකුණේ නිර්මාණය කළ හැක්කේ එමඟින් පමණක් බව තර්ක කළේය.

ජනවාර්ගික ගැටලුව අධිනිශ්චායක කරුණ වශයෙන් පිළිගැනීම පිළිබඳ මෙම කරුණ, ශ්‍රී ලංකාවේ දේශපාලනයට කළ බලපෑම අප වටහා ගැනීම අද පවා වැදගත් යැයි සිතමි. 83 ‍ජුලි දෙමළ විරෝධී කෝලාහලය සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර පසමිතුරු මානසිකත්වය උච්ඡස්ථානයකට ගෙන ආ බව සැබෑය. එහෙයින්, ඉන් පසු ආසන්න සමය ජනවාර්ගික ගැටලුව ශ්‍රී ලාංකේය සමාජයේ මතවාදී තලයේ ආධිපත්‍යය අත්පත් කරගත් සමයක් ලෙස දැකීමට පදනමක් තිබුණි. එකළ නිව්ටන් ගුණසිංහගේ තර්කය සනාථ කරමින් මෙන් පැරණි වමේ පක්ෂ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට වමේ උගතුන් සමඟ දේශපාලනිකව පෙළ ගැසුණි. එවකට පැවැති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වු ආණ්ඩුවට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට තම සහාය දීමට වමේ පක්ෂ සහ සංවිධාන යොමුවීය.

ජනවාර්ගික ගැටලුව සහ අනන්‍යතා දේශපාලනය පදනම් කොට ගත් වාම - ලිබරල් දේශපාලනය ශ්‍රී ලාංකේය දේශපාලන කතික‍ා‍ෙව් අධිපතිභාවයට පත්වීම සමඟින් ජනවාර්ගික ගැටලුවේ දේශපාලනය සම්බන්ධයෙන් එය ගත් ම‍ඟෙහි කෙළවර දී දැකිය හැකි වුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත් කර ගැනීමට ජාතික චින්තන ව්‍යාපාරය සමත් වීම සහ රාජපක්ෂ රෙජිමය යුද්ධය මඟින් එල්ටීටීඊ ය පැරදවීමෙන් ජනවාර්ගික ගැටලුවට යුද්ධයෙන් ‘විසඳුමක්’ සැපයීමට උත්සාහ ගැනීමයි.

පෙර සඳහන්, සමාජ විද්‍ය­ාඥයන්ගේ සංගමය සංවිධානය කළ, ‘ජනවාර්ගිකත්වය සහ සමාජ විපර්යාසය’ පිළිබඳ සම්මන්ත්‍රණය පෙන්නුම් කළේ1980 වන විටත් ජනවාර්ගික ගැටලුව දේශපාලනමය වශයෙන් බුද්ධිමතුන්ගේ බැරෑරුම් අවධානය දිනාගත් කරුණක් බවට පත්වෙමින් තිබු බවයි. එම සම්මන්ත්‍රණ පත්‍රිකා ජනවාර්ගික ගැටලුවට සිංහල හා දෙමළ ජනසමාජ‍යන්හි පාදක වු ඓතිහාසික හා සමකාලීන සමාජීය, සංස්කෘතික හා දේශපාලන තත්ත්වයන් විග්‍රහ කිරීමට යොමු වී තිබුණි. 1983 ජුලි දෙමළ විරෝධී කෝලාහලයට පසු මෙම සම්මන්ත්‍රණ පත්‍රිකා 1984 දී භාෂා ත්‍රිත්වයෙන්ම පළකිරීම සමඟින් ජනවාර්ගික ගැටලුව සහ ඒ ආශ්‍රීතව මතු වු යුද්ධයට විසඳුම් සෙවීම ඉලක්ක කොට දියත් වුණු ශාස්ත්‍රීය සහ දේශපාලන ව්‍යායාමය කෙතෙක්ද යත් ඉන් ජනිත වු දේශීය සහ ජාත්‍යන්තර සාහිත්‍යය ඉමහත් ය. එසේ තිබියදීත්, 2009 දී ජනවාර්ගික ගැටමේ ප්‍රචණ්ඩ අදියර යුද්ධයෙන්ම අවසන් කිරීම කණගාටුවට කරුණකි.

