ගමේ කෙල්ලො එක්ක ඔට්ටු වෙන්නෙ මොකටද? | සිළුමිණ

ගමේ කෙල්ලො එක්ක ඔට්ටු වෙන්නෙ මොකටද?

සිංහ ඔළු බස්තම කෙළින් කරගෙන විල්ප්‍රඩ් හාමු නැගී සිටියේ ඊගහක් වගේය. ආලින්දයේ පඩි තුන හතර කොහොම බැස්සා දැයි නිනව්වක් නැත. රියැදුරු කරුණාදසත් එතැනට දිව එයි.

“ඇයි ජන්තු මොකෝ වුණේ?”

“අනේ ජන්තු ගිහිං බලපං... එක්ක වරෙං.. පොඩි බේබි හාමු... එහේ දාලා ආවේ...”

කෑගෑවේ නිර්මලා මැණිකේය. ඒ සද්දෙට සිරියාත් කුස්සිය පැත්තේ සිට දිව ආවේ කලබලේට බළල් තඩියාද පාගමිනි.

ඤෑස් ගාගෙන පනින කළු බළල් තඩියා නිසා වැටෙන්නට ගිය සිරියා නැවතුනේ කුලුනත් අල්ලාගෙනය.

විල්ප්‍රඩ් හාමු කෝපයෙන් පිපිරෙයි. සිරියා ඒ බැල්මටත් බයවෙලාය.

“හ්ම්.. යමල්ලා.. බලන්න.. මොකෑ වෙලා තියෙන්නෙ කියලා..”

දැන් කන්ද පල්ලෙහාට පෙරහැරකි. ඒත් පෙරහැරට වැඩිදුරක් යන්ට ලැබුණේ නැත. කන්ද නගිමින් සිටියේ ජයමාල් බේබිහාමුගෙ පිටිපසින් කුමාරත්, ඊට පිටුපසින් වෙලේ කඩේ මුදලාලිත්ය. හරියටම කොට්ටන්ගහ යටදී යුද සේනාංක දෙකක් එකට හමුවුණා වගේය.

“මොකෝ මේ?”

විල්ප්‍රඩ් හාමු විමසුවේ පුත්‍රයාගෙනි.

කතා කළේ‍ වෙලේකඩේ මුදලාලිය.

“බලන්න හාමු මහත්තයා... අර දනෝරිසාගෙ කොල්ලා අපේ පුංචි හාමු එක්ක ඔ‍රොප්පු වෙන්න ආවානේ...”

“ඔව් අප්පච්චි ඌ මහා විකාර කට කැඩිච්ච කතාවක් කියාගෙන ආවා.. වළව්වල හුටපට අරවද මේවද කියකියා”

“ඉතිං...?”

“ඉතිං මං උගෙන් ඇහුවා හුටපට තියෙන්නෙ වළව්වල විතරද කියලා.. හහ්..!”

“අනේ පුතා.. ඔයා මොකටද මේ ගමේ කොල්ලො එක්ක ඔට්ටු වෙන්න යන්නෙ ආ.. ලැජ්ජා නැද්ද..?”

දැන් විල්ප්‍රඩ් හාමුගේ සිත පසුබායි. නමුත් ඒ බව නොපෙන්වා සිටින්ට උත්සාහ ගනියි. ඒ නිසාම බිරියගේ කීමට එකඟ වෙයි.

“ඒක තමයි ළමයා මොන එහෙකට ඔය ආතක් පාතක් නැති එවුං එක්ක කතාබතාවට යනවද? ගෝරි දාගන්නවද චික්.. ලැජ්ජා නැද්ද.”

“ආ... ඒක තමා හාමු මහත්තයා මමත් පැහැදිලි කරල දුන්නේ..” වෙලේ මුදලාලි හිතේෂි මූණක් මවාගෙන කියයි.

“හරි.. මුදලාලි කමක් නෑ.. මුදලාලි යන්නකො එහෙනං.. ක‍ෙඩ්ත් ඇරලනේ. බොහොම හොඳයි පුංචි හාමුව ඇරලන්න ආපු එක!”

