මට මගේ දුව ගෙනත් දෙන්න! | සිළුමිණ

මට මගේ දුව ගෙනත් දෙන්න!

මලින්ද, අම්මාව වත්තන් කරගෙන කාමරයට එක්කරගෙන යන්නේ පොඩි දරුවෙකුට වගේ සැනසිලි බස් දොඩමින්ය. ආලින්දයේ තනිවූ රත්නසේකර යුවළත් ගොඩලියද්ද යුවළත් දැන් මූණට මූණ

බලාගෙනය. මොන වින්නැහියක් ද මේ අපට උනේ... දෑස්වල ලියැවෙන්නේ ඒ වැකිය ය.

“දෙයියන්ගෙම පිහිටයි බුදුන්ගෙම සරණයි අම්මෝ අද නම් ඇති වෙන්නම හොල්මන් වුණා...”

දේශන හමාර කර විත් කාමරයට ඇතුළුවෙන ගමන් ම සංජය කියන්නේ කමිස බොත්තම් ගලවමිනි.

“මොකක්ද බං ඒ කතාවෙ තේරුම. උඹලා කැම්පස් ආවෙ ඉගෙන ගන්න නෙවෙයිද ආ... ජොලි කරන්නද...?”

සිරිනාත ඇඳේ හාන්සි‍වීගෙනම අසන්නේ පොත පසෙකට දමන ගමන්ය. ඒ එක්කම දිග ඈණුමකුත් පිට කෙරෙයි.

“අඩ්ඩඩ්ඩා... ඕං.. එනවා අපේ මනමාල මහත්තයා... හා... පෙනේද මූණෙ තියෙන මනමාලකම ආ...!”

තුන්දෙනාම එකතු වී මඩවන්නේ ශ්‍රීමාල්වය.

“ඕං... මං මගේ වැඩේ කළා ආ...!”

සිරිනාත ඇහැක් ගසා කියයි.

“හරිගියාම ගාස්තුව ගෙවීමේ ක්‍රමයට.. නේද උඹ ප්ලෑන් කළේ...” කට දමන්නේ උදාර ය.

ශ්‍රීමාල් කතා නැතිවම තම යහන මත වාඩිවී කමිස බොත්තම් ගලවන්නේ හීන් හිනාවකින් මුව සරසාගෙනය.

“හිටපල්ලකො.. මේ සැරේ ගෙදර ගිහිල්ලා ඇවිල්ලා මං උඹලට එරියස් එකත් එක්කම දෙන්නම්කො... එතකල් මේ බෝඩිම් රජ බොජුනෙන් සැනසියල්ලා හා!”

“බෑ බෑ ඇඩ්වාන්ස් එකක් විදියට වත් අපිට මොනවහරි ඕන බං... චී චී.. නැත්නම් ලැජ්ජයිනෙ...”

ඇඳුම් අහවර කර සරමට බැස තුවාය අතට ගන්නා ගමන් ශ්‍රීමාල් හයියෙන් හිනාවෙයි.

“අනේ ඉතිං උඹලත්... මාවම කන්න බලන් ඉන්නවා..!”

“අනේ ඉතිං මේ දුප්පත් අපි... උඹලත් මාවම කන්න බලන් ඉන්නවා...!”

“අයියෝ ඉතිං මේ දුප්පත් අපි... උඹව නැතිව කාව කනවද මචං... හා.. හා... වොෂ් දාගෙන වරෙන්කො මෙහේ ඩිනර් එකට කලින් අපි ගිහිල්ලා පොඩි පහේ සප්පායමක් වෙලා එමුකො...”

දැන් ශ්‍රීමාල්ට දුකය. ඔහු බෑගය අවුස්සා මුදල් තත්වය පිරික්සන්නේ ඒ නිසාවෙනි. තව දවස් දෙකක් ජීවත්විය යුතුව ඇත. ජීවත් වෙනවා කියන්නේ මේ ‘බෝඩිම් පවුල’ නඩත්තු කිරීමය! ගෙදරින් වාහනය එන නිසා ගමන් ගාස්තු ඉතිරි කරගත යුතු නැති බව මතක් වී හිතට ඉස්පාසුවක් දැනෙයි.

“හා... එහෙනං.. ලෑස්තිවෙයල්ලකො.. මං වොෂ් එකක් දාගෙන එන්නම්..!”

දැන් යාළුවෝ තුන්දෙනාම ඇ‍ඳන් උඩම පිනුම් ගසති.

