ඕෂෝ මහෝඝය | සිළුමිණ

ඕෂෝ මහෝඝය

ශ්‍රී ලංකාවේ පළමුවරට පළ වන ඕෂෝ ජීවන චරිතාපදානය - 03

රන් පිළිමය

කර්මාපාතුමා කියා තිබෙන්නේ මේ භවයේ උපතට පෙර භවයේ උපත ගැනයි. උපත් දෙකකට පෙර ඕෂෝ ටිබැටයේ ශ්‍රේෂ්ඨ පහළවීම් අතරින් එකක්. ඒ සිරුර දැක බලා ගැනීමට අවශ්‍ය නම් ඔබට ටිබැටයට යන්ඩ සිදුවෙනවා. එතකොට ‘පුනර්භව ශාලාවේ’ තැන්පත් කර ඇති මගේ රන් පිළිමය දැක බලා ගන්න පුළුවනි. ඕෂෝ පහළ වී සිටියේ කවුරුන් හැටියට ද කියා ඇසූ විට ලාමාතුමා දී ඇති උත්තරය මේකයි. ‘ඒක රහසක්. අපේ ආශ්‍රමවල ප්‍රධාන භික්ෂූන්වහන්සේලට හැර වෙන අයට අපි ඒ රහස හෙළි කරන්නෙ නෑ’

කර්මාපා ලාමා තුමා තවදුරටත් මේ විදිහට කියා තිබෙනවා. ‘මගේ ආශිර්වාදය හැමදාමත් ලැබෙනවා. ටිබැට් ජාතිකයන් විදිහට අපට පිහිට වෙන්න බැරි අයට ඕෂෝ පිහිට වෙන බව මා දන්නව. ඒ විදිහට පිහිට වෙන්න පුළුවන් හැකියාව තියන එක ම තැනැත්තා ඕෂෝ පමණයි. ඔහු ඉන්දියාවේ පහළ වුණේ විශේෂ හේතුවක් නිසයි. ඔහු ලැබීමට තරම් ඔබ බො‍‍හෝ වාසනාවන්ත වුණා. ජීවිතුන් අතර පහළ වී සිටින, ලෝක ගුරු විය හැකි එක ම දිව්‍යමය පහළ වීම ඕෂෝයි. ලෝකය ඔහු ගැන දැන ගත්තත් ඔහු නිවැරදිව වටහා ගත්තේ ටික දෙනයි. ලෝකය නිසි පරිදි මෙහෙයවිය හැකි මේ යුගයේ ලෝක ගුරු ඔහු යි. ඔහු පහළ වී සිටින්නේ ඒ කටයුත්ත කිරීමටයි’

මා ඉපදී සිටින්නේ පූර්ණ දැනුම ‘අද්දරට ම’ ළං වුණු දැනුමක් ඇතිවයි. ‘අද්දරට ම’ කියා කීවේ ඇතැම් දැනුම් හිතාමතා ම ඉවත් කර ඇති නිසයි. හිතා මතා එසේ කළ හැකියි. මීට සම්බන්ධ ජෛන චින්තනය හුඟක් විද්‍යාත්මකයි. එහි පියවර 14 කට බෙදා තිබෙනවා. පියවර 13 ක් තිබෙන්නේ මෙලොවට සම්බන්ධවයි. අනිත් එක ඊට එපිටයි.

වසර 700 කට ඉස්සර, මගේ පෙර භවයෙදි මගේ මරණයට කලින් දවස් 21 ක අාධ්‍යාත්මික පුහුණුවක යෙදෙන්නට නියමිතව තිබුණා. දවස් 21 ක් තිස්සේ උපවාසයේ යෙදිල ජීවිතය හැර යෑමටයි මා අපේක්ෂාවෙන් සිටියේ. ඒකට හේතු තිබුණා. නමුත් මට ඒ දින 21 සම්පූර්ණ කර ගන්න බැරි වුණා. දින 3 ක් ඉතුරු වුණා. ඒ දින තුන මේ භවයෙදි සම්පූර්ණ කිරීමටයි මට සිදු වුණේ. මේ භවයේ මගේ ජීවිතය පෙර භවයේ දිගුවක්. මේ තත්වය යටතේ අතර මැද කාල පරි‍ච්ඡේදය අර්ථ විරහිතයි. දින 21 ගෙවෙන්නට පෙර කිසිවෙක් මා මරා දැමුවා. ඒ ඊට දින තුනකට කලිනුයි.

මා මරා දැමූ පුද්ගලයා සතුරකු විදියට සැලකුණත් ඔහුට මා සමඟ එදිරිවාදිකමක් තිබුණෙ නෑ. ඒ මරා දැමීමෙන් මට වටිනාකමක් ලැබුණා.

ඒ නිසා මට තවත් උත්පත්තියක් ලැබිය හැකි වුණා. නමුත් එයට වටිනාකමක් ලැබෙන්නේ ඒ උත්පත්තියෙන් මට ප්‍රයෝජනයක් ගැනීමට හැකි නම් පමණයි. තවත් උත්පත්තියක් ලැබීමේ කිසියම් වටිනාකමක් තිබෙනවාද කියා මා මේ ජීවිත කාලය පුරා ම සොයා බලනවා. එහෙම නොතිබුණොත් මේ ජීවිතයෙන් පසු මගේ කටයුත්ත අවසාන වෙනවා.

