දේශීය ටින් මාළු කර්මාන්තය අනතුරේ! | සිළුමිණ

දේශීය ටින් මාළු කර්මාන්තය අනතුරේ!

දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්

මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා මැදිහත්වෙලා හරි කරුණාකරල ආනයනික ටින් මාළු බද්ද තිබුණු ගණනටම ඉහළ දමන්න. එවිට ආනයනය සීමා වෙයි. මිනිස්සු දේශීය ටින් මාළු පරිභෝජනයට හුරු වෙයි‍. අපේ නිෂ්පාදනය ඉහළ යයි‍. කර්මාන්තය සුරැකෙයි.

ආනයනික ටින් මාළු බදු ලිහිල් කිරීම හේතුවෙන් මෙරට ටින් මාළු කර්මාන්තය දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බවත් දේශීය ටින් මාළු කර්මාන්තය “ඇදගෙන යන තැනට” වැටී ඇති බවත් දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 වසර, ‘දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය’ ලෙස ද නම් කර ඇති පසුබිමක මෙවැනි ඛේදනීය ඉරණමක් දේශීය ටින් මාළු කර්මාන්තයට අත්වීම, ඉතාමත් ශෝචනීය බව පෙන්වා දුන් ඒ මහතා රජයේ පාර්ශ්වයෙන් මෙම ගැටලුව සඳහා ඉක්මන් විසඳුමක් ලැබිය යුතු බව ද පෙන්වා දුන්නේ ය.

රට මෙන් දහ ගුණයක් විශාල මුහුදු සම්පතක් ශ්‍රී ලංකාව සතුව තිබියදීත්, ලක්ෂ දෙකකට අධික කුඩා පරිමාණයේ ධීවර ප්‍රජාවක් කර්මාන්තයේ යෙදී සිටියදීත් සෑම වසරකම රුපියල් බිලියන 12 කට අධික වටිනාකමක් ගෙවා ටින් මාළු මෙරටට ගෙන්වීම අමනෝඥ ක්‍රියාවක් බව ඒ මහතා පෙන්වා දුන්නේ, ඉන් රටට වන හානිය ද පහදා දෙමිනි.

මෙම ක්‍රියාව නිසා චීනය, තායිලන්තය, චිලී දූපත් ඇතුළු රටවල් ගණනාවකට සෑම වසරකම ඇදී යන මුදල් ප්‍රමාණය, ඇමෙරිකානු ඩොලර් මිලියන 64 කි.

සුළු කො‍ටසකගේ දැඩි ඒකාධිකාරියක් ලෙස පවත්වාගෙන යන මෙම ඉවක් බවක් නැති ටින් මාළු ආනයනය නිසා, දේශීය ටින් මාළු කර්මාන්තකරුවන් සියලු දෙනාත් එම කර්මාන්තයේ නියුතු ඍජු හා වක්‍ර තුන් ලක්ෂයකට අධික පිරිසගේත් රැකියා, දැඩි අවදානමකට ලක්ව ඇති බව සභාපතිවරයා පැවසීය.

“මේ ගැටලුව පිළිබඳ අපි දිගින් දිගටම රජය දැනුවත් කළා‍. නමුත් මේ පවතින තත්ත්වය තවදුරටත් එසේම පැවතියහොත් වෙන්නේ අපේ රටේ ටින් මාළු කර්මාන්ත ශාලා ටික වහලා දමන්නයි. ආනයනික කෑන් එකක ඩියුටි අඩු කළාම අපි මොනවද කරන්නේ. හැම තැනෙකම තියෙන්නෙ පිටරට සැමන්. සතොසෙ විතරයි අපිට අවස්ථාව තියෙන්නේ. නමුත් ඒකෙත් හරි නියාමනයක් නැහැ. සුපර් මාකට්වල වැඩි ඉඩක් වෙන්වෙන්නේ ආනයනික ටින් මාළු වෙනුවෙන්.

