අගය නොදැන කළුවර කළ කළු දිය පොකුණ | සිළුමිණ

අගය නොදැන කළුවර කළ කළු දිය පොකුණ

දස දහස් ගණන් අනුපමේය උරුමයන් තුරුලු කරගත් මිහින්තලා පුද බිම නිහඬව බලා සිටී. හෙළ බොදු සංස්කෘතිය ලොව අභිමුව විශිෂ්ටම සංස්කෘතියක් බවට පත්වීමේ හිමිකම මිහිඳු හිමියන් සතුවිය. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ මංපෙත් අපට විවර කරණු ලැබූයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. එහෙයින් මෙම ‍ෙප්‍රෟඪ සභ්‍යත්වයක උරුමකරුවන් වීමේ භාග්‍ය අපට උදාවිය. රළු සෙල්කුළු මත සිත් දැහැන් ගතකරවන ජීවමාන බුදුවරයෙකු මවා නිම කරන්නටත් පියුම් පෙති මත පා තබන්නා සේ රළු සෙල්කුළු සුමට කරන්නටත් හැකිවූ විස්මිත නිමැවුම් කරුවෝ වූවෙමු. මේ සියලු ඓශ්චර්යමත් සභ්‍යත්වය අපට විවර කරදුන් මිහිඳු හිමි දම් දෙසූ ඉසව්, වැඩහුන් ඉසව් දැක වැඳ පුදා ගැනීමට අද අපි පෙළ ගැසී සිටිමු.

මිස්සක පව්ව අභියස නිහඬ වන අරණක පිහිටි කළු දිය පොකුණ ඔබ නොදන්නවාම නොවේ. නමුත් මෙම ස්ථානය දැක බලාගෙන නැතුවා විය හැකිය. මෙහි සුන්දරත්වය සියැසින් දැක බලා ගැනීමට මඟ කියා දීමට මෙලෙස වෑයම් කරමු.

මිහින්තලා පුදබිම පුරා ධුතාංගධාරි අල්පේච්ඡ භික්ෂූන් වහන්සේලා සඳහා පිදුම් ලැබූ ශූන්‍යාතඝාර අට සැටකි. ඉන් බිම් අක්කර 150 පුරා කළුදිය පොකුණ සෙනසුන පිහිටා ඇත. ඒ භූමිය පුරා ශූන්‍යාගාර 38 කි. ඉන් භාවිතයට ගනු ලැබු ලෙන් 18 කි. පොසොන් පුර පසළොස්වක දින මෙරටට වැඩම කළ අනුබුදු හිමියන් ට වස් වැසීම සඳහා ඇවැසි බැව් දේවානම්පියතිස්ස රජුට දන්වා සිටි පසු ඇත්වෙහෙර කන්ද , රාජගිරි ලෙන කන්ද, කළුදිය පොකුණ කන්ද පුරා පිහිටි ලෙන් මෙසේ පිළිසකර කර පූජා කරන ලදී. ස්වභාවික ගල් ලෙන් කටාරම් කොටා දොර ජනෙල් යොදා පිළිසකර කර පූජා කර ඇත. දොළොස් දාහක් සහ රහතුන් වැඩසිටි පින්බිමක මෙලෙස මොහොතක් හෝ රැඳෙන්නට ඔබ පින්කර තිබිය යුතුය. පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජු සමයේ ක්‍රීඩාව සඳහා උත්සව දිනයක් විය. අතීතයේ දී ‘ජෙට්ඨ මූල නක්ඛත්ත‘ දිනයක් ලෙස මෙදින හඳුන්වා ඇත. ඒ නිසාම අද ද අප පොසොන් පොහොය සමරන්නේ උත්සවශ්‍රීයෙන්ය. නමුත් අප මතක තබා ගතයුතු කාරණය වන්නේ අභිමානවත් සංස්කෘතියක් සභ්‍යත්වයත් අපට ලැබුණේ පොසොන් දිනක බවය. ඉර අවුවෙන් වී පැදුරක් තල පැදුරක් වේළා ගැනීමටවත් නොහැකි වන සේ ධ්‍යාලාභී භික්ෂුන් වහන්සේලා ඍද්ධියෙන් ගමන් කිරීම හේතු කොට ගෙන හිරුගේ එළිය පොළවට පතිත නොවුණ පින් බිමක ඔබ ගැවසෙන බව සිහිපත් කර ගැනීම ද වටී.

