වෛෂ්ණාවී මේ සංස්කෘ­තික පොළොවෙන් ගැල­වුණේ ඇයි? | සිළුමිණ

වෛෂ්ණාවී මේ සංස්කෘ­තික පොළොවෙන් ගැල­වුණේ ඇයි?

සිනමා කෘතියක අන්තර්ගතයට වඩා ඉදිරිපත් කරන විලාසය පිළිබඳව මොවුන් දෙපළ වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනී යයි. එනිසා යථාර්ථය නිරූපනය කිරීමට උනන්දුවක් දක්වන සිනමා කරුවන් ලෙස හැඳින්වීම වඩා, සිනමාවේ විලාසිතාමය විචිත්‍රවත් ගුණය රැකගනිමින් සිනමාකරණයේ යෙදෙන්නන් ලෙස මොවුන් හැඳින්වීම වඩාත් යුත්ති යුක්තය. මේ ගුණය ආචාර්ය පීරිස්ගේ සියලුම සිනමා කෘතීන්වල අඩු වැඩි වශයෙන් දැකිය හැකිය.

ලොව මේතාක් ජීවත්ව සිටින වයෝවෘද්ධතම සිනමා කරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. අඩ සිය වසකට අධික කාලයක් (71වසරක්) ගෙවා ඇති සිංහල සිනමා වංශකතාවේ ලාංකික ජනවිඥානය තුළ තියුණු බලපෑමක් ඇති කළ සිනමාවේදියා ආචාර්ය පීරිස් යැයි පැවසීම අතිශයොක්තියක් නොවේ. එනිසා පසුගියදා (අප්‍රේල් 05 වැනිදා) 99 විය ගෙවූ එතුමන්ට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් 'වෛෂ්ණාවී' සිනමාපටය ගැන කතා කිරීම ආරම්භ කරමු.

'වෛෂ්ණාවී' සිනමා පටයේ කතා සාරාංශය මෙසේය,

"නවසිය තිස්ගණන්වලට අයත් සමාජ පසුබිමක් මින් නිරූපණය වන අතර, මෙහි ප්‍රධාන කතා නායකයා ඔසඳාය. ඔසඳා යනු රූකඩ සන්දර්ශන පවත්වන ශීල්පී පරපුරකින් පැවත එන තරුණයෙකි. ඔහු මාපියන් අහිමි ව සිය අත්තම්මා සමඟ ජීවත් වන්නෙකි. ඔහුගේ කිට්ටුම ඥාතියා මාමාය. ඔහුට පුතකු හා දියණියක් සිටී. මාමා හා සහෝදරයා සමඟ එක්ව රූකඩ පෙන්වීම මඟින් ඔවුන් සිය ජීවිකාව සරි කර ගනී. කුඩා කල පටන් පියා හා මව අහිමි ඔසඳා හදා වඩා ගෙන ඇත්තේ මාමාය. රුචිරා යනු ඔසඳාගේ නෑනාය. මාමාගේ දියණිය වූ ඇය ඔසඳාගේ නිවසට නිතර යන එන අතර, ඇය ඔසඳාට දැක්වූයේ අසීමිත ලෙන්ගතු කමකි. හදිසියේම කපුවකු ඔසඳාට විවාහ යෝජනාවක් ‍ගෙන එන අතර, ඇය බැලීමට ඔසඳා හා මාමා ගමින් පිටත්ව යයි. ඇය මුදලාලි කෙනකුගේ දියණියකි. ඇය නමින් ලක්ෂ්මීය. එහෙත් ඇය මෙම විවාහයට අකමැතිය. ඒ ඇයට වෙනත් ප්‍රේම සම්බන්ධයක් ඇති නිසාය. ඒ බවක් කපුමහතා හෝ ඇගේ ගෙදර කිසිවකු දන්නේ නැත.

