උතුරට ගඟක් සංකල්පයට අඩිතාලම දුන් තොණ්ඩමනාරු යළි පණ ලබයි | සිළුමිණ

උතුරට ගඟක් සංකල්පයට අඩිතාලම දුන් තොණ්ඩමනාරු යළි පණ ලබයි

වඩමාරච්චි කළපුව හා තොණ්ඩමනාරු පාලම

යාපනය අර්ධද්වීපයේ ඇති වර්ග කිලෝමීටර් 100ක පමණ ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 90ක පමණ ප්‍රදේශයක ජනතාව පදිංචිව සිටීමට සහ ගොවිබිම් සඳහා යොදාගෙන ඇත. ඉතිරි 10%ක පමණ බිම් ප්‍රදේශයේ කළපු දියෙන් සමන්විත වේ.

මහා විහාරය කඩා බිඳ දැමූ මහසෙන් රජ්ජුරුවෝ ‘මින්නේරිය දෙයියෝ ‘ නමින් අතීතයේ ජනතාව හඳුන්වන්නට විය. එසේ මහා විනාසයක් කළ මහසෙන් රජ්ජුරුවන් දේවත්වයේ ලා සලකන්නට වූයේ මින්නේරිය වැව සාදා ජනතාවට වාරි පහසුකම් සපයා දීමයි.

අපේ රටේ ජනතාවට ජලය එතරම්ම වැදගත් වන්නේ අතීතයේ සිටම කෘෂි ආර්ථිකයකට හෙළයා හුරු වී සිටි නිසාය. ඔවුහු වර්ෂා කාලයට වැසි දියෙන්ද අනෙක් කාලයේදී වැව් ජලයෙන්ද තම වගා බිම් පෝෂණය කළහ.

‘අහසින් වැටෙන එකඳු දිය බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවන්නැයි‘ මහා පරාක්‍රමබාහු රජතුමා ලක්වාසීන්ට පවසා තිබුණි.

එසේ වුවත් හෙළ රජ දවස ඉඳි කළ බොහෝ වාරි කර්මාන්ත යළි ප්‍රතිසංස්කරණයට පත් වූයේ ඉතාම අල්ප වශයෙනි.

විශේෂයෙන්ම යටත්විජිතවාසීන්ගේ සමයේ උඩරට වෙළෙඳ භෝග වගාවන් ප්‍රචලිත කිරීමට දරන ලද උත්සාහය නිසා අපේ හෙළ ගොවිතැනට බාධා එල්ල වූ අතර මෙහිදී සිදුවූ බලවත්ම ව්‍යසනය වූයේ වාරි කර්මාන්ත පිරිහීමට පත් වීමයි. මෙසේ පිරිහීමට පත් වූ බොහෝ වාරි කර්මාන්ත කලින් කලට ප්‍රතිසංස්කරණය වුවත් අතීත රජ කාලයට පසු කාලීනව ස්ථාපිත කළ වාරි කර්මාන්තයන්ට යළි පණ දීමට කටයුතු කළ බවක් නම් නොපෙනේ.

විශේෂයෙන්ම උතුරු පළාතේ කෙළවරේම ඇති තොණ්ඩමනාරු ජලාශය මේ ප්‍රතිසංස්කරණයන්ට බඳුන් නොවූ එක් ජලාශයකි. 1943 වසරේ ආරම්භ කළ මේ ජලාශය උතුරේ ජනතාවගේ ධීවර කටයුතු ප්‍රමුඛව බොහෝ වාරි අවශ්‍යතා ඉටු කරන ලද ජලාශයකි. තොණ්ඩමනාරු යනුවෙන් හඳුන්වන්නේ වඩමාරච්චි කළපුවයි. එම කළපුවට කරඳිය මිශ්‍ර වීම වැළැක්වීම පිණිස තොණ්ඩමනාරු පාලම අසලින් බරාජයක් ස්ථාපිත කරන ලදි. ඒ 1943 වසරේදීය.

මෙසේ ජනතා අවශ්‍යතා රැසක් ඉටු කළ තොණ්ඩමාරු ජලාශයේ ‘බරාජය‘ හෙවත් කරදිය රඳවනය අලුත්වැඩියා කිරීම වසර 70කට ආසන්න කාලයකට පසුව සිදු කිරීමට පියවර ගෙන තිබේ. ඒ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ යටතේ ඇති වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම් අතිරේක මූල්‍යන ව්‍යාපෘතියේ යටතේය.

මීට දශක කිහිපයකට පෙර කතා බහට ලක් වූ උතුරට ගඟක් ව්‍යාපෘතිය සැබෑවක් බවට පත් කරමින් මේ තොණ්ඩමනාරු ජලාශයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

විශේෂයෙන්ම උතුරු පළාතේ විශේෂ ජල සැලසුමක් අවශ්‍ය වන යාපනය අර්ධද්වීපය ස්වභාවයෙන්ම පිහිටා ඇත්තේ ජල කළමනාකරණය කර ගත යුතු ආකාරයෙන්ම වීම මෙහිදී විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතු වේ.

