චේ උපන්නෙ හත් මාසෙන් ද උපන් දිනේ හෙටයි | සිළුමිණ

චේ උපන්නෙ හත් මාසෙන් ද උපන් දිනේ හෙටයි

 සෙත්හලට ගොස් ආපසු එන ගමනේ දී සිලියා ඩීලා සෙර්නාට හදිසියේම කලෙකින් නොදුටු විශේෂ මිතුරියක සිහිපත්ව ඈ සොයා යන්නට සිතක් පහළ විය. එම මිතුරිය ප්‍රදේශයේ තරමක ප්‍රසිද්ධියට පත්ව සිටි ජ්‍යෙතිෂවේදිනියක වූ බැවින් සිලියාට ඉතා පහසුවෙන් ඈ ජීවත්ව සිටි කුඩා නිවාසය සොයා ගන්නට හැකි විය.

‘‘පේන කියන්නියක“ ලෙස එතරම් ගරුසරු නොමැති ප්‍රසිද්ධියකින් යුතු වූ ජ්‍යොතිෂවේදිනි තමාම තමාට ගුරුවරිය වෙමින් ඉන්දීය වෛදික ජ්‍යෙතිෂ මෙන්ම බටහිර ශායන ජ්‍යොතිෂ පොත පත ද ඇසුරෙන් ඉඳහිට තමා හමුවට එන පුද්ගලයන් අරබයා අනාවැකි කීවාය. ඇසළ මාසයේ පුර පසළොස්වක සඳ රොසාරියෝ නගරයට ඉහළින් මෝදු වෙමින් තිබිය දී සිලියා ඩීලා සෙර්නා, පේන කියන්නිය හෙවත් තම මිතුරිය වූ ජ්‍යොතිෂවේදිනිය නිවෙසට කැඳවා ගත්තාය.

ක්‍රිස්තු වර්ෂ 1928 ක් වූ ජූනි මස 14 ද පාන්දර 03.05ට ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හි උපත ලැබූ ජන්මියකුගේ කේන්දරය සෑදීමට පටන් ගත් ජ්‍යොතිෂවේදිනිය තම කටයුත්ත අවසානයේ මුහුණ අඳුරු කර ගත්තාය. ඉහත වේලාවට උපත ලැබූ පුද්ගලයා පිළිබඳව ජ්‍යොතිෂවේදිනිය හොඳින් පෞද්ගලිකව තොරතුරු දැන සිටි අතර සාදා ගත් කේන්දරය සහ සැබෑ පුද්ගලයා අතර වූයේ අදහාගත නොහැකි පරස්පරයකි.

‘‘මේ කේන්දරය හදන්න මගේ ජ්‍යොතිෂ දැනුම මදි, එහෙම නැත්නම් මේ උපන් දිනයයි වේලාවයි වැරදියි.....“

කේන්දර සටහන් දෙක අතට මිටට ගෙන ගුලි කොට ඉවත දමන අතරේ ජ්‍යොතිෂවේදිනිය කීවාය. මේ ඇසූ චේ ගේ මව සිනාසුණාය.

‘‘කලබල වෙන්න එපා. ඔයා කීව දෙවැනි කතාව තමා ඇත්ත.‘‘ සිසිලියා ඩීලා සෙර්නා පහත් හඩින් කීවාය.

දශක තුනක්, තිදෙනකු පමණක් දැන සිටි රහසක්, අනාවරණය කළ යුතු මොහොත උදා වී ඇති බව සිසිලියා ඩීලා සෙර්නා වටහා ගත්තාය. ඒ අනුව තුන්වැනි වරට චේ ගුවේරාගේ ඇත්ත කේන්දරය ජ්‍යොතිෂවේදිනිය විසින් පිළියෙල කරනු ලැබිණ. ලග්නය වෘෂභය. තිර රාශියකි. මේ ජන්ම සටහන චේ ගුවේරාගේ ම තාරකා මූර්තියකි. ජ්‍යොතිෂවේදිනිය බොහෝ දේ කීවාය.