1977 න් පසු ශ්‍රී ලංකාවේ නිර්බාධී ආර්ථිකය ආරම්භයේ එහි සමාජීය ඵලවිපාක පිළිබඳ වාම සමාජ විද්‍යාඥයන් ගොඩ නැඟු විචාරය, පසුව ජනවාර්ගික ගැටලුව සහ අනන්‍යතා දේශපාලනය කතිකා ලෙසින් අධිපති බව පත්වීම හරහා ලිබරල්වාදී දේශපාලන ප්‍රවාහය අධිපතිභාවයට පත්වීම තුළ, ගිලී ගියේය. දේශපාලන ලිබරල්වාදය වැලඳගත් වාම බුද්ධිමතුන් පසු කලෙක ලාංකේය සමාජයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ විචාරයක් සම්පාදනය කිරීම අත් හරින්නට හේතුවක් වුයේ නිර්බාධී ආර්ථිකය යටතේ ධනේශ්වර සංවර්ධනයක් සිදු වීමේ ශක්‍යතාව පිළිබඳ මාක්ස්වාදී අදහස පොතේගුරුවාදී ලෙස පිළිගැනීම විය හැකිය. පැරණි වමේ දේශපාලන පක්ෂ සහ වාම සිවිල් සංවිධාන ද මෙම ලිබරල්කරණයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස බහු ජනයා තව දුරටත් වමේ ව්‍යාපාරයෙන් වියෝ වී යැයි සිතමි.

මෙලෙස වාමාංශික ව්‍යාපාරය ජනවාර්ගික ගැටලුව කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙහි ප්‍රතිවිපාකයක් වුයේ වමේ දේශපාලනය, ජයවර්ධන රෙජිමයේ නිර්බාධීකරණ ආර්ථික පිළිවෙතෙහි හානිකර ඵලවිපාකයන්ට ප්‍රතිවි‍රෝධය දැක්වීමෙන් වැළකී සිටීමයි, අධිකාරවාදයේ සහ නවලිබරල්වාදයේ වර්ධනය නොසලකා හරිනු ලැබීම යි. එහි ප්‍රතිඵලය වුයේ ශ්‍රී ලංකාවේ දකුණේ මෙන්ම උතුරේ ද සමාජ සාධාරණය වෙනුවෙන් කරන පන්ති සහ ආර්ථික සාධක මුල්කරගත් අරගලය පමණක් නොව දකුණේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන ‍ෙද්ශපාලන අරගලයද විතැන් වී යාමයි. ‍මහින්ද රාජපක්ෂ රෙජිමය බලයට ගෙන ඒමෙන් පරිපාකයට පත් ක්‍රියාවලිය ජයග්‍රහණය කිරීම ට මේ තත්ත්වය ද දායක වී යැයි සිතමි.

දේශපාලන තත්ත්වය මෙසේ තිබියදීත් නිව්ටන් ගුණසිංහ තම ශාස්ත්‍රීය ලිපි ලේඛන මඟින් තම විචාරක්ෂිය විවෘත ආර්ථික පිළිවෙතෙහි ආර්ථික, සාමාජීය සහ දේශපාලන ගම්‍යමානවීම් විග්‍රහ කිරීමෙහි ලා අඛණ්ඩව යොමු කළ බව මෙහිදී සඳහන් කළ යුතුය.

වත්මනෙහිද, ශ්‍රී ලාංකේය දේශපාලනයෙහි ජනවාර්ගික ප්‍රශ්නය යළිත් වරක් “අධිනිශ්චය” වීමේ නැඹුරුවක් පවතියි. ඒ ව්‍යවස්ථා සම්පාදනය මුල් කොට ගෙන ය. වර්තමානයේදීත් ලංකාවේ වාම ලිබරල් දේශපාලන ව්‍යාපාරය සහ සිවිල් සමාජය ඉහත සඳහන් වමේ ආස්ථානයකට එළැඹ සිටිති. ඔවුහු, සාමය හා සංහිඳියාව සහ ජනවාර්ගික ගැටලුව විසඳීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි පමණක් හෝ ‍මුලිකව අවධානය යොමු කිරීමෙන්, පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝගවලට මෙන්ම නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙතටත් ප්‍රතිරෝධය දැක්වීම ඒ වෙනුවෙන් කැප කර සිටිති. එම ක්‍රියාමාර්ගය මැතිවරණවලින් ජාතිකවාදී බලවේග යළිත් බලයට ගෙන එන තැනට බහුජනයා ‍යොමු කිරීමට වක්‍රව දායක වනු ඇති බව මගේ අදහසයි.

