ඩී.එස්. සීයා රුවන්මැලිසෑයට කොත පලඳවාපු හැටි අද වගේ මතකයි | සිළුමිණ

ඩී.එස්. සීයා රුවන්මැලිසෑයට කොත පලඳවාපු හැටි අද වගේ මතකයි

මාලනී සමරක්කොඩි

“අලුත් අවුරුද්ද පහු වුණා විතරයි. පුංචි කාලෙ අපි අවුරුදු සමරපු හැටි මතක් වෙන කොට හිතට දැනෙන සතුට අප්‍රමාණයි. ඒත් අප්‍රේල් මාසේ අවුරුදු උදාවක අපේ ඩඩ්ලි මාමා අන්තරා වුණාට පස්සේ අවුරුද්ද ළං වන විටම මගේ හිතට දැනෙන්නේ ලොකු දුකක්. ඒ ඩී.එස්. සේනානායක සීයා සහ ඩඩ්ලි සේනානායක මාමා වගේ රටට ජාතියට ආදරය කරපු, තමන්ගේ දිවි දෙවැනි ‍කොට රටේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කළ ජාති මාමකයින් ආයෙත් මේ රටේ බිහි නොවන බව කල්පනා වෙන නිසයි. ඔවුන් තුළ රට දැය සමය ගැන තිබුණු ආලය අපමණයි. එවැනි නායකයින් අකාලයේ මිය ප‍රළොව යන්නේ ජාතියේ ම අහේතුවකටයි කියමින් මෙවර අප හා පිළිසඳරට එක් වුණේ මාලනී සමරක්කොඩි මහත්මියයි.

මාලනී සමරක්කොඩි යනු මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත් පරම්පරා කිහිපයකට ම උරුමකම් කියන, ඒ පරම්පරාවල ඉතිහාසය තවමත් හොඳින් ස්මරණය කරන ජීවමාන පුරා වෘත්තයක්. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවර ඩී.එස්. සේනානායක මහතා ඇගේ සීයා. ඇගේ මවගේ පියා ඩී.එස්. සේනානායක මහතාගේ වැඩිමල් සොහොයුරා වූ එ‍ෆ්.ආර්. සේනානායක මහතා. දිවංගත අගමැති ඩඩ්ලි සේනානායක මහතා ඥාතීත්වයෙන් ඇගේ මාමා. ඩඩ්ලි සේනානායක මහතා සමඟ එංගලන්තයේ දී එකට නීතිය හැදෑරූ සමීපතම මිත්‍රයා වූ සිරිපාල සමරක්කොඩි මහතා මාලනී ගේ පියා. ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නාරම්මල ආසනය නියෝජනය කළ සමරක්කොඩි මහතා විවාපත් වූයේ එෆ්.ආර්. සේනානායක මහතා සහ එලන් සේනානායක මැතිනියගේ දරුවන් සය දෙනා අතරින් දෙටු දියණිය වූ ෆිලීස් නීඩ්‍රා සමඟයි. සිරිපාල සමරක්කොඩි සහ ‍ෆිලීස් නීඩ්‍රා යුවළට දියණියෝ තිදෙනෙකි. මාලනී. රුක්මනී සහ සුරංගනී නම් වූ ඔවුන් අතරින් අද අපේ කතා නායිකාව මාලනී වැඩිමල් දියණියයි. මාලනී ගේ මවගේ මව වූ සේනානායක මැතිනිය සුප්‍රකට දානපතීන් වූ ආටිගල පරපුරෙන් පැවත එන්නියකි. වත්පොහොසත්කම්වලින් අනූන වූ ඇය ද මහා දානපතිනියක වූවාය. මෙරට හිටපු අගමැතිවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතා ද ඥාතීත්වයෙන් මාලනී ගේ සීයාය. මෙලෙස මෙරට ප්‍රධානත ම දේශපාලන පරම්පරා කිහිපයකටම උරුමකම් කියන මාලනී අද වන විට ඒ පරම්පරාගත අතීත තොරතුරු පවසන්නට සුජීවත්ව සිටින වෘද්ධතම සාමාජිකාවක ද වන්නීය.

