අලුත් අවු­රුද්දේ වටි­නා­කම විද්‍යා­ත්මක මිථ්‍යා­වෙන් මනින්න බෑ | සිළුමිණ

අලුත් අවු­රුද්දේ වටි­නා­කම විද්‍යා­ත්මක මිථ්‍යා­වෙන් මනින්න බෑ

මහාචාර්ය රංගික හල්වතුර

• අද කෙනෙකුට හිතෙන්න පුළුවන් සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ගස්, ගල්, ඉර, හඳ වඳිනව වගේ මිථ්‍යා විශ්වාසයක් කියල. නැත්නම් අපි නැවතත් ගල්යුගයට ගමන් කිරීමක්ද මේ හරහා වෙන්නෙ කියල.

ලෝකය අද විද්‍යාවේ දෘෂ්ටියෙන් බලා අනෙක් සියල්ල මිථ්‍යාවන් බවට ඒත්තු ගන්වමින් ඉන්න මොහොතක අපේ සමහර පිරිසකට එහෙම හිතෙන්න පුළුවන්. මොකද මේ උත්සවය සූර්යා මත පදනම්ව ජ්‍යෝතිෂ්‍ය සමඟ බද්ධ වෙච්ච උත්සවයක් නිසා. මේ නිසා අපි මිථ්‍යාවන් එක්ක කටයුතු කරන ජාතියක් ලෙස කෙනෙක් හංවඩු ගහන්නත් පුළුවන්. නමුත් ඇත්තටම අපි මේ දිහා සාවදානයෙන් බැලුවොත් අපිට පේනව, විද්‍යාත්මකයි කියල හිතන බොහෝ දේවල් ලෝකය තුළ නිර්මාණය වෙලා තියෙන්නේ ඔය කියන මිථ්‍යා විශ්වාස එක්ක බව.

අවුරුද්ද ගැන කතා කරන්න ඉස්සෙල්ල පුංචි උදාහරණයකින් ඒ ගැන පැහැදිලි කරන්නම්. අපි වාස්තු විද්‍යාව අරන් බැලුවොත්, අවුරුදු නැකත් වගේම ඒ තුළ කිසියම් ගුප්ත බවක් පේනවා. නමුත් අපි මේ දේවල් විශ්වාස කරමින් කටයුතු කරනවා. පැරණි වාස්තු විද්‍යාත්මක සිද්ධාන්ත නූතන විද්‍යාත්මකව විග්‍රහ කර බලද්දී මේ සිද්ධාන්ත බොහෝමයක් නිවැරදියි කියල අපිට අද පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. විද්‍යාව නැති කාලෙක මිනිස්සු තමන්ගෙ පැවැත්ම හරහා එකතු කරගත්ත දැනුම, විවිධ ක්‍රමෝපායන් සිද්ධාන්ත මඟින් පෙරළා මානව සමාජයට දායද කර දී තිබෙනවා. ඒ නිසා මේ දැනුම අපට කොහෙත්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ.

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ගත්තොත්; මේ වෙලාවට ලිප ගිනි මොළවන්න. අහවල් දීසාව බලන්න ...ආදී වශයෙන් රීතියක් නීතියක් ආකාරයෙන් දේවල් අප මතට පැටවෙන කොට ඊට අනුව මිනිස්සු හැඩ ගැහෙන්න පටන් ගත්තා. මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක කරුණු කාරණා අපිට සොයා ගන්න බැරි වුණාට සමාජ විද්‍යාත්මක කාරණා ඕනෑ තරම් සොයා ගන්න පුළුවන්. අලුත් අවුරුදු චාරිත්‍ර නැකත් විදිවිධාන මේ හැමදෙයක් එක්කම සමාජ විද්‍යාත්මක වටිනා කමක් අපේ ජීවිතවලට ලැබෙනවා. ඒ නිසා මේ පිළිබඳව වැරදියට තෙරුම් ගැනීම මිථ්‍යාදෘෂ්ටියකට යෑමක් ලෙසයි මම දකින්නේ. 'මිථාව' විද්‍යාව නොදන්න අය විසින් ප්‍රචාරය කරන්න ගත්තොත් අපිට හරි ලේසියෙන් ඒ මිථ්‍යාව බිඳින්න පුළුවන්. නමුත් විද්‍යාව ගැන දන්න මිනිස්සු අද මිථ්‍යාව පතුරවන ආකාරය අපි දකිනවා. හැබැයි ඒ පතුරන මිථ්‍යාව බිඳින්න හරි අමාරුයි. උදාහරණයකට අපි පහුගිය දවස්වල දැක්කා 'අරක්කු චුට්ටක් බිව්වට කමක් නැහැ' කියල විද්‍යාඥයින් විසින් ප්‍රසිද්ධියේ කියනවා. ඉතිං මේ අය මේ විදයට විද්‍යාවේ ආනුභාවයෙන් මේ මිථ්‍යා මත පතුරවන්න ප්‍රධානතම හේතුව වෙන්නෙ ඉතාම සාධණීය ලක්ෂණ සහිත හරයාත්මක සමාජ ක්‍රමයන් පිළිබඳව තිබෙන වෛරය. ඒ නිසා එවැනි සමාජ ක්‍රමයන් දිය කර හැරීම සඳහා අද ඔවුන් විද්‍යාත්මකව මිථ්‍යාව වපුරවමින් සිටිනවා.

