අපේ අඩු­පාඩු සොයන අයට දවසක උත්තර ලැබේවි | සිළුමිණ

අපේ අඩු­පාඩු සොයන අයට දවසක උත්තර ලැබේවි

ග්‍රේෂන් ආනන්ද අප අතරින් සමුගෙන වසර ගණනාවක් ගත වුවත් ඔහුගේ හඬට මෙන්ම රුවට අදත් රසික රසිකාවියන් පෙම්බඳිනවා. කලක් මෙරට රිදී තිරයේ රිදී සීනුව බවට පත්ව සිටි ග්‍රේෂන් අප අතහැර ගියේ දැනුමෙන්, මිනිසත්කමින් පිරුණු පුතෙක් කලා ලොවට දායාද කරමින්. ඔහු මාරියෝ ආනන්ද. මාරියෝ පියා ගිය මග යමින් කලා ලොවේ දිගු ගමනක් යන්නට සැරසෙනවා. ඔහු අදවන විට අත්දැකීම්වලින් පිරිපුන් දක්ෂ ගායකයෙක්, පද රචකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කරනවා. ඉතින් මාරියෝගේ අලුත් විස්තර ඔබට කියන්නයි මෙවර 'සඳවට රන්තරු' විශේෂාංගයට එක්කර ගත්තේ.

 මාරියෝ මේ දවස්වල නිහඬවෙලා ඉන්නෙ කලාව එපා වෙලාද?

කලාව එපා වෙලා නෑ. කලාව තාත්තගෙන් මට ලැබුණු දායාදයක්. යම් යම් හේතු නිසා මේ දිනවල ටිකක් නිහඬව ඉන්න එක හොඳයි කියල හිතුණා.

මොනවද නිහඬවෙන්න තරම් හේතු.

කලාවට සම්බන්ධව විවිධ අලුත් නිර්මාණ කරනවා. ඒවා කරන්නේ නිෂ්ශබ්දව. පසුගිය කාලයේ අලුත් ගීතයක් කළා.

නිවි නිවි දැල්වී -පහන උදේ

අසපුව කෙළවර මඳ පවනේ

හැඟුමද ඇවිළෙන්නේ...

මේ ගීතය යූ ටියුබ් එකෙන් අසන්න පුළුවන්. මම කලාවට සම්බන්ධවෙලා දැන් වසර අටක් පමණ වෙනවා.මේ දේවල් කියන්න අපිට ඉඩක් නැහැ. හොඳ දෙයක් රසිකයන්ට දෙන්න බැහැ. බොහෝ පිරිසගෙන් එල්ලවෙන්නෙ පැසසුම් වෙනුවට ගැරහුම්. ඉතින් මේ දේවල් එක්ක හැප්පිලා සිත් රිදවා ගන්නවාට වඩා නිෂ්ශබ්දව ඉන්න එක හොඳයි. මම කොහොමත් රසිකයන්ගේ ආත්මයට ආමන්ත්‍රණය කරන ගායකයෙක් මිසක් කකුල් දෙකට ආමන්ත්‍රණය කරන කලාකරුවෙක් නෙමෙයි.

අතීතයේ සිටි මිනිසුන්ගේ හැකියාව වර්ණනා කර කර ඉන්නවා මිසක් අලුත් යමක් කරන්නෙ නැහැ. අමරදේවයන්, ලෙස්ටර් වැනි විශිෂ්ටයන් මෙන් හැකියාවෙන් පිරිපුන් මිනිසුන් දැන් බිහිවන්නේ කලාතුරකින්. ඉතින් කලාව පැත්තෙන් මේ කඩා වැටීම සිදුවනවිට නිහඬව ඉන්නවා හැරෙන්න කරන්න දෙයක් නෑ. මාධ්‍ය ගත්තත් එහෙම තමයි. පවුලේ දරුවන් එක්ක එකට රූපවාහිනිය බලන්න බෑ. යූ ටියුබ් එකත් ඒ තත්වයට පත්වෙලා. ගුණාත්මක දේ වෙනුවට බුද්ධිය හීන කරන අසැබි දේවල් දෙනවා.

මේ තත්වයෙන් කලාව බේරා ගැනීමට තරුණ කලාකරුවෙක් ලෙස ඔබටත් යමක් කළ හැකියි නේද?

මම ගීත ගායනයට අමතරව සංගීත අධ්‍යක්ෂණය කරනවා. ඇත්තටම මට මේ වගේ ප්‍රශ්න දැක දැක උඩුගං බලා පීනන්න බැරි නිසා දැන් ලංකාවේ කලාවේ නැති තරම්. පසුගිය මාසයේත් මම සහභාගිවුණේ එක ප්‍රසංගයකට විතරයි. විශේෂයෙන් කියන්න ඕනෙ ඇතැම් පිරිස් මම ගායකයකුගේ දරුවෙක් නේද කියන හැඟීමෙන්වත් මගේ දිහා බලන්නෙ නැහැ. ඉතින් අපි කුඩා කාලයේ සිට දන්න කියන කලාවෙන්ම තමයි ඒ සත්කාර ලැබෙන්නේ.

ඇයි කලාව ගැන ඔය තරමටම කලකිරීමෙන්.

