වට­පිලේ වග | සිළුමිණ

වට­පිලේ වග

සිරිලක පමණක් නොව ලොව ගොවිතැනින් ජීවත් වන බොහෝ දෙනකු තමා කරන ගොවිකමින් ලබාගන්නා පළමු අස්වැන්න භාවිතයට පෙර විවිධ පුද පූජා කරති. අප රටේ ද එසේමයි. අනුරාධපුර මහා විහාරයට අයත් මහමෙව්නාවේ වැඩ වාසය කරන මහාබෝ හාමුදුරුවන්ට කෙරෙන ‘අගසස් පූජාව’ ඒ සියලු පූජාවන්ට වඩා විශේෂ ය. අග්‍රගණ්‍යය. හෙළයේ මහා ගොවි පිළිවෙතක්ම වන්නේ ය. රටේ හතර දිග් බාගේ හැමෝම එක්ව කරන රජුන් රට කරවන්නන්, ප්‍රමුඛව කෙරෙන කාරිය ජාතික මහා මංගල්‍යයකි. ඊට අගසස් දාන මාලාව, අලුසල්මංගල්ලාව, බුද්ධ භෝග පිදුම, අලුත් සහල් මංගල්ලේ, අලුත් සහල් ඔප්පු දීම, අක්යාල් වන්දනාව යනාදී තවත් බොහෝ නාමයන් නුවර කලාවියේ අපේ ඇත්තෝ භාවිත කරති.

 

ලොව් තුරු මුනිඳුගෙ අණය සියල්ලේ

සිවුවර දෙවියෝ සහමෙ සියල්ලේ

සව් සත රකිනා උපතකි ඉල්ලේ

සව් සිරිවෙයි අලුසල් මංගල්ලේ

 

අපේ කොටුගම්වල ප‍රවෙනි උරුමකාර වරිගක්කාරයින් ‘අගසස් දානය’ අලුත් සහල්වලට පමණක් ම සීමා නො කළේ ය. පොළොව කොටා බිජු වපුරා, හිරුත්, ජලයත්, සුළඟත් තමුන්ගේ දා බිඳුත් හලා ලබාගන්නා ඕනෑම ඇටා ඇටයක්, ගෙඩැගෙඩියක් පලවැලක් බුදුන්ට පුදා දෙවියන්ට පිං පමුණුවා මීට දායක වූ සැමට, ගහ කොළට පවා කෘතවේදී බව පළ කළේ ය. භාවිතයට ගන්නා මෙවලමට (අවි ආයුධයට) පවා ආචාර කොට අතට ගත්තේ ය‍. වෙහෙස, මඟ හරවාගන්ට රාගන් අල්ලා ගැයූ කුරක්කන් කවියකින් ම මේ බව සනාථ කළ හැකි ය.

 

“නෑනො නෑනො අපි දෙන්නා සමඟි වෙමු

වානෙන් තැනූ පන්කැති සාදවා ගමු

හේනේ ගොසින් රවුමක් කුරහන් කපමු

දානෙ දෙන්න කුරහන් රොටි අරන් යමු”

 

මිහිඳු මහ රහතන් වහන්සේ ක්‍රි.පූ. 236 දී වැඩියහ.‍ පසුව සඟමිත් මහාථෙරණින් වහන්සේ ජය මහාබෝ හාමුදුරුවන් වහන්සේ වැඩමවාගෙන ආපසු දෙවනපෑතිස් රජු මහමෙවුනාවේ මහත් හරසරින් ස්තාපිත කළහ. ඒ සමඟ ආව තේවාවන් ද භාරකාරත්වයන් ද, ඊට පුද පූජා පැවැත්වීමට අවශ්‍ය වූ දහ අට ශ්‍රේණියක පිරිවර ද පැමිණී ඇත. මිහිඳු මහ හිමි කාලයේ ම පළමු ‍මහ බෝ මංගල්‍යය සිදුවූ හැටි වංශ කතාවලින් ද පුරාවිද්‍යා තොරතුරුවලින් ද කියවේ.

ජය මහා හාමුදුරුවන් රාජ්‍යත්වයේ සංකේතය වීම, සිදුවීමෙන් පසු රජුන්ට පුදන සේද අලුත් බව භෝග, ජයමහ හාමුදුරුවන්ට ද උරුමයක් ලෙස පිදීම ඇරඹුණි.