1934 ජනවාරි මස විසි හත් වැනිදා මාලනී මෙලොව එළිය දකින්නේ කොළඹ හතේ ග්‍රෙගරි පාරේ පිහිටි සිය ආච්චි අම්මා සතු වූ සේනානායක වලව්වේ දී ය. රුක්මනී සොයුරිය වසර හතරකින් සහ සුරංගනී සොයුරිය වසර හයකින් ද අනතුරුව සමරක්කොඩි පවුලට එක් වූ දරුවෝය. කිසිදු අගහිඟයකින් ‍‍තොර සුඛෝපභෝගී දිවියක් ගත කළද මාලනී ඇතුළු දරුවන් හැදී වැඩුණේ සිංහල ජාතිය, ආගම සංස්කෘතිය හා රටේ ජනතාව ගැන සැබෑ ආලයකින් යුතු දෙමවුපිය වැඩිහිටි ඥාති සමූහයක් මධ්‍යයේය. ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, චාල්ස් සේනානායක යන සීයාවරුන් ද ඇලන් සේනානායක වැනි මිත්තනිවරුන් මෙන් ම ඩඩ්ලි සේනානායක සර් ජෝන් කොතලාවල වැනි මාමාවරුන්ගේ ද සදාශ්‍රයෙහි හැදී වැඩුණු මාලනීගේ අතීත සැමැරුම් අතර වත්මන් පරපුර කිසිදා නො ඇසූ විරූ අපූරු මතක සටහන් රාශියක් තැන්පත්ව තිබේ.

“අපි හැදුණේ වැඩුණේ ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාව යටත් කරගෙන හිටපු කාලෙක. කතා බහ, සිතිවිලි සියල්ල කෙරුණේ එංගලන්තයේ මහ රැජින ගේ අණසකට යටත්ව. ඒත් අපේ පවුල්වල වැඩිහිටි‍යෝ හැම දෙනාම රට දැය සමයට බො‍හොම ආදරය කළ අය. ඩී.එස්. සීයා මේ රටට නිදහස ලබා ගන්න කැප වුණු හැටි අපිට ‍හොඳට මතකයි. මගේ තාත්තා සිංහල ජාතියට ආගමට සංස්කෘතියට බොහොම ආදරය කළ, එය රැකගන්න වෙහෙසුණු කෙනෙක්. එංගලන්තයේ බැරිස්ටර් විභාගය සමත් වෙලා ආවත් ඩඩ්ලි මාමාලා අපේ තාත්තලා නීතිඥකම් පැත්තකට දාලා රට ගොඩනගන්නට කාලය ශ්‍රමය සහ ධනය කැප කළා. අපිට සිංහල භාෂාව සාහිත්‍ය උගන්වන්නට මගේ පියාට ලොකු වුවමනාවක් තිබුණා. අපේ රටේ නිදහස් උත්සවේ සමරන්න රටේ මුදල් තිබුණේ නෑ. එයට ඩී.එස්. සේනානායක සීයලා වියදම් කළේ අපේ පවුලේ ධනය බව මම අහලා තිබෙනවා.” මාලනී සිය මතකය අවදි කරනවා.

ළමා කාලේ සිදුවීම් අතරින් ඔබ වඩාත් කැමති, එක් වරම මතකයට නැගෙන අවස්ථාව මොකක්ද? මා ඇයට බාධා කළා.

“රුවන්මැලි මහා සෑයට කොත පලඳවාපු අවස්ථාව. රුවන්මැලි සෑය පිළිසකර කරලා කොත පලඳවන්නට භාරව තිබුණේ ඩී.එස්. සීයා අතින්. මේ සඳහා අගනා චූඩා මාණික්‍යයක් කොහෙදෝ රටකින් ගෙන්වලා කොළඹ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් විශාල උත්සවයක් තියලා මහජනතාවට ප්‍රදර්ශනය කළා. කොත් වහන්සේ මහා පෙරහරකින් අනුරාධපුරයට වැඩම කළා. කොත් පලඳවන උත්සවයට සහභාගි වන්නට මගේ පියාටත් ආරාධනාවක් ලැබී තිබුණා. ඒ ගමනට තාත්තා මාවත් සහභාගී කර ගත්තා. ඩඩ්ලි මාමා, රොබට් මාමා, සර් ජෝන් මාමා ඇතුළු ප්‍රභූන් විශාල පිරිසක් ඊට සහභාගී වුණා. උත්සව භූමිය අතුරු සිදුරු නැතිව සෙනඟින් පිරී තිබුණා. සෑයට ඉහළ අහසේ එහාට මෙහාට පියාසර කළ හෙළිකොප්ටරයකින් සෑය මතට සමන් පිච්ච මල් ඉසිනවා මට මතකයි. දහස් ගණන් ජනතාවගේ සාධුකාරය මධ්‍යයේ උත්සවය ආරම්භ වුණා. කොත පලඳවන තැනට කිසිම කාන්තාවකට යන්න ලැබුණේ නෑ. තරප්පු පේළියක් නැගලා රුවන්මැලි සෑයේ හතරැස් කොටුවට ප්‍රභූවරුන් ළඟා වුණා. තාත්තා මට හරිම ආදරෙයි. ගැහැනු ළමයෙකු වුණත් තාත්තා මාව වඩාගෙන දොඹකරයක නැගිලා උඩටම ගියා. එතැන හිටපු එකම ගැහැනු චරිතය මමයි. හාමුදුරුවන්ගේ පිරිත් සජ්ඣායනාව මධ්‍යයේ ඩී.එස්. සීයා චෛත්‍යයට කොත පැලැන්දුව හැටි මට තාම මතකයි. රුවන්මැලි සෑයට කොත පලන්දන අව ස්ථාවෙ එතැනට යන්නට අවස්ථාව ලැබීම මම ජීවිතයේ ලැබූ ලොකුම වාසනාව යැයි මට සිතෙනවා.” බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔදවැඩුණු ඇගේ මුව කමලෙහි තෘප්තිමත් සිනා රැල්ලක් ඇදී යනවා.

