අවු­රුදු සිරිත් විරිත් ඉදි­රි­යට ගෙන යෑම කාන්තාව සතු වග­කී­මක් | සිළුමිණ

අවු­රුදු සිරිත් විරිත් ඉදි­රි­යට ගෙන යෑම කාන්තාව සතු වග­කී­මක්

අලුත් අවුරුදු උලෙළෙහි ඇති ජාතික සංස්කෘතික හා සාමාජීය වටිනාකම හා සම්ප්‍රදායික හෙළ සිරිත්විරිත් රැකගෙන අනාගත පරපුර වෙත ඒවා උරුම කර දීමෙහි ලා කාන්තාව සතු වගකීම සිහි කරමින් අවුරුද්ද හා සබැඳුණු සිය ළමා කාලය මෙනෙහි කරමින් මෙවර අප හා පිළිසඳරට එක් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මියයි.

“සිංහල අලුත් අවුරුද්ද අපේ රටේ ජනතාව සමරන සාම්ප්‍රදායිකව වැදගත්ම ජාතික උත්සවයයි. අපේ ජීවිත කාලය පුරාම මේ අවුරුදු සිරිත් විරිත් පැවත ආවා. අවුරුද්දේ ඉටුකරන සිරිත්විරිත් සමඟ අප කෙරෙන් ඈත්වෙමින් පවතින වටිනා සාරධර්ම යළිත් සිහි කැඳවීමක් සිදු කෙරෙනවා. එසේ සිහි කිරීමෙන් ඒවා අපේ දූදරුවන්ට හා තරුණ පරපුරට ආදර්ශයෙන් පෙන්වා දීමට අවස්ථාව ලැබෙනවා. අපේ දරුවන් වැඩිහිටියන් බවට පත් වූ පසුව ඔවුන් ද ඒ සිරිත් විරිත් පිළිපැදීමෙන් ඒවා අනාගතය දක්වා සංක්‍රමණය වෙනවා. ඕනෑම රටක සංස්කෘතික සම්ප්‍රදායයන් සුරැකෙන්නේ එලෙසයි. අවුරුද්ද විශේෂයෙන් ම කාන්තාවට මුල්තැනක් හිමිවන ජාතික උත්සවයක්. අවුරුදු සිරිත්විරිත් අතරින් ඉස්මතුවන වටිනා ගුණාංග රැසක් ම තිබෙනවා.

එකමුතුකමට අවුරුද්දේ මුල් තැනක් හිමි වෙනවා. අවුරුද්දේ අරුත ගොවිතැන් සාර වී බතබුලතින් සාරවූ අස්වැන්න නෙළා ගෙන එහි අග්‍රඵලය බුදුන්ට දෙවියන්ට උදෙසා කැප කර විවේකයෙන් සතුටින් කල් ගෙවීමයි. ඒ කටයුතු කරගත්තේ ගමේ හැම දෙනාම එකතු වෙලා. අවුරුදු කාලෙට අමනාප වූ අයත් මිතුරු වෙනවා. ඥාතීන්ට වැඩිහිටියන්ට බුලත් හුරුලු දීලා වඳිනවා.

වරදක් වී ඇත්නම් සමාව ගන්නවා. සමාව දෙනවා. සාමය සමගිය හොඳ හිත පැතිර යනවා. ජාති ආගම් භේද නොතකා කෑම බීම හුවමාරු කරගන්නවා. යහළුවන්ට අසල්වැසියන්ට බත බුලතින් සංග්‍රහ කරනවා.

පිරිසුදු කමටත් අලුත් අවුරුද්දේ විශේෂ අවධානයක් යොමු වෙනවා. අවුරුද්දට මාසයක් දෙකක් කල් තියාම ගේදොර වතුපිටි පිරිසුදු කරනවා. අලුත් ඇඳුම් පැලඳුම්, අලුත් වළං, ඉඳුල් නොකළ කෙසෙල් කැන් මේ ආකාරයට හැම දේම අලුත් වෙනවා. ඒ කටයුතුවලට වෙහෙසෙන අපේ සිත් තුළත් නැවුම් හැඟුම් පහළ වෙනවා.