මේවන විට ලක්ෂ්මී දැකීමෙන් ඈ පිළිබඳව සිත් පහදවා ගෙන සිටින ඔසඳා ඇය සිය බිරිය ලෙස කැන්ඳාගෙන ඒමට සිහින මවයි. විවාහයට දින නියම කර තිබියදී ලක්ෂ්මී සිය පෙම්වතා හා පලායයි. සිය ජීවිතය දෙවැනි කොට ඇයට සිතින් ප්‍රේම කරන ඔසඳා මේ සිදුවීම නිසා මහත් චිත්ත පීඩාවකට පත්වේ. පිහියක් ගෙන අතේ නහර කපාගෙන මිය යාමට තැත් කරන ඔසඳාව මාමා විසින් වළකනු ලබයි. මේ අතරවාරයේ පුදපූජා පවත්වා නිදහස් කරගත් වෘක්ෂයක් කපා ගෙනැවිත් රූකඩ ඇඹීමේ නිරතවන ඔසඳා, ලක්ෂ්මිය තුළින් දුටු තමාගේ මනෝමය ස්ත්‍රිය මූර්තිමත් කරයි. මේ මූර්තිය පනපිටින් ඉන්නා ස්ත්‍රියක වැන්න. ඔසඳා මේ ස්ත්‍රී මූර්තිය වෛෂ්ණාවී ලෙස නම් කරයි. ‍එය දකින මාමා ඒගැන ඔසඳාට පැසසුම් කරයි. එහෙත් රුචිරා එය දැකීමෙන් ඊට අකමැති වේ.

මේ දැවමය මූර්තියට දේවතාවිය ආරූඪ වන්නේ ඉන් අනතුරුවය. තමා මැවූ රූකඩ මූර්තිය ප්‍රාණියකු වී ඇති බව දුටු ඔසඳා තුළ තිගැස්මක් ඇති වේ. ඇයත් සමඟ කතා බහ කරන හෙතෙම ටිකින් ටික ඇයට ළං වේ. ඇය ද ඔසඳාට ප්‍රේම කරන්නට පටන් ගනී. නමුත් ඔවුන් එය සැමගෙන් වසන් කරයි. නමුත් එය රුචිරාට අවබෝධවේ. රූපයට පණ ඇති බව දැන ගන්නා ඇය එය විනාශ කරන ලෙස ඔසඳාට ඇවිටිලි කරයි. නමුත් මෙම මූර්තිය නගරයට ගොස් ස්ත්‍රී රූප මිලදී ගන්නා වෙළෙන්ඳකුට විකුණන බව පවසා ඔසඳා ඉන් ගැළවීමට උත්සාහ කරයි.

ඔසඳා දේවතාවියට පවසන්නේ ඔවුනොවුන් දෙලොවක ජීවත් වන්නන් බවය. එනිසා මෙම ආදරය කිසිදා යථාවක් නොවන බවය. මේ අතර තුර ඔවුන්ගේ ජීවිතයට අසාමාන්‍ය සිදුවීම් හේතුවෙන් බාධා ඇති වේ. මේ පිළිබඳව දැන ගන්නා ඔසඳාගේ මාමා දේවාත්මය වෙනත් වෘක්ෂයකට යැවීම සඳහා කටයුතු කරයි. අවසානයේ දේවාත්මය වෙනත් වෘක්ෂයක අරක් ගනී."

මෙම සිනමා සිතුවම පිළිබඳව කතා කිරීමේදී මෙය ඉතාම ප්‍රසස්ත ආකාරයෙන් ප්‍රේක්ෂකයාවෙත ඉදිරිපත් කිරීමට පීරිස් යුවල සමත්ව තිබේ. එසේම නළු නිළි කැල සිය නිසග හැකියාව මොනවට ප්‍රදර්ශනය කරමින් සිය කාර්ය මැනැවින් ඉටු කර තිබේ. එසේම කැමරා කෝණ, ආලෝකය, සංස්කරණය, සිනමා ප්‍රයෝග (දේවතාවිය පස්සෙන් පස්සට ගමන් කරන ආකාරය හැරුණු කොට) සංගීතය ආදිය සලකා බලන කල මෙය ඉතාම අලංකාර සිනමා කෘතියකි. නමුත්, මෙම කතා පුවත මඟින් කුමන මත මානයක් ඉදිරිපත් කිරීමට සිනමා කරුවා උත්සාහ කළේද යන්න ගැටලු සහගතය. නැති නම් සිනමාකරුවාගේ දෘෂ්ටිය කුමක්දැයි යන්න ප්‍රශ්නාර්ථයක් මතු කරයි. කෙනකු පවසන ආකාරයට මේ තුළ ආදරය ‍ගැන හෝ ඒ මත ගොඩනැගුණු මනෝමය ලාලාසවන් පිළිබඳව හෝ කිසිදු සංඥාවක් හෝ මනෝභාවයක් ප්‍රේකෂකයා තුළ ඇති නොවේ.