‘‘ඔයාගේ පුතාගේ උප්පත්තිය වගේම මරණයත් කිහිප දෙනෙකු විතරක් දන්නා අභිරහසක්...‘‘

1927 දී අර්නස්ටෝ ගුවේරා ලින්ච්ට, සිලියා ඩීලා සෙර්නා ජීවිතයේ මුල් වරට දකින්නට ලැබෙන විට ඇය බුවනෝර්ස් අයර්ස් කතෝලික කාන්තා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා උන්නාය. වෙනස්වන ලෝකය පිළිබඳ සහජ ඉවකින් යුතු වූ සිලියා ඊටත් වඩා විවිධ විෂයාන්තර පොත පත කියවීමෙන් තම වයසට වඩා මුහුකුරා ගිය රැඩිකල් පන්නයේ චරිතයක් බවට පරිවර්තනය වෙමින් සිටියාය. තමා පැවතෙන ධනවත්, වංශවත් පවුල් පරම්පරාවේ වටිනාකම් සහ ගතානුගතික ආකල්ප වෙනුවට ඇය වෙනස්ම දෙයක් සොයමින් සිටියා විය යුතුය. ආර්ජන්ටියානු වැඩවසම් සමාජ ධූරාවලියේ ඉහළ තලයක වැජඹුණු ඇගේ පිය පාර්ශ­්වයේ එක් මුත්තණුවන් කෙනෙක් ස්පාඤ්ඤ යටත් විජිතයේ බලවත් පාලක ධූරයක් දැරුවේය. තවත් මුත්තණුවන් කෙනෙක් යුද හමුදාවේ ජනප්‍රිය ජෙනරාල්වරයකු ලෙස නමක් දිනා සිටියේ ය. ඇගේ සීයා ධනවත් ඉඩම් හිමියකු වූ අතර පියා නීතිය පිළිබඳ මහාචාර්යවරයකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ද ක්‍රියා කළේය.

සිලියාගේ දෙමවුපියෝ ඈ කුඩා වියෙහි දීම මිය ගියහ. එතැන් පටන් පවුලේ බාරකාරත්වය පැවරුණේ සාම්ප්‍රදායික කුල සිරිත් සීමාන්තිකව හිසට ගත් නැන්දා කෙනෙකුටය. ඇගේ විධාන හමුවේ සියලු දෙනා බැටලුවෝ වූහ. එහෙත් බැටලු රංචුවේ ‘‘කළු එකී“ලෙස සිසිලියා වෙනස් කොට පෙන්වන්නට දෛවය හැමවිටම ක්‍රියා කළේය. ලැබෙන ඕනෑම සීමිත අවස්ථාවක දී වුව වෙනස්ම දෙයක් කරන්නට ඈ පැකිලුණේ නැත. සිතිවිලි, චරිතය, බාහිර පෙනුම ආදී සියල්ලෙන්ම ඇය ඉතා ආකර්ෂණීය වූවාය. බුද්ධිය, දැනුම, සමාජශීලීත්වය සහ තරමක නහයට නාහන ඇය පොහොසත්ව සිටියාය. කෙල්ලක් නමුත් සිලියා වෙතින් නිතර නිතර පළ වූයේ කොලු ගතියකි. ආර්ජන්ටිනාවට කෙසේ වෙතත් තත්කාලීන සමාජයටත්, විශේෂයෙන් සිලියාගේ ගතානුගතික පවුල් පරම්පරා බලකොටුවේ ඥාතීන්ටත් ඈ පෙනී ගියේ අහසින් කඩා වැටුණු අමුතු චරිතයක් ලෙසිනි.

අර්නස්ටෝ ලින්ච් තරමක් උසය. ඊට වඩා කඩවසම්ය. ශක්තිමත් හකු පාඩා සහිත ඔහුගේ මුහුණ ප්‍රතාපවත්ය. නිතර දෙනෙත් මත රැඳුණු විකාර රූපී උපැස් යුවළ මගින් ඔහුට තලත්තෑනි ලිපිකුරුවකුගේ රූපය ආරූඪ විය. අර්නස්ටෝ ලින්ච් ද දකුණු ඇමරිකාවේ ධනවත් පවුල් පසුබිමකින් පැවත ආවේය. ඔහුගේ මුතුන් මිත්තෝ ස්පාඤ්ඤ අයරීස් ප්‍රභූ පැළැන්තියට අයත් වූහ. එහෙත් කාලයක දී මේ පරම්පරාව වාසනාවෙන් හා ධන සම්පත්තියෙන් දුරස්ථව ගියේය. ලින්ච් එකළොස් දෙනෙකුගෙන් යුත් පවුලක හයවැන්නා ලෙස උපත ලැබුවේය. ඔහුගේ පියා මිනුම්දෝරුවකු ලෙස සේවය කළ අතර ක්‍රමයෙන් පිරිහී යන පරම්පරාගත බලය සහ ධන සම්පත හමුවේ හෙතෙම නවීකාරක අදහස් සිතට ගත්තේය. මෙවැනි උසස් පවුලක දරුවෙක් රජයේ පාසලකින් අධ්‍යාපනය ලැබීම සැලකුණේ තත්ත්වයෙන් පහත වැටීමක් හැටියට ය. කෙසේ වෙතත් ලින්ච් ගුවේරාට ද රජයේ පාසලකට ඇතුළත් වන්නට සිදුවිය. කුඩා ලින්ච් රජයේ පාසලකට පිටත්ව යන පළමු දිනයේ දී ඔහුගේ පියා මෙසේ කීවේය.

