බල්ලො මරාලා හරි හම්බ කරලා | සිළුමිණ

බල්ලො මරාලා හරි හම්බ කරලා

 මේ දිනවල අන්තර්ජාලයේ බොහෝ දෙනා රස විඳින වීඩියෝවක් වන්නේ අපේ වනෝද්‍යානයක ජීප් රථ කීපයක් නවතා තිබියදී හිටිහැටියේ සුනඛයකු ඒ අසලට පැමිණෙන අතර, ඒ බල්ලා දඩයම් කිරීමට පනින දිවියාගේ දර්ශනයයි.

මෙය හොඳින් අධ්‍යයනය කරන්නකුට පැහැදිලි වන කරුණු කීපයකි. පළමුවැන්න: මේ සුනඛයා හොඳින් හැදී-වැඩුණු, පිරිසුදු පෙනුමක් ඇති එකකු වීමය. එයින් පැවසෙන්නේ ඌ අසල ගම්මානයේ නිවෙසක හැදී වැඩුණු සතකු විය හැකි බවයි. දෙවැන්න: සුනඛයා දර්ශනපථයට ඇතුළු වන අවස්ථාව වන විට ඌට මුහුණ ලා සිටින ජීප් රථ රියැදුරා රථයේ ජනේලයෙන් උඩුකය එළියට දිගු කර තම ජංගම දුරකතනය සූදානම් කරගන්නේ වීඩියෝගත කිරීමක් සඳහාය. ඒ සමඟම අනෙක් පිරිසද යම් බලාපොරොත්තුසහගත බවකින් යුතුව තම රූපගත කිරීම් සඳහා ලක-ලෑස්ති වනු දැකිය හැකිය. තත්පර කීපයක් තුළ දකින මේ දර්ශනවලින් පැහැදිලි වන්නේද ඉදිරියේ යම් සිදුවීමක් පිළිබඳ ඔවුන් දැන සිටි බවයි. වීඩියෝවේ කාන්තාවකගේ ප්‍රකාශයක්ද ඇසේ. එයින් කියැවෙන්නේ නිශ්ශබ්දව බලා සිටින ලෙස සංඥාවක් ලැබුණු බවයි. ඒ සියල්ලෙන් පසු අසරණ සුනඛයා කලබලෙන් මෙන් මුලින් කී ජීප් රථය දෙසට දුවගෙන එයි. එසැණින් දිවියා පැන ගොදුර අල්ලාගනී. භීත වන මිනිසුන් සහ ගැහැනුන් ගිරිය යටින් මොර දෙද්දී කලබල වන දිවියාගේ නිය පහර බුරුල් වේ. ලද අවකාශයෙන් දිවි බේරාගත් සුනඛයා මර වේදනාවෙන් කෑගසමින් දිව යයි.

දින කීපයක් මුහුණු පොතේ සැරිසැරූ මේ දර්ශනපෙළ පසුව යූ-ටියුබයෙන් නැරඹිය හැකි විය; නරඹා කුරිරු විනෝදයක් ලැබීමටද හැකිය. ඒත් මේ තුළ සැඟවුණු අවදානමක් තිබේ. ඒ බල්ලන්ට පමණක් නම් නොවේ.

හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා මීට පෙර එවැනි අවදානම් කීපයක අත්දැකීම් ලැබුවෙකි...

“ජීප් කීපයක් තිබීමෙන් අවබෝධ වන්නේ මෙය වනෝද්‍යානයක් තුළ සිදු වූ දෙයක් බවයි. සාමාන්‍යයෙන් වනෝද්‍යාන තුළ බල්ලන් ගැවසෙන්නේ නෑ. වනෝද්‍යාන තුළ පමණක් නොවේ; අනාරක්ෂිත වන ප්‍රදේශයකට වත් බල්ලන්, එළුවන්, හරකුන් හෝ හීලෑ අලින් වුවත් ඇතුළු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. මේ ජවනිකාවේ සිටි බල්ලා අනිවාර්යයෙන්ම ගෘහාශ්‍රිත සත්ත්වයකු බව පැහැදිලියි. ඒ අසරණයා සංවිධානාත්මකව ගෙනැවිත් දිවියකු ගැවසෙන ස්ථානයක අතහැරියාද යන්නයි අපට ඇති ප්‍රශ්නය. මොකද: මේ සතා පසු වෙලාවක හරි දිවියාට ගොදුරු වෙනවාමයි. මරණයට කැප කළ බිල්ලක් බවට බල්ලා පත් වෙලා ඉවරයි.”

