අද මම දෙව්ලොව සැප විඳිනවා! | සිළුමිණ

අද මම දෙව්ලොව සැප විඳිනවා!

සිරිලාල් කොඩිකාර නම් වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා ‍දැන් 94 වැනි වියේය. එකල කැපී පෙනෙන පත්තරකාරයකු වූ ඔහු පාඨකයන්ට මතක හිටින දේ ලියූ කෙනෙකි. මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය, කනේරු මල්, මා දුටු කෝසල සිහින, දියවැලක් ඔස්සේ, ලෙයින් ලියූ කවි ආදිය ඔහු ලියූ කෘති අතර වේ. අදටද ලිවීම කියවීම අතැර නැති ‘රංචාගොඩ ළමයා‘ දැන් ජීවිතයේ සැදෑසමය ගෙවන්නේය.

 • ඔබගේ ළමා කාලය ගෙවුණේ කොහොමද?

මම උපන්නේ 1924 අගෝස්තු 27 වැනිදා. මගෙ තාත්තා වැඩ කළේ කෑගල්ලේ වත්තක. මම මුලින්ම ඉගෙනගත්තේ පිටිහුම විද්‍යාලයේ. පවුලට තවත් පිරිමි දරුවකු ලැබෙන තුරු මාව පාසල් යවන්න මගේ දෙමවුපියන් තීරණය කළා. ඒත් මං කුඩා වියේදීම ම‍ගේ මව මිය ගියා. මගේ තාත්තට මාව වෛද්‍යවරයෙක් කරන්න වුවමනා වුණා. මම සිංහල වෙදකම ඉගෙනගත්තා. ඒ වගේම භාෂාවත් ඉගෙනගත්තා. මට කුඩා කාලයේ ඉඳලම වුවමනාව තිබුණේ උගන්වන්න. කොහොම හරි මම පන්සල් ඇසුරේ අධ්‍යාපනය ලැබුවා.

• ඔබ පැවිදි ජීවිතයක් ගත කළ කෙනෙක්ද?

බොහෝ අය මගෙන් ඔය ප්‍රශ්නය අහනවා. ඔව්, මම පැවිදි වෙලා හිටියා. මං පැවිදි වෙලා හිටියේ මාස තුනක් වගේ කාලයක්. ඒක වුණේ මෙහෙමයි: තාත්තා මට නිතර තරවටු කරනවා. දවසක් කෝටුවක් අරගෙන පහර දෙන්න ගත්තා. මම මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් හිතුවා. මම කිව්වා මට අම්මා පේනවා කියලා. මං අම්මා ආවේශ වුණා වගේ හැසිරෙන්න ගත්තා. ඉන් පස්සේ තාත්තා මගේ හඳහන අරගෙන පන්සලට ගියා. හාමුදුරුවො හඳහන බලලා මාව පැවිදි කරගන්න කැමති වෙලා. මමත් පැවිදි වුණා. ඒත් හාමුදුරුවො සැර-වැර කරන නිසා මම තුන් මාසෙන් ගෙදර ආවා. යාළුවෙකුට එන්න කියලා යාළුවා ගෙනාව සරමයි බැනියමයි ඇඳගෙන යාළුවා එක්ක රබර් වත්ත මැද්දෙන් ගෙදර ආවා. ඇවිත් තාත්තාට විස්තරේ කිව්වා. තාත්තා ඉන් පස්සෙ මුකුත් කිව්වේ නැහැ. මම පිරිවෙන්වලයි ඉගෙනගත්තේ.

• ඔබ පත්තරවලට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම 1947 අවුරුද්දේ ප්‍රාචීන විභාගය ලියන්න කොළඹ ආවා. ඒ අතර කොළඹ මාලිගාකන්ද චන්ද්‍රසේන පොත් සාප්පුවේ සුළු රැකියාවක් කළා. මගෙ තාත්තාට ඕනෑ වුණේ මට ඉහළට උගන්වන්න. ඒත් තාත්තා හදිසියේම මිය ගියා. ඒ නිසා මගෙ ඉගෙනීමත් අඩාළ වුණා. ඒ කාලේ උඩකැන්දවල සරණංකර හිමියන් සඟරාවක් කළා. මගේ මතකයේ හැටියට ඒ ‘කාව්‍යාලෝකය‘ කියන සඟරාව. මගේ මුල්ම කවි පෙළ පළ වුණේ ඒ සඟරාවේ. පසු කාලෙක මම සිංහල ජාතිය පුවත්පත‍ට සම්බන්ධ වුණා. ඒ පුවත්පතට සම්බන්ධ වුණේ මුද්‍රණ ශිල්පියකු විදිහට.