මා දකින පරිදි, පශ්චාත් ’83 ජුලි යුගයේදී වම කළ යුතුව තිබුණේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා කැපවන අතරම, ඒ එකම වර නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වෙනුවෙන් කරන අරගලයද අත් නොහැර කරගෙන යාම යැයි සිතමි. දේශපාලනය යනු පවතින තත්ත්වය වෙනස් කිරීම සඳහා සක්‍රීය වීමයි. බලහත්කාරය යොදාගැනීමෙන් මෙපිට, දේශපාලනයෙන්ම වෙනස් කළ නොහැකි වන්නේ මතවාදය නොව පවත්නා සමාජ තත්ත්වයන් යැයි සිතමි. මෙම අදහසට ආචාර්ය ගුණසිංහ ද පසු කලෙක එළඹුණු බව මම කියවා ඇත්තෙමි.

සිංහල සුළු ධනේශ්වරයේ නැගීම ආචාර්ය නිව්ටන් ගුණසිංහ ඉදිරිපත් කළ තවත් වැදගත් විග්‍රහයක් ග්‍රාම්ෂ්චි ගේ ‘ඓතිහාසික හවුල’ පිළිබඳ න්‍යාය ගැන්වීම් ඇසුරෙන් ලංකාවේ පශ්චාත් යටත් විජිත යුගයේ සමාජයේ දේශපාලන පෙළගැසීම් සාකච්ඡාවට ලක් කරයි (“Land Reform, Class Structure and the State”, 1979). ඉහත සඳහන් කළ කෘෂිකර්මයෙහි ධනේශ්වර සංවර්ධනය පිළිබඳ මාක්ස්වාදී ප්‍රවාදයට එක්තරා ආකාරයකින් සම්බන්ධ වන, සමාජයෙහි විප්ලවීය විපර්යාසයක් සඳහා අවශ්‍ය දේශපාලන තත්ත්වයන් සම්පාදනය වීම සඳහා පුර්ව කොන්දේසියක් ලෙසින් මාක්ස්වාදීන් විසින් සලකනු ලැබුණු, ගොවි - කම්කරු සන්ධානයක් ලංකාවේ ඇති නොවීම පිළිබඳ විශ්ලේෂණයක් ඔහු ඉදිරිපත් කරන්නේ ‘කෘෂිකාර්මික හවුල’ නම් වු ග්‍රාම්ෂ්චියානු සංකල්පය ඇසුරෙනි.

ඉතාලියේදී නම් එය ගොවීන්, සුළු ධනේශ්වරයේ මතවාදී මෙහෙයවීමෙන් ඉඩම් හිමියන් සමඟ එකට බැඳතබන හෙයින් ගොවියන් සහ කම්කරුවන් අතර සඵලදායි සන්ධානයක් වළක්වාලන හවුලකි. මේ අනුව, පශ්චාත් යටත් විජිත ලංකාවේ පළමු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පදනම වැටුණේ ගොවි - ඉඩම් හිමි රදළ සන්ධානයක් මත සහ ධනේශ්වර - රදළ සන්ධානයක් මත පදනම් වී නමුත් සුළු ධනේශ්වරය එයට පිටස්තරව සිටියේ ඔවුන්ගේ පංති ඵල ප්‍රයෝජනයන් ධනේශ්වර - රදළ පන්ති‍න්ගේ ඵල ප්‍ර‍යෝජනයන්ගේ පීඩනයට ලක් වු හෙයිනි.

ඔහු තව දුරටත් දක්වන පරිදි, 1956 බලයට පත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමඛ කරගත් බණ්ඩාරනායක ආණ්ඩුව ගොඩනඟන පංති සන්ධානය එම ‘කෘෂිකාර්මික හවුල’ බිඳ දැමීමට සමත් විය. ඒ ගොවීන් තම මතවාදී ආධිපත්‍යයට යටත් කොට ගැනීමට සමත් වන සිංහල බෞද්ධ ජාතිකවාදී බුද්ධිමය ස්ථරයන් වන ග්‍රාමීය මෙන්ම නාගරික සුළු ධනේශ්වරයද එයට ඇතුළත් කරගැනීම මඟින් ගොවීන් සන්ධානයට බැඳ ගැනීමෙනි. එලෙස ගොඩ නැගූ ගොවි - සුළු ධනේශ්වර පංති මත පදනම් වු සහ පැරණි ධනේශ්වර සහ රදළ පන්ති කොටස් ද ඇතුළත් වන නව සන්ධානය මඟින් කම්කරු පන්තිය බැහැර කොට හුදෙකලා කළ හෙයින් යළිත් ගොවි - කම්කරු සන්ධානය ගොඩ නැංවීමේ කටයුත්තට බාධා එල්ල වු බව ගුණසිංහ ගේ මතය යි.