‘‘පරණ ලොකු කතා තවදුරටත් වලංගු නෑ. ඊළඟ පැළැන්තිය ගොඩනැගෙන්නේ දැනුමයි, දක්ෂකමයි අනුව මිස පරම්පරාවෙන් නම් නොවෙයි‘‘

කුඩා ලින්ච් පියාගෙන් තම පරම්පරාවේ ත්‍රාසජනක වීර පුරාවෘත්ත අසමින් ද, මවගෙන් ගැමි ජනකතා අසමින් ද වැඩුණේය. ඔහුට වයස අවුරුදු 19 වන විට පියා මිය ගියේය. මේ වන විට ලින්ච් ගුවේරා ගෘහ නිර්මාණ ශිල්පය සහ ඉංජිනේරු ශාස්ත්‍රය හදාරමින් සිටියේය. උපාධිය ලබා ගැනීම අත්හැර දැමූ හෙතෙම තම පරම්පරාවේ අතීත ශ්‍රී විභූතිය නැවත අත්පත් කර ගැනීමේ අරමුණින් තමාගේම වීර වික්‍රමාන්විත ව්‍යාපෘතියක් පිළිබඳව සිත යොමු කළේය.

තම පියාගේ උරුමය ඔහු මේ සඳහා තදින් උපයෝගී කොට ගත්තේය. මෙසේ දෘඪ අරමුණින් ක්‍රියා කරන අතර ඔහු තම ඥාතියකු සමග එක් වී කුඩා නාවික යාත්‍රා නිපදවීමේ ව්‍යාපාරයකට ද සම්බන්ධ විය. ලින්ච් නැව් සමාගමේ ඔවර්සියර් ධූරය දරමින් සිටිය දී එක් දිනෙක සිලියා දුටුවේය. පළමු දැක්මෙන්ම ඔවුහූ එකිනෙකා කෙරෙහි පිළිබඳ සිත් ඇති කර ගත්තෝය. කෙමෙන් කෙමෙන් එය තදබල ප්‍රේමයක් බවට වැඩිණ. මේ අතර නාවික යාත්‍රා නිෂ්පාදනයෙන් පමණක් තෘප්තිමත් නොවූ ලින්ච් ලොකු වැඩකට අත ගසන්නට කල්යල් බලමින් සිටියේය. මාටේ නම් ස්වාභාවික පානයකට මිලියන ගණනක් ජනයා ඇබ්බැහි වී සිටියහ. වාසනාවේ රුවන් දොරටුව තේ කෝප්පයේ පතුලින් මතුකරගත හැකි බව සිතූ ලින්ච් ගුවේරා එතැන් සිට මාටේ වගාව සඳහා ඉඩම් මිලට ගැනීමට වෙහෙසුණේය. ගුවේරා එක් අතකින් උමතුවෙන් මෙන් සිලියාට ප්‍රේම කළේය. අනෙක් අතින් ‘මාටේ‘ උන්මාදයෙන් මත්ව සිටියේය. ලින්ච් ගුවේරාගේ පරපුරේ මී මුත්තෙක් රත්තරං සොයා වෙහෙසකර වූ එහෙත් ප්‍රතිඵලදායක නොවූ වෑයමක යෙදුණේය. ලින්ච් මේ සියලු වීරකතා මැනවින් දැන සිටියේය. මීමුත්තන් වරද්දා ගත් නමුත් තමාට වරදින්නට හේතුවක් නැති බවට ද ඔහුට තදබල විශ්වාසයක් විය. එහෙත් තමා සතු සියලු මුදල් බෝට්ටු ව්‍යාපාරයේ හිර වී තිබුණු නිසා ඉඩම් මිලට ගැනීමට තරම් මුදලක් ඔහු අත නොවීය. තම මුතුන් මිත්තන් සැබෑ (කහ) රත්තරන් සොයා ගොස් අසාර්ථක වූ නමුත් දැන් ඉඩම් මිලට ගතහොත් හරිත රත්තරංවලින් ඉසුරුමත් විය හැකි බවත් ඔහුට අවබෝධ විය. එහෙත් හරහට හිටියේ මුදල්ය.

