පැවැත්ම පිළිබඳ ආකල්පය | සිළුමිණ

පැවැත්ම පිළිබඳ ආකල්පය

 අවබෝධ කළයුතු ධර්මයන් අතර අවබෝධයට අතිශයින් දුෂ්කර ධර්මයක් වේ නම් සසර පැවැත්මේ ස්වභාවය ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගනී. ලෝකය වශයෙන් අප විසින් අත්දකිනු ලබන රූප ශබ්දාදි බාහිර ආරම්මණ සහ චක්ඛු සොත ආදී අභ්‍යන්තරික ආයතන සියල්ල ස්කන්ධයන් තුළ විද්‍යමාන වන ධර්මයන් ය. එනම් ස්කන්ධයන්ගේ පැවැත්මක් නොවේ නම් මේ කිසිවක් පිළිබඳ දැනීමක් ඇති කර ගැනීමට නොහැකි වේ. එසේම බාහිර වශයෙන් ලෝකයක පැවැත්ම සත්ත්වයාට කිසිදු ගැටලුවක් ද ඇති නොකරනු ඇත. මෙහි දී සත්ත්ව යන ස්වභාවය යම් තැනක විද්‍යමාන වන්නේ ද ඒ සමඟ ම ගැටලු ද නිර්මාණය වනු ඇත.

• ගැටලු

ලෝකය තුළ එක් ස්කන්ධයක හෝ පැවැත්මක් නොවේ නම් කිසිදු ගැටලුවක් ද නොවේ. වටහා ගැනීමට අපහසු හා දුෂ්කර ස්වරූපය මේ පැවැත්ම පිළිබඳ අප තුළ ගොඩනඟාගත් සංකල්ප සමූහය යි. පැවැත්ම පිළිබඳ අප තුළ පවත්නා තේරුම් ගැනීමේ ව්‍යාකූල ස්වරූපය බොහෝ ගැටලු සඳහා මාවත විවර කරනු ඇත. ප්‍රථමයෙන් ම ජීවිතය සහ ලෝකය පිළිබඳ ගැඹුරු චින්තනයක් ගොඩනඟා ගෙන මේ සඳහා පිළිතුරු සෙවිය යුතු ය. සංකල්ප සමූහය, ප්‍රපංචයන් සහ සත්‍යය වශයෙන් ම විද්‍යමාන වන ස්වරූපයන් පිළිබඳ වෙනස තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු ය. එහෙත් කිසිදු විටෙක තමන් විසින් ඒ ඒ කරුණු අරබයා ගොඩනගාගත් සංකල්ප තහවුරු කිරීම පිණිස පමණක් උත්සහ නොකිරීම අත්‍යවශ්‍ය කරුණකි.

• දෘෂ්ටිය

මනසේ ස්වරූපය නම් වරක් ගත් දෘෂ්ටිය අතහැරීම ප්‍රතික්‍ෂේප කිරීම යි. මිනිසාට නිදහස් චින්තනයක් ගොඩනගා ගැනීම සඳහා බාධක වන්නේත් ඒ ස්වරූපය යි. තමන් ලෝකය පිළිබඳ හෝ පැවැත්ම පිළිබඳ ඇතිකොටගත් සංකල්ප සමූහය හෝ තමන් විසින් ලෝකය සංජානනය කරන අයුරු පමණක් ඒකාන්ත සත්‍යය වශයෙන් ගෙන කරුණු ඉදිරිපත් නොකළ යුතු ය. බෞද්ධ දර්ශනය තුළ බුදුරදුන් ප්‍රකාශ කළ දේ පමණක් ඒකාන්ත සත්‍යය වශයෙන් ගෙන උන්වහන්සේ කරුණු ඉදිරිපත් නොකළ සේක. ඉදමේව සච්චං මොඝමඤ්ඤන්ති මෙය පමණක් සත්‍යය, අනෙක් සියල්ල හිස් ය හෝ අසත්‍යය වශයෙන් කරුණු ඉදිරිපත් කිරීම දෘෂ්ටිගත වීමකි. යම් විටෙක දෘෂ්ටි භජනය කරන්නේ නම් එහි දී සත්‍යය ස්වරූපය විද්‍යමාන නොවේ. බුදුරදුන් විසින් අරණ විභංග සූත්‍රයේ දී එක ම කරුණ අරබයා විවිධ පිරිස් විසින් ඔවුන්ගේ ස්වරූපයට අනුරූපීව ව්‍යවහාරයන් භාවිත කරන අයුරු පෙන්වා දී ඇත. පාත්‍රය යන්න හැඳින්වීම සඳහා භාවිත වන නාමයන් කීපයක් දක්වා ඇත. එහි දී ඒ සියල්ල පාත්‍රය යන්න හැඳින්වීම සඳහා පමණක් ව්‍යවහාර කොට ඇත. එහි දී තමා විසින් මීට ප්‍රථමයෙන් අසා ඇති නාමය පමණක් එහි දී සත්‍යය වන බව පැවසීම දෘෂ්ටිගත වීමක් සහ තවත් බොහෝ විවාදයන් ඇති කිරීමට එම දෘෂ්ටිය හේතු වන බවත් එය වළක්වා ගැනීම සඳහා එය ව්‍යවහාර මාත්‍රයක් පමණක් වන බව දැන ව්‍යවහාර මාත්‍රයෙන් භාවිත කරන්නට උපදෙස් දී ඇත (වොහාර මත්තෙන සො වොහරෙය්‍ය).

