එදා මගේ නමටත් යාළුවෝ හිනාවුණා! | සිළුමිණ

එදා මගේ නමටත් යාළුවෝ හිනාවුණා!

 බෙලිඅත්ත ප්‍රදේශයේ පල්ලත්තර ඉපැදුණු එල්.ඒ.ඩබ්. සිරිසේන මහතා මෙරට ප්‍රකට ම නාරි හා ප්‍රසවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. යමක් කමක් තිබූ පවුලක හැදී වැඩුන ද, ග්‍රාමීය පරිසරක ඉපැදී කොළඹ ජීවිතයට හුරුවීමේදී ඔහු ලබා තිබුණේ නීරස අත්දැකීම් ය. මේ ඔහු සමඟ කෙරුණු අතීතාවර්ජනයකි.

• ඔබ ඉපදුණේ?

මගේ ගම මාතර, බෙලිඅත්තෙ, පල්ලත්තර. මගේ පියා එල්.ඒ.බී. සිරිසේන පාඨශාලා ප්‍රධානාචාර්යවරයෙක්. මව, ඩබ්. සීලවතී ගුරුවරියක්.

• ඔබේ පාසල් ගමන?

මගේ අයියා රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වූ නිසා අපෙන් ඈත් වුණා. මේක මට දරාගන්න බැරි වුණා. මම තාත්තට කිව්වා මටත් අයියා වගේ ලොකු ඉස්කෝලෙකට යන්න ඕනෑ කියලා. තාත්තා කිව්වෙ ඔය ලොකු ඉස්කෝලවලට යන එක අපි වගේ සාමාන්‍ය පවුල්වල අයට පහසු නෑ කියලා. ඔහොම ඉඳිද්දි 1950 ජනවාරි මාසෙ දවසක “සිළුමිණ” පුවත්පතේ දැන්වීමක් පළකරලා තිබුණා. මේ දැන්වීමෙ තිබුණේ කොළඹ රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ පුරප්පාඩු 5 ක් පිරවීමට ඉල්ලුම්පත්‍ර කැඳවන බව. මං මේක තාත්තට පෙන්නුවා. තාත්තා ආයෙමත් කිව්වෙ ඔය වගේ, කොළඹ 7, ලොකු ඉස්කෝලෙකට අපිට යන්න අමාරුයි කියලා. කොහොම නමුත් ‘මගේ’ ඉල්ලුම්පත්‍රය දැම්මා. පුරප්පාඩු 5 ක් පුරවන්න ඉල්ලුම්පත්‍ර 195 ක් ලැබිලා තිබුණා. මම තෝරාගැනීමේ තරග විභාගයෙන් සමත් වුණා. ගමෙන් ඇවිත් රාජකීය විද්‍යාලයට ඇතුළු වෙන්න ලැබීම මගේ ජීවිතයට විශාල ගැම්මක් ඇති කළා. ආරියසිංහල හෝටලයෙන් රෝස් පාන් කාලක් කාලා තමයි මම පාසලට ගියේ.

• මේ පාසල් වෙනස ඔබට දරාගන්න පහසු වුණාද?

ගමේ ඉස්කෝලෙදි අපි ගුරුවරුන්ට ආමන්ත්‍රණය කළේ ඉස්කෝලෙ මහත්තයා. ඉස්කෝලෙ හාමිනේ කියලා. සර්, මැඩම් කියල හුරු නෑ. දවසක් පංතියෙ ළමයෙක් මට හිරිහැර කරද්දි බොරුවට එයා බය කරන්න මං කෑගහල කිව්වා, මහත්තයෝ මෙයා මට කරදර කරනවා කියලා. එතකොට ම ඒ ළමයා අනෙක් අයට ඇහෙන්න කෑගහලා කිව්වා මෙන්න සිරිසේන, සර්ට මහත්තයා කියනවා කියලා. මං එතකොට තමයි දැනගත්තේ සර් කියන්න ඕන බව.

 

• මානසික පීඩනය තදින් දැනෙන්න ඇති?