“අලුත් අවුරුදු නිවාඩුව ලබපු ගමන්ම අපේ පවුල්වල හැමෝම නුවරඑළියට යනවා. මගේ ආච්චි අම්මාගේ සහෝදරියක් විවාහ වෙලා සිටියේ කොතලාවල පවුලෙන්. සර් ජෝන් කොතලාවල මගේ ආච්චිගේ අක්කාගේ පුතා. කොතලාවල පවුලටත්, සේනානායක පවුල් දෙකකටත් අයත් ලස්සන බංගලා තුනක් නුවරඑළියේ තිබුණා. අපේ පවුල් තුනම හැම අවුරුද්දෙම අප්‍රේල් නිවාඩුවෙ නුවරඑළි යනවා. අවුරුද්දට කලින් අපේ වතුපිටිවල වැඩ කරන සේවකයන් හැම දෙනාම කොළඹ ගෙදරට එනවා. සීයාට, ආච්චි අම්මාට බුලත් දෙන්න. ඒ එන හැමෝටම ගෙදර ලොකු කෑම මේසයක් ඇරලා හොඳ හැටියට කන්න බොන්න දෙනවා. හැම දෙනාටම අවුරුදු කන්න මිල මුදල් තෑගි බෝග දෙනවා. අවුරුදු දවස්වලට අපි ඉන්නේ නුවරඑළියේ. ආච්චි අම්මාත්, අම්මාත් මගේ සහෝදරියනුත් එක ගෙදරක. ඩී.එස්. සීයලා, ඩඩ්ලි මාමලා තව ගෙදරක. කොතලාවල පවුල තව ගෙදරක. එකම ලොකු වත්තක තිබුණු මේ ගෙවල් තුනටම අපි මාරුවෙන් මාරුවට යනවා.

ආච්චි අම්මා ‍හිටි ගෙදර නැකතට කිරි උතුරවලා කිරිබත් උයලා අපි හැමෝම කිරිබත් කන්න ඒ ගෙදරට යනවා. ඩඩ්ලි මාමලාගේ ගෙදරින් දවල්ට කනවා. රෑ වේලට කොතලාවල ගෙදරට යනවා. අපේ පවුල්වල ඥාතීන් හරිම එකමුතුයි. පවුල්වල හැමෝම මේ අවුරුදු ගමනට සහභාගී වෙනවා. අපේ පවුල්වල ඥාති සහෝදර සහෝදරියන් හුඟක් හිටියා. මම ළමයින් අතරින් තරමක් වැඩිමල්. රුක්මන් මගේ ඥාති සොහොයුරා වුණත් ඔහු මට වඩා හුඟක් බාලයි. ඒ නිසා මට බොහෝවිට අතරමැද තනි වූ ගතියක් දැනුණා. ඒ නිසාම මම ඩඩ්ලි මාමාට හුඟක් සමීප වුණා. ළමයින් හැමෝම එකතු වෙලා ගුඩු ගහනවා. ක්‍රිකට් ගහනවා. ඩී.එස්. සීයා ඇතුළු වැඩිහිටියන් අපිට තෑගි දෙනවා. ආච්චි අම්මා, අම්මලා එකතුවෙලා ඔතලා දෙන තෑගි අපි වැඩිහිටියන්ට දීලා බුලත් දීලා වඳිනවා.