මෙම විග්‍රහය ’56 බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත්වීමේ පටත් පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකේය සමාජයේ සුළු ධනේශ්වරයේ නැඟීම ලාංකේය දේශපාලනයට නොකඩවා කරන අතිමහත් බලපෑම පිළිබඳ අවලෝකනයෙහි යෙදෙන්නට අප යොමු කරයි. එතැන් පටන් චන්ද්‍රිකා කුමාරතුංග ගේ පාලන සමය තුළ හැරෙන්නට 2015 දක්වා ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවලට මතවාදී පදනම සපයන සිංහල බෞද්ධ මතවාදය මෙම පංතියේ ජාතිකවාදී පාර්ශ්වයන්හි මතවාදී ප්‍රකාශනය යි. මෙම මතවාදය 1956 පටන් අද දක්වාම සමස්තයක් ලෙස ගත් කළ ලාංකේය දේශපාලනයේ ගමන් මඟ ජාතිකවාදී නැඹුරුවක් කරා තල්ලු කරමින්, අවසාන විග්‍රහයේදී එය තීන්දු කරන ප්‍රබලම සාධකය බවට පත් වී තිබේ.

1971 කැරැල්ල සුළු ධනේශ්වර මතවාදය වාම දේශපාලනයට ඇතුළුවීම පිළිබිඹු කරයි. 1988 දී ආචාර්ය ගුණසිංහ අභාවප්‍රාප්ත වනවිට, එවකට සිංහල බෞද්ධ ජාතිකවාදයේ සමකාලීන චින්තනමය අග්‍රඵලය ලෙසින් ප්‍රකාශ වු ‘ජාතික චින්තනය’ පිළිබඳ විවේචනයකටද එළඹ සිටියේය. එනමුදු. එම චින්තනයෙන් මතවාදී පදනම ලබා සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාදය වෙනුවෙන් එකහෙළා පෙනී සිටින රාජ්‍ය නායකයෙකු 2005 වන විට ශ්‍රී ලංකාවේ බලයට පත් වනු ඇතැයි ඔහු අපේක්ෂා නොකරන්නට ඇත.

නිව්ටන් ගුණසිංහ ශ්‍රී ලාංකේය සුළු ධනේශ්වරයේ ජාතිකවාදී නැඹුරුව පිළිබඳ තම විග්‍රහය ඉදිරිපත් කරන්නේ ඔහු තම ගුරුවරයෙකු ද වු මානව විද්‍යඥ ගණනාථ ඔබේසේකර ඒ පිළිබඳ ඉදිරිපත් කළ විග්‍රහයට ද ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් යැයි සිතිය හැකිය.

ගණනාථ ඔබේසේකර: සිංහල සුළු ධනේශ්වරය

ඔබේසේකර 1960 ගණන් වල සිට සම්පාදනය කරමින් සිටි අදහස් වල අවධාරණය කළ තර්කයක් වුයේ සිංහල සුළු ධනේශ්වරයේ පැනනැගීම කෙරෙහි අනගාරික ධර්මපාල ගොඩනඟා ප්‍රචාරය කළ මතවාදය බලපෑ බවයි. ධර්මපාල “සුළු ධනේශ්වර පන්තියේ නිර්මාණය කිරීමට බලපෑමක් ද එක්තරා අරුතකින් උදාවීිද” කළ බව ඔබේ‍ෙස්කර තර්ක කළේය.

