උතුරේ ජනතාව වන සංරක්ෂණයට | සිළුමිණ

උතුරේ ජනතාව වන සංරක්ෂණයට

රටක සංවර්ධනය සිදු වන විට ශාක විනාශය නිතැතින්ම සිදු වන්නකි. එය වැළැක්විය නොහැකිය. එහෙත් එසේ විනාශ වන ශාක වෙනුවෙන් අපටද යමක් කර පරිසර සංරක්ෂණයට දායක විය හැකිය. එසේ වුවත් අද පරිසර සංවිධාන කිහිපයක් පරිසරය ගැන කැක්කුමක් ඇති අය කිහිප දෙනකු හැරෙන්නට මේ ශාක විනාශය ගැන කතා කරන අය දක්නට නැත. ඒ ගැන අවධානයක්ද නැත. එක් පසෙකින් කැලෑ පාලුවෝ වන විනාශය සිදුකරති. තවත් පසෙකින් සංවර්ධනය නිසා අපේ වටිනා ශාක අපට අහිමි වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්ෙතාට දක්වා දිවෙන අධිවේගයේ 1 අදියරේදී ශාක 1400ක් පමණ කපා ඉවත් කර ඇති බවට මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙය කොතරම් විනාශයක්ද? එහෙත් ඔවුන් ඒ සඳහා යම් වැඩ පිළිවෙළක් ඒ සඳහා ආරම්භ කර ඇත. ඒ වැනසෙන එක් ගසක් වෙනුවෙන් ගස් 100ක් සිටුවීමේ වැඩ පිළිවෙළයි. එය සාර්ථක වුවහොත් අප විසින් පරිසරය රැක ගැන්මට විශාල දායකත්වයක් ලබා දුන්නා වනු ඇත.

එහෙත් මේ වැඩ පිළිවෙළ දිගින් දිගටම සාර්ථක ලෙසින් පවත්වා ගෙන ගියහොත් පමණක් නිසි ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ අපට කාන්තාරයක නැත්නම් දහඩිය දමමින් කොන්ක්‍රීට් ගොඩක දිවි ගෙවීමටයි.

මේ තත්ත්වය වළකා සිසිලස ලබා ගැන්මට නම් අප වන සංරක්ෂණයක් සිදු කළ යුතුමය.

දැන් ගැටලුවක් මතු වේ. නාගරික ජනතාව වනය වවන්නේ කොතැනද? පර්චස් 10ක බිම් කොටසක් යන්තම් නිවාසය තනා ගන්නට පමණක් ප්‍රමාණවත් වේ.

එහි තව ගස් කොළන් කෙසේ වවන්නද? එහෙත් අප කල්පනා කළ යුත්තේ අප ගැන පමණක්ම නොවේ. සමස්ත දිවයින ගැනමය.

එසේ කළහොත් අපට විසැඳුමක් ලැබෙනු ඇත. අපේ ප්‍රදේශයේ ගසක් විනාශ වුවහොත් අපට හැකි තැනක ඒ සඳහා ගස් කිහිපයක් සිටුවනවානම් එයද රටට කරනු ලබන මහා සේවයකි.

අද මේ තරමට එලොව පොල් පෙනෙන තරමට පොල් ගණන් ගොස් ඇත්තේ පොල් ගස් දිගින් දිගටම කැපීමේ ප්‍රතිඵලය. මේ තත්ත්වය යන්තම් හෝ මැඬලීම පිණිස උතුරේ පොල් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් යුද හමුදාව විසින් ආරම්භ කරන ලදි. එය දැන් ඉතාම සාර්ථකව සිදු කෙ‍රී ගෙන යයි.

එමෙන්ම ශාක වගා කිරීම සඳහා තවත් විශේෂ ව්‍යාපෘතියක් පසුගියදා පරන්තන් සිට සංගුපිඩ්ඩි දක්වා දිවෙන මාර්ගයේ දෙපස සිදු කරන ලදී. ඒ මීටර් 100ක දුරකින් යුක්තව කොහොඹ පැළ සිටුවීමයි.

මේ කාර්යයට ජනතාව සම්බන්ධ කර ගැනීමේ තවත් ව්‍යාපෘතියක් පසුගියදා කිලිනොච්චියේදී ආරම්භ කරන ලදී.

ඒ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 57 වන සේනාංකය යටතේය.

මෙහිදී පවුල් 170 දෙනකු අතර, කොස් පැළ 300 ක් සහ මල් පැළ වර්ග 5275ක් බෙදාදෙන ලදි.

කිලිනොච්චි 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්‍ෂණය මත 571 බළසේනාවට අයත් ජයන්තිනගර් සහ තිරුනගර් ග්‍රාමසේවා කොට්ඨාස ප්‍රදේශයන්හි සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරීම හා ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමත් මේ පැළ බෙදා දීමේ අරමුණු අතර විය.

මෙම ප්‍රජා සත්කාර වැඩසටහන සඳහා 7 ශ්‍රීලපාහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ජයන්තිනගර් සහ තිරුනගර් ප්‍රදේශයන්හි සිවිල් වැසියන් තෝරා ගෙන තිබුණි.

රටක ඉදිරි දියුණුව සලසන පරිසර සංරක්ෂණය මෙන්ම ජනතාව අතර සුහදත්වය ඇති කරලීම පිණිස සිදු කළ මේ කාර්යය අප බෙහෙවින් අගය කළ යුතුය.

 

Comments