“අම්මපා..! උඹ නම් දෙයියෙක් බං! පට්ටම පට්ට... හහ්!” එතැන මහා හිනා සාගරයකි.

නාන කාමරයට වැදුණාම ශ්‍රීමාල්ගේ සිත තුළ සිහිල් ජල ධාරාවක් පිටාර යනවා දැනෙයි.

‘නිල්කට්රොල් මල’ එක්ක කතා කරන්නට ලැබුණේ ඉතාම සීමිත වචන ටිකකි. නමුත් සංසාරෙන් සංසාරෙට කතා කරගෙන ආපු.. ගිවිසගෙන ආපු... වචන ගොඩක් පෙළගැහිලා.. ඒ වචන පිටුපස්සේ පෙරහැරක් වගේ ආවේය.

මේඛලාගේ කතා කරන දිගැටි දෑස් තම දෑස් මත වැතිරෙන්නේ හරියට සුව යහනක සැතපෙනවා වගේය. ඇස්වලට දැනෙන ඒ සනීප සිසිලස හිත පුරාම මඩු දුවනවාය. යම්තම් හිනාවක් ඇගේ දෙතොලට ලස්සනය. පුළුල් හිනාව...! කොක් හඬලන හිනාව...! ඒ කොයි විදියෙන් වුණත් මේඛලාට ලස්සනය.

මේඛලාට තමන්ව පෙනෙන්නේ මොන වගේද? ඇස්වලින් ලියුම් ලියනවා වගේද? මේඛලා බලන්නේම ඇස් දෙක පතුලටමය...! ශ්‍රීමාල් කණ්ණාඩිය ඉදිරියේ හිටගෙන තමුන්ගේ දෑස් දිහාම ඇසිපිය නොහෙලා බලයි. දෙවියනේ ඒ ඇස් අතරින් මතුවෙලා එන්නේ... මේඛලාගේම දිගැටි දෑස්ය!

එකවරම නාන කාමර දොරළඟ ගාලගොට්ටියකි. කවුදෝ දොරටත් ගසයි. ශ්‍රීමාල් වතුර කරාමය ඇර ඇඟ සෝදාගනියි.

“යකෝ.. උඹ දියබුං ගහලා ඉවර නැද්දෝ... දැන් පැයක් තිස්සේ උඹ ඔතන. අපි ලෑස්තියි..!”

සමීරගේ වාචාල කටහඬට බණිමින් ශ්‍රීමාල් ඉක්මනින් නාන කාමරයෙන් එළියට එන්නේ ඒත් තරහින් නොවේ.

“හ්ම්.. යමල්ලා යමල්ලා.. මගෙ පූරුවෙ ණය කාරයො ටික..!” ඊළඟ විනාඩි පහ ඇතුළත හතර දෙනාම බෝඩිමෙන් පිටවෙන්නේ විනෝදයෙනි. ශ්‍රීමාල්ට සිරිනාත එක්ක කතාකරන්ට ඕනෑවී ඇත. ඒ තනිපංගලමේය. ඒ බව දන්නා සිරිනාත හිස ඇලකර ඇහැක් ඉඟි කරන්නේ මේඛලා සම්බන්ධ තොරතුරු පැවසීමට මිත්‍රයා තුළ ඇති උනන්දුව හඳුනාගනිමිනි.

*******

රත්නපුර වළව්වේ ලොකු කලබැගෑනි‍යකි. සුදු මැණිකෙ හාමු මොකක්දෝ හීනයක් දැකලා දොඩවන්නට පටන් අරගෙනය. උදේ ඉඳන්ම කන හැම දෙයක් ම වමනය කරන බව කීවේ කුස්සියේ වැඩකරන මැගීය. ඩග්ලස් හාමු කලබල වුණේ මැණිකෙ හාමුගෙ ඔළුව හොඳ නැතිවෙලාවත්ද කියා රියැදුරු ඩේවිඩ් කුස්සිය පැත්තේ කියවනවා ඇහිලාය.

“ඊයෙ අම්මා හොඳට හිටියෙ.. මේ ඩිංගට මොකද මේ වුණේ...?”

මලින්ද වැඩට යන්න ලෑස්තිවෙලා අම්මා ගැන කරදර සිත් ඇතිකරගෙනය.

“රාත්තිරි මොකක්ද බය හීනයක් දැකලා බේබි හාමු...! ඒකයි මේ මොර දෙන්නේ... සමන්ති බේබිව දැකලා...!” මැගී කියවයි.

