සාර්ව ආර්ථිකය හා ග්‍රාමීය සංවර්ධනය | සිළුමිණ

සාර්ව ආර්ථිකය හා ග්‍රාමීය සංවර්ධනය

 රට හමුවේ ඇති ආර්ථික ගැටලු හා අභියෝග ජයගත හැකි ජාතික ආර්ථික වැඩපිළිවෙළක් සකසා, විශේෂයෙන් ඉදිරි අවුරුදු දෙකට හා ඉන් ඉදිරියට එය ක්‍රියාවට නැංවීම ජාතික ආර්ථික සභාවේ අරමුණයි. එහිදී රට හමුවේ ඇති ආර්ථික ගැටලු හා අභියෝග ගැන පැහැදිලි දැනුම්වත්භාවයකින් ක්‍රියාත්මක වීම විශේෂයි. ඇත්තටම ආර්ථික ගැටලුව හා අභියෝග ගැන රටේ ජනතාව ඉතාම සංවේදී බව දැනටමත් හඳුනාගෙන ඇත. ජාතික ආර්ථික සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනතාව මේ ගැන සංවේදී වීම ගැන, විශේෂයෙන්ම ජීවනබවර හා විරැකියාව යන කාරණා ගැන, වැඩි අවධානයකින් යුතුව ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙයි. ඒ අනුව ජාතික ආර්ථික සභාව අවශ්‍ය වන්නේ කුමටද යන්න පැහැදිලි වන අතර ඒ අවශ්‍යතාව කුළුගන්වන මූලික කරුණු දෙක කෙරෙහි මෙහිදී අවධානය යොමු කරමි.

රට හමුවේ ඇති ආර්ථික ගැටලුව හා අභියෝගය ජයගැනීම පිණිස ක්‍රම දෙකක් යටතේ ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ඒ සමස්ත ජාතික ආර්ථිකය හෙවත් සාර්ව ආර්ථිකය හා ක්ෂුද්‍ර ආර්ථිකය හෙවත් ග්‍රාමීය සංවර්ධනය යන අංශ දෙක යටතේය.

සාර්ව ආර්ථිකය පැත්තෙන් ගත් කල රට හමුවේ ඇති ආර්ථික ගැටලුව හා අභියෝගය වන්නේ දේශිය වශයෙන් හා විදේශ වශයෙන් දැනට ගෙවන්නට ඇති ණය ප්‍රමාණයයි. එම මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 10.3කි. එයින් දේශිය ණය 5.6ක් වන අතර විදේශිය ණය 4.7කි. මුළු ආර්ථිකයේ කොටසක් ලෙස ගත විට මේ ණය ප්‍රමාණය 78%කි. මේ ණය ජාතික ආර්ථිකයට ඵලදායී ලෙස යෙදවී තිබේ ද කියන කාරණය මත මේ ණය ගැටලුවක් ද අභියෝගයක් ද නැතිනම් යහපතක් ද යන්න තව දුරටත් තහවුරු කර ගත හැකියි. සම්මත පිළිගැනීම් අනුව රටේ ණය ප්‍රමාණය 60% ඉක්මවන්නට නොහැකියි. ඊට එහාට ඒ ණය වැඩි වෙනවානම් එය ගැටලුවකි. එමෙන්ම අභියෝගයකි. පසුගිය කාලයේ ආර්ථික අභියෝගයට මුහුණ දුන් යූරෝ මුදල් ඒකකය පදනම් කර ගත් ‘යූරෝ කලාපය‘ තම තම රටවලට තබා ගත් ණය සීමාව 60% ක් වීමෙන් හා අයවැය හිඟය 3% ඉක්මවවිය යුතු නැහැ කියන සම්මතයෙන්ද ගම්‍ය වන්නේ, ජාතික ආර්ථිකය ශක්තිමත් කර ඉදිරියට යෑම පිණිස රටකට ණය අවශ්‍ය වන නමුත් ණය වීමේ සීමාවක් ද අවශ්‍ය බවයි.

අපට 2019 හා 2020 යන වසරවලදී විශාල ණයක් වාරික හා පොලී ලෙස ගෙවන්නට සිදුවී ඇත්තේ මේ විශාල ණය ප්‍රමාණය නිසයි. මේ ණය ගෙවන්නට ඇති මඟ කෙටිකාලීනව තව දුරටත් ණය ගැනීම වුව ද දිගුකාලීනව ගත් කල එය ආර්ථික වර්ධනයට ධනාත්මකව හේතු විය යුතුයි. නමුත් 2017 වසරේ රටේ ආර්ථික වර්ධනය 3.1% ක් වශයෙන් ද 2016 වසරේ 4.5%ක් වශයෙන් ද 2015 වසරේ 5.0%ක් වශයෙන් ද වාර්ථා වන විට පෙනී යන්නේ ආර්ථික වර්ධනය අඩුවෙන ආකාරයයි. මේ සම්බන්ධයෙන් බලපාන විවිධ සාධක තිබෙන බව ඇත්ත නමුත් මේහිදී මා අදහස් දක්වන්නේ ඒ ගැන නොව, රටේ ආර්ථික වර්ධනය ඉහළ දමා ගැනීම සම්බන්ධයෙනි.