• මනස

ධර්මය අවබෝධ කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්වන්නේ මනස තුළ ඒ ඒ කරුණු අරබයා ගොඩනගා ගන්නා සංකල්ප සමූහය යි. සත්‍යය අවබෝධ කිරීම සහ ප්‍රකාශ කිරීමෙහිලා විග්‍රහ කළ ධර්මය තුළ ප්‍රකාශිත කරුණු ඇතැම් විට භාවිත කරනුයේ ද තම සංකල්පය ම තහවුරු කිරීමට ය. පැවැත්ම සහ එයින් මිදීමේ මාවත විවරණය කොටගැනීම අපහසු වන්නේ මෙවන් ප්‍රපංච සමුහයන් මනස තුළ ගොඩනැඟෙන හෙයිනි. ධර්මතාවයන්, සත්‍යය, සංකල්ප, ප්‍රපංච යන සියල්ල පිළිබඳ වෙන් වෙන්ව තම අවබෝධය තියුණු කිරීමට උත්සහ කළ යුතු ය.

තමා වටා තමන් විසින් ම ගොඩනඟාගත් පවුරු සීමාවන් ඉක්මවා යෑමට උත්සහවත් විය යුතු ය. ආත්ම සංකල්පය එවැන්නකි. ආත්ම ස්වරූපය ඉක්මවා චින්තනය දියුණු කිරීමට යමෙක් සමත් වන්නේ නම් පැවැත්මෙන් මිදීමේ පළමු පියවර එය වන්නේ ය.

• ආත්මය

සෝතාපන්න වීම යන්න මෙහි අර්ථය යි. සන්තානය තුළ අනුසය වශයෙන් ඇති ක්ලේශ ධර්මයන් දෙකක් මෙහිදි ප්‍රහීණ වේ. එනම් දිට්ඨි, විචිකිච්ඡා යන ධර්මයන් ය. සක්කාය දිට්ඨි සහ සීලබ්බතපරාමාස යනු දිට්ඨිය ම බව දත යුතු ය. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යනුවෙන් කරුණු තුනක් දක්වා තිබුණ ද ධර්ම වශයෙන් දිට්ඨි, විචිකිච්ඡා යන්න පමණක් විද්‍යමාන වේ. ජීවිත පැවැත්ම අවබෝධ කිරීමට නම් තම චින්තනය පුළුල් කොටගත යුතු ය. මනස නිරතුරුව සන්සුන් හා සැහැල්ලු ස්වරූපයකින් තබා ගැනීම අත්‍යාවශ්‍යය වේ. ලෝකය තුළ විද්‍යමාන දේ සහ තමන් වශයෙන් ගොඩනගාගත් ආත්මය යන දෙක වෙන් වෙන් වශයෙන් දැක ගත යුතු ය. ස්කන්ධයන් හැරුණු කොට මම වශයෙන් විද්‍යමාන පුද්ගල ස්වරූපයක් නොවේ. අසහනය, බිය, ගැටුම, අතෘප්තිය යන මේ සියල්ල මම යන්න හා බැඳි පවතී. මම යන්න බැහැර කොට ලෝකය දැකිය හැකි නම් එහි සුන්දරත්වය සැහැල්ලු මනසින් නිරතුරුව අත්විඳිය හැකිය. ථෙර ථෙරී ගාථා සහ අපදානයන් මගින් මම යන ස්වරූපය බැහැර කළ විට චින්තනය කෙතරම් සැහැල්ලු වන්නේ ද යන්න සහ චින්තනය ගැඹුරු වන අයුරු ද අවබෝධ කළ හැකි ය. අපදානයන් සහ ථෙර ථෙරී ගාථා මගින් විද්‍යමාන වන්නේ මම යන දෘෂ්ටිය බැහැර කළ විට චින්තනය කෙතරම් නිර්ව්‍යාජ වන්නේ ද යන්නයි.