ඩග්ලස් හාමු තම බිරිඳ දිහා බැලුවේ පුදුමයෙනි. ඇ‍ගේ වචන පවා සැරපරුසය. ඇස් රතුවෙලාය.. තොල් බරි වෙලාය. හරියට යක්ෂ දිෂ්ටියක් වැහිලාවත්ද?

“පුතේ.. අම්මට ශාන්ති කර්මයක්වත් කරන්ට වෙයිද...”

මලින්ද වැඩට යාම නවතා අප්පච්චි ළඟ මොහොතක් නතර වෙයි. හයියෙන් හුස්ම ගන්නා විදියට අප්පච්චිටත් මොනවා හරි ලෙඩක් හැදෙන්න එනවා වගේ පෙනෙයි.

සද්දන්ත පෙනුමෙන් හිටියාට අප්පච්චිලා හරි දුර්වල ය!

“පොඩ්ඩක් ඔහොම වාඩිවෙන්නකො අප්පච්චි... කලබල වෙන්න එපා... ඔය ‘මානසික ආතතියක්’ අම්මට ඇවිල්ලා තියෙන්නෙ... ඒක දැන් ඕනෑම කෙනෙකුට බහුලව වැල‍ඳෙන රෝගයක්. ඉස්සර ඉතිං.. යකා වැහිලා කියන්නෙ මේවාට වෙන්න ඇති. අම්මා පහුගිය ටිකේම තදබල කම්පනයක් යටපත් කරගෙන බොහොම අසීරුවෙන් හිටියෙ. ඔය එකපාරම ඇවිස්සිලා තියෙන්නෙ ඒ යටපත් කරපු චිත්ත වේගය තමා... අක්කාගෙ නම කිය කියා අම්මා කෙඳිරි ගාන්නෙ... තේරෙනවානේ”

“ආන්න හාමු.... ඒ පාර ජයතිස්සට කතා කරනවා...!” මැගී ආලින්දයට දුවගෙන විත් එහෙම කියද්දී ඩග්ලස් හාමු කලබල වෙයි.

“ජයතිස්ස ගෙදර ගිහිල්ලා එන්න ගියානෙ.. හදිස්සියෙ පණිවිඩයක් ඇවිල්ලා.. ඇයි සුදු මැණිකෙ මේ කරදර කරන්නෙ.. ඇය මට මෙහෙම කරන්නෙ.. මං ලෙඩ වෙනවා දකින්නද ඔයාට ඕනෑ?”

ඩග්ලස් හාමුගේ ඒ වදනින් එකරවම සුදු මැණිකෙ හාමු මෙල්ල වුණා වගේ හැමෝටම දැනුණි. මලින්ද නැගී සිට අම්මාගේ හිසට අත තබයි.

“ලෑස්තිවෙන්න අම්මෙ.. අපි පන්සලට යමු.. ලොකු හාමුදුරුවො හුඟ කලකින් හම්බවුණෙත් නෑනේ.. මැගී! තෙල්මල් ඔක්කොම ලෑස්ති කරන්නකො.. අප්පච්චිත් ලෑස්තිවෙන්න.. ඩේවිඩ් අපි යමු පන්සල්.. හ්ම් මම අද ඔෆිස් යන්නෙ නෑ..!”

මලින්ද ඒ අතරේ හෙමිහිට පන්සලේ ලොකු හාමුදුරුවන්ට විස්තරයක් කළේ අම්මා‍ෙග් හිත හැදෙන්න යමක් කියා සෙත් සෙත් පිරිත් ටිකක් කියා පිරිත් නූලක් බඳින ලෙස කාරුණික ආයාචනයක් ද කරමින්ය.

ඒ සියල්ල ඒ ලෙසින් ම ඉටුවී ආපසු එන ගමනේදි සුදුමැණිකෙ හාමු හරිම සන්සුන්ය.

“මට ඇති අසනීපයක් නෑ පුතේ.. මට අසනීපයක් නෑ.. ලොකු හාමුදුරුවොත් කීවෙ ඒකනෙ. ඒත්.. මට එක දෙයක්.. මට එක දෙයක්...”

ඈ ඊළඟට දෑස් පියාගෙන නිදා ගත්තාය. ඇස් ඇරියේ වලව්ව මිදුලේ වාහනය නතරකළ විටය. ඒ වෙන විට විල්ප්‍රඩ් රත්නසේකර හාමුද ආරංචිය අසා බිරිය සමඟ වලව්වට ඇවිත්ය.