මෙරට ගංගා ද්‍රෝණි 103ක් ඇති නමුත් උතුරු පළාතේ ඇත්තේ ගංගා ද්‍රෝණි 23ක් පමණි. එයින්ද යාපනය අර්ධද්වීපයේ කිසිදු ගංගා ද්‍රෝණියක් නොමැත. මේ නිසා වැසි ජලය කළමනාකරණය කළ යුතුමය.

වර්ෂාවෙන් ලැබෙන ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුහුදට ගලා යයි. තවත් ප්‍රමාණයක් වාෂ්පීකරණය වෙයි. ඉතිරි වන 30%කටත් අඩු ප්‍රමාණය සුරැකීමට ක්‍රමවේදයක් මේ වන විට සකස් කිරීම අත්‍යවශ්‍ය වී ඇත්තේ ජනගහනය වැඩි වීම, රසායනික ද්‍රව්‍ය භාවිතය වැඩි වීම මෙන්ම කාර්මිකකරණය නිසා තෙල් වර්ග ආදිය ජලය සමඟ මිශ්‍ර වීම වැනි සාධක ඔස්සේය.

යාපනය අර්ධද්වීපයේ මුහුදු මට්ටමින් උසම ස්ථානය මීටර් 12කි. එහෙත් බොහොමයක් ස්ථානවල ඒ උස මීටරයක් පමණ වේ.

එසේම වර්ෂාපතනය ජනවාරි මස සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සෑම මසකම මිලි මීටර් 100ටත් අඩු තත්ත්වයක් ගනී. ඇතැම් මාස වල ඒ තත්ත්වය මිලි මීටර් 20කටත් අඩු වේ.

1964 වසරේ සිට 2004 වසර දක්වා වසර 40ක ඉතිහාසය දෙස බැලූ විට පෙනී යන්නේ වාර්ෂික වර්ෂාපතනය උපරිම ලෙසින් මිලි මීටර් 1250ක් පමණ වන බවයි. එසේම බොහෝ අවුරුදු වල එම අගය මිලි මීටර් 900ක් පමණ වන බවද පෙනෙන්නට ඇත. මේ අධික නියං තත්ත්වය නිසාම වැසි ජලය ඉක්මනින් වාෂ්ප වී යන තත්ත්වයක්ද දක්නට තිබේ.

වර්ග කිලෝමීටර් 1012ක පමණ වර්ග ප්‍රමාණයකින් යුක්ත යාපනය අර්ධද්වීපය තුළ අභ්‍යන්තරයේ හුනුගල් ස්ථරයක් පැවැතීම නිසා ජලය භූගත ලෙසින් රඳා පවත්වා ගැනීමේ පහසුකම් තිබෙන බව පැහැදිලියි.

මේ නිසා ගංගා ද්‍රෝණි නැති වුවත් ජල සංරක්ෂණයක් සිදු කර ගත හැකි බව යාපනය වාරි අධ්‍යක්ෂ යාපනය හා කිළිනොච්චි නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්ෂ එන්. සුදාහරන් මහතා අපට පැවසීය. වැහි වතුර මතුපිටින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද මුහුදට ගලා බස්නා බවද ඔහු පැවසීය. එමෙන්ම හුනුගල් ස්ථරයේ මීටර් 50 සිට 90ක් දක්වා තිබෙන හෙයින් ජල රඳා පවත්වා ගැනීම පිණිස සුදුසුම කාර්යය ජලාශයේ රඳවා ගැනීම බවද ඒ මහතා කීය.

විශේෂයෙන්ම මේ වන විට ඇතිව තිබෙන කාර්මිකකරණයත් ගොවිබිම් නවීකරණයත් නිසා පෙර පැවැති ආඩියා ළිං වෙනුවට භූගත නළ ළිං මඟින් ජලය පොම්ප කිරීමට ජනතාව පෙලඹී ඇති බවත් ජලය ඉතා ඉක්මින්න ලබා ගැනීමට ගැඹුරට නළ ළිං යොදා ජලය ඇද ගන්නා බවත් මෙ නිසා ලවණ සාන්ද්‍රණය අධික ලෙසින් පොළොව මතු පිටට පැමිණෙන බවද ඒ මහතා කීය.

වැසි ජලය කළමනාකරණය කිරීම සඳහා වුවද යාපනය අර්ධද්වීපයේ ඇත්තේ කළපු තුනක් පමණි. එහෙත් මේ උතුරට ගඟක් ව්‍යාපෘතිය සැබෑවක් බවට පත් කරන්නට ප්‍රධාන ව්‍යාපෘතියක් වන මේ ව්‍යාපෘතිය උපයෝගී කරගෙන ජාතික ජල කළමනාකරණ සැලසුමක් සකස් කර ඇත.