දැන් පෙරහැර ආයෙත් උඩහටය.

සිරියා ජන්තුවා හා කුමාර සමඟම කරුණාදාසත් ඈත් මෑත් වෙද්දි විල්ප්‍රඩ් හාමු ආලින්ද පුටුවට බරවෙලා බැරෑරුම්ව මෙහෙම කියන්නේ පොඩි පුතාටය.

“හැම තිස්සෙම වාදවලට වුණත් පැටලෙන්න යන්න ඕනෑ පුතා අපට ගැළපෙන අය එක්ක.. ඒකනේ මං කියලා තියෙන්නෙ ඔය ගමේ එව්වො ආස්සරේ කරන්න එපා කියලා..!”

“එහෙනං..”

මැණිකේ හාමුත් ඊට හූමිටි තියන්නේ පුතා දිහා බැරෑරුම්ව බලන ගමන්ම ඔසරි පොටත් අකුලා උකුළ උඩට ගන්නා ගමන්ය.

“ඒ වුණාට අප්පච්චි! ඕනැ නැති කතා කියාගෙන එනකොට අපි නිවටයො වගේ ඉවසන්න ඕනද? මම තව පොඩ්ඩෙන්උගේ දතක් කඩලයි පස්ස බලන්නෙ.. මුදලාලි හින්දා ඌ බේරුණා...! හහ්..”

ජයමාල් කීයන්නේ නැවත උද්දීපනය වූ කෝපයෙනි.

“අපූරුයි.. අපූරුයි හැදෙන හැටි.. ඉන්නකො ලබන සතියෙ අයියා ආවාම කියන්නම්කො මලයණ්ඩි ගෙ චන්ඩිකම්!”

මැණිකේ හාමු ගෙතුළට ගියේ තරහින්ය.

ජයමාල් තමාටම කොඳුරමින් කාමරයට වැදුෙණ් හොඳටම කේන්තියෙනි. ඒ කේන්තිය ඇත්තටම කා සමඟද කියා තමාම දන්නේ නැත. නමුත් තම සිත ඇවිස්සුෙණ් පාසලේදිත් පෙරදා ඇසූ යම් සිද්ධියක් නිසා බව ඔහුට මතකය. වලව් පෙළැන්ති ගැන යහළුවෝ එකතු වී කළ කතාබහකදී දීපාල් කියූ කතාව හිතේ තවම හොල්මන් කරයි. එය තමාට කළ ඇණුම් පදයක්ද යන්න තමා දන්නේ නැත.

“ආපෝ... වලව්.. ද වලව්වල ඉන්නා හාමුලා හරිම මනමාලයි...!” ඊළඟට කොල්ලෝ එක රොත්තට හිනාවුණි. ඒ අතරේ ගීත් තමාගේ මූණ දිහා බලා කරට අතක් දාගෙන කියූ දේ නිසා තම හිත තවත් පෑරුණි.

“හා.. හා.. ඔයාට එහෙම නෙමේ කිව්වේ.. හරිද?...”

*********

සරසවි භූමිය පුරාම වැතිරී ඇත්තේ පුදුමාකාර අස්වැසිල්ලකියි තමාට මුල්ම දවස්වල සිතුණු බව ශ්‍රීමාල්ට මතකය. මේ ගහකොළ මේ පරිසරය මේ හුළං පොදවල් පවා තමාට ගෙන ආවේ අප්‍රමාණ සැනසිල්ලකි.

හිරබත් කකා සිට හිරෙන් නිදහස්වී ගෙදර ආ කෙනෙකුගේ ඇති මානසිකත්වය තමාට ලැබුණු හැටි පුදුමය. දේශනවලට යද්දිත් එද්දිත් පාඩම් කටයුතු කරද්දිත් ආහාර ගනිද්දිත් හැම වෙලාවකම හිත තනිවී කොඳුරන වේදනාවක් දුකක්... ඒ මොකක්ද...?