මගේ තාත්තා මොනවත්ම නැතුව කලාවට ආපු පුද්ගලයෙක්. අඩුම තරමින් ඔහුට තාත්තෙක් දකින්නවත් ලැබිලා නැහැ. නමුත් ඔහු මට හොඳ තාත්තා කෙනෙක් වුණා. මගේ ජීවිතයේ මාව තදින්ම විශ්වාස කළ මගේ හැකියාවන් මනාවට තේරුම්ගත් පියෙක් මට සිටියේ. ඔහු මාව පිරිසක් ඉදිරියේ තියාගෙන අගය කළ හැටි අදත් සිහිවනවිට දුකයි. ඒත් ඔහුගේ හැකියාව අපේ රටේ මිනිසුන් මුදලට නෙමෙයි ගත්තෙ මත් වතුර ටිකකට. ඇතැමුන් තාත්තගෙන් වගේ මගේ හැකියා‍වත් නිකන් ගන්න උත්සාහ කරනවා. එ‍් තත්වයට මම පත්වන්නෙ නැහැ. කවදා හෝ දවසක ‍ලංකාවේ කලාවේ මාරියෝ කියන පුද්ගලයා කවුද කියා දැන ගනීවි. අපිව අගය නොකර අඩුපාඩු පමණක්ම සොයන පිරිසට එදාට උත්තර ලැබේවි.

ඒ කියන්නේ දවසක මාරියෝ වෙනස්ම විදිහට දකින්න ලැබෙයි කියන එකද?

දැනටත් ලංකාවේ බොහෝ ඉංග්‍රීසි සිංදුවල පද රචනය මෙන්ම සංගීතය මගේ. මම කුඩා කාලයේ සිටයි ගීත රචනා කිරීමටත්, සංගීත අධ්‍යක්ෂණය කිරීමත් කළේ. පසුගිය කාලයේ ටෙලිනාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය කළේ මම. ඒවා බොහෝ පිරිසක් දන්නෙ නැහැ. ඒවාට රූප රචනාත් කර තිබෙනවා. ඒ වගේම සංගීතය සහ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. එයට අමතරව විදේශ රටවල් හා සම්බන්ධව වැඩකරනවා. පසු ගිය කාලයේ අයර්ලන්තයේ පුවත්පතක පවා මම ගැන විශේෂාංගයක් පළ වුණා.

බොහෝ පිරිස කියනවා මාරියෝ මාධ්‍යයට එන්නෙ නෑ. දුරකථනයෙන් සම්බන්ධකරගැනීමත් අපහසුයි කියා. ඇයි ඔබ ඒ තරමටම මාධ්‍ය මග අරින්නේ.

එහෙම දෙයක් නෑ. ලංකාවේ අඩුවෙන්ම වැඩ තියෙන ගායකයා මම. මට මාධ්‍යවලින් ඉඩක් දෙන්නේ නැති තරම්. ඇතැම් මාධ්‍ය මාව කලාවේ සිටින මිතුරන්ගෙන් පවා විරසක කරන්න හැදුවා. ඒ කාලයේ මගේ තාත්තවයි ජෝතිපාලවයි විරසක කරන්න ඇතැම් මාධ්‍ය උත්සාහ ගත්තා. හැම මාධ්‍යයකටම නෙමෙයි මම මේ කියන්නෙ ඇතැම් මාධ්‍ය ගැන. ඉතින් විශ්වාසවන්තම මාධ්‍ය ආයතනයකට ඇරෙන්න කිසිවක් කියන්න කට අරින්නත් බයයි.

කලාවේ රැඳෙන්න මාරියෝට අම්මාගෙන් ලැබුණෙ කෙබඳු සහයෝගයක්ද?

මගේ අම්මා ශ්‍රීමා චන්ද්‍රානි. අක්කා දුලාංජලී ආනන්ද. ඇය ඉංග්‍රිසි ප්‍රවෘත්ති නිවේදිකාවක්. මම පාසල් ගියේ ශාන්ත ජෝසප් විදුහලට. උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා දැන් පුද්ගල කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා. මට මතකයි මම කුඩා කාලයේ පාසල් ඇරිල ආපු ගමන්ම රේඩියෝව ඉස්සරහ ඉඳගන්නෙ තාත්තගෙ අලුත් ගීත අහන්න. තාත්තා නැතිවෙන්න අවුරුදු තුනකට කලින් අතේ සතේ තිබ්බෙ නැහැ. ඒත් මගේ අම්මා අපිට ශක්තියක් වෙමින් අක්කාගෙත්, මගේත් අනාගතය සාර්ථක කරන්න උත්සාහ ගත්තා. දැන් අපි දෙදෙනාම පොළොවේ පයගහල ඉන්න පුළුවන් තත්වයට පත්වෙලා. මිනිසුන් මගේ තාත්තට බැන්න තමන් විහින් තමන්ව විනාශකර ගත්ත කියල. මිනිසුන් එහෙම කිව්වෙ තාත්තට ආදරය කළ නිසයි.මම හිතනව තාත්තට මිනිසුන් ආදරය කළා වගේම මටත් ආදරය කරනවා කියා.

 

 
 

Comments