අනුරාධපුරයේ සිට හොරොව්පතාන පාරේ පැමිණි ඔබ මිහින්තලා නගර මධ්‍යයෙන් දකුණු දෙසට විහිදී ඇති යාපනය සිට මහනුවර දක්වා ගමන් කරන A 9 පාරට පිවිසිය යුතුය. මිහින්තලා නගර මධ්‍යයේ සිට ඔබ යායුත්තේ මීටර් 900 ක් පමණ කෙටි දුරකට පමණි. මේ කෙටි දුර අතරේදී මිහින්තලේ රෝහල, මිහින්තලා රජමහා විහාර මැද මහ මළුවට ගමන් කරන මාවත, කටු සෑය පසුකර යා යුතුය. ඔබගේ රථයේ වේගය මඳක් අඩුකර විමසිලිමත්ව යායුතුය. මාවතේ වම්පස ‘‘කළුදිය පොකුණ -තපෝවනය - මිහින්තලය ‘‘ ලෙසින් සඳහන් පුවරුව හමුවෙනු ඇත. මෙය ඉතාම නිහඬ නිසංසල අපූරු පරිසරයකි. ප්‍රධාන පාරේ සිට මීටර් පනහක් පමණ ගිය පසු මළුවට පිවිසිය හැකිය. වාහන නලාව නාද නොකිරීමට වගබලා ගත යුතුය. වාහනයේ දොර ජනේල පවා සෙමින් වැසීමට වගබලා ගත යුතය. ඔබ මෙහිදී හඬ නගා කතා කරනවා වෙනුවට මුමුණා කතා කළ යුතුය. මෙහි එක් පසෙක සුදු හුණු පිරියම් කරන ලද බණ මුඩුවකි. අනිත් පස ඇත්තේ හික්ෂූන් වහන්සේලා වැඩ වසන ලෙන්ය. ඒ බැව් හඳුනා ගැනීමට පහසු වනුයේ පසෙකින් පිහිටා ඇති කුඩා අම්බලමක හැඩයෙන් යුතු විවේක මඩුවය. මේ සුරම්‍ය පරිසරය දැකීමෙන් මෙතෙක් ඔබේ හිත තුළ පැවති ව්‍යාකුල බව මොහොතින් මැකී යනු ඇත. දිරා ගිය කුඩා ඇතු කැබැල්ලක් වුව බිම පතිතවන හඬ ඇහෙන තරමේ නිහඬ බවක් මෙහි ඇත. ඔබ හැකි ඉක්මනින් මෙම පරිසරයට අනුගත විය යුතුය. නොඑසේ නම් එහි නොයා යුතුය. මේ බණ මඩුවත්, විවේක මඩුවත් අතරින් කුඩා දෙවැට පාරක් ඇත. කළුවර ගස් අතරින් මේ පාර වැටී ඇත. කළුදිය පොකුණ දෙසට පිවිසිය යුත්තේ ඒ අඩිපාර ඔස්සේය.

කළුදිය පොකුණු ලෙන් 18 තුළම භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා වැඩ වාසය කරති. එහෙයින් ඒ දෙසට යාමට නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර ගත යුතුය. එහිදී කඳු මුදුනේ ඇති සුළං කපොල්ල, සක්මන් භාවනා සඳහා නිම කරන ලද සක්මන් මළු, මෙන්ම එහි භාවනාවේ යෙදෙන භික්ෂුන් වහන්සේලා හමුවේවි. මේ දසුන ඔබට විඳින්නට හැකි වනුයේ භක්තියකින් පැමිණියේ නම් පමණි. ඒ කෙසේ වෙතත් ලෙන් දෙසට ගමන් නොකොට ඔබ කළුදිය පොකුණ දෙසට ගමන් කරනවානම් මැනවි.