“අවුරුදු කාලෙ හරිම විනෝදයි. ඩඩ්ලි මාමා, රොබට් මාමා එහෙමත් අපිත් එක්ක සෙල්ලම් කරනවා. ඔවුන් කොහොමත් ක්‍රීඩා ලෝලීන්. ඉතින් පුංචි අපි එක්ක වුණත් සෙල්ලම් කරනවා. කතන්දර කියනවා. රට තොට, ආගම දහම ගැන කියා දෙනවා. ඒ කාලේ අපි ඉංග්‍රිසි භාෂාවෙන් ඉගෙන ගත්තේ. එස්.එස්.සී. පන්තියට එන විට එක පාරට රාජ්‍ය භාෂාව සිංහල බවට පත් කළා. සිංහල අපිට අමාරුයි. මගේ පියා සිරිපාල සමරක්කොඩි මහත්තයා හරිම ලැදියි සිංහල ජාතියට සහ බුද්ධාගමට. මම පුංචි කාලේතාත්තා හැමදාම හැන්දෑවට මාව උකුලේ තියාගෙන සැලළිහිණි සන්දේශයේ කවි කියනවා. කවිවල තේරුම කියා දෙනවා. පුංචි කාලේ මට මේවා කට පාඩම්. එස්.එස්.සී. විභාගෙදි සිංහල ප්‍රශ්න පත්‍රයට සැලළිහිණි සන්දේශයෙන් ප්‍රශ්නයක් දෙකක් අහලා තිබුණා. සිංහල බොහොම අමා‍රුවුණු මට තාත්තා කියා දුන් සියල්ල එකවර මතකයට නැගුණා. කොහොම හරි මට සිංහල විෂයයට සම්මාන සාමාර්ථ්‍යක් ලැබුණා.” ඇය හඬ නගා හිනැහෙනවා.

“ඒ කාලේ දැන් වගේ පිට රට යන්න බෑ. අගමැති වුණත් සීයලා මාමලා පිටරට ගියේ කලාතුරකින්. වරක් ඩී.එස්. සීයා තායිලන්තයට ගියා. ආපහු එන ගමනේදී ඔහු පවුලේ හැම කෙනාටම පුංචි තෑග්ගක් හරි ගෙනාවා. මට ලස්සන පනාවක් ගෙනත් දුන්නා. මෑතක් වෙනතුරුම මා ළඟ ඒ පනාව තිබුණා. පුදුමය කියන්නේ අගමැති වුණත් ඔහුට පවුලේ හැම දෙනාම එක ලෙස මතක හිටීමයි.

ඩඩ්ලි මාමා අවිවාහක නිසා රාජ්‍ය උත්සවවලට පිටරට යන විට සහායිකාවක් ගෙන යන්නට අවස්ථාව ලැබුණා. ඒත් ඒ කාලෙ එහෙම යන කෙනා ළඟම ඥාතියෙකු වුණත් යහපත්, චරිතවත් වැදගත් අයකු විය යුතුයි. එංගලන්තේ එලිසබෙත් කුමාරිට ඔටුනු පලඳවන උත්සවයට සහභාගි වෙන්න එවකට අගමැතිව සිටි ඩඩ්ලි මාමාටත් ආරාධනාවක් ලැබුණා. විවිධ අය විවිධ ප්‍රභූ කාන්තාවන් මේ ගමන සඳහා එතුමාට යෝජනා කළා. ඩඩ්ලි මාමා කාටවත් කැමති වුණේ නෑ. පවුලේ ඥාතීන්ගෙන් යෝජනා වූවන් අතරින් ඒ අවස්ථාව හිමි වුණේ මටයි. ඒ වන විට මගේ වයස අවුරුදු 18 යි. මට හරියට සාරිය ඇඳගන්නවත් බෑ. ඒත් ඉංග්‍රිසි කතා කරන්න, නටන්න සමාජයේ හැසිරෙන්න හොඳ පුහුණුවක් තිබුණා. මේ ගමනට ඩඩ්ලි මාමා සමඟ ගිය කණ්ඩායම සමඟ මමත් ගියා. මෞලි මංගල්‍යයට පෙර බොහෝ රාජකීය උත්සවවලට ඩඩ්ලි මාමාට ආරාධනා ලැබෙනවා. ඒ අතරෙන් රාජකීය තුරඟ තරගාවලිය (Ascot Race) විශේෂයි. ඒ සඳහා අවසර දෙන්නේ සම්පූර්ණ බටහිර ඇඳුම් ඇඳගත්තු ප්‍රභූ වරුන්ට. ලංකාවේ ක්‍රමයට අපි ඇන්දේ සාරිය. තොප්පි පැලඳීම අනිවාර්යයි. මට අන්දවපු නෝනා සාරිය ඇඳලා තොප්පි දාන්න බැරි නිසා මගේ කොණ්ඩය බැඳලා එය ලස්සනට මලින් සැරසුවා. එයා එංගලන්තේ මල් සැකසුම් සඳහා ප්‍රකට ශිල්පිනියක්. සාරි ඇඳලා සපත්තු දාන්නත්, දිග මේස් (stockings) දාන්නත් බැරි නිසා මම ඉස්තරම් වර්ගයේ සෙරෙප්පු කුට්ටමක් දාලා ඇස්කොට් රේස් එක බලන්න ගියා. අපි හිටියේ රාජ්‍ය නායකයන්ට පැනවූ ආසනවල. එංගලන්තේ සුද්දන්ට මගේ ඇඳුම අමුතුයි. පහුවදා ඒ රටේ පත්තරවල මුල් පිටුවේ මගේ පිංතූරෙ දාලා තිබුණා, “Bare headed and bare footed” යන ලොකු සිරස්තලයත් සමඟම. මේක දැකලා සර් ජෝන් කොතලාවල මාමා මට දොස් කීවා. “නුඹ ශ්‍රී ලංකාවට නිග්‍රහ කළා” කියලා. ඒක එහෙම ලොකු නිග්‍රහයක් වුණේ නැති බව එතුමාට පහදා දෙන්නට මට ලොකු වෙහෙසක් දරන්න සිදු වුණා.” ඇය කියනවා.