අපේ ගම්වල ඇත්තෝ ඕනෑම භෝග පලදාවක පළමු කොටස, අස්වැන්න සැලකුවේ ‘බුද්ධභෝගය’ ලෙසයි. සිරිලංකා ද්වීපය තෙවරක් ම බුදුරජාණන් වහන්සේට පූජා කර ඇති බව බෞද්ධ ඉතිහාසයෙන් කියවේ.

බුදුරදුන්ට අයිති පොළොවේ උපදින භෝගය ‘බුද්ධභෝග’ වන්නේ යයි අපේ ගම් ඥාතීන් නිතර පවසති. ඒ අනුසරින් ද මහබෝ හාමුදුරුවන්ට පිදෙන අගසස් දානය රටේ කෙරෙන අනෙකුත් පූජ්‍ය ස්ථානවල අලුත් සහල් මංගල්ලාවෙන් වෙනස් වෙති.

බුදුරදුන් කල සිට අද දක්වාම පවතින බුද්ධකාලීන ව‍ූ ද, බුදු පහස ලද්දා ව‍ූ ද, බුදුන් වහන්සේගේ නේත්‍ර පූජාව ලැබුවා ව‍ූ ද, ලෝකයේ අද පවතින පැරැණිම වෘක්ෂ රාජයෙක් ව‍ූ ද, සමූල ඝාතනයකට ලක් නොවී අද දක්වාම පවතින්නා ව‍ූ ද, එකම වස්තුව වන්නේ ද මහබෝ හාමුදුරුවන්ම ය. උන්වහන්සේ ජීවමාන බුදුන් සේ, කොට සලකා භක්තිවන්තව පුද සත්කාර ලබන්නාහු ය. මේ නිසාව ද අනෙකුත් අලුත් සහල් මංගල්ලාවන්ට වඩා ‘මහබෝ අගසස් ප‍ූජාව’ සැමට විශේෂ වන්නේමය.

ජය සිරිමා බෝධි රාජයාණන්වහන්සේට කෙරෙන දෛනික වතාවත් පූජා පිළිවෙත් ද, වාර්ෂිකව කළ යුතු පුද සත්කාරයන් ද, විශේෂ අවස්ථාවන් හිදි කරන ප‍ූජා පිළිවෙත ද උන්වහන්සේ වැඩම වීම සමඟම නම නියම වූහ. රජුන් ඒ සමඟ පැමිණි විවිධ ශ්‍රේණිවල ශිල්ප ශාස්ත්‍ර අනුව ඒවා ඉටු කළහ. ඒ අතර එදා මෙදා තුර නොකඩවා වාර්ෂිකව ඉටුකළ යුතු ප‍ූජා මංගල්‍ය සතරක් පවතී.

1. දුරුතු මංගල්‍ය

2. පරණ අවුරුදු මංගල්‍ය

3. අලුත් අවුරුදු නානුමුර මංගල්‍ය හා

4. කාර්තික මංගල්‍ය වශයෙනි.

මෙයින් පළමු වැන්න වන්නේ ම ‘අගසස් පිදුම’ යි. අලුත් සහල් මංගල්ලාවයි. පෙර කල දුරුතු මස කෙරුණු අස්වනු නෙළීමෙන් ඒ නම භාවිතයට පැමිණ ඇත.

අද මැදින් හෝ බක් මස මුල මේ උතුම් බුද්ධබෝධි වන්දනා මංගල්‍ය සිදු කරති. පෙරහැර, සතර වාහල්කඩ කිරි ඉතිරවීම, පංච තූර්යවාදන දක්ෂිණාවෘත වන්දනාව, පිරිත් සංගායනාව, සපිරිකර සහිත භික්ෂූන් වහන්සේලා වෙත පිරිනැමෙන මහා දානය යන සියලු මල්, පහන්, සුවඳ හා දෙවියන්ට (විශේෂයෙන් කළු දේවතාවුන් වහන්සේට) කෙරෙන පිදවිලි ස්තෝත්‍ර ගායනා ද මීට අඩංගුව පවතී. මේ නිසා මහ බෝ හාමුදුරුවන්ට කෙරෙන අලුත් සහල් මංගල්‍යය විශේෂත්වයට පත්ව පවතී.

 

අදහස්