පුරාණ දඹ­දිව විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය | සිළුමිණ

පුරාණ දඹ­දිව විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය

විශ්වවිද්‍යාලය රටක තිබෙන උසස් ම අධ්‍යාපන ආයතනයයි. මෙම විශ්ව විද්‍යාලයේ ආරම්භය ගැන සොයා බැලීමේ දී පුරාණ ඉන්දියාවේ තිබූ තක්ෂලාව සහ නාලන්දාව සිහියට නැ‍ඟේ. එයින් පැරණි ම විශ්ව විද්‍යාලය “තක්ෂලාවයි”. තක්ෂලාවේ ආරම්භය බුද්ධෝත්පත්තියටත් පෙර කාලය තරම් දුරට දිවෙන අතර මුස්ලිම් ආක්‍රමණ දක්වා ම ඉන්දියාව හා අවට රාජ්‍යවල ශිෂ්‍යයනට අධ්‍යාපනය ලබා දී ඇත. දඹදිව සෑම ප්‍රදේශයකම ශිෂ්‍යයෝ තක්ෂලාවේ ඉගෙනුම සඳහා පැමිණිය හ. බරණැස තවත් විශ්වවිද්‍යාල තිබියදීත් එහි රජවරු තම දරුවන් තක්ෂලාවට එවීමෙන් එහි අධ්‍යාපන මට්ටම උසස් තත්ත්වයක තිබූ බව සිතිය හැකිය. මෙම විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරය දරන ලද්දේ “දිසාපාමොක්” ආචාර්යන් විසින් ය.

තක්ෂලාවට ශිෂ්‍යයන් ඇතුළත් කරගනු ලැබුවේ නියමිත පරීක්ෂණයකින් පසුවය. එම පරීක්ෂණය පවත්වනු ලැබුවේ ‘ද්වාර පංඩිත’ නැමති පරීක්ෂකවරයකු විසිනි. එසේ ඇතුළත් කරගනු ලබන ශිෂ්‍යයකුගෙන් මසුරං දාහක් අය කළ බව “තීලමුට්ඨි” ජාතකයෙන් විස්තර කෙරේ. මුදල් වියදම් කිරීමට නොහැකි ළමයින් වෙනුවෙන් ද අධ්‍යාපන ක්‍රමයක් තිබුණි. ඒ මුදල් නොමැති ළමයින් ගුරුවරුන්ගේ අත් පා මෙහෙවර කර ඉගෙන ගැනීමයි. එම ළමයි ගුරුවරයාට ගෞරවය දක්වමින් ඉගෙන ගත් අතර මුදල් ගෙවා අධ්‍යාපනය ලැබූ ළමයි ගුරුවරයාට එතරම් ගෞරවයක් නො දැක්වූ බව තීලමුට්ඨි ජාතකයෙන් කියැවේ. බරණැස රජුගේ පුත්‍රයාට තක්ෂලාවේ ගුරුවරයා දඬුවම් කළ පසු ඔහු කෙරෙහි වෛර බැඳගත් ශිෂ්‍යයා රජ වීමෙන් පසු ගුරුවරයා මැරීමට තැත් කිරීමෙන් පැහැදිලි වේ. පසු කාලයේ දන්පතියන්ගේ ආධාර උපකාර ලැබ නිදහස් අධ්‍යාපනය ලද ශිෂ්‍යයෝ ද තක්ෂලාවේ සිටිය හ.

මේ තක්ෂලාවට ශිෂ්‍යයන් ඇතුළත් කරගනු ලැබුවේ වයස අවුරුදු 16 දීය. මෙම වයසේදි අධ්‍යාපනය ඇරඹීමෙන් පෙනී යන්නේ මෙම ආයතනය උසස් අධ්‍යාපනයක් දෙන ආයතනයක් බවයි. මෙම වයස් සීමාව වර්තමානයේ විශ්ව විද්‍යාලයකට ළමුන් ඇතුළත් කර ගන්නා වයසට සමානය. මේ වයස වන තෙක් ශිෂ්‍යයෝ ඉගෙනුම ලැබ ඇත්තේ සාමාන්‍ය පාසැල්වල හා ගුරු ගෙවල්වලය.

