විදෙස් චිත්‍රපටය | සිළුමිණ

විදෙස් චිත්‍රපටය

රසිකයන්ගේ සිහින රාජ්‍යයේ රජවරුන්, රැජිනන් වන්නේ හද බැඳි තරු හා තාරකාවන්ය. සහස් සුවහස් ජනතාවක් ඔවුනට ප්‍රිය කළද පෙම් බැන්ද ද මේ සුපිරි තරුවල දිවිය බොහෝ විට කතරක් බඳුය. ලොවට පෙනෙන්නේ ඔවුන් සිනාසෙන බවය. එහෙත් සැබෑවටම සිදුවන්නේ දිවිය පුරාම හඬා වැටීමයි. එය හොලිවුඩයට මෙන් ම බොලිවුඩයට ද පොදු වූ සත්‍යතාවකි.

සාවිත්‍රි යනු දමිළ, තෙලිඟු, කන්නඩ, මලයාලම් සහ හින්දි සිනමාවේ රජකළ සුරූපී තාරකාවකි. විශේෂයෙන් ම ඇය තෙළිඟු සිනමාවේ විශිෂ්ට තාරකාවක ලෙස ප්‍රකට විය.

1936 ආන්ද්‍රා ප්‍රදේශයේ උපන් සාවිත්‍රිට පිය සෙනෙහස සය මසකට වඩා විඳින්නට වාසනාව ලැබුණේ නැත. පියා අවාසනාවන්ත ලෙස මිය ගිය අතර බාල දියණිය සාවිත්‍රි සහ වැඩිමල් දියණිය සමඟ මව මාමා කෙනකු ගේ නිවෙසේ පදිංචියට ගියේය. කුඩා වියේදීම සාවිත්‍රි ගේ රංගන හැකියාව හඳුනා ගත් මාමණ්ඩිය සාවිත්‍රි නර්තනය හැදැරීමට යොමු කළේය.

වයස අවුරුදු අටේදී නර්තනයට රංගනයට පිවිසුණ ද ළමා නිළියක ලෙස ඇයට සිනමාවේ ස්ථාපිත වීමට දෛවය ඉඩ ලබා දුන්නේ නැත. වයස අවුරුදු දොළහේදී තරුණ චරිත සඳහා තෝරා ගනු ලැබූ නමුදු කෙතරම් වේශ නිරූපණය කළද ඇය ගේ ළාබාල පෙනුම දුරුකළ නො හැකි විය. ඇයට වාසනාව ගෙන ආවේ නාගේෂ්වර රාඕ ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කළ 1950 තිරගත වූ සම්සාරම්(පවුල) සිනමා පටයයි. පාතාල බහිරවී සිනමා පටයට එක් වූයේ ඇය ගේ නර්තනාංගයක් පමණි.

එයින් ද ඇය ගේ ජනප්‍රියභාවය දෙගුණ තෙගුණ විය. අවසන ඇය තිරයට නැතිවම බැරි තාරකාවක් විය. ශිවාජි ගනේෂන්, ජෙමිනි ගනේෂන් යන දකුණු ඉන්දීය සුපිරි තරුවලට ගෙවන මුදලට සමාන මුදලක් ලැබූ එකම තාරකාව සාවිත්‍රිය. ඇය ගේ නම කාන්තා ශිවාජි ගනේෂන් ලෙස දකුණු ඉන්දීය සිනමාවේ ස්ථාපිත විය. සිනමා මාවතේ රෝස පෙති ඇතිරෙද්දී සිනමා තරුවක්ම ඇය ගේ දිවිය අන්ධකාර මාවතකට ඇද ගෙන ගියේය.

ඔහු වත්මන් ජනප්‍රිය දක්ෂ නිළි රේඛා ගේ පියා ජෙමිනි ගනේෂන් ය. ඒ වන විට ද දියණියන් සිව් දෙනකු ගේ පියකු වූ විවාහකයකුවූ ජෙමිනි ගනේෂන් ගේ ආදරය සොළොස් හැවිරිදි සාවිත්‍රි ගේ දිවියට හලා හළ විසක් විය. ලෝකයාට මේ සබඳතාව හෙළි වූයේ ලක්ස් කොන්ත්‍රාත්තුවට ඇය සාවිත්‍රි ගනේෂන් ලෙස සඳහන් කිරීම නිසයි.

එහෙත් ජෙමිනි ගේ ප්‍රේමය සාවිත්‍රිගෙන් නතර වන්නේ නැත. සාවිත්‍රි මෙන්ම නිළි පුෂ්පවල්ලීට ද ඔහු ගේ නිල නොවන බිරිය වීමට සිදු වේ. පුෂ්පවල්ලි රේඛාගේ මවය. අවසන වයස අවුරුදු හතළිස් පහේදී ජීවිතය මධු විතෙන් දියකළ මේ තාරකාව ගේ කතාව දැන් සිනමා අන්දරයකි.

2018 වසරේ මහාන්ති (තෙළිඟු බසින්) හෙවත් නඩිගයියර් තිලගම් (දමිළ) සිනමා පටයෙන් විද්‍යාමාන වන්නේ ත්‍යාගශීලි හදවතක් තිබූ දිළින්දන් වෙනුවෙන් නිවෙසේ දොර විවර කර තැබූ මේ මහා නිළිය සාවිත්‍රි ගේ කතාවය. තෙළිඟු බසින් හා දමිළ බසින් කියැවෙන නමේ ඇරුත ද විශිෂ්ට තාරකාවයි.

මැයි 9 වැනි දින සිට තිරගත වන මෙහි සාවිත්‍රි චරිතයට පණ පොවන්නේ කීර්ති සුරේෂ් නම් තවමත් විසිපස් හැවිරිදි වියේ පසුවන තාරකාවකි. ජෙමිනි ගනේෂන් ලෙස දල්කුවර් සල්මාන් රඟයි. ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි සමන්තා අක්කිනේනි (සමන්තා රූත් ප්‍රභූ) මධුරාවානි ලෙසද, විජේ ඇන්තනි ලෙස විජේ දේවරාකොන්ද ද, ජමුනාට ශාලිනි පාණ්ඬේද, භානුමතී රාම ක්‍රිෂ්ණාට අනුෂ්කා ෂෙට්ටි ද ,රංග රාඕට මෝහන් බාබු ද , සාවිත්‍රි ගේ මාමා ලෙස රාජේන්ද්‍ර ප්‍රසාද් ද, අලූරි චක්‍රපානිට ප්‍රකාශ් රාජ් ද කේවී රෙඞ්ඩිට ක්‍රිෂ් ද සිංගීතම් ශ්‍රී නිවාස රාඕට තරුන් බාස්කර් ද රංගනයෙන් දායක වී තිබේ.

අධ්‍යක්‍ෂ නාග් අශ්වින් දකුණු ඉන්දීය නිළි සාවිත්‍රි ගේ ජීවිත කතාව සිනමාවට නඟන පුවත රසිකයන් වෙත ගෙන ආවේ 2016 මැයි මාසයේය. සියලුම දකුණු ඉන්දීය සිනමා බසින් එය තිරගත වන බවත් ඔහු දැන්වීය.

අශ්වින් සමසක් පුරාම සාවිත්‍රි පිළිබඳ ලිපි, පොත් පත් කියවීය. ඇය ගේ සමකාලීන නළු නිළියන් ද, මාධ්‍යවේදීන් ද හමු වී තොරතුරු ලබා ගත්තේය. දකුණු ඉන්දියාවේ පළමුවැනි සුපිරි තරුව ලෙස සැලකෙන සාවිත්‍රි ගේ චරිතය නිරූපණය කරන තාරකාව ගැන අනතුරුව විවිධ මත පලවිණි.

අවසාන කීර්ති සුරේෂ් යොවුන් තාරකාව ඒ සඳහා තෝරා ගත් බව 2017 ජනවාරි මාසයේදී සියල්ලන්ටම දැන ගැනීමට ලැබිණි. එම වසරේ කාන්තා දිනයේදී සැබෑ සාවිත්‍රිගේත් සාවිත්‍රිට පණ පොවන කීර්ති සුරේෂ්ගේත් සේයාරු සහිත පෝස්ටරයක් නිකුත් කරන ලදී.

සාවිත්‍රි ගේ සැමියා වු ජෙමිනි ගනේෂන් නළුවා ගේ චරිතයට ද විවිධ නම් යෝජනා වුව ද අවසාන දල්කුවර් සල්මාන් තෝරා ගත්තේය. ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් ගණනාවක්ම රංගනයෙන් දායකවන වසරේ දැවැන්ත සිනමා බලාපොරොත්තුවක් බවට නඩිගයියර් තිලගම් පත්විය.

නාග් අශ්වින් අතේ සතයක් වත් නැතිව සුපිරි තරුව වූ කාන්තාව ගේ කතාව ලෙස මෙය හැඳින් වීය. විශාල වියදමක්

දැරීමට සිනමා පටය නිර්මාණය කිරීමේදී විජයශාන්ති මුවිස් සමාගමට සිදුවිය. සාවිත්‍රි රඟපෑ යුගයේ යෝධ දර්ශන තල නිපදවීමට ඉතා විශාල මුදලක් වැයවී ඇත. කීර්තිට සාවිත්‍රි ලෙස රඟද්දි අවශ්‍ය කරන සාරි නිමැවුමට සය මසක් ගත වූ බව කියැවේ. දෛවෝපගත සිදුවීම් කිහිපයක්ද සිනමා පටය හා බැඳී පවතී.

මෙහි අක්කිනේනි නාගේෂ්වර රාඕ නම් විශිෂ්ට තෙළිඟු නළුවා ගේ, නිෂ්පාදකයා ගේ චරිතය නිරූපණය කරන්නේ ඔහුගේම මුනුබුරු නාගා චයිතන්යා අක්කිනේනිය. නාගාචයිතන්යා අක්තිනේනි නාගේෂ්වර රාඕ ගේ පුතු සිනමා නළු නිෂ්පාදක, ගායක අක්කිනේනි නාගර්ජුන ගේ පුතුවේ. නාගා විවාහවී සිටින්නේ ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි සමන්තා රූත් ප්‍රභූ සමඟය.

ඇය මෙහි මධුරවානි නම් මාධ්‍යවේදිනිය ගෙ චරිතය නිරූපණය කරන්නීය. සිනමා පටයට ගීත පහක් ඇතුළත් අතර මෙහි සංගීත අධ්‍යක්‍ෂණය මිකේ ජේ මෙයෙර් ගෙනි. සිනමා පට නිසා ජීවිතය සිනමා පටයක් කරගත් සොඳුරු දක්‍ෂ මහා තාරකාවක ගේ ජීවන සිත්තම මැයි 9 වැනිදා සිට ප්‍රේක්‍ෂකයන් අබිමුවේය.

අන්තර්ජාලයෙනි. 

අදහස්