හෙට උපදින නයිජීරියන් සෙරෙනා විලියම්ස් | සිළුමිණ

හෙට උපදින නයිජීරියන් සෙරෙනා විලියම්ස්

 ටෙනිස් ක්‍රීඩාවේදී 36 හැවිරිදි ඇමරිකානු ක්‍රීඩිකා සෙරෙනා විලියම්ස්ට හිමිවන්නේ කිසිවකුටත් හිමිනොවන අද්විතීය ස්ථානයකි. සෙරේනා තරම් ටෙනිස් පිටියේදී දස්කම් දැක්වූ වෙනත් ක්‍රීඩිකාවක නොවීම එයට හේතුවය.

එසේම සෙරෙනා වගේමයි යනුවෙන් ඇයට සමාන කළ හැකි වෙනත් ටෙනිස් ක්‍රීඩිකාවක්ද නැති තරම්ය. මේ නිසා ටෙනිස් ක්‍රීඩාව පිළිබඳව සෙරෙනා ගැන සඳහන් නොකර කතා කළ නොහැකි බව කිවයුතුය. මෙම ලිපියෙන්ද කතාකරන්නේ ටෙනිස් ක්‍රීඩිකාවක පිළිබඳවය.

එබැවින් සෙරෙනා විලියම්ස් ගැනද සඳහන් කරන්නට සිදුව ඇත.

සෙරේනා විලියම්ස් යනු කේවල ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 24ක්, යුගල ශූරතා 14ක් හා ඔලිම්පික් රන් පදක්කම් 04ක් දිනා ඇති ක්‍රීඩිකාවකි.

ලෝකයේ ක්‍රියාත්මක ප්‍රධාන ටෙනිස් තරගමාලාවන් හතරේම කේවල හා යුගල ශූරතා දිනා ඇති වර්තාමානයේ සිටින විශිෂ්ටම ක්‍රීඩිකාවය.

කොහොම නමුත් සෙරේනා විලියම්ස් දැන් පසුවන්නේ ඇගේ ක්‍රීඩා දිවියේ අවසන් කාල සීමාවේය. එසේ වුවත් ඒ නම මෙසේ ක්‍රීඩා පිටිය තුළ නිතර නිතර රැව්දෙන තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතියි.

එම රාව ප්‍රතිරාව නංවන ක්‍රීඩිකාව තවමත් 13 හැවිරිදි වියේ පසුවන්නියකි. මාරිලව් එඩ්වඩ්ස් නම් වූ ඇය නයිජීරියානු ටෙනිස් ක්‍රීඩිකාවකි.

මේ වනවිට නයිජීරියාව පුරාම ‘නයිජීරියන් සෙරේනා ’ නමින් ප්‍රකට ඇමරිකාවේද සමහර ස්ථානවලදී එලෙස හඳුන්වනු ලබන මාරිලව් ඇමරිකාවේ ලාගෝෂ්හි අයි.පී.එම්. ටෙනිස් ඇකඩමියේ ලද දින 29ක පුහුණුවකින් අනතුරුව ඇමරිකානු ටෙනිස් පිටියට එක්වීමට කටයුතු කර තිබුණි.

ඇය ඇමරිකානු ටෙනිස් සංගමය සංවිධානය කළ අවුරුදු 14න් පහළ සෙල්සියස් ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමත් සමඟ බොහෝදෙනෙකුගේ අවධානය ඇය වෙත යොමුවිය.

ඇය ලද ඒ ජයග්‍රහණයේ විශේෂත්වය වී තිබුණේ තමන් සහභාගිවූ සෑම තරගයක්ම 2-0ක් ලෙස ජයග්‍රහණය කර තිබීමය.

අවුරුදු 11දී ටෙනිස් ක්‍රීඩාවෙන් දස්කම් දැක්වීමට සමත්වූ මාරි ලව් මේ වනවිට පුුහුණුව ලබන්නේ ටෙනිස් ලොවට ප්‍රබල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ නිකලස් ජේම්ස් බොලෙට් ටියරි යටතේය.

එබැවින් නුදුරු අනාගතයේදී මාරි ලව්, සෙරෙනා විලියම්ස් වගේමයි යනුවෙන් ලෝකයේ සෑම තැනකම කතා වන තත්ත්වයක් ඇතිවුවහොත් එය පුදුම විය යුත්තක් නොවන බව දැන්ම පැවසිය හැකිය.

අරුණ එදිරිවීර

අදහස්