• ඔබ ‘දවස‘ පුවත්පතේ සේවය කළා නේද?

ඔව්. ඒත් මට දැන් හරියටම කාලවකවානු මතක නැහැ. ඒ කාලේ දවස පුවත්පත භාරව හිටියේ ඩී.බී. ධනපාල මහතා. ඒ කාලේ තමයි මම ‘කෝසල රජුගේ අලුත් සිහිනය‘ කියලා ලිපි පෙළක් ලිව්වේ. ඒත් මම වැඩිකාලයක් දවස පත්තරේ හිටියේ නැහැ. මගේ දේශපාලනය එතැන හිටපු අයට ගැළපුණේ නැහැ.

• දවසට නොගැළපුණ ඔබේ දේශපාලනය කුමක්ද?

මම වාමාංශිකයෙක්. අද වගේ ඒ කාලේ පක්ෂ මහ ගොඩක් තිබුණේ නැහැ. මම කොමියුනිට් පාක්ෂිකයෙක්. මම හැමදාම පීඩිතයන් වෙනුවෙන් පෙනී හිටියේ. මම ලිව්වේ පීඩිත පන්තිය වෙනුවෙන්. මම කවදාවත් ධනපති පන්තිය වර්ණනා කරන්න, ඒ පන්තියට ආවඩන්න ගියේ නැහැ. දවසේ පාලකයන් එක්ක ගැටුණ නිසා මා ඇතුළු කිහිප දෙනෙක්ම එතනින් අයින් වුණා. දැන් මගේ සමකාලීනයෝ බොහෝමයක් ජීවතුන් අතර නැහැ. මට මතකයි මොටාගෙදර වනිගරත්න දවස පුවත්පතේ අප සමඟ සේවය කළා. ඔහු අපට පෙර දවසෙන් අයින් වුණා. දවසෙන් අයින් වෙලා මම ඇත්ත පත්තරයට සම්බන්ධ වුණා.

• ඇත්ත පත්තරයේදී ඔබට ඔබේ නිදහස ලැබුණාද?

අපොයි ඔව්. මම බොහෝ දේ ලිව්වේ ඇත්තෙදි. මම ඇත්ත පත්තරේ කතුවැකියත් ලිව්වා; කවි පිටුවත් කෙරුවා; තවත් බොහෝ දේ ලිව්වා. ඒ විතරක් නොවෙයි මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් අපි පෙනී හිටියා. ඒ කාලයේ රජය ගත්ත නොගැළපෙන තීන්දු තීරණ ගැන අපි නොබියව කතා කළා. අයවැය ගැන අපි අපේ මතය ඉදිරිපත් කළා. ජනතාවට දරන්න බැරි අය වැය යෝජනා ගැන කතා කළා; ලිව්වා. සමහර වෙලාවට අපිට තර්ජන ගර්ජන ආවා. ඒත් අපි ඒවාට නොබියව මුහුණ දුන්නා. අද වගේ ඒකාලේ මහ ගොඩක් පත්තර, රේඩියෝ චැනල්, ටීවී තිබුණේ නැහැ. අතේ අරගෙන යන්න දුරකතන තිබුණේ නැහැ. පාඨකයෝ අපිට ලිව්වා. ඒ කාලේ පත්තර ජීවිතය බොහොම සුන්දරයි.

• සිරිලාල් කොඩිකාරයි, රංචාගොඩ ළමයයි කියන්නේ දෙන්නෙක් නෙමෙයි, එක්කෙනෙක්. බොහෝ අය ඔබ හඳුන්වන්නේ රංචාගොඩ ළමයා, කියලා...

මම ‘රංචාගොඩ ළමයා‘ නමින් ලියන්න පටන් ගත්තේ ඇත්ත පත්තරයේදී. ඒ කාලේ හිටපු ඇත්ත කර්තෘතුමා තමයි මට කවියක් ලියන්න කියලා කිව්වේ. මම ඒකට ‘රංචාගොඩ ළමයා‘ කියන නම දැම්මේ හේතු ඇතිව. අපි මේ කවි ලිව්වේ රටේ මිනිස්සුන්ගේ දුක කියන්න. ඇත්තේ රංචාගොඩ ළමයාගේ කවි සම්ප්‍රදායෙන් බැහැරයි. ඒ කවිවල එළිසමය, එළිවැට නැහැ. එය අමුතුම ආරක කවියක් වුණා. අතීතයේ වැලිගම පැත්තේ තරුණයෙක් රංචාගොඩ ප්‍රදේශයෙන් තරුණියක විවාහ කරගෙන ගමට ගෙනාවා. ඒ ගමේ අය මේ ළමයාව හැඳින්වූයේ ‘රංචාගොඩ ළමයා‘ කියලා. රංචාගොඩ ළමයා තමන්ගේ විවාහ ජීවිතයේ ඇති වුණ දුක පීඩාව නිවාගත්තේ තම යෙහෙළියන්ට ඒ දුක කවියෙන් කියලා. ඇය කිව්වේ මෙන්න මේ වගේ කවි:

"එහෙව් රටේ රංචාගොඩ ඉපදීලා

රුහුණු රටට මං දීලා ඉලව්වේ

දෙමට පොතු කකා කට හම යන්නෝයා

හැම දෙයියනේ මගෙ වාහේ රකෝ රකෝ!"

උගත් අය රංචාගොඩ ළමයා කියන කවි විවේචනය කළා මේවා වියත් කවි නොවෙයි කියලා. තමන්ගේ කවි පිළිබඳ උගත් අය කියන කතා අහපු රංචාගොඩ ළමයා කිව්වේ “දුකට කියන කවියට මොන අස්සරද?“ කියලා. මම ලිව්වෙත් මිනිසුන්ගේ දුක-පීඩාව ගැන ඒ නිසා ඒ කවිවල‍ත් ඔය කියන නීති-රීති තිබුණේ නැහැ. මේ කවි පාඨකයෝ අතර ජනප්‍රිය වුණා. ඇතැම් අවස්ථාවල රජයට, රජයේ මැති ඇමැතිවරුන්ට රිදුණා. ඒත් මම රංචාගොඩ ළමයා ලියන-එක නතර කෙරුවේ නැහැ.

• ඔබ අවුරුදු අනූවෙදිත් රංචාගොඩ ළමයා ලියනවා...

ඔව්! මම ඇත්ත පත්තරෙන් අයින් වුණාට පස්සේ ටික කලකට රංචාගොඩ ළමයා නතර වුණා. ඒත් සිළුමිණ පුවත්පතේ කතුවරයකු වූ ‘කසුරි‘ මට ආරාධනය කළා, රංචාගොඩ ළමයාගේ කවිය සිළුමිණට ලියන්න කියලා. මම වසර කිහිපයක් ලිව්වා. ඒත් මගෙ වයසත් එක්ක මමම හිතලා ලියන-එක නතර කළා.

• එහෙත් ඔබට තවමත් ලියන්න පුළුවන්...

මට ලියන්න පුළුවන්. මම කවි ලියනවා. ඒවා පුවත්පත්වල පළ වෙනවා. ඒත් රංචාගොඩ ළමයා වගේ කවියක් ලියන්න රටේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕන. ඉස්සර වගේ දැන් මම පාරට යන්නේ නැහැ. පත්තරය බලන්නෙත් හෙමි-හෙමින්. ප්‍රවෘත්ති අහනවා, රූපවාහිනිය බලනවා. ඒත් මට ඒ මදි. ඒ නිසයි මම රංචාගොඩ ළමයා නතර කළේ.

• ඔබ තාමත් මීවිත සමඟද?

ඔව්, අදටත් මම සුළු ප්‍රමාණයෙන් ගන්නවා. ඉස්සර නම් හොඳට සප්පායම් වුණා! ඒත් දැන් එහෙම නැහැ.

• ඔබ හඳහන විශ්වාස කරනවද?

නැහැ. මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. එත් මම ඒවා විශ්වාස කරන අයට මුකුත් කියන්නේ නැහැ. මට මතකයි දවසක් මගෙ යාළුවෙක් බොහෝම ඉස්සර දවසක කිව්වා මම දිව්‍යලෝක සැප විඳිනවා කියලා. මම එදා ඒකට හිනා වුණා. බිරිඳ මිය ගියාට පස්සේ මට ඕන වුණේ දරුවන්ට කරදයක් නැතිව ජීවත් වෙන්න. ඒත් මගේ දොස්තර දුවයි, බෑනයි මාව ඒ අය ළඟට ගත්තා. අද මම බොහෝම නිදහසේ ජීවත් වෙනවා. මම හිතනවා එදා යාළුවා කිව්ව දිව්‍යලෝක සැප මේක කියලා.

• ඔබට බිරිය අනුලා වීරසූරිය හමු වුණේ කොහොමද?