පොකුණ දෙසට ගමන් කිරීමේදී ඔබට මුලින්ම හමු වන්නේ දේවානම්පියතිස්ස රජු විසින් රහතන් වහන්සේලා සඳහා ශූන්‍යාගාරයක් පිළිසකර කර ඇති අයුරුය. වර්තමානයේ බොහෝ ලෙන් වරිච්චි බිත්ති බැඳ කටු මැටියෙන් නිම කර තිබුනද මුල්ම යුගයේ ලෙනක ස්වභාවය දැක ගැනීමට හැකි වන්නේ මෙහිදී පමණි. ශෛලමය උලුවහු ජනෙල් කවුලු මෙහි ඇත. ඉන් මඳක් ඔබ්බෙන් කළුදිය පොකුණ ඇත. ස්වභාවික පරිසරයට අනුව නිම කරන ලද මේ පොකුණ මධ්‍යයේ සීමා මාලකය දැක ගත හැකිය. පොකුණට දකුණු දෙසින් කාලබුද්ධරක්ඛිත හිමියන් බණ දෙසූ කලුගල් අසුන ද ජන්ඨාගරයද පොත් ගුලද ඔබට හමුවේවි. මිහින්තලා පුද බිමටම ඇති එකම ජන්ඨාඝරය මෙය වේ.

කළුදිය පොකුණේ ජලය කළු පැහැ වීමට බලපෑ කාරණා කීපයකි. කඳු වලින් වටවී වන අරණක් මැද පිහිටීම මෙන්ම අඩි 60, 70 පමණ ගැඹුරකින් පිහිටීම මෙහි පතුල කළු ගල් තලාවක් වීම වැනි කාරණා වේ. මෙහි පතුලේ ජල කර්ණිකා පිහිටා ඇති බව සඳහන්ය. දැනට මඩෙන් වැසී තිබුණ ද අතීතයේ අලංකාර වතුර විහිදූ ජල මලින් නිර්මිතව තිබී ඇත. ජනප්‍රවාදයේ තවත් බොහෝ කතා ඇත.

අතීත හෙළ රජ දරුවන් බුද්ධ සාසනයේ උන්නතිය සඳහා අප්‍රමාණ සේවාවක් කර ඇත. අද අප සමරන්නේ නටබුන්ව ගිය ඒ අතිතය නොවේද. නමුත් වර්තමාන පරපුර මේ ප්‍රෟඩ අතීතය පිළිබඳව වැටහීම තැකීමක් නැති පිරිසක් බවට පත් වි ඇත. සංකර සමාජය සමඟ නොගැටුණ ගැමියා අදටත් ශ්‍රද්ධාවන්තය. ඔවුන් මෙහි පැමිණෙන්නේ සැබැ බෞද්ධයන් ලෙසය. විශ්වවිද්‍යාල දරුවෝ අධ්‍යයන කටයුතු සඳහා මෙන්ම සංචාරය සඳහාද පැමිණෙති. නමුත් ඔවුනට මෙම පරිසය පිළිබඳව අවබෝධයක් නැත. නිබන්ධය සදහා කරුණු රැස් කිරීම පමණක් ඔවුන්ගේ අරමුණ වන අතර මේ මහා උරුමයක හිමිකරුවෝ අපි නොවේද යන්න පිළිබඳ කිසිඳු තැකීමක් නැත. උගත්කම යනු අහංකාර කම නොව ශික්ෂණයයි. වනවාසී භික්ෂුන් වැඩ වසන භූමියකට සුදුසු ඇඳුම, හැසිරීම, කතාබහ පිළිබඳව ඔවුන්ට වැටහීමක් නැත. උගත්කම යනු අසීලාචාරකම දැයි ගැමියන් දිනක අසන්නට බැරි නැත. මේ අතර ඉතා විනිත දරුවන් ද නැතුවාම නොවේ. මේ පරිසරය වැඩියෙන්ම විනාශ කරන්නේ සිංහල බෞද්ධයන් බව මෙහි නායක ස්වාමීන්වහන්සේ පවසා සිටියේ ඉතා කණගාටුවෙනි. මෙහි අරුමය ගැන අභිමානවත් සිතුවිලි සමඟ මෙහි එන්න. තවත් සියවස් ගණනාවකට මේ උරුමය රකින්නට මමත් දායක් වෙනවා යන හැඟීම ජීවිතයට එකතු කර ගන්න. හෙට දවසේ ද මෙහි සැබෑ උරුමක්කාරයෝ අපි වෙමු.

පුණ්‍යා ඒකනායක
ඡායාරූප - තිනෙත් රත්නායක

 

අදහස්