4 පන්තියෙදි හිටපු මහත්තයා ටිකක් අඩන්තේට්ටම් කරන කෙනෙක්. කාගෙ හරි පෑනක් වගේ දෙයක් නැති වුණොත් ඔහු, අපි පොත් ගෙනියන සූට්කේස් මේසය උඩ තියන්න කියනවා. ඒ කාලෙ අද වගේ බෑග් ගෙනිච්චෙ නෑ. පොඩි සූට් කේස් තිබුණෙ. ඊට පස්සෙ මහත්තයා පේළි අතරින් ඇවිද ගෙන යනවා. ඔය යන අතරෙ මුහුණෙන් හොරා අල්ලන්න එයාට පුළුවන් වගේ ගුරු මේසය ළඟට ගිහින් එයා කෑගහල කියනවා වික්‍රමසිංහ, සොයිසගෙ සූට් කේස් එකේ බලන්න. ධර්මකීර්ති, සිරිසේනගෙ සූට්කේස් එක බලන්න කියලා. අපි ගමෙන් ආ නිසා අපි හොරකම් කළා වගේ. මේවායින් අපිව මානසික පීඩනයකට පත් වුණා. දවසක් අපිට රචනාවක් ලියන්න දුන්න මා නිවාඩු කාලය ගත කළ හැටි කියලා මං ලිව්වා. තාත්තගෙ පුරුද්දක් තිබුණා අපි දවල් කෑම කාලා ඉවර වුණාම අපිව තාත්තගෙ මේසය ළඟට කතා කරන. අපි සහෝදරයො පස්දෙනයි එක සහෝදරියයි එතැනට ගියාම අපට ගණන් කියලා දෙනවා. දවල් 1 සිට 4 විතර වෙනකල් මෙහෙම ගණන් කියල දුන්නා. මම මේ බවත් රචනයෙ ලිව්වා. මේක කියවල මහත්තයා කිව්වා ආ ගණන් හදනවා නේද හැදුවට කමක් නෑ ගණන් අරින්න එන්න එපා කියල.

• ඔබ රාජකීයේ අසමත් කණ්ඩායමටත් වැටෙනවා?

රාජකීය විද්‍යාලයෙ 6 පන්තියට යන්න අපි විභාගයකට ලියන්න ඕන. 5 පන්තියෙ හිටපු මහත්තයා ප්‍රසිද්ධ කෙනෙක්. එයා පළමු වාරයෙ ඇමෙරිකා ගිහින් දෙවන වාරයෙ පන්තියට ආවා. මේක වැදගත් කඩඉම් පන්තියක්. තුන්වෙනි වාරයේ එයා පන්තියම දෙකට බෙදුවා. වැඩ බැරි සහ වැඩ පුළුවන් අය කියලා. එහෙම කරලා කිව්වා මං දැන් නියත වශයෙන් පාස්වෙන අයට උගන්වනවා. අනෙක් අය අහගෙන ඉන්න කියලා. මං හිටියෙත් අසමත් වෙන කණ්ඩායමේ. එතකොට වයස අවුරුදු 10 යි. ශිෂ්‍යයකුට එවැනි අත්දැකීමක් ලබන්න වීම කනගාටුදායකයි. කොහොම නමුත් විභාග ප්‍රතිඵල ආවම වැඩ බැරි කොටසේ හිටපු අය සමත්. වැඩ පුළුවන් කියපු අය අසමත්.

• ගෙදරින් ඈත්වුණු ඔබේ බෝඩිං ජීවිතය කොහොමද?

මුල්වාර දෙකේ ම මං දෙහිවල පාමංකඩ බෝඩිමක නතරවෙලා පාසලට ආවෙ. තුන්වෙනි වාරයෙ ශිෂ්‍ය නිවාස ලැබුණා. ඒක විශාල දෙයක්. ඒකෙ නතර වුණු නිසා අනෙක් ශිෂ්‍යයන් සමඟ උරෙන් උර සිටිමින් අපට ඉංග්‍රීසි භාෂාවත් ඉගෙනගන්න ලැබුණා. ඒ කාලෙ පාසල් වේලාව උදේ 8.00 - 3.45. 8 ට පටන් අරන් 11.55 ට කෑම පැය ලැබුණා. සවස්වරුව 12.55 - 3.45. හුඟක් ළමයි ගෙදරින් කෑම ගෙනාවා. මට ශත 50 ක් ලැබුණා ටක්ෂොප් එකෙන් මොනවහරි කන්න. උදේ 10 ට කෙටි විවේකයකුත් සවස 2.30 ට කෙටි විවේකයකුත් තිබුණා. පන්තියෙ අනෙක් ළමයි ධනවත් අය. ඒ අය ටක්ෂොප් එකට දුවල ගිහින් පැටිස් කනවා, ලයිම් - ඔරේන්ජ් බොනවා. මට පොකට් මනි ලැබුණේ ශත 50 යි. ඒකෙන් හුඟක් දවස්වලට මම බුල්ටො කියල ටොෆි එකක් තිබුණා. ඒවා කනවා. දවල්ට මම තර්ස්ටන් පාරෙ තිබුණු හෝටලයෙන් තෝසෙ 2 ක් කනවා. බත් කන්න ශත 50 ක් ඕන. තෝසෙ එකක් ශත 5. ඉතුරු ශත 40 න් උදේ සවස ඉන්ටවල් එකට ‍ටක්ෂොප් එකෙන් මොනව හරි කෑවා. මට කවුරුවත් එහෙම කරන්න නොකිව්වත් අපිම හිතලා වෙලාවට අවශ්‍ය දේ කෙරුණා.

• විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී මොනවගේ දක්ෂතාද දැක්වුයේ?

ඉංග්‍රීසි දුර්වල නිසා අපි ටිකක් කොන්වුණා. මේ පසුබිම ජයගන්නත් ඕන. මං හුඟක් බාහිර ක්‍රියාකාරකම්වල යෙදුණා. බාලදක්ෂ, ශිෂ්‍යභට කළා. සාහිත්‍ය සංගමයෙ ලේකම් වුණා. සමාජසේවා සංගමයෙන් මට විශාල ගැම්මක් ලැබුණා. මං ඒකෙ ලේකම් වුණා. ඒකට පත්වුණේ තරගයකින්. මමයි, පිලිප් ගුණවර්ධනගෙ පුතා ඉන්දික ගුණවර්ධනයි අතරෙ තමයි ඔය තරගය තිබුණෙ. මං දිනුවා. ඉන්දික උපලේකම් වුණා. මං තාත්තට මේ බව ලියුමකින් දන්වා යැව්වා. තාත්තා සතුටෙන් මට පිළිතුරු එව්වෙ මගෙ පුතා ලේකම්, පිලිප්ගෙ පුතා උපලේකම් කියලා. මේ සංගමයෙදි අපි ශ්‍රමදාන, සෞඛ්‍යදාන කඳවුර වගේ ගොඩක් දේවල් කළා. ඒවායෙන් විශාල පන්නරයක් ලැබුණා. නිවාසාන්තර මට්ටමෙන් ‍බොක්ෂිං, ක්‍රිකට් වගේ ක්‍රීඩා කළා. ඔරු පැදීමේ කණ්ඩායමේ නායකත්වයටත් පත්වුණා. ඔරු පැදීමෙන් මම වර්ණත් ලැබුවා.

ශිෂ්‍යභට බළකායේ සාජන් මේජර් පදවියත් ලැබුණා. මෙහෙම ගිහින් ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරටත් පත්වුණා. ඒ කාලෙ ශිෂ්‍ය නාය‍කයො හිටියෙ 10 - 15 ක් වගේ. ගමෙන් ඇවිත් එතැනට පැමිණීම සුවිශේෂ ජයග්‍රහණයක්.

• ඔබ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්නෙ?

උසස් අධ්‍යාපනය සඳහා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න වරම් ලැබුණා. වෛද්‍ය විද්‍යාලයෙ හතරවෙනි අවුරුද්දෙ අපට ගර්භාශ පිළිකා ඉගැන්වූ මැඩම් එය ඉතාමත් සාර්ථකව කළ නිසාත් පසුව මම නාරි හා ප්‍රසව ක්ෂේත්‍රය තෝරා ගත්තා. මේ ක්ෂේත්‍රය තෝරගන්න හුඟක් ම බලපෑවෙ එතුමියගෙ ඒ ඉගැන්වීම. වසර 5 කට පසුව මට මුල්ම පත්වීම ආධුනික වෛද්‍යවරයකු හැටියට ලැබුණෙ ගාල්ල රෝහලට. 71 කැරැල්ල සමයෙ අම්බලන්ගොඩ ඩී.එම්.ඕ. හැටියට වැඩ කළා.

• ඔබ පශ්චාත් උපාධිය ලබන්නේ එංගලන්තයෙන්?