දැනට මේ සරසවි බිමේදී දෙවතාවක් ම ‘ඇය’ දැකලා ඇත. නමුත් තවම කතා කරගන්ට බැරිවුනේ අහවල් පාපයක් නිසාද? මේ හමුවන සිය දහසක් මුහුණු අතරේ.. හමු නොවූ එකම දෑස තමන්ට උවමනා දෑසමය.

‘නිල් කට්රොල් මල’....!

ඒ තමා සිතින් ඇයට දැමූ නමය. පෙරදා රාත්‍රියේ නිදාගන්න කලින් කවියක් කුරුටු ගෑවේ ඒ ඔස්සේය.

“ඒයි!.... ඒයි! උඹට මොකෝ අසනීපයක්වත්ද බං...!”

පිටට ගසන ලද වැරෙන් පහරත් ඒ ගෝසාවත් මැද ශ්‍රීමාල් මෙලොවට ආවේ තිගැස්සෙමිනි.

එකවරම සංජය ජවනිකාවක් රඟ දක්වයි.

“රාජ සභාවෙන් අවසරයි... අවසරයි.. දැන් ‘නිල් කට්රොල්මල් බිසව්’ පරිවාර ස්ත්‍රින් දෙදෙනෙකු සමඟ රාජ සභා මණ්ඩපයට වැඩම කරනවා ඇත... ට්‍රිං.. ට්‍රිං...!”

තමා සිටින්නේ දේශනාගාරය අසල පඩිපෙළ ළඟ බවත් සිරිනාත උදාර හා සංජයට අමතරව තව කෙල්ලන් කීප දෙනෙකුන් තමා ඉදිරියේ සිටින බවත් ශ්‍රීමාල්ට පෙනෙන්නේ දෑස්වල කඳුළු පටලයන් අතරින්ය.

“ඕං...! අපි... හැබෑ මිත්‍රයො එහෙම තමා! අපි වචීපරම ලා නෙමෙයි. කිව්වොත් කළා.. කළොත් කිව්වා!”

සිරිනාත ශ්‍රීමාල්ගේ උරහිස් දෙකින් අල්ලා සොලවයි.

“තෑන්ක්යූ ශ්‍රියානි අක්කා.. සී යූ...!”

සිරිනාත ජ්‍යෙෂ්ඨ සිසුවියකට එසේ සමුදෙයි.

දෙවියනි.. පුදුම තිගැස්මක්.. යෙහෙළියන් දෙදෙනෙකුට මැදිව බිම බලාගෙන පොළව හාරා සිටින්නේ කවුද... නිල්කට්රොල් මල හෙවත් මේඛලා ය..!

“හ්ම් දැන් ඉතිං කතාකර ගනිල්ලා... විනාඩි දහයයි තියෙන්නේ අපි යනවා හෝල් එකට...”

උදාරත් සංජයත් යන්න යයි. මේඛලා සමඟ ආ පරිවාර දෙදෙනාත් ඈතට වී ඈතක් බලාගෙනය.

ශ්‍රීමාල් හෙමිහිට... මේඛලා අසලට ළං වෙයි... මේඛලා තම සෙරෙප්පුවෙන් සිමෙන්ති බිම හාරයි..

“මාව මතක ඇති නේද?... මම.. ශ්‍රීමාල්..!”

මේඛලා හිස ඔසවා බලා සිනාසෙයි.

“මොකද නැත්තෙ මතකයි...!”

“මං ඒත් මෙහේ ආපු දා ඉඳන්ම ඔයාව හෙව්වා.. ඔයා ගැන ඇහුවා.. ඒත් ආරංචියක් ලැබුණෙ නෑ..”

“ඒත්...” මේඛලා පැකි­ෙළමින් වටපිට බලයි.

ශ්‍රීමාල් ඈ දිහාම බලාගෙන ඉඳියි. ඇසිපිය වැටෙනවාදත් සැක සහිතය. තමා හරියට ඇහැටුල්ලෙකු ගානය.

දැන් සිසුන් සිසුවියන් සිය ගණනක් එහා මෙහා යන වේලාවය. ඒත් එතැන හිටින්නේ තමන් දෙදෙනා විතරක්මය...!

“මොකක්ද ඒත් කිව්වේ...?”