ආසියානු රටවල් අරන් බැලුවොත් ඔවුන්ගේ සමාජ පදනම රැඳී තිබෙන්නේ මෙන්න මේ කියන මිථ්‍යා විශ්වාස මත පදනම්වයි. එනිසා ඒවා විද්‍යාත්මක නැහැ කියන ප්‍රවාදය මතු කරමින් තමන්ට ඕන විදියට හසුරුවන්න මේ රටවල්වල සම්පත් කොල්ල කන්න ඔවුන්ට අවශ්‍යයි. ඒ සඳහා මානසික වහල් සමාජයක් නඩත්තු කරන්න ඔවුන්ට අවශ්‍යයි. අද විද්‍යාව ඉදිරියට ගෙනත් ඔවුන් කරමින් ඉන්නේ ඒ දේයි. නව අධිරාජ්‍යවාදය සංස්කෘතික ආකාරයෙන් අපේ සමාජය පාලනය කරන්න උත්සාහ කරන්නේ මේ ආකාරයටයි. ඒ නිසා විද්‍යාව දන්න මිනිස්සු අපේ මේ පිළිගැනීම් විශ්වාසයන් ඇදහීම් විනාශ කරන්න මිථ්‍යාව වපුරන්න පටන් අරන් තිබෙනවා.

මෙහි මූලික අරමුණ වෙන්නෙ පවතින ශිෂ්ටාචාරය බිහි කළේ ඔවුන් බව පෙන්වීමයි. එනම් මානවයා ශිෂ්ට සමපන්න ජාතියක් බවට පත් වුණේ ඔවුන් කළ මැදිහත් වීමෙන් බව ඒත්තු ගැන් වීමයි. ඒ නිසා අප මේ නව යටත් විජිතවාදය තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒක එන්නෙ ඉස්සර වගේ බයිනත්තුවෙන් නෙමෙයි. දැනුම කියල උගන්වන විද්‍යාත්මක මිථ්‍යාව හරහා. මොකද ඒ අය තේරුම් අරන් තිබෙනවා මේ දෙවල් විද්‍යාත්මකව පැහැදිලි කරල අපේ සමාජවල පැළකරන්න බැහැ කියල. එනිසා මිථ්‍යාවක් ආකාරයෙන් රීතියක්-නීතියක් කර සමාජය තුළ පතුරවන්න . එහෙම කළොත් වීතරයි මේ දේවල් මේ රටවල පැලකරන්න පුළුවන් කියල අද ඔවුන් වටහාගෙන තිබෙනවා.

 

• ඔබ කියන්නේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍රවලටත් මේ බලපෑම එල්ල වෙමින් තිබෙන බවද?

සත්තකින්ම. එහෙම නෙමෙයි නම් මේ විවේචන පිටිපස්සේ තියෙන උවමනාව මොකක්ද? එහෙම නෙමෙයි නම්, සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍රවල දියුණු සමාජ විද්‍යාත්මක පදනමක් තිබියදී ඒ ගැන විමර්ශනයට ලක් නොකර ඒවා මිථ්‍යා විශ්වාස ලෙස අර්ථකථනය කිරීමට ගන්නා උත්සාහ අරමුණ කුමක්ද? අපේ සංස්කෘතියේ සභ්‍යත්වයේ තිබෙන මේ පොහොසත්කම පදනම බිඳින්න උත්සාහ ගන්නේ විද්‍යාව නොදන්නා අවිද්‍යාවෙන් ඉන්න මිනිස්සු නෙමෙයි. අවිද්‍යාවෙන් කටයුතු කරන අය මේ පදනම බිඳින්න ඉදිරිපත් වුණොත් අපිට ඒක බිඳින්න ලෙහෙසියි. නමුත් අද අපි තේරුම් ගන්න ඕන කාරණාව වන්නේ මේ හරයාත්මක පදනම් බිඳින්න උත්සාහ ගන්නේ මිථ්‍යා දෘෂ්ටිකයින් නෙවෙයි. විද්‍යාත්මක දැනුමක් තිබෙන පිරිසක් විසින්. මේකෙන් වෙන්නේ අපට තිබුණු ප්‍රෞඪ ඓතිහාසික පදනම බිඳ වැටීමයි.

