මවුවරුන්ගේ දිනයේදී මගේ පුතාට විවෘත ලියුමක් | සිළුමිණ

මවුවරුන්ගේ දිනයේදී මගේ පුතාට විවෘත ලියුමක්

ආදරණීය ජූලියස්,

අද ලොව පුරා මවුවරුන්ට විශේෂ දිනයක්. අද වනාහි මවුවරුන් ගෞරවයට පාත්‍රවන දවසක්. ඔව්, මාතෘත්වය හා සම්බන්ධ සතුට, දුක, කැපකිරීම් මෙන් ම සදා සිහිපත් වන මතකයන් ඇතුළු හැම දෙයක් ම සැමරෙන දිනයක්.

ජූලියස්, ඔබ දන්නවා, මා සේවය කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අප වෙහෙසෙන්නේ සෑම දරු ගැබක් ම අවශ්‍යයයි සලකන, සෑම දරු උපතක් ම සුරක්ෂිත, සෑම තරුණ පුද්ගලයකුගේ ම අපේක්ෂාවන් මුදුන්පත් වන ලෝකයක් තැනීම වෙනුවෙන් බව. මෙම දූත මෙහෙවර මාතෘත්වය සමගඉතා සමීපව සම්බන්ධ ය. ඔබේ මව ලෙස මා ලෝකය දෙස බලන ආකාරය ගැන ඔබ දැනගන්නවාට මා කැමතියි. එසේ ම, ඔබ ජීවිතයේ කරනු ලබන තෝරාගැනීම් පිළිබඳ දැන සිටීම ජීවිතයට අදාළ වන්නේ කෙසේද යන්න ද නව යොවුන් වියට එළඹෙන ඔබ දැන ගත යුතුයි.

මගේ ජීවිතයේදී, ඔබේ මව ලෙස මා විසින් කරන ලද තෝරාගැනීම් තුනක් පිළිබඳ මම ඔබට කියන්නම්.

පවුලක් සැලසුම් කිරීම

ජපානයේ සම්ප්‍රදායික එකට බැඳුණු පවුලක හැදුණු වැඩුණු පුද්ගලයකු ලෙස මා ගත කළ ළමා විය, ‘තුන්වන සංස්කෘතියක’ දරුවකු ලෙස ඔබ අත්දකින ළමා වියට වඩා බෙහෙවින් වෙනස් එකක්. ඔබ ඉපදුණේ ෆීජි රාජ්‍යයේ යි. හැදුණේ වැඩුණේ ඉතියෝපියාවේ, වියට්නාමයේ සහ දැන් ශ්‍රී ලංකාවේයි. ඒ ඔබේ ජපන් ජාතික මව හා ජර්මානු ජාතික පියා සමග යි.

මගේ මිත්තණිය 1930-40 දශකයේදී දරුවන් සයදෙනෙකු බිහි කළා. එවැනි විශාල පවුල් ජපානයේත්, ලොව පුරාත් ඒ කාලයේ සාමාන්‍ය තත්වයක්. කාලය ගත වන විට තත්වයන් වෙනස් වුණා. මගේ මව වන ඔබේ මිත්තණියට සිටියේ දරුවන් දෙදෙනා යි. ඒ මා හා මගේ සොහොයුරා යි. ඇය අප හොඳින් රැක බලාගෙන අපට හොඳ අධ්‍යාපනයක් ද ලබා දුන්නා. මා පවුලක් නිර්මාණය කර ගැනීමට තීරණය කළ විට, මට ඕනෑ වුණේ එක් දරුවකු පමණක් ලැබීමට යි. ඒ තමයි ඔබ. ඒ තමයි මගේ තෝරා ගැනීම. ඔබේ පියාත් සමග මා ඒ තීරණය ගත්තා.

දරුවන් ලබනවා ද, එසේ නම්, ඒ කවදා ද, දරුවන් කී දෙනෙකු ද යන්න තෝරා ගැනීමේ අයිතිය සෑම කෙනෙකුට ම තිබෙන බව ඔබ දැන ගත යුතුයි. පවුල් සැලසුම් කිරීම නම් වන මෙය මූලික මානව හිමිකමක්. එය මවුපියභාවය හැඩගස්වන මූලික පියවරක්. සෑම ගැබ් ගැනීමක් ම සිතා බලා කරන, අවශ්‍ය ගැබ් ගැනීමක් බව තහවුරු වන්නේ එසේ යි.