රූ සිරියෙන් අනූන වූ මාලනී බෙහෙවින් ලොල් වූයේ මෝස්තර නිරූපණයට, මල් නිර්මාණයට හා ඉන්දියානු නැටුමටය. ඇයට අවස්ථාව ලැබුණේ මල් නිර්මාණය හදාරන්නටයි. ඩඩ්ලි මැතිඳුන් සමඟ එංගලන්තයට ගිය මාලනීට එරට නතර වන්නට සිදු වූයේ ඇගේ ආච්චි අම්මා ඇසක සැත්කමක් සඳහා එංගලන්තයට පැමිණි හෙයිනි. මාලනීගේ මව සමඟ එංගලන්තයට පැමිණි ආච්චි අම්මාගේ සාත්තුවට මාලනී ද එහි නතර වූවාය. එංගලන්තයේ නතරව සිටි සමයේදී ඇය මල් කලාව, නර්තනය හා මෝස්තර නිර්මාණය පිළිබඳ පාඨමාලා හැදෑරුවාය. මාලනී නම් සොඳුරු යුවතියගේ හද බැඳ ගත් සිය ජීවන සහකරුවා හමු වන්නේද මේ එංගලන්ත චාරිකාවෙනි. සැත්කමෙන් අනතුරුව ආච්චි අම්මා ද සමඟ ලංකාවට පැමිණි මාලනී සිය පෙම්වතා හා සමඟ යුග දිවි ඇරැඹුවාය. ඒ විවාහයෙන් ඔවුනට දරුවන් පස් දෙනකු වෙති.

ඥාතිවරුන් අතරින් තමා ඉතා ආදරය කළ ඩඩ්ලි සේනානායක මහතා පිළිබඳ මතකය අවදි කරමින් මාලනී පවසන්නේ ඩඩ්ලි මහතා පෞද්ගලික දිවියේදී අතිශය සරල සුන්දර ආදරණීය පුද්ගලයකු වූ බවයි.

