සිනා කතා | සිළුමිණ

සිනා කතා

එහෙම වෙන එකක් නැහැ

 

“අබල දුබල වෙලා හින්දා පාවිච්චි කරන්ඩ බැරි, වෙඩි නොවදින වාහන හතරක් පහක් ම දැන් ටික දවසකට කලින් ආණ්ඩුව තීරණයක් අරගෙන ගැඹුරු මුහුදේ ගිල්වලා දැම්මයි කියල මේ පත්තරේ තියෙනවනෙ අනේ.” ශාන්ති ‍තම සැමියා දෙස බලා වි‍ශ්මයෙන් යුතුව කීවේ ඒ පුවතේ කිසියම් අපූර්වත්වයක් දකිමිනි.

“හුටා...! අ‍ෙප් ආච්චියි, සීයයිත් දැන් අබල දුබල වෙලා ඉන්න හින්දා ඒ දෙන්නවත් මුහුදේ ගිල්වලා දාන්ඩ ආණ්ඩුව තීරණය කරයිද දන්නෙ නෑ, නේද තාත්තෙ?” ප්‍රමෝද් ඇසුවේ කලබලවෙමිනි.

“උඹට විකාරද පුතේ. උඹලගෙ ආච්චියි, සීයයි අබල දුබල වග හැබෑව. ඒ වුණාට ඒ දෙන්නටම වෙඩි වදිනවනෙ” චන්ද්‍රසිරි පුතා දෙස බලා කීවේ සාවඥ සිනාවක් පාමිනි.

 

පායන්නෙ කොහොමද?

“සිංහල අලුත් අවුරුද්ද උදාවෙන කොට මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන්නෙ ඔබතුමානෙ. ඉතින් මේ අවුරුදු කාලෙ මූලිකයා තමයි ඔබතුමා. එහෙව් එකේ මොකද මේ ඔබතුමා බොහොම උකටලී විදියට ලොකු කනස්සල්ලකින් වගෙ ඉන්නෙ?” චන්ද්‍ර දිව්‍යරාජයා, සූර්ය දිව්‍යරාජයා දෙස විමසිල්ලෙන් බලා ඇසුවේ තරමක විමතියකිනි.

“ඇයි ඔබතුමා දැක්කෙ නැද්ද, පසුගිය දවසක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උන්නැහේ කෙනෙක් මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා, ඒගොල්ලෝ ගේන විශ්වාසභංග යෝජනාව දිනන එක හෙට ඉරපායනවා වගෙ ෂුවර් කියල. කවුරුවත්, නොහිතුව විදියට ඒ ගොල්ලො ඒකෙන් පැරදුණානෙ.

ඉතින් දැන් මම කොහොමද විලි ලැජ්ජාවක් ඇතුව පායන්නෙ?” සූර්ය දිව්‍යරාජයා පැවසුවේ දැඩි කනස්සල්ලක් පළ කරමිනි.

 

දුවන්නෙ ඒකටද?

අවුරුදු චාරිත්‍රවලට අනුව බිරිය සහ නැන්දම්මා සමඟ ගනුදෙනු කර කිරිබත් අනුභව කළ සෙනෙවි, ඒ සැනෙකින් කොහේදෝ යාමට කඩිමුඩියේම ලක ලැහැස්ති වන ආකාරය දෙස ඔහුගේ බිරිය ඉව අල්ලන්නට වූයේ නොරිස්සුම් මුහුණකිනි. අලුත් වස්ත්‍රයෙන් සැරසී කාමරයෙන් එළියට එන සැමියා දෙස බලා මනෝරි මෙසේ කීවේ නැඟී එන කෝපය ඍජුවම ඔහු වෙත පළ කරමිනි.

“අර ‍බඩ්ඩ එක්ක ගනුදෙනු කරන්ඩ නේද තකහනියක් ඔය දුවන්ඩ හදන්නෙ?”

වැළකිලා ඉන්න එක හොඳයි

“නොනගතේ ඉවරවෙලා දැන් පැය දෙක තුනක් ගත වුණා නොවැ පුතේ. ඉතින් අහවල් දේකටද තවමත් කෑමෙන් බීමෙන් වැළකිලා ඉන්නෙ?” ආහාර අනුභවයට උනන්දුවක් නොදක්වමින් තම සෙලියුලරය දෙස දෑස් දල්වා සිටින පුතු දෙස බලමින් සුමනාවතී ඇසුවා ය.

 

“නෑ අම්මේ මේ විදියට වැළකිලා ඉන්න එකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන්ඩ ඉඩ තියෙනවා. දැන් බලන්ඩකො විශ්වාසභංගෙදි ඡන්දෙ දීමෙන් වැළකිලා හිටිය මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලැබුණේ ඒකෙ ප්‍රතිඵලයක් විදියට නේද?” නිමලදාස කීවේ ලොකු අපේක්ෂාවකිනි.

Comments