සුනඛ ලෝලී සංවිධානවල මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේත් අවධානය මේ වෙත යොමු විය යුතුයැයි අප දැඩිව විශ්වාස කරන බැවින් ඒ පිළිබඳ වනජීවියේ ඉහළ නිලධරයකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙය හදිසියේ සිදු වූවක් මිස සංවිධානාත්මක ව්‍යාපාරයක් නොවන බවයි. එසේම වැඩිදුර විස්තර පැවසීමට ඔහු කැමැති වූයේද නැත. එහෙත් සිළුමිණ පාඨකයන් සහ සමස්ත ජනතාව වෙනුවෙන් මෙහි සැබෑ අවදානම හෙළි කිරීම අපේ යුතුකමක් ලෙස සලකමු.

“ගෘහාශ්‍රිත බල්ලකු නිසයි මේ සතා ජීප්-එක දෙසට දුවගෙන එන්නේ. ජීප් රථ හිමියන්ගේ බලාපොරොත්තුව මේ වගේ දේවල් පෙන්වන්න නරඹන්නන් රැස් කරලා, ඡායාරූපගත කරලා, වීඩියෝ කරලා, අන්තර්ජාලයේ දාලා මුදල් හම්බ කිරීමයි. ඒ නිසා ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් මෙතැනින් මතු වෙනවා.”

වෛද්‍ය අතපත්තු පැහැදිලි කළේය.

“මෙතෙක් නොතිබුණු උපක්‍රමයක් හැටියට දිවියා වනයෙන් එළියට ගැනීමට බලු ඇමක් දැමීමෙන් වන්නේ දිවියාගේ හැසිරීම් රටාව වෙනස් වීම සහ දිවියා මිනිසුන්ට දක්වන බිය නැතිව යෑමයි. එළිමහන් කලාපවල දිවියා රැක සිටීමට පුරුදු වීමත් සිදු විය හැකියි. අදාළ දිවියා යම් ආබාධයකට ලක්ව සිටින හෝ මහලු සතකු වුණොත් වනසතුන් පසුපස හඹා යා නොහැකි නිසා ඌට හැකි පහසුම දේ බල්ලකු හෝ දුර්වල මිනිසකු දඩයම් කිරීමයි.

“වසර ගණනාවකකට පෙර පූනානි පෙදෙසේ මිනිසුන් 12 දෙනකු මැරූ දිවියා පාදයක ආබාධයක් සහිතව වයස්ගත වූ සතෙක්. වනසතුන් දඩයම් කිරීමට හයියක් නැති නිසයි මහමඟ පයින් යන මිනිසුන්ට කඩා-පැන්නේ.

“දිවියා බලු මස්වලට රහවැටෙන හැටි මම ඉඟිණියාගල රෝහලේදී දැක්කා. 1970 අග භාගයේ මම හිටියේ අම්පාර දිස්ත්‍රික් බාර පශු වෛද්‍යවරයා ලෙසයි. රෝහල් භූමියේ කසළ වළක් තිබුණා. අයිතිකරුවන් නැති බල්ලන් පහළොවක් විස්සක් විතර කාලයක් තිස්සේ එතැන පැළපදියම් වෙලා හිටියා. රෝහලේ මෝචරිය තිබුණේ කැලෑවකින් වට වෙලා. පසුපස පාදය දැඩි ලෙස තුවාල වෙලා හිටි දිවියා එතැන සැඟවිලා ඉඳලා රෑට නොන්ඩි ගගහ විත් ලේසියෙන් නාඹර බල්ලකු ගොදුරු කරගෙන බඩකට පුරවාගත්තා. රෝහලේ රාත්‍රී මුරකරු තමයි මුලින්ම දැකලා තිබුණේ. ඒ කාලේ සිටි අඩවි ආරක්ෂක ඉසබිල්, දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී, අපි හතරදෙනා ඒ දැවැන්ත දිවියා පිළිබඳ අධ්‍යයනය කළා. ඒ කාලේ නිර්වින්දන ආදිය ලංකාවේ තිබුණේ නෑ. ඒ නිසා කූඩුවක් අටවලා අල්ලන්න හැදුවා. ඒත් සතා මහ වනයට පැන ගියා. වනය සුද්ධ පවිත්‍ර කරලා, කසළ එදිනෙදා වළලා-දමා රෝගීන්ට දිවියාගෙන් වෙන්න තිබුණු හානිය වළක්වාගන්න අපට හැකි වුණා.