“මොකෝ නංගි.. අසනීපයක් නෑනේ...”

“නෑ අයියණ්ඩි... මට.. මට සමන්ති දුව තමා දකින්න ඕනෑ.. මගෙ පපුව.. ඇට මිදුළු හිරකරනවා.. අයියණ්ඩි මට කොහෙන් හරි මගේ දුවව ගෙනැල්ලා දෙන්න දෙයි‍යනේ...!” කවුරුත් පුදුම කරවමින් සුදුමැණික හාමු විල්ප්‍රඩ් හාමුගෙ දෙපා ළඟ වැඳ වැටිලාය!

“නැගිටින්න නැගිටින්න නංගි...! අපි බලමු.. අපි බලමු..” දැන් විල්ප්‍රඩ් හාමුගේ කටහඬ ද වෙව්ලයි. මලින්ද, අම්මාව වත්තන් කරගෙන කාමරයට එක්කරගෙන යන්නේ පොඩි දරුවෙකුට වගේ සැනසිලි බස් දොඩමින්ය. ආලින්දයේ තනිවූ රත්නසේකර යුවළත් ගොඩලියද්ද යුවළත් දැන් මූණට මූණ බලාගෙනය. මොන වින්නැහියක් ද මේ අපට උනේ... දෑස්වල ලියැවෙන්නේ ඒ වැකිය ය.

“අයියේ කොහොමහරි දැන් සමන්ති දුව මුණගස්සන්න වෙනවා මේ ලෙඩේ උග්‍ර වෙන්ට කලියෙන්...!” නිර්මලා මැණිකේ කීවේ වටපිට බලමිනි.

*******

ගෙදර එන දාට කලින්දා ශ්‍රීමාල් බෝඩිමේ සිට මලින්දට ඇමතුමක් ගනියි.

“අයියෙ මම හෙට එනවා. ඔයත් එන්න ඇවිත් අපි කතා කරමු. ඔයාගෙ අර ‘සුන්දර ප්‍රශ්නෙ’ ගැන...”

මලින්දගේ හඬ ඒත් බාලවෙයි.

“මාර වැඩේ වුණේ මල්ලි.. අපේ අම්මට සෑහෙන මානසික ආතතියක් ආවා.. සමන්ති අක්කාව මතක් වෙලා.. මෙහේ හරිම ජරමරේ..”

“ඩොක්ටර් ගාවට ගියාද...”

“ඔව්... එයාලා මේක හඳුන්වන්නෙ ස්ට්‍රෙස්, ඩිප්‍රෙෂන්... නම් වලින්නෙ... කොළඹ පැත්තෙ නම් බෙහෙත් බොන්න දෙනවා ගං ගොඩවල්වල නම් තොවිල් නටනවා.”

“ඇත්තද එච්චරම සීරියස්ද? පව් සුදු මැණිකෙ නැන්දා...”

“හරි අපි හමුවුණාම කතා කරමුකො..”

“කතා කරමු කතා කරමු.. මටත් ඔයාට කියන්න දෙයක් තියෙනවා අයියෙ..”

“හා... හා.. සුන්දර ප්‍රශ්නයක් ද හහ් හා!”

ඊළඟට අයියා මලෝ දෙන්නාටම හිනාය.

“මොකක් වුණත් කමක් නෑ... ඕං... ස්ට්‍රෙස් නං හදාගන්නවා නෙමෙයි ඕං...!”

“හා.. හා.. අයියෝ.. අයියෝ... ඉතිං ස්ට්‍රෙස් හැදෙන්නේ අපිට නෙමේනෙ අපේ අම්මල තාත්තලටනෙ...!”

“ඒක නම් සහතික ඇත්ත දරුවො නටන නාඩගම් වල හැටියට අහිංසක දෙමවුපියො ‘ස්ට්‍රෙස්’ හැදිලා මැරෙන්නෙ නැතුවා පුදුමයි හහ්හා...!”

දෙදෙනාගේ හිනාව පැතිරිලා යයි.

“ඇයි පුතේ හිනාවෙන්නේ... සමන්ති අක්කා නේද...?”

මලින්ද තුෂ්ණිම්භූත වන්නේ අම්මා තමා ළඟට ඇවිත් අතේ එල්ලුණු විදියටය...!

ලබන සතියට

Comments