බච්චන් - රිෂී සුසං­යෝ­ගය | සිළුමිණ

බච්චන් - රිෂී සුසං­යෝ­ගය

සමාජයේ වැඩි දෙනෙක් කතා බස් කරන්නේ නැන්දණියක හා ලේළියක එක වහලක් යට ජීවත්වීම පිළිබඳව ය. එහෙත් 102 හැවිරිදි වියපත් පියකු හා හැත්තෑ පස් හැවිරිදි පුතකුගේ එක්ව වාසය කෙසේ වේවිද? 102 නොට් අවුට් සිනමා කතාව කරළියට ගෙන එන්නේ එවන් පුවතකි‍.

දන්තාත්‍රයා වකාරියා, බාබුලාල් වකාරියා මේ පිය පුතු දෙදෙනා ය. දන්තාත්‍රයා ලෙස රඟන්නේ හැත්තෑපස් හැවිරිදි වියේ පසුවන මෙගා තරුව අමිතාබ් බච්චන් ය. හැත්තෑ පස් හැවිරිදි පුතු බාබුලාල්ට රිෂි කපූර් පණ පොවයි. අමිතාබ් - රිෂි සිනමා තරු සුසංයෝගය රසිකයන්ට කෙදිනත් රසාලිප්ත අත්දැකීමකි. ඔවුන් මෙසේ යළි තිරයෙන් දක්නට ලැබෙන්නේ විසිහත් වසරකට පසුව ය. අවසන් වරට ඔවුන් දක්නට ලැබුණේ 1991 තිරගත වූ ‘අජුබා’ සිනමා පටයෙනි. අමර් අක්බර් ඇන්තනි, කභි කභී, නසීබ්, කූලී දෙදෙනා එකට රඟපෑ ජනප්‍රිය සිනමා පට කිහිපයකි.

මෙතෙක් අම්තාබ් සහ රිෂි, මිතුරන් හෝ සහෝදරයන් ලෙස රඟපා ඇතත් පිය පුතු ලෙස රඟන්නේ ප්‍රථම වරටය. වයස් භේදයකින් තොරව රස විඳිය හැකි මේ සිනමා ප්‍රහසනය මැයි 4 වැනිදා තිරගත විණි.

දත්තාත්‍රයා වකාරියා (බච්චන්) ට අවශ්‍ය කරන්නේ ලොවේ වයස් ගතම මිනිසා ලෙසින් 118 හැවිරිදි චීන ජාතිකයා තැබූ වාර්තාව බිඳ හෙළීමට ය. ඔහුගේ දීර්ඝායුෂ ලැබීමේ රහස වූයේ ඒකාකාරී මිනිසුන් සමඟ දිවි නොගෙවීමයි. එහෙත් 102 හැවිරිදි දත්තාත්‍රයාට ඒ සඳහා තිබෙන එකම බාධකය වන්නේ තම පුතු ය. දත්තාත්‍රයාගේ කායික වයස අවුරුදු 102 ක් වුව ද සිතින් පසු වූයේ වයස විසි හයේ ය. එහෙත් පුතු බාබුලාල් ජීවිතයේ සුන්දරත්වය අත් විඳින්නේ නැත. ඔහු වියපත් වීම පිළිකුල් කරන්නෙකි. එනිසා දත්තාත්‍රයාගේ සිහිනය ඉන් බිඳ වැටෙන අතර ඔහු ඉන්පසු උත්සාහ ගන්නේ පුතුගේ අසුබවාදී හැඟීම් ඉවත් කිරීමටයි. මේ වෑයමේදී ඔවුනගේ ස්වභාවයන්, සබඳතාව වෙනස් වන්නේ නරඹන සියල්ලන් සිනා ගස්සවමිනි.

සිනමා පටයට පාදක වී ඇත්තේ ඒ නමින් ම නිමැවුණු ගුජරාටි නාටකයකි. වැඩිහිටි තරු යුවළක් විශේෂයෙන් ම බොලිවුඩ් සිනමා පටයක කේන්ද්‍රගත චරිත වන්නේ ඉතා කලාතුරකිනි. අමිතාබ් සහ රිෂි දෙදෙනාම සිටින්නේ සැබෑ වයසට වඩා පිටුපසිනි.

රූගත කිරීම් අරඹන විට අමිතාබ් හැත්තෑ පස් හැවිරිදි වියේ පසුවූ අතර රිෂි හැට පස් වියේ පසුවිය. සිනමා පටයේ වයස් සීමාවට ළඟාවීම සඳහා වේෂ නිරූපණ ශිල්පීන්ට පැය හතක දිගු කාලයක් දිනපතා වැය කිරීමට සිදුවිණි. රූගත කිරීම් සඳහා පැය හයක කාලයක් වෙන් වූ අතර අධ්‍යක්ෂ උමේෂ් ශුක්ලා ජ්‍යෙෂ්ඨ නළුවන්ට සිනමා පටයේ රංගනය මේ අත්දැකීම එපා වේ යැයි සිතුව ද දෙදෙනාම දායක වී ඇත්තේ මහත් සතුටිනි. ඔවුන් පෙරවරු පහ වනවිට දර්ශන තලයට පැමිණියේ ය.