මගේ පෙර භවයෙ අවසන් කාලෙ ඉටු කර ගන්න තිබුණු කටයුත්ත දවස් තුනකින් කරගන්න හැකියාව තිබුණත් කාලය ගෙවී ගිහිං තිබුණ. ඒ වෙනකොට මගෙ වයස අවුරුදු 106 යි. ඒ දවස් තුනේ කතාව මේ භවයේ ඉපදුණාට පස්සෙ මගෙ ළමා කාලෙදි ම පටන් ගැනුණා. පෙර භවයේ දවස් තුනකදි ඉටු කර ගැනීමට තිබුණු දේ අවසන් කරන්න මට මේ භවයෙ අවුරුදු 21 ක් ම ගියා. ඒ අවස්ථාව ගිලිහුණ නිසා ඒ වෙනුවෙන් අවුරුදු හතක් දිනපතා ම එක දිගට ඒකට වැය කරන්න වෙනවා. ඒ නිසා මේ භවයෙදි මට පූර්ණ සත්‍යාවබෝධය ලබා ගන්න බැරි වුණා. ඒත් ඒ අද්දරට ම පැමිණියා.

පෙර භවයන් ගැන මේ කාරණා ටික මා ඔබට හෙළි කෙරුවෙ ඒකෙ තියෙන වටිනාකමකටවත්, ඔබ මා ගැන යමක් දැන ගත යුතු නිසාවත් නෙමෙයි. මා ඔබට ඒවා හෙළි කළේ ඔබ ලවා ඔබ ගැන ගැඹුරින් සිතා බලවන්නයි. ඔබේ පෙර භවය ගැන ගවේෂණය කරවන්නයි. ඔබේ පෙර භවය ගැන දැන ගත් මොහොතෙ ම ඔබේ අධ්‍යත්මයේ පෙරළියක් සිදු වේවි. එහි විකාශනයක් සිදු වීමට පටන් ගනීවි. එවිට ඔබ පෙර භවයේ ඔබට මග හැරුණු තැන හොයාගෙන අන්න එතැනින් නැවත පටන් ගනීවි. එහෙම නැත්නම් ඔබ මේ අනන්ත අප්‍රමාණ භව සාගරේ මංමුළාවෙලා යාවි. එත‍කොට සිද්ධ වෙන්නේ කරපු දේවල් ම නැවත නැවතත් කර කර ඉන්ඩයි.

මේ භවයත් පෙර භවත් අතර අන්තර් සම්බන්ධයක් පණිවිඩ හුවමාරුවක් තිබිය යුතු යි. ඔබ පෙර භවයේ ළඟා කර ගත්තේ මොකක්ද අන්න ඒක මේ භවයේ එළිපෙහෙළි කර ගත යුතු යි. ඊට පසුවයි ඔබට ඉදිරියට යන්න ධාරිතාව වඩවා ගන්න පුළුවන් වෙන්නේ.

හැබැයි මේ යුගයේ තිබෙන අමාරුකමත් ඒකමයි. ඔබට පෙර භවය ගැන යම් දෙයක් කර ගැනීමට අපහසු වෙන එකක් නෑ. නමුත් චිත්ත ධෛර්යය කියන දේ තමයි නැති වෙලා තියෙන්නෙ. ඔබට පෙර භවය ගැන සිහිපත් කර ගන්න පුළුවන් වෙන්නෙ මේ ජීවිතේදි ඔබ ලබපු හිතින් අයින් කරල දාන්න හරිම අමාරු මහ විසාල මතක ගොඩ මැද ඉඳගෙනම ඔබට ඔබේ හිත තැන්පත් කර ගන්ඩ ශක්තිය තිබුණොත් විතරයි. නැත්නම් මේ කටයුත්ත කොහෙත් ම කර ගන්ඩ බෑ.

පෙර භවයේ මතකයන් සිහියට නගා ගන්න පුළුවන් වෙන්නෙ මේ ජීවිතේ කිසිම මතකයකින් ඔබ කාංසාවට පත්වෙලා නැත්නම් පමණයි. නැත්නම් ඒ මතක නිසා ඔබ ක්ෂිතියට (චිත්තවේගී කම්පනයකට - මානසික ගැස්මකට) පත්වෙලා තියේවි. ඒවට මූණ දෙන්න තරම් බලවත් ශක්ති ධාරිතාවක් වඩවා ගන්ඩ ඔබට නොහැකි වෙන තාක්කල් ඔබට මා කලින් කියපු ක්ෂිතිවල දොර කවුළු විවර කර ගන්ඩ බැරි වේවි.

ඔබට මගේ හඬ ඇහෙනවද? ඔබට මා පෙනෙනවද? මා දොර ළඟ හිටගෙන දොරට තට්ටු කරනවා. මා දොරට තට්ටු කරන්නේ ඊළඟ ජීවිතයට, ඊළඟ යුගයට පිවිසෙන පොරොන්දුවෙනුයි.

ඒ තමයි පෙර භවයේ මිතුරන්ට මා ශපථ කොට කියා සිටි දෙය. පූර්ණ සත්‍යාවබෝධය ලැබුණු විට මා ඒ බව ඔවුන්ට දැනුම් දෙනවා.

ලබන සතියට... 

Comments