මේඛලා ඇසිපිය වාර ගණනාවක් ම හෙළයි.

“මම දවසක් දැක්කා.. ඔයා යාළුවො එක්ක යනවා.. ඒත් මං කතා කළේ නෑ....!”

ආයෙත් ශ්‍රීමාල් මේඛලාගේ දෑස් දිහා බලයි.

ඇස්වලින් එවූ ලියුම...!

ඒ කවිය මතක් වෙලා ඔහුට හිනා යයි. මේඛලාටත් හිනා යයි.

“ඇයි හිනා වෙන්නෙ...?”

ශ්‍රීමාල් වටපිට බලා ඇගේ අස්වලට එබිලා අසයි.

“ඔයා හිනාවුණු හින්දා...!”

මේඛලා කියද්දී ශ්‍රීමාල් ආයෙත් හිනාවෙයි. දෙදෙනා ගේ දෑස් - දෑස් මත මොහොතකට වැතිරෙයි.

“ඒයි! මේ.. උඹලා අද ලෙක්චර්ස් යන්නෙ නැද්ද ආ...?”

සමීරා කෑ ගසයි. අනෙක් ‍යෙහෙළිය හයියෙන් හිනාවෙයි.

“හරි.. ඔයා යන්න..!”

ශ්‍රීමාල්, මේඛලාට සමුදී වහාම දේශනාගාරය බලා දිව යයි. දේශනාගාරයට ඇතුළු වෙනකල්ම තම හදවත වෙනදාට වඩා වේගයකින් ගැහෙන බව දැනුෙණ් නැති එක පුදුමය!

*********

“ඇහුණිද සුදු මැණිකේ.. අපි.. මලින්ද පුතා ගැන මීට වඩා ටිකක් හොයන්න ඕනෑ...!”

‍ඩග්ලස් ගොඩලියද්ද හාමු බිරියට කියන්නේ මිදුලේ බුදු කුටියෙන් එළියට එන ගමන්ය.

“ඇස් දෙකෙන් එකක් අපට නැතිවුණා.. දැන් එක ඇහැයි තියෙන්නෙ.. ඒකවත් රැකගන්න ඕනෑ...!”

මලින්ද රැකියාවට යන්න ලෑස්තිවී ආලින්දයට එනවිට ඇසු‍නේ ඒ දෙබස ය.

“කාගෙද අම්මේ ඇහැක් තුවාල වුණේ...”

කරේ බැන්ද ටයිපටියේ ගැටය තදකරන ගමන් මලින්ද කියන්නේ ඔලොක්කුවට වගේය. ඒ එක්කම ඔහු පහත්වී අම්මාටත් අප්පච්චිටත් වඳියි.

“දෙමවුපියන්ට ඉතිං දරුවො තමුන්ගෙ දෑස් වගේ තමා! එහෙනං...” සුදු මැණිකෙ කියන්නේ පුතාගෙ හිස අතගාමිනි. අම්මලාගෙ ඔඩෙක්කුවල ඊයෙ පෙ‍ෙර්දා නැළවුණු පොඩි කොල්ලෝ අලිපැටව් වගේ ෙලාකු වෙලා අම්මලාට උන් දිහා බලන්න වෙන්නේ මූණු උඩට හරවාගෙනය. ඇය පුතා දිහා බලන්නේ ආඩම්බරයෙනි. තමා සමන්ති දුව දිහා බැලුවෙත් මේ ආඩම්බරයෙන් ම බව මතක් වෙලා ඇස්වල කඳුළු පිරෙයි.

“තෙරුවන් සරණයි පුතේ පරිස්සමට... හැම දෙයක්ම...!”

මලින්ද යම්තමට සිනාසීගෙන වාහනයට නැග්ගත් හිතට දුකක් ඇතිවෙන එක වළක්වාගන්ට බැරිවෙයි.