තක්ෂලාවේ සිසුන් අලුයම කුකුළා හඬලනවිට අවදි වූහ. ඒ සඳහා හැම නේවාසිකාගාරයකම කුකුළෙකු ඇති කළ බව ජාතක පොත්වලින් පැහැදිලි වේ. ශිෂ්‍යයනට ලැබුණේ සාමාන්‍ය ආහාර වේලකි. උදේ ආහාරය වූයේ කැඳය. සමහර, ත්‍යාග ශීලීහු ආහාරය සඳහා ළමුන් තම නිවෙස්වලට කැඳවාගෙන ගියහ. මුළුතැන්ගෙට අවශ්‍ය දර දිය සපයා දීම අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝ අතින් ම කෙරුණි. බොහෝවිට මුදල් නොගෙවා ගුරුවරුන්ට අත් පා මෙහෙවර කරන ශිෂ්‍යයන් මේ සඳහා තෝරා ගැනුණි.

තක්ෂලාවේ එක් අංශයකට ශිෂ්‍යයන් පන්සීයකට වඩා ඇතුළත් කර නොගනී. තමන් කැමති විෂයක් ඉගෙන ගැනීමට ශිෂ්‍යයාට නිදහස තිබුණි. බමුණන් වැඩිපුරම ඉගෙනුම ලැබුවේ වේදයයි. වේද්‍ය ශාස්ත්‍රය ඉතා දියුණු අන්දමින් තක්ෂලාවේ උගන්වන ලදී. බුදුන් වහන්සේගේ කාලයේ සිටි “ජීවක” වෛද්‍යවරයා ද තක්ෂලාවේ උගත් අයෙකි. වර්තමානයේ කෙරෙන සියුම් ශල්‍යකර්මවලට සමාන සැත්කම් මෙහි උගත් වෛද්‍යවරුන් කර ඇති බව ජාතක කතා කිහිපයකම විස්තර කෙරුණි. “නැකැත් බැලීම, ආකාශ වස්තු බැලීම, අනාවැකි කීම, මන්ත්‍ර ශාස්ත්‍රය” මෙහි ඉගැන්වූ විෂයයන් අතර විය. තක්ෂලාවේ ධනු ශිල්පය ඉතා උසස් අන්දමට ඉගැන්වූ බව “චුල්ල ධනග්ගහ” ජාතකයෙන් පෙනේ. මෙසේ ඉගෙන ගත් “මනමේ කුමරු” ධනු ශිල්පයේ කෙළ පැමිණියෙකි. ඔහු වැදි පිරිස පන්සීයක් පරාජය කොට වැදි රජු සමඟ සටන් කර ජය අත්කරගෙන සිටිය දී ඔහු ගේ දේවි‍යගේ සහය නොලැබීම නිසා මරණයට පත් විය. ඔහු මරණයට පත් වූයේ උගත් ශිල්පයේ අඩුවකින් නොවේ. තක්ෂලාවේ සිටි උගතුන් ගැන කීමේදී මංත්‍රයක් මතුරා අහස දෙස බලා රත්රං වැස්ස වූ බමුණෙකු ගැන “වේදබ්භ” ජාතකයේ සඳහන් වේ.

තක්ෂලාව අධ්‍යාපන ආයතනයේ කුල හීන දරුවනට දොර වැසී තිබුණ බව ජාතක කතා තුළින් හෙළිවේ. ජාතක කතාවල වැඩි වශයෙන් සඳහන් වන්නේ “ක්ෂත්‍රිය හා බ්‍රාහ්මණ” දරුවන් මෙම ආයතනයේ ඉගෙනුම ලැබුව බවයි. වෙනත් වෘත්තීන් කරන්නන්ගේ දරුවෝ ද මෙහි අධ්‍යාපනය ලැබුව අතර චණ්ඩාල කුලයේ දරුවන්ට එහි ඉඩ නොලැබුණි. බමුණන් ලෙස වෙස් වලාගෙන මෙහි ඉගෙන ගත් ළමුන් දෙදෙනකු පසුව හඳුනාගත් නිසා ඔවුන් ආයතනයෙන් නෙරපා හැරිය බව ජාතක කතාවක සඳහන් වේ. අනෙක් ශිෂ්‍යයෝ පන්ති භේදයකින් තොරව උගත් හ. ගාස්තු නොගෙවා ඉගෙන ගන්නා යැයි කියා ඔවුන්ට ඉගැන්වීමේදී අඩු පාඩුවක් නොකෙරුණි. සෑම දරුවෙකුට ම නිරහංකාර ජීවිතයක් ගත කිරීමට හුරු කර තිබේ. බරණැස බ්‍රහ්මදත්ත රජුගේ පුතුට මෙන් ම සාමාන්‍ය පංතියේ දරුවෙකු වරදක් කළා නම් දඬුවමේ වෙනසක් නොවුණි.