සුපුරුදු පරිදි පෙරදිග කලා කෘතිවල දක්නට ලැබෙන යථාර්ථයෙන් ගිලිහුණ අලංකාරය පමණක් මේ තුළ තැවරී තිබේ. මිථ්‍යා විශ්වාසයක් මත පදනම් වූ කතා ප්‍රවෘත්තියකට උරුම වූ අධිතාත්විකවාදී ගුණය යම් තරමකින් ඉස්මතු කිරීමට සිනමාකාරිය සාර්ථක උත්සාහයක් දරා ඇත. ඒ හැරුණු කළ මෙම චිත්‍රපටය පිළිබඳව කතා කිරීමට තරම් දෙයක් නොමැතිය. මීට එක් හේතුවක් වන්නට ඇත්තේ මේ සිනමාකරුවන් දෙපළම මෙරට සමාජ ජීවිතයෙන් වියෝවූ ඔවුන්ටම වෙන් වූ ෆැන්ටසි ලෝකයක ජීවත් වන අයවලුන් වීමය.

ලෙස්ටර් - සුමිත්‍රා දෙපළගේ සිනමා නිර්මාණවල තිරකතා විමසා බැලීමේ දී පෙනී යන්නේ එක්කෝ ඒවා බොහොමයක් නවකතාය. නැති නම් වෙනත් අයකු විසින් ලියන ලද තිර කතා බවය. එහි මා කිසිදු දොෂයක් නොදකිමි. එහෙත් මෙය ලෙස්ටර්ගේ කතාවකි. ඔහු මෙහි තිර කතාව ලියන්නට තෝරගන්නේ ද බටහිර සාහිත්‍ය පිළිබඳ මනා දැනුමක් ඇති අග්‍රගණ්‍ය නළුවකු වන ටෝනි රණසිංහය. ලෙස්ටර් තිරපිටපතින් බොහොවිට පෙළහර පෑවේ එවැනි ද්වී භාෂා උගතුන් වන ඒ.ජේ. ගුණවර්ධන,රෙජී සිරිවර්ධන, තිස්ස අබේසේකර වැනි අයගේ සාහය ඇතිවය. ඔවුන් අතර මුදුන් වෘක්ෂය වන්නේ තිස්ස අබේසේකරය. එහෙත් මෙම තිරකතාව තුළින් මතු කරන ප්‍රස්තුතය කුමක්ද යන්න පිළිබඳව දන්නේ ඔවුන්ම පමණි.

කෙසේ නමුත් මෙම නිර්මාණ තුළ සමාජ සත්තාව යථාර්ථවාදීව ඉස්මතු නොකළද එමඟින් නිරූපණය කරන මානව සබඳතා සියුම්ව ඉදිරිපත් කිරීමට ඔවුන් මහත් ආයාසයක් ගෙන තිබේ. එනිසා ප්‍රේක්ෂකයා ඒ තුළ රඳවා තබා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ. මේ අනුව බලන කල සිනමා කෘතියක අන්තර්ගතයට වඩා ඉදිරිපත් කරන විලාසය පිළිබඳව මොවුන් දෙපළ වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනී යයි. එනිසා යථාර්ථය නිරූපනය කිරීමට උනන්දුවක් දක්වන සිනමා කරුවන් ලෙස හැඳින්වීම වඩා, සිනමාවේ විලාසිතාමය විචිත්‍රවත් ගුණය රැකගනිමින් සිනමාකරණයේ යෙදෙන්නන් ලෙස මොවුන් හැඳින්වීම වඩාත් යුත්ති යුක්තය. මේ ගුණය ආචාර්ය පීරිස්ගේ සියලුම සිනමා කෘතීන්වල අඩු වැඩි වශයෙන් දැකිය හැකිය. ආචාර්ය පීරිස් සිනමාවට පා තැබූ යුගයේ මේ ගුණය සිනමාවට අහිමිව තිබූ අත්‍යාවශ්‍ය සාධකයක්ව පැවතිනි. අනෙක් අතට මීට බලපා ඇත්තේ ඔහු හැදුණු වැඩුණු රෝමානු කතෝලික පවුල් පසුබිම තුළින් ඔහුට උරුම කර දුන් මනෝභාවයන්ය. එසේම ඔහුට ආමත්‍රණය කරන්නට වන්නේ පශ්චාත්- නිදහස් සමයේ යටත් විජිතවාදයට විරුද්ධව නැගී සිටිමට කටයුතු කරමින් සිටි ප්‍රේක්ෂක ජනතාවකටය. ඒ ආභ්‍යාෂය ඒ පුරුද්ද ලෙස්ටර් ගේ චිත්‍රපය තුළින් දිගින් දිගටම වහනය වන්නේ එනිසාය.