කලට වෙලාවට වැඩ නොකරන ජාතියක් ලෙස සැලකෙන සිංහලයන්ට වෙලාවට වැඩ කිරීම පිළිබඳ වැදගත් පාඩමක් නැකැත් චාරිත්‍ර මඟින් කියා දෙනවා. අවුරුද්දේ හැම වැඩක් ම කරන්නේ නැකතට. හොඳ සුභ වෙලාවකටයි වැඩ අරඹන්නේ. වසරක් පුරා කැරකුණ කාල චක්‍රයේ නැකතක් නැති වෙලාව නොනගතයයි. නොනගතයේදී වැඩ නවත්වලා, සුබ මොහොතකින් යළිත් නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරනවා. මේවා කලට වේලාවට කිරීමෙන් යහපතක් වන බව අපි විශ්වාස කරනවා. එමඟින් අපේ දරුවන් ද වෙලාවට වැඩ කරන්නට ඉගෙන ගන්නවා. රටක ජාතියක අනන්‍යතාව රැක ගන්නටත් සමාජයේ දියුණුව සඳහාත් මෙවැනි සංස්කෘතික සිරිත් විරිත් රැක ගැනීම අත්‍යවශ්‍ය වන බව මගේ අදහසයි.,, මහාචාර්යතුමිය කියනවා.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සංකේතවත් කරමින් අපි පරණ අවුරුද්දට හිස සෝදා නානවා. අලුත් අවුරුද්දේ නැකතට ඖෂධීය ශාක හා කොළ වර්ගවලින් තැනූ නානු සමඟ හිසතෙල් ගා නානවා. මේ සිරිත්වලින් සංකේතවත් වන්නේ නිරෝගී සුවයයි. පිරිසුදු බව හා සෞඛ්‍ය සම්පන්න බවයි.

වැඩහිටියන්ට බුලත් හුරුලු දී දණ නමා වැඳීමෙන් කෘතවේදීත්වය, ආදරය, දයාව, ගෞරවය දැක්වීම වැනි යහගුණ සංකේතවත් වනවා. මෙය වත්මන් පරපුර මෙවැනි සිරිත්විරිත් වලින් ඈත් වෙමින් සිටින යුගයක්. අලුත් අවුරුද්දටවත් මේ සිරිත් විරිත් පිළිපැදීමෙන් අපේ තරුණ පරම්පරාවත් නිරායාසයෙන් ම ඒවා පිළිපදින්නට පෙලැඹෙනවා. රටක සංස්කෘතික පරිනාමයක් සිදු වන්නට මෙවැනි ජාතික උත්සව මහෝපකාරී වෙනවා.

නෑගම් යෑමෙන් පැරැණි නෑ මිතුරු සබඳතා යළි අලුත් වෙනවා. අද කාලෙ දූ දරුවන්ට දෙමවුපියන් හමුවන්නෙත් කලාතුරකින්. දරුවන් ලොකු මහත් වෙලා. වගකීම් වැඩි වෙලා. කාර්යබහුල වෙලා. අම්මා තාත්තා බලන්න යන්නවත් වෙලාවක් නෑ. බොහෝ දෙනා දෙමවුපියන් දකින්න යන්නෙත් අවුරුද්දට විතරයි. ඒ හෙයින් අවුරුද්ද නෑ මිතුරන් හමුවන සතුට වඩවන ප්‍රීතිමත් කාලයක්.

අපි පුංචි කාලේ අවුරුද්දට සැරසුණ හැටි මට තවම මතකයි. මා උපන්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දොඩම්පහළ කියන සුන්දර ගම්මානයේ. ගම්බද සිරියාවෙන් ඔප් නැංවුණු අපේ ග‍ෙම් හැම දෙනාම අවුරුද්දට සැරසෙන්නේ ජනවාරි මාසය ලැබූදා පටන්මයි. අවුරුද්දට කන්නට වෙනම ම කෙසෙල් කැනක් ඉදවීම බොහෝ ගෙවල්වල සිදු කෙරුණු දෙයක්. අපේ ගෙදරත් හොඳ සරුවට වැවුණු කෙසෙල්කැනක් අවුරුද්දට කියලා වෙන් කරනවාමයි.

මේ කෙසෙල් කැන කලට වෙලාවට ඉදුණේ නැත්නම් ගෙයි පිළිකන්නේ වළක් කපලා ඒ තුළ බිළිං කොළ හෝ කැප්පෙටියා කොළ අතුරළා කෙසෙල් කැන වළට දමා දුං ගැස්සීමෙන් වෙලාවට ඉදවා ගත්තා. පුංචි ළමයින් හැටියට මේ මුළු ක්‍රියාවලිය ම හොඳට දැක බලා ගැනීම අපිට ලොකු සතුටක්.