ඉගෙනීමෙන් දක්ෂකම් දක්වන ශිෂ්‍යයාට දෙන ලොකු ම සම්මානය වූයේ දිසාපාමොක් ආචාර්යවරයාගේ දුව සරණ පාවා දීම බව ජාතක කතාවලින් පැහැදිලි‍වේ. මෙසේ ලබා ගත් සම්මානයෙන් ජීවිතය අහිමි කර ගත් මනමේ කුමාරයා ගැනත් ලැබුව සම්මානය වැලඳ නොගෙන එය “වේදේහ” රජුට හිමි කර දුන් “පිංගුත්තර” කුමාරයා ගැනත් ජාතක කතාවක කියැ‍වේ.

තක්ෂලාව වැනිම උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස නාලන්දාව ද එදා ප්‍රසිද්ධව තිබුණි. දේශාටකයන්ගේ වාර්තාවලින් හා නාලන්දා විශ්ව විද්‍යාල භූමියේ නටබුන්වලින් පෙනී යන්නේ මෙම අධ්‍යාපන ආයතනය ආසියාවේ ප්‍රකටව තිබූ ස්ථානයක් බවකි. මෙම විශ්ව විද්‍යාලයේ දියුණුම යුගය වූයේ අධිරාජ්‍ය ගුප්තයන් ගේ කාලයේය. නාලන්දා විශ්ව විද්‍යාලය ගැන වටිනා විස්තරයක් ඉන්දියාවේ වසර දහයක් විසූ දේශ ගවේෂක චීන ජාතික “පාහියන්” භික්ෂුව විසින් කර තිබේ. (ක්‍රි.ව. 401 - 411) නාලන්දා විශ්ව විද්‍යාලයේ ආරම්භක මහාචාර්යවරයා ලෙස කටයුතු කර ඇත්තේ “නාගර්ජුන” නැමති පඬිවරයෙකි. මහායාන බුද්ධාගම පිළිබඳ උසස් දැනීමක් තිබූ මෙතුමාගේ කාලයේ නාලන්දාව උසස් තත්ත්වයකට තිබුණු බව “හ්‍යු සං” නැමති චීන භික්ෂුව සඳහන් කරයි. ඔහු දුර්භික්ෂ කාලයකදී ඖෂධ බලයෙන් රත්තරං නිපදවා ඒවා අලෙවි කර ලැබුව මුදලින් භික්ෂුන්ට දානය දුන්නේ යයි චෝදනා ලැබ නාලන්දාවෙන් නෙරපුව බව හ්‍යු සං සඳහන් කරයි. නාගර්ජුන පඬිතුමා මිනිසුන් තිරිහන් කරවා දීර්ඝ කාලයක් ජීවත් කරවීමට හැකි ‘අමෘතය’ නැමති ඖෂධයක් නිපදවූ බව හ්‍යු සං වැඩිදුරටත් කියා ඇත.

නාලන්දාව ගැන විමසා බැලීමේ දී මෙහි විශ්ව විද්‍යාලයකට අවශ්‍ය සෑම අගංයක් ම පැවති බව හෙළිවේ. ප්‍රධාන වශයෙන් මහායාන විශ්ව විද්‍යාලයක් ලෙස හැඳින්වුවද මෙහි ආගමික විෂයන්ට සීමා නොවී විවිධ විෂයන් ඉගැන් විය. ඒ විෂයන් අතර “බ්‍රාහ්මණ ශාස්ත්‍රය, ආයුර්වේදය ඉන්ද්‍රජාල, ශබ්ද විද්‍යා, ජ්‍යොතිෂය” ප්‍රධාන තැනක් ගනී. චීනයේ සිට පැමිණි හ්‍යු සං භික්ෂුව පස් වසරක් මෙහි බුද්ධාගම සමඟ ලෞකික විෂයන් ද ඉගෙන ගත්තේය. එකල මෙහි අධිපතිව සිටියේ “සිලභ දා” නැමති පඬිවරයෙකි. නාගර්ජුන පඬිවරයා නාලන්දාවේ කුලපතිව සිටි යුගයේ “තෘණ විද්‍යාව, ලෝහ විද්‍යාව හා රසායන විද්‍යාව” පිළිබඳ ඉගැන්වීම එහි තිබූ බව ආචාර්ය ‘සුබ්‍රමනියම්” මහතා පවසයි. මේ අනුව බලන කල නාලන්දාව ආගමික විෂයන්වලට මුල් තැන දුන්න ආයතනයක් නොව විවිධ විශ්ව දැනුමක් ලබා දුන් විශ්ව විද්‍යාලයක් බව සිතිය හැකිය.