"රෝමානු කතෝලික පවුලකයෙක් හැටියට ඉපදිලා, කතෝලික විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ, එවකට මව් බස හැටියට පිළිගත් ඉංග්‍රීසිය ප්‍රගුණ කළ මම, ශ්‍රී ලංකාවේ සිනමාකරුවෙක් වුණා. මේවා සේරම පස්සෙ කාලෙක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හැටියට මනෝවිද්‍යාත්මක අවාසි බවට පත්වුණා" ලෙස්ටර් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් උපුටා ගැනුනි. ('දෙසතිය' 1981 මාර්තු 15 වෙනිදා)

බටහිර සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති සිනමා කරුවකු ලෙස ග්‍රීක මිථ්‍යාකතාවල එන ඇෆ්‍රොඩයිඩ් දෙවඟන හා පිග්මෙලියන් නම් මූර්ති ශිල්පියාගේ කතාව කිසියම් ආකාරයකින් මීට ආලෝකයක් ලබාදීම සඳහා යොදාගත හැකිව තිබුණා යැයි සිතේ. මෙම වියමන කියවන කිසිවකුට ගැටළුවක් ඇති නොවන ලෙස එම ග්‍රීක මිථ්‍යා කතාව සැකැවීන් හෝ සටහන් කරීම සාධාරනය. එය මෙසේය,

"පිග්මෙලියන් යනු ඉපැරණි සයිප්‍රසයේ අමතස් පෙදෙසෙහි ජීවත් වූ දක්ෂ මූර්ති ශිල්පියෙකි. ඔහු නිමවන මූර්ති දුටු සැනින් සැවොම වෂිකෘත වේ. ඔහු ගේ මූර්තිවල තිබුණේ ඇස් අදහාගත නොහැකි නිමාවකි. පිළිම සමඟ කතා කරමින් හේ කාලය ගෙවයි. ඔහුගේ දිවිය කලාව වෙනුවෙන්ම කැපවූවාක් වැනිය. පිග්මෙලියන් ඉතාම කඩවසම් තරුණයෙකි. මේ කඩවසම් සුකුමාල පෙනුම නිසා බොහෝ තරුණියන් ඔහුට ප්‍රේම කළෝය. එහෙත් මේ තරුණියන් ප්‍රේමයට අධිපති ඇෆ්‍රොඩයිට් දෙවඟන ජීවමාන දේවතාවියක නොවේ යැයි සිතුවාය. එපමණක් නොව එවැන්නියක නැති බව ප්‍රසිද්දියේම ප්‍රකාශ කළෝය. මේ කාරණය දැනගත් ඇෆ්‍රොඩයිට් දෙවඟන ඔවුන්ගේ විලිබිය සිඳ දැම්මේය. අනතුරුව මේ තරුණියන් දකින දකින පිරිමින් හට සිය සිරුරු පූජා කළෝය. මේ හේතුවෙන් පිග්මෙලියන් ඔවුන් කෙරෙහි කලකිරී සිටියේය.