 

• ඔබ ඔය කියන සමාජ විද්‍යාත්මක කරුණු ගැන පැහැදිලි කිරීමක් කළොත්?

අපි සරලව ඒ ගැන විමසීමක් කළොත්, කෘෂි කාර්මික ජනසමාජයක් අපිට තිබුණේ. මේ අය කන්න දෙකකදී වගා කරල අස්වැන්න නෙලා ගත්තට පස්සෙ වැඩි කාලයක් නිදහසේ ගතකළා. ඒක භාර්යා ඒක ස්වාමී පවුල් ඒකක නෙමෙයි ඔවුන්ට තිබුණේ. මේ නිසා අම්මා තමයි බොහෝ විට මේ පවුල් ඒකකයේ වඩාත් වගකීම් සහිත තැනැත්තා බවට පත්වුණේ. දරුවන් රැකබලාගැනීම පෝෂණය කිරීම ඇයට උරුම වෙද්දී පිරිමි කළේ ගොවිතැන් කටයුතු කර ආරක්ෂා කිරීම. ඉතිං ගොවිතැන් කරලා අස්වනු නෙළන කාලෙන් පස්සේ තමයි බක්මහ උදාවෙන්නෙ. මෙහෙම ගෙට ගත්ත අස්වැන්නෙන් කොටසක් ඉඳුල් නොකර අයින් කරන්නෙ පොළෝමහිකත සරුසාර කරන හිරු දෙවියන් පිදීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. ඒනිසා තමයි මේකට අලුත් සහල් මංගල්‍ය කියලත් ව්‍යවහාර වෙන්නේ. මෙහෙම එකතු වෙන සියලු දෙනා එකම පවුලක් වගේ එකාවන්ව මේ උත්සවය සැමරුවා. නමුත් අද වෙද්දි පවුලෙ අය හැමෝම එකට වාඩිවෙලා කෑම කාපු දවසක් මතක නැහැ. ඒ තරමට මේ අය කාර්ය බහුලයි. හැමෝම ඉන්නෙ තරගෙක. ඔවුන් මොනවදෝ සොයමින් හැල්මේ දුවනවා. තමන්ගෙම අනෙකා ගැන හොයන්න බලන්න වෙලාවක් මේ අයට නැහැ. අර පැරණි ජන සමාජයේ තිබුණු සාමූහික නිදහස්කාමී වටපිටාව ඔවුන්ට අද නැහැ. ඒ පදනම විනාශ වෙලා. අපිට හිටපු අම්මා අද කෝ කියල හෙව්වොත් එයා අද ඉන්නෙ කොහේද කියල ඇතැම් විට එයාවත් දන්නෙ නැහැ. මම ගැහැණිය කුස්සියට තල්ලු කරන්න හදනව නෙවෙයි. නමුත් මව් වත්කමක් තිබුණු අම්මා කෙනෙක් අපිට හිටියා. එයා හරිම පොහොසත් ගැහැණියක්. බටහිර අර්ථකතනවලින් විග්‍රාහ කරල නැති බංගස්තාන වුණාට පස්සේ ඒ ස්ත්‍රිය අද නැහැ. අද අම්මා කිව්වම අපි දකින්නෙ බියුටි සැලෝන් එකකින් එළියට එන මොස්තර නිරූපිකාවක්. ඇයට දැන් මවගේ කාර්යට වැඩිය වැඩ තියෙනවා කරන්න. ඒ නිසා දරුවො පෝෂණය කරල උස්මහත් කරන්න අම්මා කෙනෙක් ගන්න වෙහෙස අද ඉන්න දරුවන්ට පේන්නේ නැහැ. උදේට මේකප් එකක් දාගෙන වැඩට ගිහිල්ලා හවසට ඒ මේකප් එක ඒ විදියට නඩත්තු කරමින් ගෙදර එන අම්මා කෙනෙක් තමයි දරුවො දකින්නේ.