රැකියාවක නියුක්ත මවක වීම

“කාන්තාවක ලෙස, ඔබට ඔබේ ජීවිතය ගැන බලා ගන්නට සිදු වෙනවා,” යි මගේ අම්මා මා හැදෙන වැඩෙන අතරතුර නිතර කිව්වා. එය තරමක් ගතානුගතික නොවන අදහසක්. ජපන් සංස්කෘතිය තුළ කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වුණේ විවාහ වීම හා දරුවන් හැදීමයි. එහෙත්, මගේ මව වෙනස් විදියට හිතුවා. හෙදියක ලෙස සේවය කළ ඇය අපේ පවුලට අමතර ආදායමක් ද රැගෙන ආවා. රැකියාවක නියුක්ත මවක වීම තමයි ඇගේ තේරීම. ඇය ඇගේ වෘත්තීය පළපුරුද්ද ගැන ආඩම්බර වුණා.

ඒ අත්දැකීම් නිසා, මා වැඩිහිටි වියට එළඹෙන විට ගෘහණියක වීමට මගේ කිසිදු අදහසක් තිබුණේ නැහැ. මගේ සිහිනය වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කිරීමයි. නිව්යෝක්හි මගේ උපාධිය හැදෑරීමෙන් කෙටි කලකට පසු මගේ සිහිනය සැබෑ කර ගත්තා.

මට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මගේ පළමු රැකියාව ලැබුණා. මා මගේ වැඩවලින් සතුටු වුණා. විවාහ වුණත්, ගැබ් ගත්තත්, මට රැකියාවෙන් ඉවත් වන්න වුවමනා වුණේ නැහැ. මා රැකියාව දිගට ම කරන්නට තීරණය කළේ දැනුවත්ව යි. ඔව්, මගේ මාතෘ නිවාඩුව සති 16කට වැඩි වේවා යි ප්‍රාර්ථනා කරන ගමන් ම, මට රැකියාවේ දිගට ම නියැළෙන්නටත් වුවමනා වුණා. ජපානයේත්, ලොව පුරාත් බොහෝ කාන්තාවන් එසේ කරනවා.

වැඩ කරන මවක් වීමත්, පවුලේ ප්‍රධාන ආදායම් උපදවන්නා වීමත් හේතුවෙන් වැඩ සහ පවුල් ජීවිතය තුලනය කර ගැනීම පිළිබඳ ප්‍රායෝගික අභියෝගයක් ඇති වෙනවා පමණක් නොවෙයි. එය සමාජ සම්මතයන්ට අනුකූල නොවීම පිළිබඳ ගැටලුවකටත් මුහුණ දෙන්නට වෙනවා.

ඔබේ පියා හා මම එක් රටක සංස්කෘතියකට අයත් අය නොවුණත්, ඔබ කුඩා කාලයේදී පූර්ණකාලික මවක වන්නට නොලැබීම පිළිබඳ මට දුකක් තිබුණා. එහෙත්, ඔබේ පියා විසින් ඔබ හදා වඩා ගැනීම ඔබට ඉතා හොඳ දෙයක් වන්නට ඇතැයි මා සිතනවා. දරුවන් රැක බලා ගැනීම හොඳින් කළ හැක්කේ මවුවරුන්ට පමණක් ය යන අදහස මිථ්‍යාවක්. තාත්තලාටත් එහෙම වෙන්නට පුළුවන්. ඔබේ පියාගෙන් ලැබෙන සහයෝගය පිළිබඳ මම අතිශය කෘතඥ වෙනවා. එසේ නොවුණා ම් මේ කිසිවක් මේ අන්දමින් කර ගන්න බැරි වෙනවා.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වෙනුවෙන් සේවය කිරීම