යාපනය අර්ධද්වීපයේ ඇති වර්ග කිලෝමීටර් 100ක පමණ ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 90ක පමණ ප්‍රදේශයක ජනතාව පදිංචිව සිටීමට සහ ගොවිබිම් සඳහා යොදාගෙන ඇත. ඉතිරි 10%ක පමණ බිම් ප්‍රදේශයේ කළපු දියෙන් සමන්විත වේ. කළපු දියෙන් වුවද එහි මීටර් 8ක් හා 10ක් යන තුරු ගැඹුරේ කහ සහ දුඹුරු වර්ණ මිශ්‍රිත වැලි ස්ථර ස්වභාවයෙන්ම සකස් වී ඇත.

යාපනය අර්ධද්වීපයේ ඇති මේ 10%ක් පමණ වූ ජල සම්පත් අතර ඇත්තේ අලිමංකඩ කළපුව, උප්පාරු කළපුව, හා වඩමාරචිචි කළපුවයි. මේ කළපු තුනෙහිම ජලය එක්කර උතුරට ගඟක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇත. ඒ සම්බන්ධව වෙනමම කතා කළ යුතු වේ. අප මේ කතා කරන්නට වන්නේ වඩමාරච්චි කළපුව ආශ්‍රිත තොණ්ඩමනාරු කරදිය බාධකය ප්‍රතිසංස්කරණය කර ඒ හරහා ජල සම්පත සුරැකීමටයි.

මේ නිසා වඩමාරච්චි කළපුව මිරිදියෙන් පෝෂණය කිරීම පිණිස තොණ්ඩමනාරු බරාජය හෙවත් කරදිය බාධකය යළි ප්‍රතිසංස්කරණයට කටයුතු යොදා ඇති. එය ඉදි කර ඇත්තේ 1943 වසරේදී පමණ වන අතර වසර 75කට ආසන්න කාලයකට පමණ පසු යළි එය ප්‍රතිසංස්කරණය වන පළමු අවස්ථාව මෙයයි.

මේ ප්‍රතිසංස්කරණයේදි වඩමාරච්චි කළපුවට කරදිය ගලා ඒම මුළුමනින්ම නතර වනු ඇත. ඒ සඳහා බරාජය සම්පූර්ණයෙන්ම නවීකරණය වන අතර 20x8 ප්‍රමාණයේ ගරාදි ගෝට්ටු 18ක් හා 10x2 ප්‍රමාණයේ ගේට්ටු 16ක් අලුතින්ම සවිකිරීමට කටයුතු යොදා ඇත.

ඒ සඳහා වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 405ක මුදලක් ලබා දී ඇත.

පසුගිය යුද සමයේදී ප්‍රතිසංස්කරණයෙන් පමණක් නොව නඩත්තු කටයුතුවලින් පවා සම්පූර්ණයෙන්ම ඈත් වූ තොණ්ඩමනාරු බරාජය අලුතින්ම ප්‍රතිසංස්කරණය කළයුතු වේ. මේ වන විට වඩමාරච්චි කළපුවේ කරඳිය මිශ්‍ර වී තිබේ. එමෙන්ම කළපුව හරහා කරඳිය ගොඩබිම් ජල පෝෂක තුළටද ඇතුළු වේ. මේ තත්ත්වය වෙනස් කර තොණ්ඩමනාරු බරාජය ප්‍රතිසංස්කරණය කර වඩමාරච්චි කළපුව යළි සකස් කිරීමට මේ වන විට ගත් පියවර ප්‍රශංසනීය බව අපට පැහැදිලි විය.

තොණ්ඩමනාරු බරාජය ප්‍රතිසංස්කරණයෙන් පසුව උතුරට ගඟත් යන සංකල්පයේ එක් අදියරක් නිම වන ඇත. මීළඟට කළ යුතු වන්නේ උප්පාරු හා අලිමංකඩ කළපු ආශ්‍රිතව ඇති කළපු මිරිදියෙන් පෝෂණය කිරීමයි. බරාජය සෑදීමෙන් පසුව කළපුව හරහා කරදිය කළපුවට නොපැමිණෙන නිසා වැසි ජලය සංරක්ෂණය වනු ඇත. ඉදිරියේදී යාපනය අර්ධද්වීපයේ ජනතාවට වර්ෂා රහිත කාලවලදී ගොවිතැන් කිරීමට මෙන්ම අනේකතු ජල අවශ්‍යතා සපුරා ගැන්මටත් මේ කළපුව හරහා සංරක්ෂිත ජලය ප්‍ර ‍ෙයා්ජනයට ගත හැකි වනු ඇත.

එමෙන්ම කළපු තුනම මෙසේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව උතුරට ගඟක් සංකල්පයේ මුලික පියවර සැකසී අවසන් වනු ඇත. පසුව කළ යුතු වන්නේ මේ කළපු තුනෙහිම ජල ධාරිතාව එක් තැන් කිරීමේ කාර්යය ඉටු කිරීමයි. ඒ සඳහාද මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබේ. එම කටයුතුද ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

(කන්කසන්තුරයේ සංචාරයකින් පසු)

සේයාරූ - විමල් කරුණාතිලක

අදහස්