අහසේ ලොක්කා අපේ රටට | සිළුමිණ

අහසේ ලොක්කා අපේ රටට

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව ලෙස සැලකෙන Antonov An - 225 Mriya වර්ගයේ යානාව පසුගියදා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්සවූයේ ශ්‍රි ලංකා ගුවන් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමිණි. මැලේසියාවේ ක්වාලාලම්පූර්වලින් ගුවන්ගතවූ යානාව මත්තලට ගොඩ බැස්සවූයේ ඉන්ධන ලබා ගැනීම හා කාර්ය මණ්ඩලයට යම් විවේකයක් ලබා දීම සඳහාය. අවශ්‍ය පහසුකම් ලබා ගැනීමෙන් අනතුරුව මෙම ගුවන් යානය ආපසු පාකිස්තානයේ කරච්චි නුවර දක්වා පියාසර කර ඇත.

මේ වෙනුවෙන් අපේ රටට රුපියල් මිලියන 13 කට වැඩි විදේශ විනිමයක් ලැබී ඇති බව සඳහන්ය. මෙම ගුවන් යානාව එන්ජින් හයකින් යුක්ත වන අතර ගොඩබැස්සවීමේ හැකියාව ඇත්තේ ලෝකයේ සීමිත ගුවන් තොටවල් කිහිපයකට පමණි. මේ දැවැන්ත යානාව නිපදවා ඇත්තේ යුක්රේනයේ ය. එහි මුල්ම යානාව 1988 වසරේ දෙසැම්බර් 21 වැනිදා නිෂ්පාදනය කර ඇත.

මේ වර්ගයේ දැවැන්ත යානාවක් මුලින්ම ජාත්‍යන්තර ගුවන්තොටකට ගොඩ බැස්සවූයේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ය. භාණ්ඩ ප්‍රවාහන යානාවක් වන මේ යානාවේ බර කිලෝ ග්රූම් 285,000 ක් වන අතර ගුවන් ගතවීමකට අවම වශයෙන් බර ටොන් 640 ක් වත් තිබිය යුතු බව සඳහන් ය. මෙම ලොව විශාලතම ගුවන් යානාවේ දිග මීටර් 84 කි. තටු දෙකක් අතර දුර මීටර් 88 ක් වන අතර පැයට කිලෝ මීටර 850 ක වේගයකින් පියාසර කළ හැක.

මෙවැනි ලොව විශාලතම ගුවන් යානාවක් මීට පෙර අපේ ගුවන් තොටුපළකට ගොඩ බැස්සේ නැත. මෙම ගුවන් යානාවේ රෝද කුඩා වන අතර බරින් වැඩි වීම නිසා ගුවන් ධාවන පථයට ලැබෙන්නේ දැඩි පීඩනයකි. එසේම මෙවන් යානාවක් ගොඩ බැස්සවීම සඳහා ගුවන් ධාවන පථය මීටර් 75 ක් පළලින් යුතුවිය යුතු අතර කිලෝ මීටර් 3.5ක් දිගින් යුතුය. මත්තල ගුවන් තොටුපොළ මේ සියලු පහසුකම් සපුරා ඇත්තේය. කිසිදු බියකින් සැකයකික් තොරව මෙවැනි විශාලතම ගුවන් යානාවක් අප රටේ ගොඩ බැස්සවීමට ජාත්‍යන්තර ගුවන් බලධාරීන් තීරණය කළේද ඒ නිසා විය යුතුය.

සුභාෂිණි

Comments