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හා එහි දූත මෙහෙවර පිළිබඳ මා මෙතරම් අනුරාගී ඇයිදැයි ඔබ පුදුම වෙනවා ඇති. ෆීජිහිදී ඔබ ඉපදී දින තුනකට පසු, ඔබ දැඩි ලෙස අසනීප වුණා. අප ඉක්මනින් රජයේ රෝහලකට ඇතුළත් කරනු ලැබුවා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා නවසීලන්තයට අප රැගෙන යාමට මගේ කාර්යාලය විසින් කටයුතු සූදානම් කරමින් සිටියදී, අප දෙදෙනා වහා ම රජයේ රෝහලකට ඇතුළත් කරන්නට සිදු වුණා. විදේශ රටකදී පළමු දරුවා ලද තරුණ මවක් ලෙස මා සිටියේ කඩා වැටුණු මානසිකත්වයකින්. මගේ සිතේ තිබුණේ එක් දෙයක් පමණයි. මට ඕනෑ වුණේ ඔබ කෙසේ හෝ ජීවත් කර ගන්නටයි.

වාසනාවට ඔබ ජීවත් වුණා. සති තුනක ප්‍රතිකාරවලින් පසු සුවපත් වුණා. එහෙත්, ඒ සති තුන මගේ ජීවිතය වෙනස් කළා. එක්සත් ජාතීන් වෙනුවෙන් වැඩ කිරීම නිසා මා කෙතරම් වරප්‍රසාදිත තත්වයක සිටියා ද යන්න මට තේරුණා. මට හොඳම වෛද්‍ය පතිකාර ලැබුණා.

එහෙත්, නොසලකා හරිනු ලබන මවුපියන් හා පවුල් ගැන සිතන විට මට ඇති වන්නේ වේදනාවක්. මා තවත් ජීවිත තෝරා ගැනීමක් කළ අවස්ථාවක් තමයි, ඒ.

මවුපියන්ට තම දරුවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ අනවශ්‍ය පරිදි කණගාටු වන්නට සිදු නොවන ලෝකයක් හැදීමට දායක වීම තමයි ඒ තේරීම. එක්සත් ජාතීන් සමගත්, විශේෂයෙන් ම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමගත් දිගට ම වැඩ කරගෙන යාමට මා පෙලඹවූ ප්‍රධාන සාධකයක් වුණේ මා ලැබූ භයානක අත්දැකීම යි.

ලිංගික හා ප්‍රජනන ‍ෙසෟඛ්‍ය, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව හා තරුණ ජනයා බලසතු කිරීම වැනි මානව ජීවිතය හා සම්බන්ධ මූලික සාධක සංවර්ධනය කිරීමට කටයුතු කරන එවැනි සංවිධානයක් සමග වැඩ කිරීමට ලැබීම ගෞරවයක්.

මාතෘත්වයේ සංකීර්ණත්වය පිළිබඳ හා ඔබේ මව ලෙස මවිසින් කරන ලද තෝරාගැනීම් පිළිබඳ අවබෝධයක් මෙම ලිපිය විසින් ඔබට ලබා දෙන්නට ඇතැයි මා සිතනවා. මා මේ මතකයන් ඔබ සමග බෙදා හදා ගත්තේ නව යොවුන් වියේ පසුවන ඔබට ද ජීවිතය වෙනස් කරන තෝරාගැනීම් කිරීමට අවශ්‍ය වන නිසා යි. ඔබ විසින් කරනු ලබන තෝරා ගැනීම් දැනුවත්ව ගන්නා ලද තීරණ මත පදනම් විය යුතු යි. ඒවා ඔබගේ හැකියාවන් ඉහළින් ම මල්ඵල ගැන්වීමට ඉවහල් විය යුතු යි.

අප මිනිසුන් බවට පත් කරන, ජීවිතය හා ආදරය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට හැකි නිවැරදි තොරතුරු හා හොඳම සේවාවන්ට පිවිසීමේ අවස්ථාව ලබා ගැනීමේ අයිතිය ඔබටත්, සියලු තරුණ ජනයාටත් තිබෙනවා. මෙම ලිපිය අවසන් කිරීමට පෙර මෙය ද සටහන් කළ යුතු යි. මගේ ජීවිතය තුළ මා ගත් තීරණ අතරින් මෙතෙක් ගත් හොඳම තීරණය ඔබයි.

හැමදාමත් ආදරෙන්,

අම්මා

(එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA)
ශ්‍රී ලංකා නියෝජිතවරිය හා මාලදිවයින් දේශයේ කළමනාකාරිනී) 

අදහස්