පිග්මෙලියන් දිනක් ඇත් දළ රැගෙන විත් ස්ත්‍රී මූර්තියක් නිමවීය. මේ මූර්තිය තුළ මොනතරම් ජීවයක් පැවතියෙද යත් එය දුටුවන් වෂිකෘතව සිහිය විසඥව ගියේය. එසේම එය මූර්තියකැයි කිසිවකු විශ්වාස නොකළේය. හේ සිතින් ඇයට ප්‍රේම කරන්නට වූවාය. 'හදේ මිහිදන් වූ' යන අරුතැතිව මෙම ස්ත්‍රී මූර්තියට 'ගලාටියා' යැයි නම් තැබීය. එහෙත් ඔහුගේ මේ අකලංක ප්‍රේමය වෙනුවෙන් පිළිමයෙන් කිසිදු ප්‍රතිචාරයක් ‍නොළැබුණේය.

පිග්මෙලියන් ඇෆ්‍රොඩයිට් දෙවඟනට පුදුමාකාරලෙස ගෞරව කළේය. සයිප්‍රස‍යේ ඇෆ්‍රොඩයිට් දෙවඟන වෙනුවෙන් පවත්වන වාර්ෂික මංගල්‍ය ආරම්භවූයේ මේ අතර තුරය. පිග්මෙලියන් මේ උත්සවයේ කිසියම් කොටසක් තමන්ගේ අනුග්‍රහකත්වයෙන් සිදු කිරීමට බාරගත්තේය. එම වැඩ කොටස නිම කරමින් උත්සවයට ගාම්භීර බවක් එක් කිරීමට ඔහුට හැකි විය. අනතුරුව ඇෆ්‍රොඩයිට් දෙවඟනගේ අල්තාරය අසලට පැමිණ තමන්ට ගලාටියා වැනි රූමත් ස්ත්‍රියක බිරිඳක කර දෙන්න යැයි දෙවියන් යැදීය. තමා පිළිබඳ භක්තිවන්ත මේ රූමත් තරුණයා ගැන පැහැදුණු දෙවඟන ඔහුගේ මූර්ති ශාලාවට පිවිසියා ය. ගලාටියා දුටු ඈ මෙවන් ස්ත්‍රියක් මම කෙසෙනම් මොහුට ලබාදෙන්නේදැයි කල්පනා කළාය. ඇයට කිසිදු විකල්පයක් ඒ සඳහා කල්පනා නොවීය. අනතුරුව ඈ ස්ත්‍රී මූර්තිය තුළට පිවිසියේය.යාඥාව අවසන් කර පිග්මෙලියන් සුපුරුදු පරිදි තම සිතෙහි මිහිදන් වූ කුමරිය සොයා ආවේය. ඈ දෙස ඔහු ප්‍රේමාන්විතව බැලුවේය. පුදුමයකි ඇය ඊට ප්‍රතිචාර දැක්වූවාය. ඇස් අදහාගත නොහැකි වූ පිග්මෙලියන් ඇගේ දෙතොල් දැඩිව සිපගත්තේය. ඇයද ඊට සමාන ප්‍රතිචාර දක්වමින් සිය සුමුදු දෑතින් පිග්මෙලියන් බදා වැලඳ ගත්තේය."

මෙම ග්‍රීක කතාව මඟින් මීට ආලෝකයක් ලබා ගත්තේ වී නම් මායාමය සිනමා කෘතියක් නිර්මාණය වීමට බොහෝ සෙයින් ඉඩ තිබුණි.

අනෙක් අතට ව්‍යභිචාරී තහංචිය බිඳීමට නොහැකිව තැවෙන තරුණයකු දැවමය රුවක් තුළින් සිය නෑනා හා සමාන මූර්තියක් නිමවා සිය ලාලාසාවන් පූර්ණය කර ගැනීමට උත්සාහ ගන්නා ආකාරය දැක් වූයේ නම් මෙය ඉතාම සාර්ථක කෘතියක් වීමට ඉඩ තිබුණි. නමුත් සිදුව ඇත්තේ ලෙස්ටර් තමන්ගේ මිත්තණියගේ මතකයන් හා ඒ හා සමීප අත්දැකීම් තුළ අතරමං ව කුඩා දරුවකුගේ කතාවක් ලියා සිය බිරිඳ ලවා සිනමා කෘතියක් නිර්මාණය කර තිබීමය. මෙය ලෙස්ටර්ගේ සිනමා දිවියේ ගෞරවාන්විත අවසානයක් නොවීම ගැන ඔහුට ආදරය කරන ළබැඳියකු ලෙස උදක්ම කණගාටුවට පත්වෙමි.

 

අදහස්