නමුත් අලුත් අවුරුද්ද දවසෙ අම්මයි තාත්තයි දරුවො ටිකයි ලිප වටේට ඉඳගෙන කිරි උතුරවන්න එකට එකතුවෙන එකම කොයිතරම් අපූරුද. අපිට සෞභාග්‍ය කියන දේ කිරි ඉතිරීමක රූපයකින් තේරුම් ගන්න බැහැ. නමුත් එදාට හැමෝම මේ විදියට එකට එකතුවෙලා ලිපට ගින්දර දාල කිරි ඉතිරෙනකම් බලාගෙන ඉන්නව කියන්නෙම සෞභාග්‍යක්. කිරි ඉතිරෙන මොහොතේ අම්මගෙ තාත්තගෙ දරුවන්ගෙ මුහුණෙ ඇඳෙන ඒ හිනාව හදවතට දැනෙන හැඟීම කාටද මිල කරන්න පුළුවන්. ඒකම තමයි සෞභාග්‍ය. තාත්තා කියන්නෙ පවුලෙ ආරක්ෂකයා, අම්මා කියන්නේ ඒ අයව පෝෂණය කරන රැකබලා ගන්න කෙනා. මේ දේ දරුවන්ට ඒත්තු ගන්වන්න තිබෙන හොඳම දවස අවුරුදු දා. මොකද අපේ සමාජය ගත්තොත් පරම්පරාගණනාවක් දක්වා යන හොඳ බැඳීමක් තිබුණා. මේක බටහිර සමාජයේ නැති දෙයක්. ඒ රටවල්වල වයස අවුරුදු 16 - 17 වෙනකොට ඒ ළමයා ස්වාධීනයි. ඒ ළමය තමන්ගෙ පවුලක් කරගෙන අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙනවා. අම්මයි තාත්තයි යනවා මහළු නිවාසයකට. නමුත් අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ පරම්පරා ගණනාවක් එකට සම්බන්ධවෙලා හිටියෙ. මේ පදනම හරිම ශක්තිමත් පදනමක්. නමුත් අද වසර පුරාම තම තමන්ගෙ ලෝකවල අතරමන් වුණු අය එකට එකතු කරන්න අවස්ථා හරිම විරලයි. උත්සව සාදවලට යනව ඇති. අම්මා තාත්තා සීයා ආච්චිට එහා ගිහිල්ල නෑදෑ පරම්පරාවම අඩුමගානෙ එක වතාවක් හරි හම්බවෙලා හිනාවෙලා කතා කරල ඔවුන්ගෙ ගැටලු අඩුපාඩු හඳුනගෙන එකතුවෙන්න ලැබෙන එකම මොනතරම් වටිනවද. එහෙම එකට එකතුවෙලා ඥාති හිතමිත්‍රාදීන් සමඟ මුළු රටක් එක්කම එකට සමරන වෙන දවසක් තියෙනවද. මේකම තමයි අලුත් අවුරුද්දෙ තිබෙන සමාජ විද්‍යාත්මක වටිනාකම.

• ඔබ ඉතාම හොඳ ප්‍රවේෂයකට ආවා. ඔබ සඳහන් කළා මානව බැඳීම ගැන. නමුත් අපි අද දකින්නේ ස්වාර්ථය පදනම් කරගත්ත මානව බැඳීම් නේ.

