බුදුසමය ප්‍රචණ්ඩත්වයට හේතුඵල සොයනවා මිස ප්‍රචණ්ඩත්වයට හේතුවක් නොවේ | සිළුමිණ

බුදුසමය ප්‍රචණ්ඩත්වයට හේතුඵල සොයනවා මිස ප්‍රචණ්ඩත්වයට හේතුවක් නොවේ

උගත් බටහිර වැසියන් විසින් ශාස්ත්‍රවේදීන් වන අපගෙන් නිතර අසන ප්‍රශ්නයක් තිබේ. ඒ, දැඩි සේ අහිංසාවාදයට කැප වූ ආගමක් වන බුදුසමය අනුව යන ජනතාවක් දශක දෙකක් තුළ ප්‍රචණ්ඩත්වයේ අන්තයට ගිය සමාජයක් නිර්මාණය කළේ කෙසේද? යන්නය. එය අපෙන් ඇසිය යුතු පැනයක් සේ පෙනී යනමුත්, මා සිතන්නේ එය වරදවා කළ ප්‍රශ්න කිරීමක් ලෙසය. ලෝකය පුරා ව්‍යාප්තව පවතින අනෙකුත් ආගම්වලට මෙන් බුදු සමයටද එය අනුගමනය කරන ජාතියකට මුහුණ පෑමට සිදුවන සමාජ හා ආර්ථික අර්බුදවලින් මිදිය නොහැකි ය. එහෙත් මේ කරණාව සම්බන්ධයෙන් අපට වෙනත් ප්‍රශ්නයක් ඇසිය හැකිය.

මහාචාර්ය ගණනාත් ඔබේසේකර මෙරට බිහි වූ විශිෂ්ට මානව විද්‍යාඥයෙකි. ඔහු 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් අතර, වරක් තම උසස් අධ්‍යාපනය ගැන පවසමින් ප්‍රකාශ කර සිටියේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුණ ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ බවය. හේ සිය ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි (1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් ය. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළ ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලවල මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වශයෙන් සේවය කළේය. 'The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992)' නමින් ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය මඟින් පළ වූ 'සුදු මිනිහා' ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතිය සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නො වූ ලේඛනවලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයෙහි ඇති වැදගත් කම පිළිබඳ කතා කළ හෙතෙම එවැනි දුර්ලභ පුස්කොල පොත් ගණනාවක් පළ කිරීමටද කටයුතු කළේය.

දීගල්ලේ මහින්ද හිමි සංස්කරණය කළ 'බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය' නමැති පොතේ මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ 'බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටලුවක්' නමින් දීර්ඝ ලිපියක් පල වෙයි. මෙම පොත ප්‍රකාශය කොට ඇත්තේ නෝර්වේ ඔස්ලෝ නුවර නෝර්වේ බෞද්ධ සංගමය සහ එංගලන්තයේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ ආගම් අධ්‍යයන දෙපාර්තමේන්තුව විසිනි. මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස විසින් අනුවර්ථනය කරන ලද එම දීර්ඝ ලිපිය ඇසුරෙන් මෙය සැකසේ.

මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ මේ ලිපිය ලංකාවේ ජනවාර්ගික ගැටුම් සංදර්භය තුළ සිංහල ජන විඥානය (මානසිකත්වය) වටහා ගැනීමෙහි ලා ඉතා වැදගත් චිත්‍රයක් අප වෙත ගෙනහැර පායි. එසේ වුවත් එදා සහ අද දෙපිල බෙදී වාද කරගන්නා සිංහල ජාතිකවාදීන් මෙන්ම වාම-ලිබරල්වාදීන් ද මෙමඟින් මතු කළ බහු අරුත් සහ දේශපාලනික දැක්ම පිළිබඳව මේ තාක් සාකච්ඡාවට බඳුන් කොට නැත. එය ඔවුන් විසින් හිතාමතා හෝ මොනයම් හේතුවක් නිසා හෝ මඟහරිති. එහෙත් මෙමඟින් මතු කරන කාරණා කිසිවක් දේශපාලනය පිළිබඳව හෝ ජනවාර්ගික ගට්ටනය පිළිබඳව බැරෑරුම්ව සිතන කිසිවකුට කිසිසේත් මඟහැර යා නොහැකිය. එබැවින් නව දේශපාලන කථිකාවක් විවර කිරීමේ අපේක්ෂාව පෙරදැරිව මෙම දීර්ඝ ලිපිය ලිපි පෙළක් ලෙස ඔබ අතට පත් කරමු.