“යාල හීන්වැව බංගලාවේ කොටි සුමනසේනගේ කතාවත් ඒ වගේ එකක්. නියඟය කාලෙට බංගලා වහලා තියෙන්නේ. සුමනේ බංගලා බාරකරු හැටියට ඒ කාලේ හිටියේ තනිපංගලමේ. සංචාරකයන් ආ කාලේ කෑම ආදිය වළ දා තිබූ තැනට දිවියකු පුරුදු වී සිටියා මාළු මස් කටු කන්න. ඒත් සංචාරකයන් නැති දවසේ ආවාට වළේ ඉඳුල් තිබුණේ නෑ. දිවියා කේන්තියෙන් ඇවිත් බංගලාවේ ඉස්තෝප්පුවට ගොඩ වුණා. සුමනේ රෑ තනිවම ගේ ඇතුළේ ඉන්න බයට ඉස්තෝප්පුවේ පටි බංකුවේ ඇන්දට කොට්ටයක් තියාගෙන නිඳාගෙන හිටියා. සුමනේ නින්දෙන් ගොරවනවා. ඉස්තෝප්පුවට ආව දිවියා හිතන්න ඇති තමන්ට තිබුණු කෑමත් කන්න ඇත්තේ මේ ගොරවන සතා තමයි කියලා. නිදා සිටිය සුමනෙගේ ඇඟට පැන්නා. දෙන්නා පොර බදිද්දි වෙලාවට විදුලි පන්දම අතට අහු වුණා. ඒකෙන් දිවියට ගහද්දිම වැරදීමකින් වගේ පන්දම පත්තු වුණා. එළියට බය වුණු දිවියා පැනලා දිව්වා. ඒත් ඒ වෙද්දි සුමනෙගෙ ඔළු කට්ටේ පිටිපස්ස ගැලවිලා ලේ ගලනවා. සිහි නැති වුණු සුමනෙගේ වෙලාවට උදේම කාර්යාලයේ ජීප් රථය බංගලාවට ආවා. මාස තුනක් ඉස්පිරිතාලේ ඉඳලයි සුමනේ බේරුණේ. එදා ඉඳන් කොටි සුමනේ කියලා තමයි එයාව හැඳින්නු‍ණේ.

“ඒ දිවි ප්‍රශ්නයත් විසඳන්න වුණේ මට. ඒ කාලේ නීතියක් තිබුණා සත්ත්වෝද්‍යාන ආදියේ වැඩි වන දිවියන් වැනි සතුන් වනෝද්‍යානවලට මුදාහළ යුතුයි කියලා.

හැමෝම හිතුවේ එලෙස සේ මුදා-හැරපු සතෙක් තමයි මේ දේ කළේ කියලා. සිතුල්පව්ව ආසන්නයේ මංගල මහ විහාරය ළඟ යාචකයෙක් බාගෙට කාලා දාලා තිබුණෙත් මේ සතාමයි. බලද්දි ඒ සතා කකුලේ ඉහඳ පණුවන් වහපු ලොකු තුවාලයකින් වේදනා වින්ද එකෙක්.

නිර්වින්දන ක්‍රමය අපි ප්‍රගුණ කර තිබුණේ නැති නිසා බේත් කරන්න නම් බැරි වුණා. ඒත් වෙඩි පත්තු කරලා බය කරලා සතා ඈතකට පලවා-හැරලා දිවි බිය නැති කරන්න පුළුවන් වුණා.”

මේ කතා ඔබ කියවන විට රසවත් සේ පෙනුණද, තත්ත්වය කොතරම් බරපතළද යන්නත් අවබෝධ කරගන්නට වැඩි වෙහෙසක් ගත යුතු නැතැයි සිතමු. එනිසා මේ ලිපිය අප ලියන්නේ හුදෙක් රස වින්දනය සඳහා පමණක් නොවන බව සිහි කැඳවන්නටද කැමැත්තෙමු. අන්තර්ජාලයේ පතළ වුණු සිදුවීම යළි සිදු නොවිය යුත්තක් බවද අවධාරණය කරමු. එවැන්නක් යළි සිදු වන්නට පෙර, කළ යුත්තේ කුමක්ද යන්නද මෙහිලා මෙසේ වෛද්‍ය අතපත්තුගෙන් විමසුවෙමු.

“බලධාරීන් මේ කටයුත්ත වහාම නැවැත්විය යුතුයි. සුදුසු පරීක්ෂණයක් පවත්වා, වරදකරුවන් වුව හොත් ඒ සෆාරි ජීප්වල බලපත්‍ර අවලංගු කළ යුතුයි. ඒ සඳහා වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අවස්ථාව තිබෙනවා. මොකද: මෙයින් සිදු වන්නේ හිතා-මතාම යළි දිවි බියක් ඇති කරන්නට අවස්ථාව සැලසීමයි. මේ දේවල් නොසලකා නොසිටින ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න සිදු වනවා.” 

 

අදහස්