අපේ රටේ තිබිච්ච හයිය තමයි එකිනෙකා අතර තිබුණු සහසම්බන්ධය. අධිරාජ්‍යවාදයත් එක්ක ලංකාවේ තිබිච්ච අනොන්‍ය සහයෝගය බැඳීම අපි විනාශ කර ගත්තා. සරලව කිව්වොත් අපි අපිවම විනාශ කර ගත්තා. අපි එකිනෙකාට වෛර කරන්න ඉගෙන ගත්තා. එකිනෙකා පරයා ඉහළ යන්න උත්සහා කළා. තමන්ට නම්බුනාම තානාන්තර අරන් යෙහෙන් වැජඹෙන්න එකිනෙකා පාවා දුන්නා. දැන් හොරු තක්කඩි වගේ සද්ද නැතුව ඉන්නවා. මේ හැම දෙයක්ම මොහොතකට අමතක කරල හැමෝ එක්කම එකට ජීවත් වෙන්න ලැබෙන අවස්ථාව තමයි සිංහල අලුත් අවරුද්ද. පවුල එක්ක ඉඳල පවුලෙන් එහාට ගිහිල්ලා කැවිලි පිඟානක් අරගෙන ගෙයින් ගෙට ගොඩවෙලා සුහදව කතා බහ කරගන්න ලැබෙන එක කොයිතරම් දෙයක්ද? අඩුම තරමේ අහල පහල ගෙවල්වල ඉන්නෙ කවුද කියන දේවත් තේරුම් යනව. මේ දේවල් එක්ක නැවතත් අපි අපේ මුල්වලට යනව. ඒක අපේ විඥානයේ තියෙන දෙයක්. අපි කවියක් අහල තියෙනව 'වැනසීමට මුලයි මුල අමතක වීම' කියල. ජාතියක් විදියට අවුරුදු 70-75 ක් තිසිසෙ ඒ මුල අමතක කරන්න උත්සාහ කරපු එකයි අපි කළේ . අධිරාජ්‍යවාදීන්ට යටත් වීමත් එක්ක, අපිට අපේ මුල අමතක වුණා. අපිට අපි කවුද කියන එක අමතක වුණා. පුහු ආරෝපණයක් එක්ක ජීවත් වෙන්න අපි උත්සාහ කළා. ජීවිතය කියල අද අපිට තියෙන්නෙ පුහු ආටෝපයක් විතරයි. අපිට තිබුණු වටිනාකම් අපි නැති කරගත්ත. මේ හැඟීම ඊළඟ පරම්පරාවට උරුමකර දෙන්න අපිට ඉතුරුවෙලා තියෙන්නේ මෙච්චරයි. අඩුම තරමේ ඒකවත් හරියට සමරන්න මහන්සි ගන්න. සමහර විට බැරිවෙයි, ඒත් ඒ ගන්න උත්සාහයත් හරිම වටිනවා. එතකොට අර ස්වර්ථයෙන් පූර්ණය වෙන්න දඟලන මනුස්සයා වෙනුවට අඩුම තරමින් චුට්ටක් හරි වෙනස් මනුෂ්‍යයෙක් එතන ඉඳීවි. ඒ සඳහා පිටුබලය ලබාදෙන හොඳම තෝතැන්න තමයි සිංහල අලුත් අවුරුද්ද.

 

• මානව බැඳීම වර්ධනය කරගන්න ඊළඟ පරම්පරාවට අපි දායාද කරන්න ඕන හොඳම උත්සවය සිංහල අලුත් අවුරුද්ද කියල ඔබ කියනව.

මට පේන විදියට හොඳම නෙමෙයි, එකම උත්සවය සිංහල අලුත් අවුරුද්ද.

 

• තමුත් අද අලුත් අවුරුද්ද කියන්නෙ ඇඳුම, ගේදොර, බඩුමුට්ටු අලුත්වෙන එකට විතරයි නේද?

ඇත්තටම අපිට තිබුනෙ නැහැ මහාලොකු මන්දිර. අපිට තිබුනෙ කටු මැටි ගෙවල්. ගොමටිකක් එක්ක මැටි ටිකක් අනල බිත්ති ටිකෙයි පොලවෙයි ගාගෙන, වැහිවතුරට හෑරිච්ච තැන් කැඩිච්ච බිඳිච්ච තැන් පිළිසකර කරගෙන ගෙදර ඉඳලම සතා සිව්පාවගෙ ඉදඳලම පරිසරයත් එක්කම අලුත් වුණා. නමුත් අද ඒ දේ අපි දකින්නෙ නැහැ. අද ගෙදර තින්ත ටිකක් ගෑවත්, ඒ ගාන්නෙ කුලී බාස්ලා. ‍අම්මයි තාත්තයි ළමයිනුයි එකට එකතුවෙලා තීන්ත ටික ගාගෙන ගේ සුද්ද බුද්ද කරගෙන අලුත් වෙනවා කියන හැඟීම අද නැහැ. ඒ නිසා පැරණි අර්ථයෙන් අද තියෙන අවුරුදු සැමරීම අපිට තේරුම් ගන්න බැහැ. මෙතන අලුත් වෙනව කියන්නෙ අලුත් ඇඳුමක් අඳිනව කියන සතුට විතරක් නෙමෙයි. මේ හැම කටයුත්තක් එක්කම අපේ බැඳීම් අලුත් වුණා. ආකල්ප එක්කත් අලුත් වුණා. මනුස්සකම අලුත් වුණා. එතන තමයි මේ උත්සවයේ වටිනා කම තියෙන්නේ. නමුත් අද අපිට ඒක නැහැ. මෙන්න මේ දේ තෙරුම් අරන් කටයුතු කළොත් අපිට බැරි නැහැ අායිමත් මේ නූතන සමාජයේ ඒවිදියට ඉන්න. ඒකට අපේ බැඳීම් අලුත් වෙන්න ඕන. ආකල්ප අලුත් වෙන්න ඕන. මේ අවුරුද්ද එන්නේ අපිට ඒ අවස්ථාව උදාකර දෙන්න කියන එකයි මගේ හැඟීම.

අදහස්