 

අශාස්ත්‍රීය පූර්ව ප්‍රකාශයක්

 

මෙහිදී සලකා බැලෙන්නේ බෞද්ධ ශ්‍රී ලංකාව තුළ යටත් විජිත යුගයට පෙර 'ජාතිකභාවය' හා 'අනන්‍යතාව' ගොඩ නැගුණු ආකාරය අනුමාන වශයෙන් පිරික්සීම ය. එනම්, යටත් විජිතවාදය හා අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට ප්‍රතික්‍රියාවක් ලෙස 19 වන සියවස අග හා 20 වන සියවස මුල් කාලයේ කර්නල් ඕල්කොට් හා අනගාරික ධර්මපාල විසින් ජනිත කරන ලද විශාල විපර්යාසයන්ට පෙරාතුව පැවති තත්ත්වයන් සොයා බැලීමය. මෙය දුෂ්කර කටයුත්තකි. වසර දෙදහසක පමණ කලයක් මීට අයත් වේ. එසේ හෙයින් මේ කටයුත්ත ගෞරව සම්ප්‍රයුක්ත භීතියක් ජනිත නොකරන්නේ ද නොවේ. මවිසින් කරන මෙම නිරීක්ෂණයේදී අවසන් නිගමනයක් ලබාදීමට මම උත්සාහ නොකරමි. එසේ වුවත් යටත් විජිත අවධියෙහි සිදු වූ දැඩි විපර්යාසයන් වටහා ගැනීම සඳහා ඊට පෙර අවධියේ ජාතිකභාවය හා අනන්‍යතාව පිළිබඳව පැවති අදහස් කවරේදැයි සොයා බැලීම යෝග්‍ය වේ. නමුත් මෙම පෙළගැස්වීම වත්මන් ජනවාර්ගික අර්බුදය වටහා ගැනීමට කොතරම් දුරට ඉවහල් වේ දැයි මම නොදනිමි. එසේ වුවත් වත්මන් තත්ත්වයේ සංකීර්ණ ස්වභාවය පිළිබඳව විවිධ අවශ්ථාවල මා දුටු ඇතැම් කරුණු කාරණා කීපයක් සඳහන් කොට තබමි. ඒ අනුව සාමය, සංහිඳියාව සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන මේ මොහොතේ සිංහල බෞද්ධ ජන ප්‍රජාව මුහුණ පා සිටින දුෂ්කරතා කිහිපයක් පෙන්වා දෙනු කැමැත්තෙමි.

උගත් බටහිර වැසියන් විසින් ශාස්ත්‍රවේදීන් වන අපගෙන් නිතර අසන ප්‍රශ්නයක් තිබේ. ඒ, දැඩි සේ අහිංසාවාදයට කැප වූ ආගමක් වන බුදුසමය අනුව යන ජනතාවක් දශක දෙකක් තුළ ප්‍රචණ්ඩත්වයේ අන්තයට ගිය සමාජයක් නිර්මාණය කළේ කෙසේද? යන්නය. එය අපෙන් ඇසිය යුතු පැනයක් සේ පෙනී යනමුත්, මා සිතන්නේ එය වරදවා කළ ප්‍රශ්න කිරීමක් ලෙසය. ලෝකය පුරා ව්‍යාප්තව පවතින අනෙකුත් ආගම්වලට මෙන් බුදු සමයටද එය අනුගමනය කරන ජාතියකට මුහුණ පෑමට සිදුවන සමාජ හා ආර්ථික අර්බුදවලින් මිදිය නොහැකි ය. එහෙත් මේ කරණාව සම්බන්ධයෙන් අපට වෙනත් ප්‍රශ්නයක් ඇසිය හැකිය. එනම්, වත්මන් තත්ත්වය ගැන උනන්දුවක් දක්වන බෞද්ධ ගිහියන් හා භික්ෂූන් විසින් සමකාලීන සමාජය යථා තත්ත්ව නිරූපණයකට භාජනය කොට එහි බලපෑම මගින් විනාශකාරී සිංහල ජාතිකවාදයකට නැඹුරු වූවක් වෙනුවට බුදු සමයේ මූලික සාරධර්මයන්ට අනුගත වූ නව සමාජ දර්ශනයක් නිර්මාණය කිරීම සඳහා කුමක් කළ හැකිද? යන්නය. මෙම ප්‍රශ්නය මෙහිදී සලකා බැලිය හැකි වුවද එය වඩා ව්‍යාකූල වූ පැනයකි. මා සිතන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ බෞද්ධයන් මුහුණපාන මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් 19 වන සියවසේ අග හා 20 වන සියවස මුල ඕල්කොට් හා ධර්මපාලයන් සිදු කළ පරිමාණයේ ගුණධර්ම ප්‍රතිසංස්කරණයක් අප රටට අවශ්‍ය බවය. ඔවුන් විසින් ගෙනගිය රෙපරමාදු බෞද්ධ ව්‍යාපාරය හා එහි අන්තර්ගතය මම අනුමත නොකරමි. එහෙත් මා මෙසේ සඳහන් කරන්නේ ඇයිද යන්න පිළිබඳව ශාස්ත්‍රීය නොවන අයුරකින් විමසීමට කැමැත්තෙමි. ඒ උදෙසා වත්මන් බෞද්ධ ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ හා අපේක්ෂා විරහිත ස්වභාවය අපි මදක් විමසා බලමු.