මං වැඩ කළ වෛද්‍යවරයා මගෙන් ඇහුවා මොකක්ද බලාපොරොත්තුව මෙහෙ දිගට ම ඉන්නවද ආපහු යනවද කියලා. මං ඉල්ලීමක් කළා. ගර්භාශ පිළිකා ගැන වැඩිදුර පුහුණුවට. ඔහු මට එය ලබා ගැනීමට සැලැස්සුවා. වසර 1 1/2 ක් මම ඒ ගැන පුහුණුවක් ලැබුවා. ඒ කාලෙ මහරගම හිටපු රෝගීන් ගැන මට මතක් වුණා. ඇවිදින ඇටසැකිලි වගේ. හැමදාම යනකොට මිනී කාර් 2, 3 ක් තියෙනවා. ආපහු ලංකාවට ඇවිත් මං සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිහින් ගර්භාශ පිළිකා ගැන මං විශේෂ පුහුණුවක් ලැබූ බවත් දන්වා සිටියා. නිලධාරීන් මගෙන් ඇහුවෙ කවුද ඔබට ඒක කරන්න කිව්වෙ ඔබ යැව්වෙ නාරි හා ප්‍රසවවේදය හදාරන්නනෙ කියලා. ගර්භාශ පිළිකා නාරිවේදයෙ අංගයක් බව මා කීවත් ඔවුන් කිව්වෙ නෑ අපි ඒකට වෙන කවුරු හරි යවන්නම් කියලා. මහරගම පිළිකා රෝහලට ඒ වනවිට ඒ සඳහා සතියකට දින 2 ක් වෛද්‍යවරු දෙදෙනෙක් සොයිසා හා කාසල් කාන්තා රෝහල්වලින් යමින් තිබුණා. මහරගම ඒ සඳහා වෛද්‍යවරයෙක් හිටියෙ නෑ. මට ඒ පත්වීම දෙන්න කියල මං ඉල්ලුවා. මොකද මට පුහුණුවක් තිබුණා. ඔවුන්ගේ ප්‍රතිචාරය වුණේ මහරගමට යන්න කවුරුත් අකමැතිව සිටියදි මම එතැනට යන්න ඉල්ලීම පුදුම සහගත බව. මෙතැන මොකක් හරි හොරයක් තියෙනවා කිව්වා. කොහොම නමුත් මට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. අනෙක් රෝහල්වල ගර්භාශ පිළිකා ගැන මං ගොඩක් වැඩ කළා.

• සුවනාරී වැඩපිළිවෙළ ගැන කතා කළොත්?

අම්බලන්ගොඩ මූලික රෝහලේ වෛද්‍යවරයකු ලෙස සිටියදී 1980 දී තමයි මම “සුවනාරී ‍සායන” පටන් ගත්තෙ. රජය ඒ නමින් ම එය 1996 දි දියත් කළා. එය ඉතා හොඳයි. සුවනාරී සායනය කියන නම මම ගුරුවරයෙක් ලවා හදා ගත්තෙ. දැන් රටපුරා ඒ සායන පැවැත්වෙනවා. මට ඒ ගැන හරිම සතුටුයි.

• වෘත්තීය ජීවිතයේ නොයෙකුත් මතක සටහන් අතර ඔබ මුහුණදුන් විශේෂ අවස්ථා සිහිපත් කළ හැකිද?

83’ ජූලි කලබල සමයේ මං නුවරඑළිය රෝහලේ රාජකාරි කළේ. රට ගිනි ගනිමින් තිබුණා. නුවරඑළිය තමයි අන්තිමට ගිනි ගත්තෙ. ඉස්පිරිතාලෙ වැඩ ඉවරවෙලා පොලීසිය ළඟ ඇවිත්, මං බලාගෙන සිටියා. පොලීසිය කන්දක් උඩ තිබුණෙ. නගරය තැනින් තැන ගිනි ගන්නවා. රෝහලටත් පහර දෙන බවට තර්ජන ආවා. මම ගියේ නෑ. සෙසු කාර්ය මණ්ඩල හිඟවුණත් වැඩ කළා. කොහොම වුණත් රෑට එක තැනක නතර වුණේ නෑ. දවසක් නිල නිවාසෙ. ඊළඟ දවසෙ මහේස්ත්‍රාත්තුමාගේ නිවසේ, ඊළඟට හෝටලයක වගේ මාරුවෙන් මාරුවට ගත කළා.