• මම

ඇතැම් විට මම යන දෘෂ්ටිය එසේ ම තබාගෙන ගැඹුරු ධර්ම කරුණු දැන සිටින උදවිය ලෝකයේ සුන්දරත්වය දැකීමට බිය වන අයුරු සහ සැබෑ දර්ශනය අවබෝධ කළ උදවිය ලෝකය පිළිබඳ තම නිර්ව්‍යාජ චින්තනය ඉදිරිපත් කළ අයුරු මෙම අපදානයන්ගෙන් විද්‍යමාන වේ. එහිදි අප විසින් දෘෂ්ටිගත වීමේ අනතුර දැකිය යුතු ය. නිදහස් චින්තනය සහ ධර්මය අතර පවත්නා බැඳිම දැකීමට තරම් හෝ මානසික හික්මීමක් තමාට තිබිය යුතු ය. ලෝකයේ පවත්නා සුන්දර දේ ඒ ස්වරූපයෙන් ම වර්ණනා කිරීමට නුතනයේ ධර්මය කටපාඩමින් පමණක් දැනගත් උදවිය බිය වන්නේ කුමට ද? එය ඇතැම් විට ඔවුන් විසින් තම ගම්භීරත්වය වශයෙන් ගොඩනඟාගත් මානය අතහැරීමට ඇති අකමැත්ත නිසා සිදු වන්නකි. තවත් ස්වරූපයකින් පවසන්නේ නම් ඇතැම් විට ධර්මය පිළිබඳ ගැඹුරු කරුණු එකතු කිරීම පමණක් පැවැත්මෙන් මිදීම පිණිස උපකාරී නොවන බව දැක්විය හැකිය. එහෙත් සැබෑ ලෙසින් ධර්මය අවබෝධ කළ තැනැත්තා මේ සියල්ලෙන් පරිපූර්ණ බව දත යුතු ය. සුන්දර දෙය සුන්දර ලෙසින් වර්ණනා කිරීමට හෝ විඳිමට සැබැ ලෙස ධර්මය අවබෝධ කළ තැනැත්තා කිසිවිට බිය නොවන බව දත යුතු ය. ආදානග්‍රාහීව සියලු දේ ප්‍රතික්‍ෂේප කිරීම හෝ පිළිගැනීම අවබෝධයට අයත් නොවන බව දත යුතු ය. එසේ ම එක් අන්තයක් පමණක් භජනය කරමින් අනෙක් සියල්ල විවේචනය කිරීම ද අවබෝධය නොවන බව දත යුතු ය.

• ලෝකය

ලෝක පැවැත්ම අවබෝධ කිරීම නිදහස් මනසින් සිදුකළ යුතු ය. බුදුරදුන් ලෝකය ප්‍රත්‍යක්‍ෂ කළේ කෙසේ ද? එය උන්වහන්සේගේම වදනින් මෙසේ ප්‍රකාශ කොට ඇත. ‘‘ උප්පාදාවා තථාගථානං අනුප්පාදාවා තථාගථානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිථිතා ධම්ම නියාමතා ඉදප්පච්චයතා...’’ තථාගතයන් වහන්සේ ලොව උපන් කල්හිත් නූපන් කල්හිත් හේතු ඵල ධර්මය වනාහි ධර්ම නියාමයක් වශයෙන් දක්වා ඇත. උන්වහන්සේ එය අවබෝධ කොට ලෝකයට දේශනා කිරීම පමණක් සිදු කොට ඇත. ලෝකයේ කිසිවක් වෙනස් කිරී

මට හෝ ඉක්මවා යෑමට කටයුතු කර නැත. ලෝකයට එසේ පවතින්නට ඉඩ හැර එහි යථාස්වරූපය තම නුවණින් දැකගෙන ඇත. අන්‍යන්ට උපදෙස් දෙනු ලැබූයේ ද එය පවත්නා ස්වරූපයෙන් ම අවබෝධ කිරීමට ය.