දත්තාත්‍රයා සඳහා අමිතාබ්ට දැමූ දත් කුට්ටම ගැටලුවක් නොවුණත් රිෂිට නම් තොප්පිය ගැටලුවක් විය. රූගත කිරීම්හි නිරත වූයේ ඉහින් කනින් දහදිය බේරමිනි. දිනපතාම ඔහුට අඩු වශයෙන් පැය 12 ක කාලයක් හෝ තොප්පිය පැලඳ රංගනයෙහි යෙදීමට සිදුවිය.

මෙය ගුජරාටි කතාවක් නිසා නිවෙස තුළ දර්ශන රඟපෑමේදී නළුවන් දෙදෙනාට පාවහන් පැලඳීමට අවසර ලැබුණේ නැත. ගුජරාටි වැසියන් නිවෙසට පාවහන් පලඳින්නේ නැති නිසා චරිත වඩාත් යථාර්ථවාදී කිරීමට අධ්‍යක්ෂවරයා පාවහන් පැලඳීම ගෘහස්ථ ජවනිකාවලදී තහනම් කළේ ය. එය මේ ජ්‍යෙෂ්ඨ නළුවන් දෙදෙනා පිළිගෙන ඇත්තේ ඉතා නිහතමානීවය.

සෞම්‍යා ජොශී ලියූ ගුජරාටි නාටකය 102 නොට් අවුට් උමේෂ් ශුක්ලා ‘ඕ මයි ගෝඩ්’ ජනප්‍රිය සිනමා පටයේද අධ්‍යක්ෂවරයා විසින් බොලිවුඩයට රැගෙන ආවේ ය.

ඔහු දත්තාත්‍රය චරිතය සඳහා මුල සිටම සිත්හි මවාගෙන සිටි නළුවා අමිතාබ් ය. ඔහු අභි‍ෙෂ්ක් බච්චන්ට (අමිතාබ් පුතු) අමිතාබ් මුණ ගස්සන ලෙස ඉල්ලා සිටි අතර ශුක්ලාගේ සිහිනය සැබෑ කරමින් දෙදෙනාගේ හමුව සිදුවිය. අමිතාබ් ද රිෂි සමඟ රඟපෑමට හා දත්තාත්‍රයා චරිතයට එක පයින් කැමැති විය.

සිනමා පටයේ බාදුම්බා ගීතය ද අමිතාබ්ගේ පද රචනයකි. අධ්‍යක්ෂවරයාට බච්චන් හා කපූර් රැඟූ පැරැණි සිනමා පටයක ජනප්‍රිය ගීතයක් මීට යොදා ගැනීමට අවශ්‍ය වී තිබුණ ද අමිතාබ්ට අලුත්ම ගීයක් එක් කිරීමට, වුවමනා විය. ‘බාදුම්බා’ ගීය නිර්මාණය වූයේ ඒ අනුව ය. එම ගීය ගැයීමට අමිතාබ් රිෂි දෙදෙනාම සහභාගි වූහ. ‘බාදුම්බා’ ගීතයේ අදහස ඔහුට පැමිණ ඇත්තේ ‘වාව්’ ‘ෂඃ’ වැනි අසීමිත සතුට ප්‍රකාශ වන වදන් සවනත වැකුණ විට ය.

සිනමා පටයේ රූගත කිරීම් දෙවරක් ම ප්‍රමාද විය‍. බාබුල්ලාගේ චරිතයට මුලින් ම තෝරාගෙන සිටියේ පරේෂ් රාවල් ය. එහෙත් පරේෂ් ලෝක් සභාවට තේරුණු පසු කාලය පිළිබඳ ගැටලු පැන නැඟුණ නිසා සිනමා පටයෙන් ඉවත් විය. පසුව රිෂි කපූර් තෝරා ගැනිණි.

‘බාදුම්බා’ ගීතයේ රූගත කිරීම් යෙදී තිබුණේ හරියටම සුපිරි තාරකාව ශ්‍රී දේවියගේ අකල් මරණයෙන් බොලිවුඩය කම්පිත වූ දිනයේදී ය. එදින අමිතාබ්, රිෂි ඇතුළු 102 නොට් අවුට් කණ්ඩායම ඇයට උපහාර පිණිස රූගත කිරීම කල් දැමීය.

‘102 නොට් අවුට්’ සිනමා පටයේ ජිමිත් ත්‍රිවේදි ද ප්‍රධාන චරිතයක් රඟන්නේ ය. හෘද රෝග විශේෂඥයකු වන නළු වෛද්‍ය මුකේෂ් හරියවාලා සිනමා පටයේ රඟන්නේ ස්නායු රෝග විශේෂඥයකුගේ චරිතයයි.

සිනමා පටයේ පළමුවැනි නිල තිරගත කිරීමට රේඛා, ප්‍රේම් චොප්රා ද කපූර් පවුලේ සාමාජිකයන් සමඟ සහභාගි වූහ. ශුක්ලා පවසන්නේ සිනමා පටය නැරඹූ පසු රසිකයන් ජ්‍යෙෂ්ඨ නළුවන් දෙදෙනා නිවෙසට රැගෙන යාමට තරම් මනාපයක් දක්වනු ඇති බව ය. ඒ කියමනෙහි සත්‍යකතාව මැයි 4 වැනි දින සිට සිනමා පටය වටා එක් ‍රොක් වන ප්‍රේක්ෂක සමූහයගෙන් ම සිතාගත හැකියි.

Comments