ගැහැනු ළමයින් වූ අපිට වඩාත් ම සතුට ගෙන දුන්නේ තාන් සුවඳ හමන පාට පාට මල්මල් චීත්ත රෙදිවලින් අම්මා මහලා දෙන ගවුම් ඇඳගෙන සෙල්ලම් කිරීම. අලුත් ගවුම් ඇඳගෙන සම වියේ කෙලිත්තියන් සමඟ එකතු වෙලා හැඩ බලාපු හැටි මට තාම මතකයි. අවුරුදු ක්‍රීඩා අතරින් මම වැඩිපුරම කැමැති වුණේ ඔන්චිලි පදින්න. ඔන්චිල්ලාව උඩ යන විට ගවුම උඩ යාවි කියලා බියෙන් කෙල්ලන් අතර තිබූ කිචි බිචිය. නැඟූ හිනා හඬ තවමත් කනට ඇහෙනවා වගේ දැනෙනවා. අවුරුදු කාලෙට මුලින් ම මට මතක් වෙන්නේ ගමේ අපි ගත කළ ප්‍රීතිමත් අවුරුද්දයි.

නොනගතේ වෙලාවට ගමේ හැම දෙනාම එකතු වෙලා තෙල්, මල් අරගෙන පන්සල් යනවා. අපි ගියේ කෙමගොඩ ගමේ රජමහා විහාරයටයි. නොනගතේ යෙදුණේ සන්ධ්‍යා කාලයක නම් අපි හඳපානේ පයින් ම පන්සල් ගියා. ප්‍රධාන පාරෙන් යනවා නම් පන්සලට ගල් පඩි සීයක් විතර නැගලා යන්න ඕනෑ.

කෙටි පාරෙන් යනවා නම් කන්ද දිගේ ඇවිදගෙන යා යුතුයි. පුංචි අපි වඩාත් ම කැමැති පඩි පේළිය දිගේ නැගලා පන්සල් යන්නයි. ආච්චිලා - අම්මලා වගේ වැඩිහිටි උදවිය හෙමින් හෙමින් ගල් පඩි නැංගත් අපි පුංචි ළමයින් නම් ගල් පඩි ගැන ගැන උඩටම දුවන්නේ තරගෙට වගේ. ඒත් විහාරයට ගියාම බොහෝම සිල්වත් විදිහට සංවරව හැසිරෙනවා.” මහාචාර්යතුමිය සිතින් අතීතයට පිය නගනවා.

අපේ ගෙවල්වල ජයට අවුරුදු කෑම මේසයක් සූදානම් කරනවා. නැකතට තාත්තා හැමෝටම කැවුම් - ‍කිරිබත් කවනවා. ඉන්පසුව ගමේ වැදගත් ප්‍රභූවරයෙක් මේසෙ ඉඳුල් කරනවා. ඒකට කියන්නේ ‘මේසේ අලෙවි කරනවා’ කියලයි. කෑම කාලා ඉවර වුණාම අපි නැකතට වැඩ අල්ලනවා. පොත්පත් කියවනවා. වැඩිහිටියන්ට බුලත් දීලා වඳිනවා. විශේෂයෙන් ම ගේ අලෙවි කරපු අමුත්තා අතින් දෙන පුංචි ශත 25 ක් වුණත් අපිට හරි වටිනවා. ඒ කාසිය අපි හරියට පරිස්සමින් තියා ගන්නවා.

ඒ කාලේ අපිට වැඩිපුරම තෑගි ලෙස ලැබුණෙ ගවුම් රෙදි. අම්මා මේ රෙදිවලින් ගවුම් පොඩි මහලා දුන්නා. අවුරුදු නිවාඩුව ළමා සිත්වලට විශේෂ සතුටක් දනවන කාලයක්. පුංචි ළමයින්ට පත පොතෙන් ඈත් වෙලා හිතේ හැටියට සෙල්ලම් කරන්න නිදහස ලැබුණා. අපි නිතර ම කළ සෙල්ලමක් කවඩි දැමිල්ල. මෙයට පංච කෙළිය කියලත් කියනවා. ලොකු කුඩා ගැහැනු - පිරිමි කවුරුත් මේ කවඩි කෙළියට සහභාගී වුණේ හරි සතුටින්.