සිලියා ඩීලා සෙර්නා තම පෙම්වතා පත්ව සිටි අසරණ එහෙත් උනන්දු සහගත මානසිකත්වය මැනවින් වටහා ගත්තාය. ‘‘බය වෙන්න එපා අපි කොහොම හරි ඉඩම් මිලට ගන්නවා“යි ඈ නිතර ලින්ච් ගුවේරා දිරිමත් කළා පමණක් නොව, ඉතා ප්‍රායෝගික විසඳුමක් ද ඉදිරිපත් කළාය.

‘‘අපි ඉක්මනට විවාහ වෙමු. අපේ පවුලේ බූදලයෙන් මට අයිති කොටස අරගෙන ඉඩම් ගමු...“

ඔවුන් දෙදෙනා සිතූ ලෙසම සිලියා ඩීලා සෙර්නාගේ හදිසි විවාහ තීරණය. පවුලේ නිසි බලධාරීන් විසින් එක එල්ලේම ප්‍රතික්ෂේප කරනු ලැබිණ. සිලියා වයස අවුරුදු 21 සපුරා නොසිටි හෙයින් ආර්ජන්ටිනියානු නීතිය පරිදි විවාහය සඳහා පවුලේ අවසරය අත්‍යවශ්‍ය විය. එපමණක් නොව බාල වයස්කාරියක ලෙස සැලකු හෙයින් තම දෙමාපියන්ගේ බූදලයෙන් කිසිවකට හිමිකම් කීමට ද ඇයට නීත්‍යානුකූල අයිතියක් නොවීය. මේ සියල්ල මනාව දැන සිටි නමුත් සිලියා දිගින් දිගටම පවුලේ බලධාරීන් වෙත තම ඉල්ලීම යොමු කළාය. ඒ සියල්ල පෙර පරිදිම ප්‍රතික්ෂේප විණ. ලින්ච් චේගුවේරා තම පවුලට වැද්දා ගැනීම ඔවුහූ දිගින් දිගටම වැළැක්වූහ.

සිලියාහැම විටෙකම ප්‍රායෝගික යුවතියක් වූවාය. තැනෙට සුදුසු භාෂාවෙන්, ඇඟට දැනෙන්ට කතා කළ යුතු ක්‍රමවේද ඈ මැනවින් දැන සිටියාය. එක් දිනෙක ඈ නිවෙසින් පලා ගියාය. පළමු දින රාත්‍රිය තම වැඩිමහල් සහෝදරියගේ නිවෙසේ ගත කරමින් ඈ පූර්ව අනතුරු හඟවන සංඥාවක් ඉතා අවිහිංසක ලෙස දැනෙන්ට සැලැස්සුවාය. නොසිතූ ලෙස එය සාර්ථක විය. නොපමාව සිලියාගේ විවාහයට පවුලේ අවසරය ලැබිණ.

ක්‍රි.ව. 1927 නොවැම්බර් මස 10 දා තම වැඩිමහල් සහෝදරියගේ නිවෙසේ පැවැති ඉතා චාම් විවාහ උත්සවයකින් පසුව සිලියා ඩීලා සෙර්නා, අර්නස්ටෝ ගුවේරා ලින්ච් සමඟ අතිනත ගත්තාය. තවත් පමා නොවූ යුවතිපතිහූ එතැනින් නික්ම බුවනෝර්ස් අයර්ස් ප්‍රදේශයට පැමිණියහ. ඒ තමන් දෙදෙනා පමණක් දැන සිටි රහසක් ද තුරුලු කොට ගෙනය. විවාහට අවසර ලැබුණු නමුත් සිලියාට තම දෙමාපියන්ගෙන් උරුම වූ බූදලයෙන් පංගුව ලබා ගැනීමට අධිකරණය ඉදිරියට යෑමට සිදුවිය. මේ නඩු තීන්දුව ද ඇගේ වාසියට ප්‍රකාශ වූයෙන් අර්නස්ටෝ ගුවේරා ලින්ච්ගේ දෙවැනි සිහිනයද සැබෑ වෙමින් ඔහු මාටේ වගාව සඳහා ඉඩම් අක්කර සිය ගණනක් මිලට ගත්තේය. අර්නස්ටෝ ගුවේරා ලින්ච් ආර්ජන්ටිනාවේ ප්‍රීතිමත්ව, වාසනාවන්තම, මිනිසා බවට පත්විය. බර්ට්‍රන්ඩ් රසල් වරෙක ආදරය අරභයා මෙසේ කීය.