දෙවන ලෝක යුද්ධ කාලේ කොග්ගල පදිංචි වෙලා හිටිය අපි වැලිගමට ගියා. ඒ කාලේ වැලිගම තිබුණා කවි සමාජයක්. ඒ කවි සමාජය කරගෙන ගියේ ‘විජයසිරි වෙද මහත්තයා‘ කියලා කෙනෙක්. ඒ කාලේ කවිය හරි ජනප්‍රියයි. බෙහෙත් වට්ටෝරු කිව්වෙත් කවියෙන්. මමත් විජයසිරි මහත්මයාගේ කවි සමාජයට ඇතුළත් වුණා. මට අනුලා හමු වන්නේ මේ කවි සමාජයේදී. ඇය පාසල් සිසුවියක්. ඒ කාලේ ගුරුවරු වගේම ශිෂ්‍යයෝ පිරිසකුත් මේ කවි සමාජයේ හිටියා. සමාජිකයන්ගේ කවි අතින් පිටපත් කරලා තමයි බෙදාහැරියේ. අනුලයි, මමයි මුලින්ම හමු වන්නේ කවි පිටපත් කිරීමේ කාර්යයේදී. අනුලගේ අයියා මා සමඟ හිතවත් ‍වුණා. මම අනුලගෙ ගෙදර යන්න-එන්න ගත්තා. අනුලගෙ අයියා කොමියුනිස්ට්කාරයෙක්. එහෙම ඇරඹි හිතවත්කම තමයි විවාහය දක්වා දුර ගියේ!

• ඔබ ‘පත්තරකාරයෙක්‘ ලෙස අවිවේකි වුණාට ඇය කැමති වුණාද?

අපොයි! ඇය කවදාවත් මට බාධාවක් වුණේ නැහැ. මට හොඳ සහයෝගයක් ලැබුණා. අනුලා ඩීඑස් විද්‍යාලයේ ගුරුවරියක් හැටියට සේවය කළා. ඇය තමයි දරුවන්ගේ කටයුතු කළේ. ඒ නිසා මට මගේ පත්තර ජීවිතය නිදහස්ව ගත කරන්න පුළුවන් වුණා. අනුලා මට නිතී දැම්මේ නැහැ. ඇය හොඳ බිරිඳක්.

• අද ඔබේ දවස ගත වෙන්නේ කොහොමද?

ඉස්සර නම් මම පොඩ්ඩක් ඇවිද්දා. දැන් නම් ඇවිදින්නේ නැහැ. මම පොත-පත කියවනවා; කවි ලියනවා; අතීතයේ දේවල් ‍ලියනවා. මම පොත් කිහිපයක්ම ලිව්වා. දැන් මට අනූ හතරයි. නමුත් මම හිතන්නේ මට තාම වයස අවුරුදු හතළිස් නවයයි කියලා. ජීවිතේ කොයි මොහොතෙද කියන්න බැහැ; අදද, හෙටද, මේ මොහොතෙද කියන්න බැහැ. කොයි මොහොතේ වුණත් මම බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. මට දාලා යන්න බැරි දේවල් නැහැ. මම කිසිම දේක එදත් අදත් තදින් බැඳිලා නැහැ.

• ඔබ මරණින් මතු ජීවිතයක් ගැන බලාපොරොත්තු වෙනවාද?

අපොයි නැහැ! මම කවදාවත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හැම විටම අනුන්ගේ අදහස්වලට ගරු කරනවා. මරණය කොයි මොහොතේද කියන්න බැහැ නේ. මම මැරුණාම මොනවද කරන්න ඕනෑ කියලා මම කාටවත් උපදෙස් දීලා නැහැ. ඔවුන් ඔවුන්ට කැමැති දේ කරාවි. මට ස්වාධීනව ජීවත් වීම පමණයි අවශ්‍ය.

• මේ දිනවල කියවන පොත් මොනවාද?

මම කුරානය, ධම්මපදය, බයිබලය කියවනවා. ඒ පොත්වලින් අපට ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා. (ඒ මොහොතේද ඔහුගේ ඇඳේ පසෙක ඒ පොත් කිහිපය තිබිණි)

මට තවමත් උපැස් යුවළ නැතිව පොත් කියවන්න පුළුවන්. නමුත් ඉස්සර වගේ ඉක්මනින් කියවන්න අපහසුයි. ගතින් වයස වුණාට මම තාමත් හිතින් තරුණයි. (ලාල් මහතා උස් හඬින් සුපුරුදු සිනහව නැඟුවේය) 

අදහස්