ඩඩ්ලි මාමා හරි ආසයි කාර්වලට. අලුත් කාර් බලන්න ඒවා එළවන්න හරිම ආසයි. පිට රටකට ගියත් කාර් හදන කොම්පැනිවලට ගිහින් ඒවා බලනවා. එළවනවා. ඩඩ්ලි මාමා අගමැති කාලේ එක වරක් අලුත් කාරෙකක් ලැබුණා. ඒක එළවාගෙන වුඩ්ලන්ඩ් මැදුරේ සිට ග්‍රෙගරි පාරේ අපි හිටි ගෙදරට ආවා. “කවුද එන්නේ අලුත් කාර් එකේ රවුමක් යන්න?” කියලා ඇහුවම අපිත් ගෙදර හිටපු ගමන්ම කාර් එකට පැන ගත්තා. ළමයි රංචුව බලා ගන්න කියලා අම්මත් - ආච්චිත් - නැග්ගා. ඩඩ්ලි මාමාම කාර් එක එළවාගෙන එයා ඉගෙන ගත්තු ඉස්කෝලේ - ගල්කිස්සේ සෙන්ට් තෝමස් විද්‍යාලය ළඟට ගියා. පිට්ටනිය වටේ රවුමක් ගිහින් ඇවිත් එක පාරටම රිවර්ස් කරලා අලි වළකට දාගත්තා. ඒ කාලේ හෑන්ඩ් ෆෝන් තිබ‍ුණේ නෑනේ. ඉතින් අම්මයි ආච්චි අම්මයි බැණ බැණ බැහැලා ගිහින් ළඟ පාත ගෙදරකට කතා කරලා උදව් ඉල්ලුවා. උදව්වට ආපු අය රියැදුරු ආසනේ රටේ අගමැතිතුමා ඉන්නවා දැකලා පුදුම වුණා. සෙනඟ වට වෙලා කාරෙක ගොඩ ගත්තා. ඩඩ්ලි මාමා හිනාවෙලා එළවා ගෙන ආවා. අද කාලේ වගේ සිකියුරිටි, ගාඩ්ලා, ඩ්‍රයිවර්ලා කවුරුවත් නෑ. මම මේ කතාව කිව්වේ එතුමා කොයිතරම් සරල විනෝදකාමී පුද්ගලයකු ද කියලා පෙන්වන්නයි” ඈ කියනවා.

ඩඩ්ලි මාමා කෑමටත් රුසියා. හැම බ්‍රහස්පතින්දා රාත්‍රියේ ම කෑමට අපේ ගෙදර එනවා. පළමුවෙන් ම සුප් එකක්. ඊළඟට ලොකු මාළු දීසියක්. ඊළඟට මස් දීසියක්. අතුරු පසට කැරමල් පුඩිං ඕනෑමයි. ඔහු කෑමට කොතරම් ප්‍රිය කළාද කීවොත් ඔහුට කෑම මේසේ තිබුණු කෑම බීම හැර වටපිට දේවල් ඒතරම් මතක හිටියේ නෑ.” ඇය සිනාසෙනවා.

ඩඩ්ලි මහත්තයා විවාහ නොවුණේ ඇයි? කෑම හා සම්බන්ධ ජනප්‍රිය කට කතාවක් සිහියට නැගුණු හෙයින් මා ඇයට බාධා කළා.

එතුමා පෞද්ගලික ජීවිතයට වඩා රටට ආදරය කළ නිසයි ඒ. විවාහයක් වෙලා පවුලට කැප කරන කාලයට වඩා දේශපාලනයට කාලය ‍‍යොදවන්නට ඔහු කැමැත්තක් දැක්වූවා.

කෙදිනකවත් ඔහුට පෙම්වතියක් හෝ සිත්ගත් තරුණියක් හිටි‍යේ නැද්ද?

අපෝ ඕනෑ තරම් මිතුරියන් හිටියා. එහෙත් ඒවා ගැඹුරු පෙම් සබඳතා නොවෙයි. මිතුරු සබඳතා පමණයි. ඩඩ්ලි මාමා තමන්ගේ රට ජාතියට වගේම පවුලටත් හුඟක් ආදරය කළා. රාජකීය උත්සවවලට වඩා කැමැත්තෙන් ඔහු පවුලේ උත්සවවලට සහභාගී වුණා. ඥාතීන්ට වගේ ම සේවකයන්ටත් හරිම ආදරයි. ඩඩ්ලි මාමා තුළත් ඩී.එස්. සීයා තුළත් මා දකින උසස් ම ගුණාංගය තමයි කරුණාව. කවදාවත් කාගෙවත් හිත රිදෙන්න කිසිවක් කළේ නෑ. දුප්පතුන්ට හරියට සැලකුවා. ලංකාව ලොකයේ දියුණු රටක් බවට පත් කිරීම ඔවුන් දෙදෙනාගේම සිහිනය වී තිබුණා. ඔවුන් තුළ වූ මනුෂ්‍යත්වය බොහොම ඉහළයි. ඔවුන් වැනි අවංක ජාති මාමක දේශපාලනඥයන් යළි කිසි දිනෙක අපට මුණ නොගැසෙන බව නම් නිසැකයි” කියමින් මාලනිය සිය කතාව අවසන් කළා.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments