ලෝක පාපන්දු ඉතිහාසයේ පෙරළිකාරයෝ | සිළුමිණ

ලෝක පාපන්දු ඉතිහාසයේ පෙරළිකාරයෝ

 රුසියාවේ පැවැත්වෙන විසි එක්වැනි පාපන්දු ලෝක කුසලාන තරග මාලාව සඳහා ප්‍රබල රටවල් මෙන්ම ශ්‍රේණිගත කිරීම්හි පළමු රටවල් 50ට පහළින් රැඳීසිටින රටවල්ද තරග වදිනු දක්නට ලැබේ. ඒ ඔවුන් සුදුසුකම් ලැබීමේ තරගවලින් දස්කම් දක්වා අවසන් රටවල් 32 අතරට එක්විම නිසාය. ඒ අනුව මෙවර පැනමාව සහ අයිස්ලන්තය පළමු වතාවට ලෝක පාපන්දු ශූරතාව සඳහා තරගවැදීමට නියමිතය. ඊට අමතරව සෙනගාලය දෙවැනි වතාවටද, ඊජිප්තුව තුන්වැනි වතාවටද මෙවර තරගාවලිය සඳහා එක්ව සිටිති.

එහෙත් ලෝක පාපන්දු ශූරතා තරගමාලාව තුළදී නිතරම වැඩි අවධානයක් යොමු වන්නේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින රටවල් සහ මෙයට පෙර ශූරතාව දිනූ රටවල් කෙරෙහිය. ඒ අනුව මෙවරද ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින සහ කලින් ශූරතාව දිනූ ජර්මනිය, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, ප්‍රංශය සහ ස්පාඤ්ඤය වැනි රටවල් සම්බන්ධයෙන් අවධානය නිරන්තරයෙන්ම යොමුව තිබේ.

එහෙත් වුවත් ශ්‍රේණිගත කිරීම්හි පහළින් සිටියද, කුසලානය දිනා ගැනීමට නොහැකි වුවත් තරගාවලිය තුළ පෙරළිකළ කණ්ඩායම් කිහිපයක්ම අපට ලෝක පාපන්දු කුසලාන ඉතිහාසය පිරික්සීමේදී දක්නට ලැබේ.

1990 තරගාවලියට අප්‍රිකානු කලාපයෙන් එක්වූ කැමරූන් කණ්ඩායම කෙරෙහි තරගාවලිය ඇරඹීමට පෙර කිසිවෙකුගේ අවධානය යොමුව තිබුණේ නැත. එහෙත් තරගාවලියේ පළමු තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ කැමරූන් සහ කළින් (1986) ශූරතාව දිනූ ආර්ජන්ටිනාව අතරය තරගය අවසන් වූයේ ලෝක ශූර ආර්ජන්ටිනාව පරදා කැමරූනය 1-0ක් ලෙස ජයගැනීමෙනි. ඔවුන් සහභාගීවූ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගත් කැමරූනය දෙවැනි වටයේ තරගයෙන් කොලොම්බියාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් විය. එහිදී එංගලන්තය හමුවේ ගෝල 3-2ක් ලෙස පරාජයට පත්වුවත් ඔවුන් එම තරගමාලාවේදී දැක්වූ දස්කම් තවමත් විචාරකයින්ගේ පැසසුමට ලක්වේ.

1994 පැවති 15වැනි ලෝක ශූරතා පාපන්දු තරගාවලියේදී බල්ගේරියානු කණ්ඩායම පළමු වටයේදීම ප්‍රබල ආර්ජන්ටිනාව පරාජය කළ අතර දෙවැනි වටයේදී රුමේනියාවද පරාජය කිරීමට සමත් විය. තවත් ලෝක ශූර කණ්ඩායමක්වූ ජර්මනිය අර්ධ අවසන් පූර්ව වටයේදී 2-1ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණි බල්ගේරියාව තරගාවලියේ සිව්වෙනි ස්ථානය හිමිකර ගත්තේය.

කලින් පැවති යුගොස්ලාවියාව 1990 දක්වාම පාපන්දු ක්‍රීඩාවෙන් ප්‍රබල රාජ්‍යයක්වූ අතර එම රාජ්‍යය රටවල් 6කට කැඩී යෑමෙන් පසු 1994 ලෝක ශූරතාව සඳහා ඉන් එක් රාජ්‍යක් හෝ සහභාගිවුයේ නැත. එහෙත් 1998 ප්‍රංශයේ පැවති තරගමාලාව සඳහා ස්වාධීනවූ ‍ක්‍රොඑෂියාව සහභාගී විය. පළමු වටය පහසුවෙන් තරණය කළ ඔවුන් දෙවැනි වටයේදී රුමේනියාව 1-0ක් ලෙසද, අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රබල ජර්මානු කණ්ඩායම 3-0ක් ලෙසද පරාජය කරමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණියේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයටය. අවසන් පූර්ව තරගයේදීද පළමු අර්ධය අවසන්වන විට ඔවුන් 1-0ක් ලෙස පෙරමුණේ සිටියත් දෙවන අර්ධයේ ප්‍රංශයේ ලිලියන් තූලම් විසින් වාර්තා කරන ලද ගෝල දෙක නිසා ඔවුන්ගේ අවසාන මහා තරගයට තිබූ බලාපෙරොත්තු ගිලිහී ගියේය.

එහෙත් පළමු වතාවට ලෝක ශූරතා පාපන්දු තරගාවලියකදී ක්‍රොඑෂියාව කළ පෙරළිය විස්මය ජනකය.ජපානයේ සහ දකුණු කොරියාවේදී පැවති 2002 තරග මාලාවේදී පළමු වතාවට තරගාවලියට එක්වූ අප්‍රිකානු රාජ්‍යක්වූ සෙනගාල් කණ්ඩායමද අමතක නොවන සටහන් පාපන්දු ලෝක ශූරතා ඉතිහාසයේ තැබූ කණ්ඩායමකි. තරගාවලියේ පළමු තරගයේදීම කලින් ශූරයින්වූ (1998) ප්‍රංශය 1-0ක් ලෙස පරාජයට පත් කරමින් 1990දී කැමරූන් කණ්ඩායම මෙන්ම පාපන්දු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් විය. ඉන්පසුව උරුගුවේ සහ ඩෙන්මාර්කය සමග පැවති තරග දෙක ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් දෙවැනි වටය දක්වා සෙනගාලය පැමිණියේය. සෙවැනි වටයේදී ප්‍රබල ස්වීඩන් කණ්ඩායම 2-1ක් ලෙස පරාජයට පත්කරමින් අර්ධ අවස්නු පූර්ව වටය දක්වා පැමිණි අතර එහිදී සෙනගාලයේ ගමන අවසන් වුයේ තරගමාලාවේ තවත් පෙරළිකාර කණ්ඩායමක්වූ තුර්කිය හමුවේය.

ඒ ගෝල 1-0ක් ලෙසින් තරගයේ අතිරේක කාලයේදී පරාජය ලබමිනි. 2002 තරගමාලාවට තුර්කිය එක්වූයේ තරගාවලි ඉතිහාසයේ දෙවැනි වතාවටය. එහිදී දෙවැනි වටය දක්වා පැමිණි ඔවුන් තරගමාලාව තුල ප්‍රබල පෙරළියක් සිදුකරනු ඇතැයි විචාරකයින් බලාපොරොත්තු තබා සිටි ජපානය 1-0ක් ලෙස පරාජය කිරීමට සමත් විය. අවසන් පූර්ව වටයේදී ප්‍රබල බ්‍රසීලය අතින් ගෝල 1-0ක් ලෙස පරාජය වුවද සත්කාරක රාජ්‍යක්වූ දකුණු කොරියාව පරාජයට පත්කරමින් තරගාවලියේ තුන්වැනි ස්ථානයට පත්වීමට සමත් විය. එබැවින් මෙවර තරගාවලිය සඳහා පළමු වතාවට එක්වී සිටින අයිස්ලන්තය සහ පැනමාව මෙන්ම මෙයට කලින් පෙරළි කළ සෙනගාලයද, නිතර අවධානයට ලක් නොවන ඊජිප්තුව, ටියුනීසියාව, සර්බියාව, කොස්ටාරිකා සහ පේරු වැනි රටවල්ද යම් පෙරළියක් කළ හැකිය. එය මෙවර ලෝක පාපන්දු ශූරතාවලියේ සැමගේ අවධානය යොමුවන සිදුවීම වීමටද පිළිවන.

ඩබ්.ආර්.කුමාර

අදහස්