“මේ තරම් දරුවන්ට බැඳෙන එකතමා දෙමවුපියන්ගෙ මෝඩකම..” ඔහු එහෙම කියන්නේ වාහනය පණ ගන්වන ගමන්ය. අක්කා ජයේන්ද්‍ර සමඟ දැනට ජීවත් වන්නේ ඈත දුර පළාතකය. නමුත් ඇය සතුටින් ජීවත්වන බව හිතෙයි. ඊයේ දුන් දුරකතන ඇමතුමෙන් ඇය කීවේ ජයේන්ද්‍රගේ රැකියාව දැන් ස්ථිර බවත් තමාත් කෙසේ හෝ ගුරුපත්වීමක් සොයාගන්නා බවත්ය.

වාහනය වත්තෙන් එළියට ගන්නා ගමන් ඔහු ශ්‍රීමාල් මල්ලීට ඇමතුමක් ගනියි. තමාගේ ප්‍රේම සම්බන්ධය ගැන ශ්‍රීමාල් එක්ක කතා කළ යුතු යැයි හිත කියන්නේ දහස්වැනි වතාවටය. සමන්ති අක්කාට වෙලා තියෙන දේත් එක්ක තමාටත් එවැනි මුරණ්ඩු තීරණයක් ගන්න සිදුවීම සාධාරණ නැතැයි හිත ඇතුළේ කෙනෙක් හඬගා කියයි.

“ඇයි මලින්ද අයියා.. මේ ලෙක්චර් එකක් ඉවර වුණා විතරයි.”

“මට ඔයාව හම්බවෙන්න ඕනෑ මල්ලි ලබන සතියෙ යනවා නේද?”

“හා.. හා හම්බවෙමු... හම්බවෙමු.. ඇයි අයියේ සමන්ති අක්කලාට කරදරයක් නෑ නේ..”

“නෑ.. නෑ.. මේ මට පොඩි කරදරයක්.. හහ් හා... පුංචි සුන්දර කරදරයක්...!”

“හා. හා.. මං දැනගත්තා... එන පොට හොඳ නෑ කියලා. ආ.. මම දැනගතිමි.. මම සැක කළෙමි..! මොකද හොරේ.. ඔයත් පැනලවත් යන්නද ආ...!”

“අනේ නෑ මල්ලි දැන දැන කොහොම ගින්දර මොළවන්නද අම්මලගෙ හිත්වලට.. එයාලා පව්..”

“එයාලාත් පව්... ඉතිං... අපිත් පව් ම තමා... හහ්...!”

“මේ මං තියනවා! වැඩට යන ගමන්.. රෑට ගන්නම්කො.. ඔයත් දැන්.. පොටකට ඇවිල්ලා වගේ.. ආ.. නැද්ද...?”

“චී. චී.. ඕන්න වැඩිමහල් සහෝදරයන් බාලයන්ට දෙන නරක ආදර්ශ ආ.. හරි.. හරි.. රෑට ම කතා කරමුකො...!”

*********

චන්ද්‍රලතා වත්තේ අතවැසියා වන රැපියෙල් වැඩකරන හැටි බලා සිටින්නේ ලොකු ගල්තලයක් උඩට වෙලාය. ජයතිස්ස රත්නපුර වලව්වත්තේ වැඩට ගිහිල්ලාය. එකවරම කුරුල්ලන්ගේ කලබගෑනියක් ඇහෙයි. වාහනයක් වත්ත පැත්තට ඇතුළුවෙයි.

මේ නම් විල්ප්‍රඩ් හාමු වෙන්නට බැරිය...! කවුද එහෙනම්.. ආපු වාහනය වැට කඩුල්ල ළඟ නතර වෙද්දී ඉස්සරහා අසුනින් බැස්සේ කවුද.. රටක් රාජ්‍යයක් වගේ පුතා... ජයේන්ද්‍රය...! ජයේන්ද්‍ර පහත්වී අම්මාට වඳින්නට කලින් අම්මා පුතාගේ කරේම එල්ලිලා ඉවරය.

“පුතේ...!”

ඒ හඬ පොල්වත්ත පුරාම දෝංකාර දෙද්දී පසුපස අනිත් අසුනින් බසින්නේ සුකුමාර යුවතියකි. ඇගේ මුහුණ හිනාවකින් එළිය වැටිලාය.

