ජය­ග්‍ර­හ­ණය ගැන ලොකු විශ්වා­ස­යක් තිබුණේ නැහැ | සිළුමිණ

ජය­ග්‍ර­හ­ණය ගැන ලොකු විශ්වා­ස­යක් තිබුණේ නැහැ

මෙරට රූපවාහිනී නාළිකා සංවිධානය කළ අවුරුදු උත්සවවල විවිධ අංග අතර කාගේත් කතා බහට ලක්වුණු විශේෂාංගයක් තමයි අවුරුදු ‘කුමරා හා කුමරි’ කියන්නෙ. ඒ අතර දෙරණ නාළිකාව සුවිශේෂියි.

ලංකාවේ සිවුදෙස සිටින කඩවසම් මෙන් ම තාරුණ්‍යයෙන් පිරිපුන් දහස් ගණනක් තරුණයන් අතුරින් දෙරණ බක්මහේ අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබූ ඒ කඩවසම් තරුණයා ගැනයි මේ කියන්නට යන්නේ. ඔහු තමයි සචින්ත ආටිගල. භද්‍ර යෞවනයේ පසුවන මේ තුරුණු හදවතේ මෝදුවන අදහස් මොනතරම් නම් සොඳුරුද? දහස් ගණනක් තරුණයන් අතරින් කිරුළ දිනාගත් ඒ අසිරිමත් මොහොතේ ඇතිවුණු හැඟීම් ගැන කියන්නට රසඳුන හා සම්බන්ධ වුණ සචින්තගේ අදහස් මේ.

සචින්ත මෙවර දෙරණ වසන්තයේ කුමරා බවට අභ‍ිෂේක ලැබුවේ ඔයා.. මොකද ඒ ගැන හිතෙන්නෙ..

ඇත්තට ම මට ගොඩක් සතුටුයි. මොකද මම මෙවර අවුරුදු කුමරා ලෙසට අභිෂේක ලැබුවේ ලංකාවේ තිබෙන ප්‍රමුඛම පෙළේ රූපවාහිනී නාළිකාවකින්. ඒ නිසා මගේ ජීවිතයට ලැබුණු වටිනා අවස්ථාවක් ලෙස මෙය දකිනවා. ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.

ජයග්‍රහණය පිළිබඳ තරගයේ මුල සිටම ඔබට විශ්වාසයක් තිබුණාද?

ඒ ගැන නම් ලොකු විශ්වාසයක් ඇත්තටම තිබුණේ නෑ. මොකද අවසන් 12 දෙනා අතරට තේරී පත්වූ තරගකරුවන් සියලු දෙනාට හොඳ තරගයක් දිය හැකි වගේම එක හා සමාන රූප සොබාවක් තිබුණු අය හිටියේ. හැබැයි රූපය පමණක් ම නෙමෙයි මෙහිදී බැලුවේ. ඒ නිසා අන්තිම පස්දෙනා අතරට මම තේරී පත්වුණාට පසුව නම් ජයග්‍රහණය පිළිබඳ ‍‍පොඩි විශ්වාසයක් තිබුණා. එයට හේතුව තමයි කඩවසම් බව හා හැඩකාර කොණ්ඩය කියන අංගයන් කෙරෙහිද විනිසුරු මඬුල්ලේ අවදානයට ලක්වීම. ඉතිං ඒ අනුව නම් මම දෙරණ අවුරුදු කුමරා විදිහට කිරුළු දරයි කියන විශ්වාසයක හදවතේ ඇතිවුණා.

ජයග්‍රහණයත් සමඟ ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. නිරූපණ ක්ෂේත්‍රයේ අලුත් වැඩ කිහිපයකටත් ඇරයුම් ලැබුණා. මෙය මගේ ජීවිතයේ තවත් එක් කඩඉමක් විදිහටයි මා දකින්නේ.

මීට පෙර මෙවැනි තරග සඳහා ඔබ ඉදිරිපත් වෙලා තිබෙනවද?

ඔව්. 2016 වසරේදි ‘ITN’ අවුරුදු කුමරා තරගය සඳහා ද මා ඉදිරිපත් වෙලා තියෙනවා වගේම ජයග්‍රහණය ද ලබලා තිබෙනවා.

INT අවුරුදු කුමරා ලෙස ද මීට පෙර අභිෂේක ලැබූ ඔබ මෙවර දෙරණ නාළිකාව අවුරුදු කුමරා තරගයට ඉදිරිපත්වීමට විශේෂ හේතුවක් තිබෙනවද?

දෙරණ කියන්නේ රියැලටි කලාව වෙනස් කරපු විශිෂ්ට නාළිකාවක්. ඒ වගේම විශ්වාසනීයත්වය අතින් ද ඉහළින් ම ප්‍රේක්ෂක මනාප දිනාලත් නාළිකාවක්. ඉතින් ඒ අනුව ගොඩක් දෙනෙක් මට කිව්වේ මෙවර දෙරණ අවුරුදු කුමරා තරගයට අයදුම් කරන්නට කියලා. ඒ අනුව තමයි මෙවර වසන්තයේ අවුරුදු කුමරා තරගයට දෙරණ නාළිකාව මා තෝරා ගත්තේ.

සචින්තගේ පෞද්ගලික තොරතුරු ගැනත් කෙටියෙන් දැනගන්නට කැමතියි?

සචින්ත ලක්ෂාන් ආටිගල තමයි මගේ සම්පූර්ණ නම. හෝමාගම උපන් මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කොළඹ මහානාම විද්‍යාලයෙන්. සා.පෙළ සිට අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වුණා. පවුලේ එකම පිරිමි දරුවා විදිහට මට එක නැගණියක් ඉන්නවා.

දැනට වේවැල්කඩුව NSBM හි IT උපාධියක් හදාරනවා. ඉදිරි බලාපොරොත්තු මොනවද?

IT පැත්තෙන් යා හැකි උපරිමය යෑමත්, නිරූපණ ක්ෂේත්‍රයේ Fation modll කෙනෙක් විදිහට ඉදිරියට යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

 

Comments