විසඳුමක් ලෙස ජාතික ආර්ථික සභාව දකින්නේ දේශිය මෙන්ම විදේශීය ආයෝජන ඉහළ දමා ගැනීමයි. දෙස් විදෙස් ආයෝජකයන් දිරිගන්වන පුළුල් වැඩසටහනක අවශ්‍යතාව ජාතික ආර්ථික සභාව අවධාරණය කරන අතර අපනයන වර්ධනය වෙනුවෙනුත් ඊට වැඩසටහනක් එක් කළ යුතු වෙනවා.

මේ දිරිගැන්වීම් සලසන මූලික වගකීම පැවරෙන ආයෝජන මණ්ඩලයට හා අපනයන සංවර්ධන මණ්ඩලයට ජාතික ආර්ථික සභාව කරුණු පෙන්වා දී තිබෙනව. විශේෂයෙන්ම මෙහිදී කොළඹ අගනගරය හා රටේ ප්‍රධාන නගර සම්බන්ධ කෙරෙන මහාමාර්ග පද්ධතියක් හා දුම්රිය ජාලයක් අත්‍යවශ්‍ය බවට හඳුනා ගෙන තිබේ. මේ ඉදිකිරීම් සඳහා විදේශ ආධාර අවශ්‍යම වන අතර එම ආයෝජකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ගොඩනඟා, මෙහෙයුම් කොට, ආයෝජනය පියවා ගෙන, නැවත අපට පවරා දෙන (BOO - BOT) වැනි ව්‍යපෘති කෙරෙහි ඉඩ දීම ගැන මෙහිදී සලකා බැලිය හැකියි.

කෙසේ වෙතත් සාර්ව ආර්ථිකය හෙවත් රටේ සමස්ත ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ හා ක්‍රියාවට නංවන වැඩසටහන් දිගුකාලීන ඒවා වීම වැලක්විය නොහැකියි. එහෙත් ග්‍රාමීය සංවර්ධනය යන කොටස එසේ විය යුතු නැත.

ග්‍රාමීය සංවර්ධනය හෝ ක්ෂුද්‍ර ආර්ථිකය හෝ සම්බන්ධයෙන් ගත් කල ගමට දැනෙන දේ වන්නේ ජීවන වියදමට සරිලන ආදායමක් නැති වීමයි. අභියෝගය හෝ ගැටලුව එයයි. මේ සඳහා ඇති ප්‍රධානම විසඳුම රැකියා උත්පාදනයයි. මෙයින් අදහස් කරන්නේ රජයේ රැකියා අවස්ථා සම්පාදනය නොවේ. විශේෂයෙන්ම ආර්ථික වර්ධනය වේගවත් කරන සංවර්ධන ක්‍රමෝපායන් නැතිව රජයේ රැකියා අවස්ථා සම්පාදනය කළ නොහැකි දෙයක්. නමුත් ග්‍රාමීය මට්ටමේ ඇති හැකියාවන් ඉදිරියට ගෙන දිරි දෙන්නේනම් එම බිම්මට්ටමේදීම රැකියා අවස්ථා උත්පාදනය කර ගන්නට හැකියි. නිදසුනක් මගින් විස්තර කරනවානම්, සෑම ග්‍රාම සේවා වසමකටම පවුල් දෙකක් හෝ තුනක් ලෙස තෝරා ගෙන කිරිගවයන් ඇතිකරන පහසුකම් සලසා දීම බිම් මට්ටමේ රාජ්‍ය යන්ත්‍රණය හරහා කළ හැකියි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා වෙළෙඳාම දිරිගැන්වීම යටතට මෙය අයත් වෙනව. එවැනි ව්‍යාපෘති සඳහා බැංකු ණය හෝ වෙනත් සහන සලසා දීම ඉලක්ක ගතව, වෙඳෙපොළ විනයක් ඇතිව යොමු කිරීම දැනට සිදු නොවනෙ කාරණයක් බව ජාතික ආර්ථික සභාව හඳුගෙන ඇති අතර දැන් එය නිවැරදි කිරීම වෙනුවෙන් ජාතික ආර්තික සභාව මැදිහත්ව සිටීම බලාපොරොත්තු සහගත තත්ත්වයක්. කිරි ගවයන් යන නිදසුනම ගත්තොත් එය සුළු කර්මාන්තයකට හැරවීමට හැකි වීම මඟින් දිගුකාලීනව ජාතික ආර්ථිකයට ද විශාල දායකත්වයක් ලබන්නට අවස්ථාව නිර්මාණය වෙනව. අප කිරිපිටි ආනයනයට විශාල විදේශ විනිමයක් වැය කරන බව මෙහිදී සිහි තබා ගැනීමත් වටිනව.

ග්‍රාමීය ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික ආර්ථික සභාව ඉහළ අවධානයක් යොමු කර තිබීම ජනසමාජයට දැනෙන ආර්ථික වෙනසකට මංපෙත් පෑදීමක්. කෘෂිකාර්මික අංශය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා වෙළෙඳාම යන කාරණා ගැන එහිදී වැඩි අවධානයකින් යුතුව, සියලු අමාත්‍යාංශවලට අදාළ එම විෂය යටතේ ඇති ව්‍යාපෘති ඒකාබද්ධ කෙරෙන ජාල ගත වැඩපිළිවලක් මෙහිදී ක්‍රියාත්මක කෙරේ. ග්‍රාමශක්ති ව්‍යාපෘතිය ඊට අදාළ ප්‍රධානම ක්‍රියාන්විතයක්.

 

අදහස්