දේශ ගවේෂකයෙකු ලෙස ක්‍රි.ව. 5 වන සියවසේ මුල් කාර්තුවේ මෙහි පැමිණි “පාහියන්” හිමි ද නාලන්දාවේ ශිෂ්‍යයකුව අධ්‍යාපනය ලබා ඇත. ඔහු ඉගෙනුම ලබද්දී එහි ශිෂ්‍යයෝ 10,000 ක් පමණ ඉගෙනුම ලබමින් සිට ඇත. එම ශිෂ්‍යයෝ අතර චීන, ටිබෙට්, මොන්ගෝලියා, කොරියන් හා බුරුම ආදී රටවල ශිෂ්‍යයෝ සිටිය බව පාහියන් හිමියන්ගේ විස්තරයේ සඳහන් වේ. නාලන්දාවේ නටබුන් පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ එය ක්‍රමානුකූලව ඉදිකරන ලද නේවාසිකාගාර සහිත විශ්ව විද්‍යාලයක් බවයි. මෙම විශ්ව විද්‍යාලයේ නඩත්තුව සඳහා ගම්වර 20 ක් පූජා කර තිබූ බව පාහියන් හිමිගේ විස්තරයේ සඳහන් වේ. දහ දාහක් පමණ ශිෂ්‍යයනට හා ගුරුවරුන්ට කෑම් පීම් පමණක් නොව ඇඳුම් පැලඳුම් මෙන්ම වෛද්‍ය උපකාර ලබා දෙන ලද්දේ නොමිලයේය. මෙම ආයතනය නඩත්තුව රජය මඟින් දැරීම ගැන විමසා බැලීමේදී ගුප්ත යුගයේ රජවරු අධ්‍යාපනයට මොන තරම් සැලකිල්ලක් දැක්වූවාදැයි පැහැදිලි වේ. පාහියන් හිමිගේ විස්තරයෙහි නාලන්දාවේ එකි ශිෂ්‍යයෙකු සඳහා මාසයකට වෙන් කරන දේ මෙසේ විස්තර කර තිබේ. “පලතුරු ගෙඩි 120 යි. පුවක් ගෙඩි 60 යි. ඇල් හාල් බුසල් 1/4 යි. තෙල් නැලි 3 ක් ද මීට අමතරව වෙඬරු හා කිරි ද ලැබුණි.

නාලන්දා විශ්ව විද්‍යාලයට ශිෂ්‍යයෝ ඇතුළත් කරගනු ලැබුවේ තරග විභාගයකිනි. එය පැවැත්වූයේ ‘ද්වාර පංඩිත’ නැමති නිලධාරියෙකු විසිනි. ඔහු තෝරා ගන්නා ශිෂ්‍යයන්ගේ කාල සීමාව අවුරුදු 9 න් පටන් ගෙන අවුරුදු 30 දක්වා වූ බව හ්‍යු සං ගේ විස්තරයේ සඳහන් වේ. කාල සටහනකට අනුව ශිෂ්‍යයන්ගේ දින චරියාව සකස් වී තිබුණි. ඉගෙනුම පැය 8 ක් වූ අතර “ආහාර ගැනීම පාඩම් කිරීම, ක්‍රීඩා කරීම, ස්නානය හා නිදා ගැනීම” ආදී සෑම දෙයක් ම කාල සටහනක් අනුව කෙරුණි. මෙම කාලය හැඟවීමට බෙරයක් වැයීමෙන් හෝ සක් පිඹීමෙන් කළේය. ප්‍රධාන අධ්‍යාපන මාධ්‍ය වූයේ “සංස්කෘතයි.” නාලන්දාවේ මහල් 9 කින් යුත් පුස්තකාලයක් තිබී ඇත. මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණයෙන් මෙම පුස්තකාලය ගිනි බත් වී තිබේ. එහි තිබූ වටිනා පොත්පත් රාශියක් ගිනි තබා විනාශ කරන ලදී.

