ප්‍රතිජීවක ඖෂධ භාවිතයේ දී කළ යුතු නොකළ යුතු දෑ | සිළුමිණ

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේ දී කළ යුතු නොකළ යුතු දෑ

විසි වන ශතවර්ෂය වන තෙක් බැක්ටීරියාවන් මගින් මානවයන් හට ඇති කරන රෝග (ක්ෂය රෝගය, මහාමාරිය හෝ ලාදුරු) සදහා ක්‍රියාකාරීවන ප්‍රතිජීවක ද්‍රව්‍යයන් හදුනාගැනීමට හෝ නිෂ්පාදනය කිරීමට හැකියාව නොතිබුණද මීට වසර 2500 කට ඉහත පුරාතන චීන ජාතිකයන් විසින් ප්‍රතිජීවක ඖෂධ වර්ග භාවිතා කළ බවට සාක්ෂි පවතී. පුරාතන ඊජිප්තු ජාතිකයන් සහ ග්‍රීක ජාතිකයන් විසූ සංස්කෘතීන් තුළ දීලීර වර්ග සහ ශාක වර්ග නොයෙකුත් ආසාදනයන් සදහා ප්‍රතිකාර කිරීම පිණිස භාවිතා කළ බවට තොරතුරු ඇත. මෙමගින් ඉහතින් සදහන් කරන ලද ද්‍රව්‍යවලින් ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීමේ ප්‍රතිවිකතාව (Antibiosis) නම් සංසිද්ධිය බිහිවුණි.

ප්‍රතිජීවක යනු බැක්ටීරියාවන් මගින් ඇති කරන රෝග නිවාරණය කරනු ලබන වටිනා ඖෂධයකි.ප්‍රතිජීවක නිවැරදිව භාවිත නෙකළහොත් බැක්ටීරියාවන් තවදුරටත් ශරීරයේ පවතින්නට ක්‍රම සොයාගන්නා අතරම ප්‍රතිජීවක ඖෂධ නිවැරදිව භාවිත කිරීමෙන් එහි නිසි ක්‍රියාවලිය රැකගත යුතු ය.ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී නොකළ යුතු දෑ සහ කළ යුතු දෑ පිළිබඳ “ Parenting.lk ( Online Resource Portal Sri lankan Parents ) “ වෙබ් අඩවියෙහි දැක්වු කරණු මෙසේ ය.

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේ දී ඔබ නොකළ යුතු දෑ

වෛද්‍යවරයාගේ නියම කිරීමකින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් වැළකිය යුතු ය.පෙර අවස්ථාවක දී වැළදුණු රෝගයකට භාවිතා කළ ප්‍රතිජීවක ඖෂධ, වෛද්‍ය නිර්දේශයකින් තොරව නැවත එවැනිම රෝග තත්ත්වයක දී භාවිතා කිරීම සුදුසු වන්නේ නැත.මීට පෙර වැළඳි රෝගයකට වෛද්‍යවරයා නිර්දේශ කළ බෙහෙත් වට්ටෝරුවේ ඇති ප්‍රතිජීවක ඖෂධ නැවත මිලදී ගෙන භාවිතා කිරීමෙන් වැළකිය යුතු ය. වෙනත් පුද්ගලයෙකුට නිර්දේශ කළ ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමෙන් ද වැළකිය යුතු ය. තව ද වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමට කිසිවෙකුට අනුබල නොදීමට වග බලා ගත යුතු ය.

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේ දී ඔබ නොකළ යුතු දෑ

වෛද්‍යවරයෙකු ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කළේ නම් පමණක් එම ඖෂධ භාවිතා කළ යුතු ය.රෝගියාට ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කොට ඇත්දැයි ඖෂධවේදියාගෙන් අසා දැන ගත යුතු ය. රෝගියා වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා ලබා දුන් උපදෙස්වලටම අනුව ප්‍රතිජීවක ඖෂධ වට්ටෝරුව සම්පූර්ණයෙන් භාවිත කළ යුතු ය.රෝගියා නිර්දේශිත ප්‍රතිජීවක ඖෂධ වට්ටෝරුව නිවැරදිව සම්පුර්ණ කිරීමට නොහැකි වේ නම් ඒ බව වෛද්‍යවරයාට හෝ ඖෂධවේදියාට දැනුම් දිය යුතු ය.

අන්තර්ජාලය ඇසුරිණි.

Comments