වැටීම, නැඟිටීම හා ආර්ථික විකල්ප | සිළුමිණ

වැටීම, නැඟිටීම හා ආර්ථික විකල්ප

 ධනේශ්වර ක්‍රමය ඉදිරියට යන්නේම සර්පිලාකාර පොළා පනින අර්බූදයන් සමග ය. ධනේශ්වරය අර්බූදය නිසා බිඳ වැටෙන මොහොත අත ළඟ යැයි වාමාංශිකයෝ නිතර කියති. එහෙත් එය වරෙක අර්බූදයන් කරා ද තවත් වරෙක විසඳුම් කරා ද යමින් ඉදිරියට ගමන් කරයි. ධනේශ්වරය බිඳ වැටෙන්නේ එය යා හැකි උපරිමයට ගිය පසුව වන අතර එතෙක් එය මෝරමින් පවතී. 1930 දීත් 1971 දීත් 2007 දීත් ඇතිවූයේ එවැනි කම්පනයන් ය. එහෙත් ඒවාට ප්‍රතිසංස්කරණවාදීව මුහුණ දෙමින් ඉදිරියට යයි. නමුත් කාල් මාක්ස් ප්‍රකාශ කළ අන්දමින්ම ධනේශ්වරය එහි ආන්තිකයට පැමිණීම අනිවාර්ය වේ.

ඉතිහාසය තුළ එය අර්බූදයට ගිය සෑම විටෙම ධනේශ්වර ආර්ථික විද්‍යාඥයෝ විවිධ විසදුම් ගෙන එමින් අර්බූද ප්‍රතිසංස්කරණවාදීව ජය ගත්හ. ජෝන් මයනට් කේන්ස් එසේ ධනේශ්වර ක්‍රමය තුළ ඇති වූ අර්බූදයකට විසඳුම් පොදියක් ඉදිරිපත් කළේ ය. ඒ මඟින් වෙළෙදපොළ තුළ රාජ්‍යට හිමිවූයේ කත්‍රියාකාරී භූමිකාවකි. ජාතික රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක වූයේ වෙළෙදෙපාළට අත පෙවීමට රාජ්‍යට තිබූ ශක්තිය මත ය. එවිට රාජ්‍යයට සුභ සාධනවාදී අර්ථයෙන් කටයුතු කිරීමට හැකි විය.

එහෙත් ප්‍රාග්ධනය ගෝලීයව චලනය වෙන්නට පටන් ගත් පසුව එතෙක් ආකෘතිමව ජාතික රාජ්‍ය තුළ ක්‍රියාකාරී වූ ප්‍රාග්ධනයට මුළු ලෝකයම සීමා නැති එකම වෙළෙඳපොලක් ලෙස සලකා හැසිරෙන්නට සිදු විය. එවිට ජාතික රාජ්‍ය සංකල්පය ද වියැකෙමින් බලය හීන වන්නට පෙළඹුණි. ඊට සමාන්තරව කේන්සියානු පන්නයේ ආර්ථික විසඳුම් ද අවලංගු විය. ගෝලීයව පැතුරුණ වෙළෙදපොළක අර්බූද ජාතික රාජ්‍යයේ ආකෘතිය තුළ පැන නැඟුණ අර්බූදයන්ට අදාළ විසඳුම් කොහෙත්ම නොගැලපුණි.

ප්‍රාග්ධනය ගෝලීයව ව්‍යාප්ත වන යුගයක ආන්තීකරණයට ලක් වූ රාජ්‍යයන් මුහුණ දෙන බරපතළම ප්‍රශ්නය වන්නේ ගෙවුම් ශේෂ අර්බූදයට මුහුණ දීමයි. ඊට හේතුව වන්නේ අපනයන ආර්ථිකය කඩා වැටීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන ආර්ථික ප්‍රශ්නවලට කේන්සියානු ක්‍රමයෙන් හෝ එවැනි වෙනත් ආර්ථික විසදුම් පොදියකින් හෝ විමුක්තියක් හොයන්නට නොහැකියි. ඊට හේතුව වන්නේ ඒ ආර්ථික විසඳුම් පොදිය ක්‍රියාත්මක කරන්නට මූල්‍ය ශක්තියක් නොවීමයි. විදේශ ණය හා ආධාර මතින් සුබ සාධන ක්‍රියාත්මක කරන්නට ගිය විට නැවතත් වටයකින් ගෙවුම් ශේෂ අර්බූදය තුළ අසරණ වන්නට සිදු වේ.

සුබ සාධනවාදී ජාතික රාජ්‍යයක් නඩත්තු කිරීම යනු තවත් අර්ථයකින් සුදු අලියකු නඩත්තු කිරීමකි. සුබ සාධනවාදය අඩංගු ආන්තීකරණ සමාජ තීරුව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය නව ලිබරල්වාදී ආකෘතිය තුළ ද අවශ්‍ය හා වලංගු වැඩපිළිවෙළකි. එය අතාර්කික වන්නේ මැද පන්තියට ද සුබ සාධනවාදී අර්ථයෙන් ආර්ථික සහන ලබාදෙන විට ය. මැද පන්තිය යනු ඉහළ පන්තියකට පොළා පැනීමට බලාපොරුත්තුවෙන් සිටින සමාජ තීරුවකි. ඒ සමාජ තීරුවට රාජ්‍යයේ පොදු අරමුදල් වලින් සුබ සාධනය සහතික කිරීම ආර්ථික අපරාධයකි.