නාලන්දාවේ වසර දහයක් ඉගෙන ගත් චීන ජාතික “ඉන් සිං” විසින් මෙම විශ්ව විද්‍යාලය ගැන මෙසේ විස්තර කරන ලදී. “මෙහි භික්ෂූන් උගත් භාෂාව සංස්කෘත නිසා ඔවුන් සංස්කෘත භාෂාවෙන් බෞද්ධ පොත්පත් ලියා ඇත. මෙහි ඉගෙනීමට පැමිණි භික්ෂූන් මූලික අධ්‍යාපනයක් ලබා තිබිය යුතුය. ‘සිද්ධිරස්තු” නැමති මුල් පොත අවුරුදු 06 දී ප්‍රගුණ කළ යුතුය. අකුරු 49 කින් යුත් හෝඩියකින් හා ශ්ලෝක 300 කින් යුත් පළමු මාස 06 කින් කියා නිම කළ යුතුය. වයස අවුරුදු 08 දී ශ්ලෝක 1000 කින් යුත් ප්‍රාණීන්ගේ සූත්‍ර නැමති ග්‍රන්ථය මාස 08 කදී කට පාඩම් කළ යුතු විය. වයස අවුරුදු 10 දී ‘ධාතු’ නම් ග්‍රන්ථය ද අවුරුදු 15 දී ශ්ලෝක 10,000 කින් යුත් “කාසිකාරවෘත්ති” නැමති ප්‍රාණින්ගේ සූත්‍ර පිළිබඳ අර්ථ කතා ග්‍රන්ථ කියවිය යුතුය.” ඉන් සිං කියන ආකාරයට මෙම බෞද්ධ අධ්‍යාපන ආයතනයේ මූලික පරමාර්ථය වූයේ බුද්ධිය හා ආචාරශීලී බවයි. ගිහියෝ මෙන් ම භික්ෂූන් ද මෙම ආයතනයේ දක්ෂකම් අනුව වර්ග කරන ලදී. භික්ෂූන් අතර පහළම මට්ටම වූයේ සාමණේරවරුය. භික්ෂූන්ට ප්‍රධානය කරන ලද උසස් ම උපාධිය “බහුශ්‍රැත” විය. මෙම උපාධිය ලබා ගැනීම සඳහා ග්‍රන්ථ රාශියක් පරිශීලනය කළ යුතු විය. උගත් භික්ෂූන්ට විශේෂ සැලකිල්ලක් දක්වා තිබුණි. නේවාසිකාගාරවල කාමර වෙන් කර තිබුණේ ද උගත්කම අනුවය. මෙම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ ගුරුවරුන්ට උසස් මට්ටමේ සැලකීමක් දක්වනු ලැබූහ.

නාලන්දා විශ්ව විද්‍යාලය පාලනය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකටය. එහි නිලධාරින්ගේ පාලනයක් නොවීය. ආහාර පිළියෙල කිරීමත් උත්සව සංවිධාන කිරීමත් පමණක් “කර්මදාන්” නැමති නිලධාරියෙකු අතින් කෙරුණි. ආයතනයේ යම් යම් ප්‍රශ්න විසඳන ලද්දේ සභාවක් මඟිනි. භික්ෂූන් පිළිබඳව ක්‍රියා කිරීම සංඝ සභාවක් මඟින් කෙරුණි. සංඝ සභාවේ තීරණය පිළිනොගන්නා භික්ෂූන් ආයතනයෙන් නෙරපා හරිනු ලැබීය. විනය නීති කඩන භික්ෂූන් පිළිබඳව සංඝ සභාව විශේෂ සැලකිල්ලක් දක්වන ලදි. මෙම විශ්ව විද්‍යාලයේ සෑම ශිෂ්‍යයෙකු පිළිබඳව වෙන වෙන ම ලියන ලද විස්තර පොතක් තිබුණි.

සියවස් ගණනාවක් උසස් අධ්‍යාපන ආයතනයක්ව පැවති නාලන්දාව මුස්ලිම් ආක්‍රමණ නිසා විනාශයට පත් විය. මහන්මදාගම්කරුවෝ භික්ෂූහු දහස් ගණනක් මරණයට පත් කළහ. තක්ෂලාව මේ කාලය වනවිට විනාශ වී තිබුණි. පස්වන සියවසේ තක්ෂලාව හරහා පැමිණි පාහියන් හිමි මෙම අධ්‍යාපන ආයතනය මෙන් ම තවත් සාමාන්‍ය අධ්‍යාපන ආයතන කිහිපයක් ගැන ම සඳහන් කර තිබේ. මෙම කරුණු විමසා බැලීමේ දී නිදහස් අධ්‍යාපනය යුරෝපීයන් ඇරඹුව බව කිව නොහැකිය. මීට සියවස් 15 කටත් පෙර භාරතයේ තිබී ඇත්තේ ද නිදහස් අධ්‍යාපනයක් බව පැරණි විශ්වවිද්‍යාල මඟින් පැහැදිලි වේ.

අදහස්