එම පිරිසට ගැමි බුද්ධිමතුන් (සහ නගර වල පැනනැගෙමින් පැවැති බෞද්ධ ව්‍යවසායක පන්තියක්) ද අයත් විය. ධර්මපාලගේ බලපෑමට ඉලක්ක වු සිංහල ප්‍රභූන් අතර ගැමි භික්ෂුව, පාසල් ගුරුවරයා, සහ අායුර්වේද වෛද්‍යවරයා මෙන්ම බ්‍රිතාන්‍ය නිලධාරී තන්ත්‍රය විසින් නිර්මාණය කරන ලද ගම්මුලාදැනිවරයා, මරණ පරීක්ෂක, විවාහ රෙජිස්ටාර්, නොතාරිස්ලා සහ ගම් සභා නියෝජිතයන් ද අයත් විය. ගමෙහි ජීවත් වු නමුත් ගොවි පන්තියට අයත් නොවු මෙම සිංහල ගැමි බුද්ධිමතුන්, ගමේ ජීවත්වන අතරම සහ බොහෝවිට සාමාන්‍ය ගැමියන් සමඟ ඥාති සබඳතා ඇති නමුදු, අධ්‍යාපනයෙන්, අභිලාස මට්ටම්වලින්, සහ ජීවන ආකාරයෙන්, එන්න එන්නම ගැමියන්ගෙන් දුරස්ථ වී සිටියේ විභේදනය මඟිනි. සිංහල පාසල් වල අධ්‍යාපනය ලැබු මොවුහු, තමන් සහ තම දරුවන් වෙනුවෙන් ඉහළ අභිලාෂ ඇත්තේ වී නමුදු බ්‍රිතාන්‍ය සහ දේශීය, ඉංග්‍රීසිකරණයට ලක් වු සහ අර්ධවශයෙන් ක්‍රිස්තියානි වු ප්‍රභුන් අත දේශපාලන බලය පැවැති මෙසමයෙහි, එම දේශපාලන සහ ආර්ථික බලයේ ප්‍රභවයන්ගෙන් කපා හරින ලද්දේ විය.

අනගාරික ධර්මපාල නව සහ පුනර්ජීවනය කළ බෞද්ධ මතවාදයක් සැපයුවේ ශ්‍රී ලංකාවේ ගම් වල නායකයන් වු මෙම ජනයාට ය. ධර්මපාල ගේ ඉගැන්වීම් ඔවුන‍්ගේ වැඩිදියුණු වීමේ බලාපොරොත්තු සමඟ පෑහුණු අතර ඔවුන්ගේ දරුවන්ට ක්‍රිස්තියානුවන් හා සමානව එකම ප්‍රභූ සමුහයට ඇතුළුවීමට සහ පරිපාලනයේ ඉහළ තලයන්හි සහ වෘත්තීන්හි රැකියා සඳහා ඔවුන් සමඟ කරඟ කිරීමට අවසර සැලසීය. ලංකාවේ දේශපාලනයේ බලයේ රැඩිකල් වෙනසක් උදාකළ 1956 මැතිවරණයේ පෙරමුණු බලකාය වුයේ මෙම අලුතින් බිහි වු සිංහල සුළු ධනේශ්වර බව හවර්ඩ් රිගින්සි පෙන්වා ‍දුන් බව ඔබේසේකර සඳහන් කරයි (“Religious Symbolism and Political Change in Ceylon”, 1966, “The vicissitudes of the Sinhala – Buddhist Identity Through Time and Change”, 1979, Buddhism Transformed 1988).

සිංහල ගැමි සුළු ධනේශ්වරය සහ 2005

1956 බණ්ඩාරනායක රජය බලයට පත්කිරීම සිංහල ගැමි සුළු ධනේශ්වර විසින් තමන්ගේ වැඩි දියුණුව සහ තම දරුවන් ප්‍රභූ පැළැන්තියට ඉහළ නංවාලීමේ අභිලාෂයෙන් දේශපාලන සහ ආර්ථික බලය ලබාගැනීමේ අරමුණු විසින් මෙහෙයවන ලද්දක් වී නම්, මා දකින පරිදි, පන්තියක් වශයෙන් ඔවුන් ගේ එම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සපුරා ඉ‍ටුවන්නේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත්වීමෙනි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය සංවිධානාත්මකව කළ මතවාදී සහ සංකේතාත්මක ගොඩ නැංවීම්, සහ දේශපාලන මෙහෙයවීම් එක්තැන්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

1956 දේශපාලන පෙරැළියේ සිටම සිංහල බෞද්ධ ජාතිකවාදී සුළු ධනේශ්වර පංති ‍ෙකාටස් වල නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ සහ පසු කාලයේදී පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මට්ටමේදීත් - විශේෂයෙන්ම ශ්‍රිලනිප ආණ්ඩු බලයට පත් වු අවස්ථාවන්හිදී විවිධ මට්ටමින් වර්ධනය වෙමින් පැවැතියේය. නමුදු ඔවුන් පංති ස්ථරයන් වශයෙන් රාජ්‍යයේ අධිපතිභාවය අත්පත් කරගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම ය‍ටතේ යටතේය. මේ අර්ථයෙන් ගත් කළ එය, ගුණදාස අමරසේකර ජනප්‍රිය කළ පදයක් ණයට ගෙන කියන්නේ නම්, “56 දරුවන්” රාජ්‍ය බලය අත්පත් කරගැනීමකි.