ශ්‍රී ලංකාවේ අද පවතින ප්‍රචණ්ඩත්වය හා සමාජ අතෘප්තිය පිළිබඳව දැක්විය හැකි නිර්ණායකයක් සේ මේ බෞද්ධ රට තුළ දිනෙන් දින ඉහළ යන මිනීමැරුම් හා සියදිවි නසාගැනීම් සංඛ්‍යාත්මකව දැක්විය හැකිය. එය සෙසු ලෝකය හා සැසැඳීමේදී විශාල අගයකි.

ශ්‍රී ලාංකික බෞද්ධයන් පන්සිල් යනු කුමක්දැයි හොඳින්ම දන්නාමුත් ගෙවී ගිය දශක දෙකක පමණ කාලය තුළ ලෝකයේ ඉහළම මත්පැන් භාවිතය පෙන්නුම් කරන රටක් බවට පත් වී තිබුණි. මෙය තම පක්ෂයට ආධාර කළ වුන්ට සුරාසැල් විවෘත කිරීමට අවසර පත් ලබා දුන් දේශපාලනඥයන් විසින් අනුබල දෙන ලද ප්‍රවණතාවකි. එසේම ශ්‍රී ලාංකික බෞද්ධයෝ විශාල සංඛ්‍යාවක් මාංශ භක්ෂකයන් බවට පත්ව සිටිති. මා දන්නා පරිදි මහනුවර එක් ප්‍රසිද්ධ පන්සලක දානය සඳහා කුකුල් මස් ලබා දෙන ලෙස දායකයන්ට පවසනු ලැබේ. භික්ෂූන්ගේ ක්‍රියාවන් එසේම දේශපාලනය, විවේචනය කරන ගිහියන් පවා භික්ෂූන්ට සුඛොපභෝගී භාණ්ඩ විශේෂයෙන්ම දානමානාදිය පූජාකරන අවස්ථාවේදී ලබාදේ. එසේම ආහාර වර්ග ගොඩ ගසන ආකාරය ද දැක්ක හැකිය. මෙයින් භික්ෂූන්ගේ ලෞකික ආශාවන් වර්ධනය වීමට අනුබල ලැබේ. මෙලෙස ලැබෙන අමතර සිවුරු, තුවා ආදිය (දොස් නැගිය නොහැකි පරිදි) නැවත වෙළඳපොළටම පැමිණේ.

මා කුඩා අවධියෙදී විහාරයක් හෝ පුරාවිද්‍යා ස්ථානයක් මංකොල්ල කෑමක් තියා ඒ ගැන සිතන්නටවත් හැකියාවක් නොවීය. එහෙත් අන්තර්ජාතික පුරාවස්තු වෙළෙඳ පොළෙන් අනුබල ලැබ මෙය අද 'කර්මාන්තයක්' බවට පත් ව ඇති අයුරු පුවත්පත්වලින් දැකිය හැකි වේ.

ඇතැම් අවස්ථාවල මේ අපරාධයන්ට භික්ෂූන්ගේද සහාය ද ලැබී තිබේ. මෙතෙක් ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වා ගෙන ආවෙමුයි භික්ෂූන් උදම් අනන මුත් පන්සල්වල ඇති පුස්කොළ පොත් එක්කෝ පුස් කමින් තිබේ. නැත් නම් සංචාරකයින් රවටා 'බුදුන්ගේ ලියමන්' ලෙස පිටුවෙන් පිටුව විකුණනු ද දැක්ක හැකිය. අද පාලි දන්නේ භික්ෂූන් ස්වල්ප දෙනෙකු පමණි. බුදු සමය තවදුරටත් නිශ්ශබ්ද වූ ආගමක් නොවේ. ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ශබ්ද දූෂණය කෙරෙමින් භික්ෂූහු අසල්වැසි මුස්ලිම් පූජකයන් හා සමඟ 'ශබ්ද යුද්ධයේ' යෙදෙති. මහනුවර බලවත් දේශපාලනඥයෙකු අනුග්‍රහ දක්වන එක් පන්සලක පෝ දිනක මේ ශබ්ද කරදරය කොතරම් උත්සන්න වී ද යත් කෙනෙක් භික්ෂුවට දුරකථනයෙන් පැමිණිල්ලක් කළේය.