‘අම්මා...!’ කියාගෙන ඇය නැමී පහත්වන්නට හදද්දී චන්ද්‍රලතා පස්සට පැන හඬන්ට තියාගනියි.

“අනේ දරුවනේ.. යමු ඇතුළට... මං හිතුවෙ නෑ මේ තකහනියෙ පුතාලා අදම ඒවි කියලා.. කෝ මේ චන්ද්‍රානි.. මයෙ දුවේ.. මේ අයියලා ඇවිල්ලා...!”

“අනේ දෙයියනේ එහේ සැප පහසුකම් මෙහේ අපි ළඟ දෙන්න නෑ දරුවෝ...!”

සමන්ති, තම නැන්දම්මා දිහා බලාගෙන සිටියේ හදවතින් ම උපන් කරුණාවෙනි. චන්ද්‍රලතා මේ තරම් ලස්සන කාන්තාවක් බව ඇය දැන සිටියේ නැත. ජයේන්ද්‍ර සිනාසිසී එතැනට ආවේ “යමු දොළට... වතුර දෙකක් නාගන්න” යැයි කියමින්ය.

“නැන්දම්මයි ලේලියි බරට කතාව වගේ...” ඊළඟට ඔහුට එසේ කියවිණි.

“මේ මගේ නැන්දම්මා නෙමේ.. මගේ අම්මා!”

සමන්ති, චන්ද්‍රලතාව බදාගෙන ඇගේ මූණ සිම්බාය.

“අනේ දරුවො පොල්වත්තෙ පොල් අහුලලා මගේ ඩාදිය වකා‍රෙ...!”

ඇගේ අහිංසක දෑස දිලිසෙන හැටි සමන්ති බලා සිටියේ සතුටිනි. චන්ද්‍රානිට සතුට විඳගන්න ම අමාරු වගේය. ඒ නිසාම ඇය එකල මෙකල වෙද්දී ජයේන්ද්‍රට හිනාය.

“මොකෝ නංගි.. ප්‍රශ්නෙ.. ආ?”

“ම.. මං.. තාත්තට කියන්නං අයියලා ආවා කියලා. අයියලා අද මෙහේ ඉඳලා නේද යන්නේ...?”

ජයේන්ද්‍රගේ මූණ බැරෑරුම් වෙයි.

ඩග්ලස් ගොඩලියද්ද හාමු සමඟ විල්ප්‍රඩ් රත්නසේකර හාමු ඇස් ඉදිරිපිට මැවිලා තමාව වත්තෙන් පිටමං කරන්ට හදයි.

“වරිගෙ නහපු එකී..”

ඔවුන් සමන්තිව කුදලාගෙන යයි.

“අපේ මූණෙ දැලි ගාපු එකා...!”

ඊළඟට ඔවුන් තමුන්ට ගල්කැට විසි කරයි.

ඒත්...! ඒ එකක්වත් සිදුවෙලා නැත. පහුගිය කාලේ අත්විඳපු දුක්කන්දරා ඔක්කෝම මේ මහගෙදර සීමාවට මේ ඉසව්වට ආවාම අමතක වෙලා යන හැටි...

“පුතාලා දොළ ළඟට ගිහිල්ලා නා කියාගෙන එන්නකෝ... අපි කෑම ටිකක් පිළිවෙළ කරන්නම්කො.. උදේ කොස් කෙඩියකුත් කැඩුවා...”

“අනේ අම්මෙ.. එහෙනං කිරිකොස් ටිකක් හදන්නකො. මෙයාට දොළ දුකක් ආවා කිරිකොස් කන්න...!”

දැන් චන්ද්‍රලතාගේ හිතට ඉස්පාසු නැත. ඇය ලේලිව බදාගනියි. තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ඉල්ලයි.. ඒ අතරේ සමන්ති මහා හඬින් හඬන්ට ගනිද්දී ජයේන්ද්‍ර කලබල වෙලාය.

“ඇයි සමී.. මොකද...?”

“අනේ.. මට මයෙ අම්මා මතක් වුණා.. ජයේ!...”

ලබන සතියට

අදහස්