මේ වනවිට, 56 දරුවෝ - එනම් 56 දේශපාලන පෙරළියේ ඵළ භුක්ති විඳින පරපුර - මෙන්ම ඉන් පසු පැමිණි 77 දරුවන් ද ‘නිදහස් අධ්‍යාපනය’ මඟින් නිධාරී තන්ත්‍රය, ශාස්ත්‍රාලීය අධ්‍යාපනය ( පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළුව) , නීති පද්ධතිය යනාදී රාජ්‍ය අංශය මුලික කොටගත් සැම වැදගත් සමාජ තලයකම අරක් ගෙන සිටියහ. ( 56 දරුවන් අධ්‍යාපනය තුළින් සමාජයේ ඉහළට නැඟ ගැනීමට ගන්නා උත්සාහයේදී ඔවුන් මුහුණ දෙන අකරතැබ්බයන් ගුණදාස අමරසේකරයන් ගේ කෙටි කතා වල අපුරුවට චිත්‍රණය කොට තිබේ.

2005 ත් උදාවු රාජපක්ෂ සමහ මෙම දෙපරපුර දේශපාලන බලය යොදාගෙන, ස්වාර්ථ සාධනය සඳහා ආර්ථික වත්කම් සහ සමාජ බලය ගොඩනඟා ගැනීමේ උග්‍ර අරගලයක යෙදෙනු පෙන්නුම් කළේය. 56 පරපුර හා සසඳන කළ සිංහල සුළු ධනේශ්වරයේ 77 පරපුර, නිර්බාධී ආර්ථිකයෙන් වර්ධනය කෙරුණු වෙළෙඳපොළ මුලික ආකල්ප තුළ හැදියාව ලද නමුදු, ඔවුන් ගේ කොටසක්ද මතවාදී වශයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී වුයේ, තම පැවැත්ම සඳහා මුලික වශයෙන්ම තවමත් සිංහල භාෂා‍ව මත සහ රජය සහ දේශීය ප්‍රභවයන් මතම පමණක් යැපෙන්නට සිදු වී තිබුණු හෙයිනි.

1956 පටන් විවිධ මට්ටමින් සිංහල සුළු ධනේශ්වරය ලංකාවේ දේශපාලන බලයට ඇතුළුවීම තුළ එම පංති කොටස්වලට තම පැවැත්ම සහ ප්‍රාග්ධන සමුච්ඡායනය සඳහා මුළුමනින්ම පාහේ රජය මත යැපෙන්නට සිදුව තිබීම ලංකාවේ දේශපාලනයට කළ බලපෑම ඉමහත් ය. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමත් සමඟ සුළු ධනේශ්වරය රාජ්‍ය බලයට සෘජුව හිමිකම් කීමෙන්, ඔවුන් තම ආර්ථික ඵලප්‍ර‍යෝජන සාක්ෂාත් කරගැනීම සඳහා කළ අරගලය උග්‍රවීය.

සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටින අතරම සිංහල සුළු ධනේශ්වර ඉහත පරිදි ක්‍රියාකිරීමෙහි බැලු බැල්මට ප්‍රතිවිරෝධයක් සේ පෙනී යා හැකි හැසිරිම වටහා ගැනීමට අපට අවධානය යොමු කළ හැකි වැදගත් කරුණක් ගණනාථ ඔබේසේකර තම “ දුටුගැමුණුගේ හෘදය සාක්ෂිය“ පිළිබඳ සුප්‍රසිද්ධ රචනයෙන් ඉදිරිපත් කොට තිබේ (“Dutthagamini and the Buddhist conscience”, 1993, මෙම ලිපියෙහි මුල්කාලීන පිටපතක සිංහල අනුවර්තනය සඳහා බලන්න, “දුටුගැමුණුගේ හෘදය සාක්ෂිය” kathika.wordpress.com).

(මතු සම්බන්ධයි)

 

Comments