87 - 89 කාලෙ අපටත් තර්ජන ආවා වැඩට යන්න එපා කියලා. නමුත් මම දවසක්වත් නොගිහින් හිටියෙ නෑ. මට විශ්වාසයක් තිබුණා මගේ රාජකාරි ස්වභාවය මේක මෙහෙයවන අය දැනගත යුතුයි කියල. සමහර දවස්වල රෑට පාරෙ මගේ වාහනේ විතරයි. සන්නද්ධ පිරිස් නතර කරල පරීක්ෂා කරනවා. මම දන්නෙ නෑ කවුද කියලා පොලිසියද, හමුදාවද, වෙනත් සන්නද්ධ පිරිසක් ද කියලා. මාව නතර කරලා හා යන්න යන්න කියනවා.

මම නුවර ඉන්න කාලෙ මාසයකට දවසක් ලේ දන්දීමේ ව්‍යාපාරයක් පටන්ගත්තා “අපේ රෝහලට අපෙන් ලේ” කියලා. ඒක පොඩි ඉස්පිරිතාලයක් නිසා අපට මාසෙකට අවශ්‍ය වුණේ ලේ පයින්ට් 30 - 35 ක් විතර. ඒ ටික තියාගෙන ඉතිරිය අපි කොළඹට යැව්වා.

‍ • “මවුපිය මෙහෙවර” අදටත් කරගෙන යනවා?

මේ 22 වෙනි අවුරුද්ද. වැඩසටහන් 450 කට ආසන්න ප්‍රමාණයක් සිංහලෙන් වගේ ම දෙමළෙන් පවත්වා තිබෙනවා. මේ වැඩසටහන් මඟින් මාතෘත්වයට හා පීතෘත්වයට මවුපිය දෙපළ සූදානම් කිරීම, හැඩ ගැස්වීම සිදුවෙනවා. අදටත් සෑම මසකම 3 වෙනි ඉරිදා දවස අපි වෙන්කරල තියෙන්නෙ මේ වැඩසටහන වෙනුවෙන්.

• සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් විප්ලවීය ක්‍රියාමාර්ග ඔබේ මූලිකත්වය හා කැපවීම යටතේ සිදුවුණා. ඉන් එකක්, දෙකක් හෝ සඳහන් කළ හැකිද?

අපි වෛද්‍ය ශිෂ්‍යයො හැටියට සිටියදී දරුවා ලැබෙන්න සූතිකාගාරයට ආවෙ මව විතරයි. තාත්තා එළිය බලාගෙන සිටියා. පියාගෙ සහාය නැති නිසා මවට දැනෙන බැරෑරුම්කම වැඩියි. අපි පියා සහායට ගෙන්වා ගත්තා. දරුවා ලැබෙද්දිත් පියා මව ළඟින් ම සිටියා.

ඒක මවට විශාල සහනයක්. ඒත් මේවාට විරෝධතා ආවා. අපි පිටරටවලට ගිහින් ලස්සන හොඳ දේවල් ඉගෙනගෙන එනවා. හැබැයි මෙහාට ඇවිත් අමතක කරලා දානවා. වෙනත් දෙයක් ක්‍රියාත්මක කරන්නෙ. මේක රජයේ ප්‍රතිපත්තිය හැටියට පිළිගන්න කියල අපි කළ ඉල්ලීම එවක සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා පිළිගත්තා. එතුමාගේ සහයෝගයෙන් මේක අනුමත වුණා. දින 3 ක පීතෘ නිවාඩුවක් ලබා ගැනීමටත් අපිට පුළුවන් වුණා.

• සරසවි සිසු - සිසුවියන් වෙනුවෙනුත් ඔබ වැඩසටහන් ක්‍රියාත්මක කළා නේද?

මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවෙ සිටියදී තමයි “සරසවි පිවිසුම් නිජබිම් අබිමන්” කියලා සරසවියට පිවිසෙන දරුවන් දිස්ත්‍රික් මට්ටමෙන් පිළිගැනීම ලක්කරන්න වැඩසටහන යෝජනා කළේ. ඒක පිළිගන්න අවුරුදු 2 1/2 ක් විතර ගියා. නැටුම් ගැයුම්වලින් මේ දරුවොත් දෙමවුපියොත් පිළිඅරගෙන ඔවුන් රටට අභිමානයක් කියන පණිවිඩය අපි දුන්නා. මේ වැඩසටහන හරිම ලස්සනට කළා.