ආන්තීකරණයට ලක්ව ඇති ජන කොටසට රාජ්‍ය මැදිහත්වීම අත්වාරු ලබාදිය යුතු වීම ප්‍රතික්ෂේප නොකළ හැක්කකි. එහෙත් එවැනි සුබ සාධන ක්‍රමයක් සමස්තයක් ලෙස ක්‍රියාත්මක කිරීම නොකළ යුත්තක් වන්නේ එය රටට ඔරුත්තු දිය නොහැක්කක් බැවිනි. රාජ්‍ය වෙළෙදෙපාළ තුළ නියාමන භූමිකාව ශක්තිමත් කළ යුතු අතර වෙළෙඳපොලේ තාර්කික හැසිරීමට රජය මැදිහත් නොවිය යුතුය. එහෙත් පවතින ආර්ථික ක්‍රමයට සුබ සාධනවාදී සළුපිළි ඇන්දවීම විකෘතියකි.

එහෙත් මේ සත්‍ය පවසන සැම විටම වාමාංශිකයෝ ප්‍රකෝප වෙති. නව ලිබරල්වාදය තුළ පැන නඟින ආර්ථික විෂමතාවට සුබ සාධනවාදයෙන් ඔබ්බෙහි වූ විසඳුමක් ඔවුන්ට නොමැත. ඔවුන් බලාපොරොත්තු වන්නේ ජාතික සුබසාධනවාදී රාජ්‍යයකි. එහෙත් මෙය සමහර ධනපති දේශපාලනඥයන්ගේම බලාපොරොත්තුවයි. කේන්සියානුවාදය විසඳුමක් ලෙස කවුරු පිළිගත්තත් නව ලිබරල්වාදය තුළ එය අසාර්ථක අතාර්කික විසඳුමකි.

වෙළෙදපොළ ලිබරල්කරණය හමුවේ සම්පූර්ණ නිදහස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයක් ප්‍රායෝගික නොවේ. එමගින් ආන්තීකරණයට ලක්වන සමාජ තීරුව මිනිස් දූවිලි බවට පත්වීම නොවැළැක්විය හැක්කකි. එනිසා ආන්තීකරණයට ලක්වන සමාජ තීරුව ආර්ථිකමය ලෙස බල සම්පන්න කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුය. ඒ සඳහා සහනාධාර යෝග්‍ය වන්නේ ආර්ථිකයට සක්‍රීයව සම්බන්ධ විය නොහැකි පටු සීමිත ජන කොටසක් වෙනුවෙන් පමණි. ඉතුරු මැද පාන්තික සමාජ තීරුව වෙනුවෙන් කළ යුත්තේ ඔවුන් ආර්ථිකමය ලෙස ශක්තිමත් කරන වැඩපිළිවෙළකට රාජ්‍යයේ මැදිහත්වීමෙන් සම්බන්ධ කිරීමයි.

මේ සදහා පැරණි වාමාංශික ආකෘතිමය දැක්මෙන් බාහිරව වෙළෙඳපොළ අර්ථ දක්වා ගැනීමට හැකිවිය යුතුය. වෙළෙඳපොළ කොතෙක් අසාධාරණ වුවද ඒ වෙළෙඳපොළට ඔබ්බෙන් යෑමට තවත් කාලයක් ගතවන තුරු කළ නොහැක. කළ යුත්තේ අසාධාරණ වෙළෙඳපොළ ම යොදා ගනිමින් සමාජයේ විවිධ ස්තරයන්ට එහි අවකාශයක් වෙන් කර ගැනීමයි. වෙළෙඳ පොළ ක්‍රියාකාරීත්වයට සමාජය ශක්තිමත්ව යොදා ගැනීම නොහොත් ආර්ථිකමය ප්‍රජාතන්ත්‍රීකරණය මීට විසඳුමයි. පවතින ක්‍රමය සමග සෘජුව, ශක්තිමත්ව හා උපක්‍රමශීලීව ගැටෙමින් බහුතර සමාජ කොටසට වෙළෙඳපොළ වාසි සහගතව යොදා ගැනීම විකල්පයයි.

2014 සිට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාතයේ ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ චන්ද්‍ර බාබු නායිදු එවැනි ක්‍රමයකින් සමාජය ශක්තිමත් කරන්නට වෙර දැරූ ධනපති නායකයෙකි. ඔහු ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තය තුළ තොරතුරු තාක්ෂණ දැනුම ව්‍යාප්ත කරමින් පරිගණක මෘදුකාංග නිෂ්පාදනය කරන්නා වූ ප්‍රාන්තයක් ලෙස එය දියුණු කළේ ය. සම්ප්‍රදායික අමු ද්‍රව්‍ය හා ප්‍රාථමික නිෂ්පාදනයන්ට වෙළෙඳපොළක් හා ඉල්ලුමක් නොලැබුණත් පරිගණක මෘදුකාංග සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාල වෙළෙඳපොළක් නිර්මාණය විය. එය ගෙවුම් ශේෂ හිඟයකට මුහුණ දී සිටි ප්‍රාන්තයට කදිම පිළිතුරක් විය.

නව ලිබරල්වාදය තුළ සමාජය මුහුණ දෙන ක්ෂුද්‍ර ආර්ථික ව්‍යාධීන්ට පිළියම ඇත්තේ ආර්ථික අවකාශය තුළම ය. එය අභ්‍යන්තරයෙන් විනිවිද නොදැක සාධාරණය සඳහා අරගල කිරීම ප්‍රායෝගික නොවේ. ශක්තිමත් ආර්ථිකයක් තුළින් රාජ්‍ය මූල්‍ය පදනම හා ආර්ථික පදනම ශක්තිමත් කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. ඒ සදහා රාජ්‍යයේ මැදිහත්වීම හා නියාමනය අත්‍යවශ්‍යම වේ.

අබරන්

අදහස්