අපේ රටේ ටින් මාළු පරිභෝජනය, එක දිනකට පමණක් ටින් 170,000 ක්. මුදල් වශයෙන් බැලුවොත් එය මොන තරම් ධනස්කන්ධයක් ද. ඉන් බහුතරය දේශීය ටින් මාළු වුණොත් අපේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. ධීවරයාට වැඩි මිලක් ලැබෙනවා. අපි ටින් මාළු හදන්නේ රසවත් ගුණවත් ලින්නා මාළුවාගෙන්. ලින්නා අස්වනු ගේන බහුතරය කුඩා පරිමාණයේ ධීවරයන්. ඉතින්, ඔවුන්ට වැඩි මිලක් ලැබෙනවා කියන්නේ ඔවුන් තව තවත් ලින්නා මාළු අස්වනු නෙළන්න ගන්නවා. ඔවුන් ගේ දරු පවුල් සහ ආර්ථිකය නඟා සිටවෙනවා.

අද වෙනකොට පවතින ඇත්ත නම්, නැ‍ඟෙනහිරෙන් සුළු වශයෙන් සහ දකුණෙන් බහුලව එන ලින්නා මාළු අස්වනු අපි ගත්තෙ නැත්නම් ඒවා ගන්න කෙනෙක් නැහැ. ඒ අය මාළු කරවලවලට වේළනවා. ලින්නා අස්වැන්න මොන තරම් ඉහළ වුණත් ධීවරයා ඒ වෙනුවෙන් එතරම් උනන්දුවක් නැහැ. මොකද මිලක් නැති නිසා. ඔවුන්ට රුපියල් පහක් හරි වැඩිපුර දෙන්න පුළුවන් නම් ඔවුන් මීට වඩා දිරිමත් වනවා.

රටේ සම්පූර්ණ ටින් මාළු අවශ්‍යතාව සපුරන්න තරම් සමත් ලින්නා මත්ස්‍ය සම්පතක් අපේ දකුණු සහ නැ‍ඟෙනහිර මුහුදු සීමාවේ තිබෙනවා‍. නමුත් මහ පරිමාණයෙන් කවුද කරන්නේ. කාටද විකුණන්නේ! ඉන්දියානු බෝට්ටු තමයි ඒ වාසියත් ගන්නේ. අපේ රටේ ටින් මාළු කර්මාන්තයට රජය මීට වඩා මැදිහත් වනවා නම්, මේ ඉන්දියානු ධීවර ප්‍රශ්නයත් විස‍ඳෙනවා.

දැනට පවතින නීති රීති මේ සඳහා ප්‍රමාණවත් නොමැති ද කියන කාරණාව සම්බන්ධයෙන් සභාපතිවරයා දැක්ව‍ූයේ මෙවන් අදහසක්.

රජය සතොසට නියම කොට තිබෙනවා දේශීය ටින් මාළු අලෙවිය සඳහා ප්‍රමුඛත්වය දෙන්න කියලා. නමුත් ඒක හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒක මේ ප්‍රශ්නයට පැලැස්තරයක් විතරයි. ඉස්සර ආනයනික බද්ද, ටින් එකකට රුපියල් 102.00 යි. අද රුපියල් 52.00 යි. ඉතින් බලන්න! අපි රුපියල් බිලියනයකට වැඩිය ආයෝජනය කරලා රටට කර්මාන්තයක් හදලා වැඩ පටන් ගත්තම මේ විදියට ආනයනික බදු අඩු කළාම මොකද වෙන්නේ? තව නොබෝ දිනකින් දේශීය ටින් මා,ළු කර්මාන්ත ශාලා ටික වහන්න වෙනවා. දේශීය කර්මාන්ත ශාලා පටන් ගත්තට පස්සෙ, එම නිෂ්පාදනයම ආනයනය කරන්න බදු අඩු කිරීම, රටක නොවිය යුත්තක්. ඒක වැරැදි ආදර්ශයක්. අපේ රටේ ටින් මාළු කර්මාන්ත ශාලා වෙනුවෙන් ආයෝජනය කරපු චීන සහ ඊශ්‍රායල් සමාගම් පවා මේ පිළිබඳ ඔවුන්ගේ දැ‍ඩි අප්‍රසාදය පළ කරනවා. ඔවුන් ආයේ ආයෝජන කරන්න අපේ රටට එන්නෑ. මේ පාඩුව මුළු ශ්‍රී ලංකාවටමයි.

