බ්‍රවුන්ස් සහ සමාගම බ්‍රවුන්ස් ශක්ති දියත් කරයි | සිළුමිණ

බ්‍රවුන්ස් සහ සමාගම බ්‍රවුන්ස් ශක්ති දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන බ්‍රවුන්ස් සහ සමාගම අනුබද්ධ සමාගම් 50 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ. වෙළඳාම් හා ක්‍රමෝපායික ආයෝජන කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන මෙම සමාගම වසර 143 ක ප්‍රෞඪ ඉතිහාසයක් සහිතය. එදා මෙදාතුර විශිෂ්ට මට්ටමේ නිෂ්පාදන හා සේවාවන් පාරිභෝගිකයන් වෙත ලබාදීම සම්බන්ධයෙන් කීර්තියක් දිනා ඇති ආයතනයකි. විවිධත්වයෙන් සපිරි, වේගයෙන් ව්‍යාප්ත වන සමූහ ව්‍යාපාරයක් වන බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරය මේ වනවිට වෙළඳාම්, නිෂ්පාදන, සෞඛ්‍ය සේවා, ආයෝජන, වැවිලි කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, සංචාරක සහ දේපළ වෙළඳාම් යනාදී ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි.

බ්‍රවුන්ස් සහ සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර සන්නාමය බ්‍රවුන්ස් ශක්ති නමින් දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි. අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා විවිධ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරන බ්‍රවුන්ස් සහ සමාගම, එම සමාජ මෙහෙවර වඩාත් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයාම සඳහා බ්‍රවුන්ස් ශක්ති හඳුන්වා දී තිබේ. මේ යටතේ සිදුකරන ලද ප්‍රථම ව්‍යාපෘතිය ලෙස ගලෙන් බිඳුණුවැව තෝඩාමඩුව විද්‍යාලය අලූත්වැඩියා කිරීම සිදුවිය.

මෙම වැඩසටහනේ මුල් අදියරේදී අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින්, රටේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටා ඇති, අර්ථවත් ප්‍රජා සත්කාරයක අත්වැල අවශ්‍ය වන පාසල් හඳුනාගෙන ඒවායේ පහසුකම් වැඩිදියුණු කිරීම බ්‍රවුන්ස් සහ සමාගමේ ඉලක්කයයි. ගලෙන්බිඳුණුවැව සිවලාකුලම ප්‍රදේශයේ පිහිටා ඇති තෝඩාමඩුව විද්‍යාලයේ සිසුන් අවම පහසුකම් මධ්‍යයේ අධ්‍යාපන කටයුතු හා කලා කටයුතු මෙන්ම වොලිබෝල් වැනි ක්‍රීඩා වලින්ද කලාපීය මට්ටමින් දක්ෂතා දක්වා තිබේ. මෙම පාසලේ ඉගෙනුම ලබන දරුවන් බොහොමයක් ප්‍රදේශයේ ගොවි මහතුන්ගේ හෝ එදිනෙදා යම් යම් රැකියාවන් සිදුකර දෛනික වේතන උපයන්නන්ගේ දරුවන් ය. 2017 දෙසැම්බර් මාසයේදී පාසල නවීකරණය කිරීමේ කටයුත්ත ආරම්භ කරන විට එම පාසලේ පුස්තකාලය ලෙස පැවතියේ සීමිත පොත් සංඛ්‍යාවකින් හා පුටු කිහිපයකින් සමන්විත කුඩා කාමරයකි. එහි ඉඩකඩ මදි වීම නිසා සිසු සිසුවියෝ පාසැලේ සියඹලා ගස් සෙවණේ සිට පොත්පත් කියවීමට හුරු වී සිටියහ. ගමේ කමතක හෝ වල්වැදුණු බිම්කඩක ඔවුහු වොලිබෝල් ක්‍රීඩාව පුහුණු වූහ. එම නිසා පාසලේ ප්‍රමුඛතම අවශ්‍යතාවන් ලෙස විදුහල්පති තුමන් පෙන්වා දුන්නේ පුස්තකාලයක් සහ ක්‍රීඩා පිටියක් ය. මාස 4 ක් තරම් කෙටි කාලයක් ඇතුළත බ්‍රවුන්ස් ශක්ති කණ්ඩායම පාසල් පුස්තකාලය නවීකරණය කර, පොත් අල්මාරි, මේස සහ පුටු ගෙනැවිත් තබා, නිර්දේශිත පොත් එකතුවක් ලබා දී පුස්තකාලය දියුණු කළහ. වල්වැදුණු පාසල් භූමිය ශුද්ධ කර සමතලා කරවා ක්‍රීඩා පිටියක්ද ඉදිකෙරිණි. වොලිබෝල් ක්‍රීඩා සඳහා සුදුසු ස්ථානය සහ ධාවන ක්‍රීඩා සඳහා සුදුසු ස්ථානය ලෙස පාසල් ක්‍රීඩා පිටිය වෙනම කොටස් වලට වෙන්කරන ලදි. ඊට අමතරව සිසුන්ගේ ක්‍රීඩා කුසලතා තවදුරටත් නංවාලීමේ අරමුණින් පාපන්දු, ක්‍රිකට්, දැල්පන්දු සහ මලල ක්‍රීඩා වලට අවශ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමටද බ්‍රවුන්ස් ශක්ති කණ්ඩායම කටයුතු කළේ ය.

මෙසේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවන අතරම පරිසරය සුරකිමින් තිරසාර සංවර්ධනයේ අගය අවධාරණය කිරීම සඳහා ඉදිරියේදී විවිධ වැඩසටහන් සංවිධානය කිරීමටද බ්‍රවුන්ස් ශක්ති පියවර ගෙන ඇත. මෙහි මූලික අදියරක් ලෙස දීපව්‍යාප්තව පැළ සිටුවීමේ වැඩසටහනක් දියත් කර තිබේ. තෝඩාමඩුව විද්‍යාලයද මෙම මහඟු මෙහෙවරට දායක වෙමින් විද්‍යාල භූමිය තුළ පැළ සිටුවීමේ අවස්ථාව සලසා දුන්නේ ය.

බ්‍රවුන්ස් ශක්ති වැඩසටහනේ බෙහෙවින් කැපීපෙනෙන ලක්ෂණ වන්නේ සමාජ ආර්ථීක වටිනාකම් වර්ධනය කිරීම සඳහා සමාජ සමෝධානිකත්වයේ වැදගත්කම අවධාරණය කිරීම සහ බ්‍රවුන්ස් සහ සමාගමේ සියලූම පාර්ශ්වකරුවන්, එනම් කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය, අලෙවි නියෝජිත ජාලය, සැපයුම්කරුවන් සහ අනෙකුත් සියලූ පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගනිමින් අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට කැපවීමයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් ආරම්භ වූ බ්‍රවුන්ස් ශක්ති සමාජ මෙහෙවර ඉදිරියේදී මුළු රට පුරාම ක්‍රියාත්මක වෙමින් රටේ සමාජ ආර්ථක වටිනාකම් නංවාලීමට පුළුල් දායකත්වයක් ලබාදෙනු නිසැක ය.

අදහස්