අම්මලා - ආත්තම්මලා වැනි වැඩිහිටි කාන්තාවන් රබන් ගහන විට අපි පුංචි ළමයින් වට වෙලා බලන් ඉන්න හරි ආසයි. බොහෝවිට ඔවුන් රබන් ගැහුවෙ රබන් පද කියමින්. රබාන රත් කරලා, ලස්සන චීත්ත ඇඳපු කාන්තාවන් රබන් පද කියමින් තරගෙට රබන් ගහන හැටි බලන්න ලස්සනයි. ‍

පුංචි අපිට නොනගතේ වෙලාවට කන්න තහනම්. පුංචි ම දරුවෙක් බඩගින්නේ ඇඬුවොත් යමක් කන්න බොන්න දෙන්නේ ගෙදරින් පිටතට එක්ක ගිහින්. ලිපගිනි නිව්වාට පස්සේ ගේ ඇතුළේ වතුරවත් රත් කරන්නේ නෑ, නැකත් චාරිත්‍ර සිරිත් විරිත් එදා අපේ වැඩිහිටියන් අකුරට ම ඉටු කළා. අද ඇතැමුන් මේවා එතරම් නොසලකා හැරියත් සිංහල ජාතියේ සාරධර්ම රැඳුණ මේ සිරිත් විරිත් අඛණ්ඩව රැකගෙන ඉටු කිරීම තුළින් ඒවා අපේ අනාගත පරම්පරාව වෙත උරුම කර දීම වැඩිහිටි අපේ යුතුකමක් හා වගකීමක් ලෙස මා දකිනවා.

එදා අපේ අම්මලා තාත්තලා අවුරුදු කන්න සූදානම් වුණේ කල් වේලා ඇතිවමයි. හැම මාසෙකම ලැබුණු වැටුපෙන් හෝ උපයා සපයාගත් දෙයින් කොටසක් අවුරුද්දට විය පැහැදම් කරන්න ඉතිරි කර තබා ගත්තා. ගමේ ගොවි මහත්තුරු අස්වැන්නෙන් අග්‍ර ඵලය අවුරුද්දට වෙන් කරලා තියා ගත්තා. ගෙවිළිය අටුකොටු පුරවා ගත්තේ එදිනෙදා ලැබූ අස්වැන්නෙන්. කොස් වාරට අටුකොස් වේළලා, වැලිකොස් ඇට දමලා, දෙල් වාරෙට දෙල් වේළලා, කජු ඇට එකතු කරලා, දෙහි බිලිං සරුවට වැවුණු කාලෙට ලුණු දෙහි හදලා එක් රැස් කර ගත්තේ අවුරුදු කෑම මේසේ සරු කරන්නයි.

අද කාලේ වගේ අවුරුදු කන්නට ණයට මුදල් ලබා ගන්න සිරිතක් එදා තිබුණේ නෑ. අවුරුදු කන්න වෙනම ම ප්‍රසාද දීමනා ලැබුණේ නෑ. ඒ වගේම ජයට අවුරුදු කාලා වසරේ ඉතිරි මුළු කාලයේම ණය ගෙව ගෙවා යංතං වේල පිරිමහ ගත්තේ නෑ. සකසුරුවම හා අරපිරිමැස්ම ගැන හැම කාන්තාවකට ම සහජ දැනුමක් තිබෙන්නට ඕනෑ.

අම්මලා තම දියණියනට මේවා කුඩා කාලේ පටන් ම හුරු පුරුදු කරන්නට ඕනෑ. අවුරුදු සිරියාව නිවසක රැ‍ඳෙන්නේ ගෘහනිය, බිරිඳ හෝ අම්මා අරපිරිමැස්මෙන් කටයුතු කළ විටයි. අවුරුදු සිරිත්වල මුල් තැන හිමිවන්නේ ගෙදර ගෘහනියටයි. සිරිත් විරිත් රැකගෙන ඉටුකිරීම ඇගේ වගකීම හා යුතුකමයි. ඒ යුතුකම හා වගකීම මැනවින් හඳුනාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඒ යුතුකම ඉටු කරන්නැයි මා සමස්ත කාන්තා පරපුරෙන් ම ඉල්ලා සිටිනවා.” මහාචාර්ය තුමිය සිය පිළිසඳර නිමා කළා.

 

අදහස්