චක්‍රයක් තුළ කෙතරම් කාලයක් ගමන් කළ ද එය කිසිදා අවසන් නොවේ. එසේ ම එක ම ස්ථානයන් නැවත නැවත පසු කරන හෙයින් එහි කිසිදු විශේෂත්වයක් ද නැත. එහෙත් තමා විසින් තම සංකල්ප සමූහය ගොඩනගාගෙන තිබෙන්නේ තමන් බොහෝ කාලයක් බොහෝ දුරක් ගමන් කරන ආකාරයට නම් එහි සත්‍යය ස්වභාවය නොදැක සැමදා අලුත් යමක් ම සංජානනය කරයි. සසර පැවැත්ම ද එවැන්නකි. එක ම ආරම්මණ සැමදා අත්විඳ තිබුණ ද මනස තුළ එය නව ස්වරූපයකින් අත්විඳින්නේ නම් නැවත නැවත ඒ තුළ ම සිත පිහිට යි. ධම්මපදය තුළ මේ කරුණ නිදර්ශන සහිතව දක්වා තිබේ. නොනිදන පුද්ගලයාට රාත්‍රිය දීර්ඝය, වෙහෙස වු පුද්ගලයාට යොදුන ද බොහෝ දුර ය.

• පැවැත්ම

එසේ ම ධර්මය නොදන්නාට සසර ද දීර්ඝය. මෙහි දක්වා ඇති අර්ථය ඉතා ගැඹුරු සහ සියුම් වන අතර තියුණු චින්තනයක් නොමැත්තේ නම් එහි දැක්වු කරුණු ඒ ස්වරූපයෙන් ම දැක ගැනීමට නොහැකි වේ. එහි යථාර්ථය නොදැකීම අවිද්‍යාව වශයෙන් දක්වා ඇත. මේ සඳහා නිදර්ශන බොහෝ සෙයින් බුදුරදුන් දක්වා තිබුණේ ද එය යථාස්වරූපයෙන් දැකීමට නොහැකි වී ඇත. සංයුත්ත නිකායේ ඔපම්ම සංයුත්තයේ සහ අනමතග්ග සංයුත්තයේ මේ ස්වරූපය දක්වමින් බොහෝ කරුණු විග්‍රහ කොට ඇත.

නුතනයේ තමන්ට භාවිත කරන නාමයෙන් ම එක ම ස්ථානයේ ඒ නමින්ම පූර්වයේ කෝටි

ප්‍රකෝටි වාරයක් ඉප දී ඇති බව දක්වා ඇත. එසේ ම එම ස්ථානයේ ම වෙනත් නාමයන්ග

ෙන් එවැනිම කාල ප්‍රමාණයන් ඉප දී ඇත. පෘතුවියේ වෙනත් ස්ථානයන්හි කොපමණ වාර ගණනක් ද? වෙනත් සත්ත්ව නිකායන්වල ඉපදුණු වාර අනන්තය. ඒ තුළ එක ම චක්‍රයේ නැවත නැවත ගමන් කිරීමක් විනා වෙන කිසිවත් නොවේ. මේ ජීවිතයේ තමාට මව, පියා, භාර්යාව, ස්වාමියා, දරුවන්, සහෝදරයන්, සහෝදරියන් වූ පුද්ගලයා ම මීට පූර්වයේ අවස්ථා කෝටි ප්‍රකෝටි ගණනක දී මේ ස්වරූපයෙන් ම සම්මුඛ වී ඇත. පැවැත්මේ ස්වරූපයන් මේ කරුණු අනුසාරයෙන් දත යුතු ය. එහෙත් එය දැකිය යුතු වන්නේ කථාවක්

වශයෙන් නොව ගැඹුරු චින්තනයකින් ය. එය දුක්වීමට, බිය වීමට, සතුටු වීමට හෝ අයත් නොවන බව දත යුතු ය. අවබෝධය සඳහා පමණක් අදාළ වේ. නිමාව හෙවත් චක්‍රය බිඳීම සඳහා තමා විසින් ලෝකය පිළිබඳ ගැඹුරු චින්තනයක් ගොඩ නඟා ගත යුතු ය. මෙම කරුණු පිළිබඳ කියවීම, මතකයේ රඳවා ගැනීම, ප්‍රපංච ගොඩනැගීම, තර්ක විතර්ක කිරීම යන සියල්ල පවැත්ම සඳහා පමණක් හේතු වන අතර එයින් මිදීමට නම් මේ සියල්ල දෙස විමසිලිමත් බවකින් දැක ඥානය උපදවා ගත යුතු ය.

ජී.ජී.ජී. පුෂ්පකුමාර්

අදහස්