වැඩි කල් යාමට පෙර නායක භික්ෂුව පෙරටු කොට ගත් බීමත් මිනිසුන් පනස් දෙනෙකු පමණ වුත් විශ්ව විද්‍යාල ඇදුරෙකු වූ එම පුද්ගලයාගේ නි‍ෙවසට කඩා වැදී මරණීය තර්ජන එල්ල කරන ලදී. අද භික්ෂුවකට රජයේ ඉඩමක් හෝ පුරාවිද්‍යා ආරක්ෂිතයක් බලෙන් අල්ලාගෙන පන්සල් හැදීමට පුළුවන. කිසිදු අවස්ථාවක ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණැයි මා අසා නැත.

පුවත්පත් වාර්තා අනුව ස්ත්‍රීන් නිරතුරුව දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු වෙති. පාතාලයේ මැරයෝ මහ දවාලේ මංකොල්ල කෑම් හා මිනීමැරුම් සුදු කරති. පාසලේ දී 'බුදුසමය' උගත් පාසල් සිසුවෝ ද එය කර්ණකටුක වීමෙන් දෝ අපරාධයන්හි නිරත වෙති.

පාතාලයේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ හා දාමරිකයෝ සෑම දේශපාලන පක්ෂයකම අනුගාමික පිරිස්වල සිටිති. ඇතැම් විට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ ආරක්ෂක භටයන් ලෙස ද ඔවුහු යොදා ගැනෙති. මේ සියල්ලටම යටින් ඇත්තේ එක තැන පල් වන ආර්ථිකයකි.

ඊට තුඩු දුන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ජනවාර්ගික යුද්ධයත්, විශාල ජනගහණ වර්ධනයත් දිනෙන් දින වැඩි වන විරැකියාවත් ය. මේ හේතු නිසා 80 දශකයේ අග සිංහල බෞද්ධ ජාතිකවාදී ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කැරැල්ලෙන් සමාජය තිරශ්චීනභාවයට පත් විය. මේ අවධියේදී ජවිපෙ විසින් බියජනක වූද මනුෂ්‍යත්වයට නොතරම් වූ ද අපරාධ කරනු ලැබුවා පමණක් නොව එම ව්‍යාපාරය මර්දනය සඳහා රජය යෙදූ ප්‍රතිප්‍රහාරය ද ඒ ආකාරයෙන්ම බිහිසුණු වූයේය. අද දින සමාජයේ පවතින භීෂණ සංස්කෘතියට ප්‍රධාන හේතු කාරකය වූයේ එදා ජවිපෙ හා ඊට එරෙහිව රජය විසින් ඇති කළ ප්‍රචණ්ඩත්වය යනු මගේ විශ්වාසයයි.

භික්ෂු ශාසනයේ තත්ත්වය ගතහොත් එහි ඇති අපිළිවෙළ පැහැදිළිව පෙනේ. ගම්වලින් කුඩා ළමයි මහණ කෙරෙනු ලැබේ. ඒ අනුව තමන් අවට සිටින ගිහියන්ගේ මානසික ස්වභාවය භික්ෂූන් අතර ද තිබීම පුදුමයක් නොවේ.

ගැමි භික්ෂූන් සමාජයේ නැතිවම බැරි සේවයක් ඉටු කරන බවත් භික්ෂූන් අතරෙන් වැඩි දෙනා බුදුසමයෙහි බොහෝ උගත්කම් නැතත් තමන් අවට සිටින ගිහි වැඩිපුර දෙනෙකු මෙන් යහපත් උදවිය බවත් විශ්වාස කරමි. කෙසේ වුවද අප අපේක්ෂා කරන අන්දමේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයක් සඳහා නායකත්වය සැපයීමට අවශ්‍ය ස්වයංවිවේචන ශක්තිය හෝ නායකත්ව ගුණාංග ඔවුනට නැත. මීට ප්‍රතිවිරුද්ධව ප්‍රකාශක හැකියාව ඇති භික්ෂූහු හා ගිහි බෞද්ධයන් කරන්නේ බුදුසමය යහපත්ව පවතිනවාය යන ආත්ම වංචනයෙහි නිමග්නව සිටිමින් “බෞද්ධයන්ට ඇති මැසිවිලි” සඳහා රජය විසින් විසඳුම් ලබා දිය යුතු යැයි උද්ඝෝෂණය කිරීමය. අනුන් පිට වරද පැටවීම බහුලව සිදුවේ.