අනික බලන්න තායිලන්තය දිහා.‍ ඔවුන්ට තියෙන්නේ අපේ රටට වඩා අට ගුණයක් කුඩා මුහුදක්. ඒත් තායිලන්තය තමයි අද ලෝකෙ හතර වැනි විශාලම ටින් මාළු අපනයනකරු. ඒත් අපි, රටට වඩා දහ ගුණයක් විශාල මුහුදක් තියාගෙන හැම අවුරුද්දක්ම ඇමෙරිකානු ඩොලර් මිලියන 64 ක විදේශ ඉතුරුම් නිරපරාදේ පිටරටවලට යවනවා.

Tess Group කියන්නේ අ‍පේ රටේ විශාලම ටූනා එක්ස්පෝටර්. ඒ නිසා මට මේ ප්‍රශ්නය දරා ගන්න පුළුවන්. අපි මේ රටට විදේශ විනිමය ගේන සමාගමක්. නමුත් සමස්ත ටින් මාළු නිෂ්පාදකයන්ගේ තත්ත්වය වෙනස්. මේ කර්මාන්තයේ නියුතු ලක්ෂ තුනකට අධික පිරිසගේ රැකියා සුරැකෙන්නේ, කර්මාන්තය රැකුණොත් සහ දියුණු වුණොත් විතරයි.

Tess සමාගම හැටියට, ටූනා විතරක් අපනයනය කරගෙන හිටියත් අපිට ලාබයි. නමුත් ලින්නා මාළු අල්ලන කුඩා බෝට්ටු හිමියන් ලක්ෂ ගාණක් සුරැකෙන්නේ මේ දේශීය ටින් මාළු කර්මාන්තය නිසා. ගිය අවුරුද්දේ පමණක් කිලෝ මිලියනයකට ආසන්න ප්‍රමාණයක් කුඩා ධීවරයින්ගෙන් අපි මිලට ගෙන තිබෙනවා. මේ අවුරුද්දේ අප්‍රේල් මුල වෙනකොට පමණක් සියලුම ටින් මාළු කර්මාන්තකරුවෝ, කිලෝ ලක්ෂ හයක් ඔවුන්ගෙන් මාළු මිලට ගෙන තිබෙනවා. මේ මුදල් කෙළින් ම ගියේ ධීවරයට. අතරමැදියො නැහැ. ඒ නිසා ඒ ආර්ථික වාසියක් ධීවර ප්‍රජාවටමයි.

අපි රජයට කියන්නෙ එකම දෙයයි. මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා මැදිහත්වෙලා හරි කරුණාකරල ආනයනික ටින් මාළු බද්ද තිබුණු ගණනටම ඉහළ දමන්න. එවිට ආනයනය සීමා වෙයි. මිනිස්සු දේශීය ටින් මාළු පරිභෝජනයට හුරු වෙයි‍. අපේ නිෂ්පාදනය ඉහළ යයි‍. කර්මාන්තය සුරැකෙයි. ධීවර දරු පවුල්වල ආර්ථිකය නැංවෙයි. රටට කර්මාන්තයක් ඉතිරි වෙයි‍. ඒ හා බැදුණු ටින් නිෂ්පාදනය සහ ලේබල් කර්මාන්තයට ද යහපත් කලක් උදාවෙයි.

Comments