‘‘ආදරය යනු කුමක් ද, කෙනෙකුට අනෙකා ඉදිරියේ කායිකව ද මානසිකව ද එකවර නිරුවත් විය හැකි නම් ඔහු හෝ ඇය අනෙකාට සැබැවින්ම ආදරය කරන්නේය...‘‘

සියලු ඇඳුම් උනා දමා අනෙකා ඉදිරියේ කායිකව නිරුවත්වීම එතරම් අසීරු කටයුත්තක් නොවේ. එහෙත් කෙනෙකුට අනෙකා ඉදිරියේ පරිපුර්ණව මානසිකව නිරුවත් විය හැකිද? එසේ නම් ඔහු හෝ ඇය තම සිතැඟි, අදහස් අනෙකාට ඒ හැටියටම දැනගන්නට ඉඩ සැලැස්විය යුතුය. එසේ කරන ගැහැනු-පිරිමි මේ ලොව සිටිත් ද. එසේ නම් කිසිවෙකුත් කිසිවෙකුට සැබෑ ලෙස ආදරය නොකරන්නේද. බර්ට්‍රන්ඩ් රසල්ගේ මේ දාර්ශනික කාලබෝම්බය හමුවේ ලොව ජනප්‍රිය මහා ප්‍රේම පුරාවෘත්ත අළු දූවිලි බවට පත් වන්නේය. එහෙත් ඉතිහාසය කිසිදා සාධාරණය ඉටුකර නැති බවත් ඒ සමගම පෙනී යයි.

‘‘. . . අපේ සම්බන්ධය දිහා බොහෝ දෙනා ඇහැ ගහගෙනයි හිටියේ. සිලියා‍ගේ පවුලේ හැමෝටම වුවමනා වුණේ මේ කසාදේ කම්බස් කරන්න පුළුවන් පුංචිම පුංචි සිද්ධියක් වුණත් ප්‍රයෝජනයට ගන්නයි......“

ලින්ච් පසුකලෙක තම මතක සටහන් අතර එසේ ලියා තිබුණේය.

සිලියා නීත්‍යනුකූලව ගුවේරා ලින්ච් සමග විවාහ වන විටත් ඈ තෙමස් ගැබිනියක්ව උන්නාය. ඥාති හිත මිතුරන්ගේ ඇසට නොගැටෙන ලෙස තම බිරිඳ සඟවා තැබීමට ගුවේරාට වූ තදබල වුවමනාව හැම අතින්ම සාධාරණ එකක් විය. රොසාරියෝ ප්‍රදේශය මේ සඳහා උචිත වනු ඇතැයි ඔවුහූ සිතුවෝය.

ක්‍රි.ව. 1928 මැයි මස 14 දා පාන්දර 03.05 ට ‘චේ“ උපන්නේය. කෙසේ වෙතත් ‘චේ‘ උපදින විට සිලියා සහ ගුවේරා විවාහ වී ගත වී තිබුණේ මාස 06 කුත් දින 04 ක් පමණි. දරු ප්‍රසූතියට උදවු කෙළේ ගුවේරාගේ මිතුරු වෛද්‍යවරයෙකි. ඔහු ඓතිහාසික රහසකට දායක වෙමින් ‘චේ‘ ගේ උප්පැන්න සහතිකය ලියා දුන්නේ මාසයක් ඉදිරියට ගනිමිනි. මේ අනුව ‘චේ‘ උපන්නේ ‘‘1928 ජූනි මස 14 දා ය‘‘. සිලියාත් ගුවේරාත් කිසිම පැකිළීමක් නැතිව මෙසේ කීවෝය. නො එසේ නම් අන් අයට එසේ හැඟෙන්නට ඉඩ හැරියේය.

‘‘චේ උපන්නේ හත් මාසෙන්“.

අදහස්