2007 සිට 2011 දක්වා දිස්ත්‍රික්ක 24 ක අපි මේක කළා. ඒත් මේක අහිතකර බව කවුරුන් හෝ ජනාධිපතිතුමාට කේළමක් කියලා මේක නතර වුණා. මම දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාල පාලක සභාවෙ ඉන්නවා. ඒ හරහා මේක කරන්න හැදුවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් ශිෂ්‍යයන්ගෙ ලැයිස්තුව අපට දෙන්නෙ නෑ. මේ පිළිබඳ ඉහළින් ඉල්ලීම් කළත් කෙරුණේ නෑ.

පසුව ජනාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්යසාධක බළකාය සරසවි සිසුන් දැනුවත් කිරීමට කරන වැඩසටහනට සම්බන්ධව මෙය දියත් කිරීමට කටයුතු යෙදුවත් පියවර කිහිපයකින් එයත් අඩාල වුණා. හේතුව නිලධාරීන්ට වැඩ අධික වීම. ශිෂ්‍යයන්ට දීපු තිළිණය පොතක්. ඒ සඳහා දරපු හත්ලක්ෂ විසිපන්දහසක මුදල මට දරාගන්න වුණා. ඒකත් කමක් නෑ සේවයක් වුණා. ඒත් මේක අඩාළ වුණා. දැන් යළිත් වෑයම් කරමින් ඉන්නවා.

• ජාතික සමගිය ගොඩනැඟීම අරමුණු කරමින් සිංහල, හින්දු අලුත් අවුරුද්දට පවත්වන පාද යාත්‍රාව මෙවරත් ඉකුත් 5 වැනිදා පැවැත්වුණා. මේ ගැන යමක් කිව හැකිද?

28 වැනි වතාවටයි මෙවර එය සිදුවුණේ. බම්බලපිටිය වජිරාරාමයේ සිට කදිරේෂන් කෝවිල දක්වා සංස්කෘතික අංගද සහිතව මේ පාද යාත්‍රාව පවත්වනවා. වජිරාරාමයේ කවුරුත් මල්පහන් පූජා කරලා අරඹන එය කදිරේෂන් කෝවිලේ පූජාවෙන් නිමාවට පත්වෙන්නෙ. මේකෙ නිර්මාතෘවරු බෝගොඩ ප්‍රේමරත්න සහ යෝගේන්ද්‍ර දුරෙයිසාමි මහත්වරු. අද ඒ මහත්වරු නැතත් අපි මේක ඉදිරියට ගෙනයනවා. මෙවැනි වැඩසටහන් මඟින් සංහිඳියාව අර්ථවත් වෙනවා. මං මේවායින් ගරු නම්බු නාම කිසිවක් අපේක්ෂා කරන්නේ නෑ. සතුටක් ලබනවා පමණයි.

• ඔබ සංගීතයටත් දක්ෂතාවක් දක්වනවා?

මාව ධෛර්යවත් කළේ රිච්මන්ඩ් එකේ ඩිස්නි සොයිසා ගුරුතුමා. පසුව මම වික්ටර් පෙරේරා ගුරුතුමාගෙන් සංගීතය ඉගෙනගෙන 1987 දී ගායනයෙන් විශාරද සමත් වුණා. 2002 දී විශ්‍රාම ගිහින් සෝමසිරි ඉලේසිංහ ගුරුතුමා යටතේ වයලින් වාදනය හැදෑරුවා. වයලින විශාරද විභාගයත් සමත් වුණා. මීට මාස 10 කට පමණ කලින් දකුණු ඉන්දියානු සංගීතය හදාරන්න පටන් ගත්තා. දිනපතා පැය 2 ක් විතර ඒ පුහුණුවීම් කරනවා.

• ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මගේ බිරිය චන්ද්‍රලතා සිරිසේන, පෞද්ගලික වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා. දියණිය සරෝජා සිරිසේන, රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නිලධාරිනියක් ලෙස සේවය කරනවා.

සේයාරූ :- සුදම් ගුණසිංහ

Comments