ජාතිය වැටී ඇති ප්‍රපාතය ගැන එල්ටීටීඊයටත්, ක්‍රිස්තියානින්ටත්, සමහර විට පිටරට වැසි ශාස්ත්‍රඥයින්ටත් දොස් පවරනු ලැබේ. සමාජයක් ව්‍යාධිගතව ප්‍රතිමාණ විරහිතව (anomic) සිටින විට මේ අන්දමින්, ස්වයං විභ්‍රමණයන් සිදු වීම පුදුමයට කරුණක් නොවේ.

භික්ෂුව හා ගිහියා අතර වෙනස අපැහැදිළි බවට පත් වෙමින් තිබෙන මෙවැනි යුගයක භික්ෂූන් ද දැඩි මතධාරී වූ ද ඇතැම් විට ප්‍රචණ්ඩ වූ ද දේශපාලන කටයුතුවල නිරත වෙතැයි සිතිය හැකිය.

ජවිපෙ ඇතුළුව සෑම දේශපාලන පක්ෂයකටම අයත් භික්ෂූන් සිටින හෙයින් ඔවුන් බුදුන්ගේ පණිවුඩයට නොව එම දේශපාලන පණිවුඩයන්ට ප්‍රතිචාර දක්වන අයුරු දැක්ක හැකිය. ඒ කෙසේ වුවද සංසන්දනාත්මකව බලන කල බෞද්ධයන්ගේ හැසිරීම එතරම් නරක නැත.

ජාතිකවාදී භික්ෂූන් හා ගිහියන් දේශපාලනමය ඝෝෂාවන්හි යෙදී සිටියත් ඔවුන් අද දින ඉන්දියාවේ සිටින තාපස භටයන් තරම් ප්‍රචණ්ඩ හෝ ගුජරාතයේ මිනීමරු ජන පිරිස් හෝ තරම් තත්ත්වයකට පත් වී නැත.

මුස්ලිමුන්ගේ ජීහාඩ් දර්ශනයේ ආභාශය ලැබූ අය සංඛ්‍යාවෙන් ඉතා ස්වල්පය. මව්බිම වෙනුවෙන් මැරෙන සොල්දාදුවන් නිවන් යනවා යැයි කියන්නේ එකම එක භික්ෂුවක් විසින් පමණි. භික්ෂූන්ගේ ජාතිභේදවාදී අදහස් දමිළයන් අන්තවාදීන් වීමට වත්මන් යුද්ධය දිගින් දිගටම පැවතීමටත් තරමක් දුරට හේතුභූත වූ නමුත් ඔවුන්ගේ වත්මන් ප්‍රතිචාරයන් තනිව ගෙන නොව එල්ටීටීඊය විසින් සිදුකර ඇති අපරාධ පසුබිමේ තබා බැලිය යුතු වේ.

වන්දනාවේ යමින් සිටි භික්ෂූන් හා සාමණේරයන් ඝාතනය, සිවිල් වැසියන් වෙත එල්ල කළ ප්‍රහාර, මහනුවර දළදා මාළිගාවට පහර දීම ආදී ප්‍රකෝපකාරී සිද්ධි රාශියක් එල්ටීටීඊය සිදු කළහ. මේ කෙසේ වුවත් “බෞද්ධයන්” ලෙස මනුෂ්‍යයන්ගේ දුක්විඳීම් ගැන කම්පා වනවා නම් භික්ෂූන් හා ගිහි බෞද්ධයන් දැන් සිදුවන සාම ක්‍රියාවලියට විරුද්ධ නොවිය යුතුය. ප්‍රධාන පෙළේ භික්ෂූන් බොහෝ දෙනෙකු සාම ක්‍රියාවලිය අනුමත කරමින් එය අත්හදා බලන්නට කැමැති වී තිබීම වාසනාවකි. ජවිපෙ, සිහල උරුමය සහ තවත් සංවිධාන කිහිපයකට සම්බන්ධ තරුණ භික්ෂූහු මීට විරුද්ධ වී සිටිති.

වත්මන් තත්ත්වය, මගේ සිතේ තිබුණු බරකින් ඉහත අයුරින් නිදහස් වී මා සාකච්ඡා කරන්නට යන පූර්ව යටත් විජිත යුගයේ ජාතික භාවය හා අනන්‍යතාව වෙතට හොඳ ප්‍රවේශයකි. මෙතැන් සිට අපි ඒ සඳහා යොමු වෙමු.

(මතුසම්බන්ධයි)

අදහස්